පිබිදෙමු පොළොන්නරුවෙන් පුලතිසි පුරයට සංවර්ධන සංග්‍රාමයක්


 

පෙර රජ දවසින් පසුව සංවර්ධනයේ සැබෑ අරුණලු පුලතිසි කැනිබිම මත දැන් පතිත ​ෙවන්නට පටන් ගෙන ඇතැයි එහි වැසියෝ ද කියති.   


ඒ විසල් සංවර්ධනයේ දිග හැරුම ආරම්භ වූයේ අදින් වසර 3 1/2කට පමණ පෙර ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේයි. 


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත සිය නායකත්වය යටතේ දියත් කෙරුණු මේ සංවර්ධන සංග්‍රාමයේ ගතවූ තෙවසර තුළ රුපියල් කෝටි 6000ක වියදමින් වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති 181ක් ජනතා අයිතියට පත්කර දීමේ මහා මංගල්‍යයක් පසුගිය 01, 02, 03 යන තෙදින තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේ පැවැත්වුණි. 


අධ්‍යාපන, සෞඛ්‍ය, ආගමික, කෘෂිකාර්මික, පානීය ජලය, නාගරික සංවර්ධනය, යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍රයන් රාශියක් ඔස්සේ මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. 


ඒ අතුරින් ද භෞතික සංවර්ධන පමණක් නොව රටක මානව සම්පත සංවර්ධනය කළ යුතුය යන පුළුල් දැක්ම පෙරදැරිව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් විශාල සංඛ්‍යාවක දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අඩුපාඩුකම් සපුරාලීමට මේ දැවැන්ත ව්‍යාපෘතිය යටතේ අවධානය යොමුකර තිබීම පැසසිය යුතු තත්ත්වයකි. 


බොහෝ පාසල්හි දෙමහල් තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි සංකීර්ණ සෞන්දර්ය ඒකක, පරිපාලන ගොඩනැගිලි, ශ්‍රවණාගාර යනාදිය අලුතින් ඉදිකරනු ලැබීය. එලෙස ඉදි කරනු ලැබ, සිසු අයිතියට පත්වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ගණන 86කි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 1455.91 ක් බව ද අනාවරණය වේ. 


දෙවනුව ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් මෙතෙක් කිසිදු රජයක අවධානයට ලක් නොවී තිබූ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හා ප්‍රාදේශීය රෝහල් රැසකට පරිපාලන ගොඩනැගිලි වාට්ටු සංකීර්ණ, සායන ගොඩනැගිලි, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක යනාදිය ලැබී තිබේ. 


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතාමත් අඩු පහසුකම් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලෙස සැලකෙන වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ඇලහැර යන කොට්ඨාසවලට මේවා ලැබී තිබීම විශේෂත්වයකි. 


වැලිකන්ද, අරලගංවිල යන නගරවල අලුතින් අංගසම්පූර්ණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඉදිකිරීම, හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල, හිඟුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ විකිරණ හා සංඛ්‍යාලේඛන ඒකක ගොඩනැගිල්ල, දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකය, වෛද්‍ය නිලධාරී නිවාස සංකීර්ණය මේ ආදිය ඒ ප්‍රදේශවල ජනතාව ලද අමිල දායාදයන්ය. 


අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ අලුතින් ඉදිවූ රසායනාගාර සුවදිවි සායනය, නව පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, වකුගඩු රෝග පරීක්ෂණ සායන නව ගොඩනැගිල්ල ආදිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනතා අයිතියට පත්වූ සෙසු උරුම ලෙස දැක්විය හැක. 


පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති සඳහා පමණක් පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 830.51 මුදලක් වැය කර තිබේ. 


මැදිරිගිරිය නව බස් නැවතුම් පොළ, මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය, හිඟුරක්ගොඩ නව බස් නැවතුම් පොළ, නව දෙමහල් වෙළෙඳ සංකීර්ණය ආදිය නාගරික සංවර්ධන සහ යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ ඒ ප්‍රදේශවල ජනතාව ලද අනාගත උරුමයන් ය. 


පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන දිස්ත්‍රික්කයේ වෙසෙන බෞද්ධ, ඉස්ලාම්, හින්දු යන සියලු ආගම් අදහන ජනතාව වෙනුවෙන් ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ දී නොබෙදුණු නොවෙනස් පිළිවෙතක් අනුගමනය කර තිබේ. රජයේ පාසල් සංවර්ධනයේ දී ද මුදල් වෙන් කිරීම, භෞතික සම්පත් ලබාදීම තුලනාත්මක අයුරින් ඉතාමත් සමබරව සිදු කිරීම සියලු ජාති, ආගම්, ජන වර්ග අතර සංහිඳියාවට කදිම පණිවුඩයක් බැව් පෙන්වා දිය හැකිය. 


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැති මූලික අඩුපාඩුකම් සපුරාලීමේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2015 වසරේ දී රුපියල් කෝටි 09ක වියදමින් දිස්ත්‍රික්කයේ සෑම පාසලකටම ඩෙස්, බංකු, වැසිකිළි, කැසිකිළි, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම ඉහතින් සඳහන් කරන්නට අමතක වූ කාරණයකි. 


පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදිකරන ක්‍රිකට් ක්‍රීඩාංගණය ද පුලතිසි දරුවන් ලද අගනා සම්පතක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ සඳහා රුපියල් මිලියන 80.68 ක මුදලක් වැය කර තිබේ. 


මේ අන්දමට පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් වැඩ නිමවන ලද ව්‍යාපෘති රැසක් පසුගිය කාල සීමාව තුළ එක් එක් අවස්ථාවන්හි ජනතා අයිතියට පත් කෙරුණු බැව් ඇතැම් විට අප්‍රකට කාරණයක් ද වන්නට පිළිවන. 


මක්නිසාද යත් ඒ විවෘත කිරීම් සඳහා එතරම් පුළුල් ප්‍රචාරයක් නොලද නිසාවෙනි. 

 

 


මෙවර වැඩ නිමවන ලද ව්‍යාපෘති 181ක් ජනතා අයිතියට පත් කිරීම රජයේ මැති ඇමැතිවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පොලොන්නරුවට කැඳවා දින 03ක් ඇතුළත ඔවුන් අතින් ඒ කාර්යය ඉටු කරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවූවකි. 


ඒ සඳහා පසුගිය 01, 02, 03 යන දින තුන තුළ දී විශාල ජන සහභාගිත්වයක් ද සමගින් දිස්ත්‍රික්කය පුරා විහිදී ක්‍රියාත්මක වුණි. ජනාධිපතිවරයා ද ඒ තෙදින තුළ විවෘත කිරීම්, ජනහමු ගණනාවකට සහභාගි විය. රජයේ මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්‍ඨ නිලධාරීහු ආදී විශාල පිරිසක් ඒ සඳහා පුලතිසිපුරවරයට පැමිණ සිටියහ. 


පෙර රජ දවසින් පසුව වල් බිහිවූ පොලොන්නරුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ ගොවිජනපද ව්‍යාපාරයත් සමග යළි පණ ලැබූ බැව් ප්‍රකට කරුණකි. එතැන් පටන් සියවස් තුන්කාලක් තරම් වන මෑත ඉතිහාසය තුළ දිස්ත්‍රික්කයේ බොහෝ ක්​ෙෂ්ත්‍රවල සංවර්ධනයන්, විශේෂයෙන් ගමනාගමන මාර්ග වෙනත් යටිතල පහසුකම් බොහෝ අඩුපාඩුකම්වලින් යුක්තව පැවැතිය බව රහසක් නොවේ. 


එමෙන්ම මෙතෙක් කිසිදු රජයක් විසින් අවදානය යොමු නොකිරීම හේතුවෙන් නොදියුණු බවට උරුමව තිබූ බොහෝ අංශ උඩුයටිකුරු කරන්නට පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට හැකිවූ බවට කිසිදු විවාදයක් නැතැයි මහජනතාව කියා සිටිති. 


මෙය මෑත ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ අන්දමේ සුවිශාල සංවර්ධනයක් ලෙස බොහෝ දෙනා දකින්නේ, හඳුන්වන්නේ ඒ නිසාවෙනි. 


පුලතිසිපුරවරය පුරා අක්මුල් විහිදුවමින් සියලු ක්ෂේ‍ත්‍රවල සංවර්ධන කාර්යයන් ඉටු කරන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ පරිපාලන නායකත්වය පැවැරී ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටයි. ඒනිසා ගතවූ වසර 3 1/2ක පමණ කාලයක් තුළ පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධනයේ විශාල පෙරළියක්, පරිවර්තනයක් සිදුකරවමින් පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන දියත් කෙරෙන ආකාරය පිළිබඳ අප පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා විමසුවෙමු. 

 

 


ජනාධිපතිතුමාගේ සංකල්පයක් මතයි මේ පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ආරම්භ කළේ. එතුමා ඊට අවශ්‍ය මග පෙන්වීම නායකත්වය ලබා දෙනවා. පරිපාලන වගකීම දරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි. ගතවූ වසර 3 1/2ක කාල සීමාව තුළ මේ දිස්ත්‍රික්කයේ කිසිදාක නොවූ විරූ විශාල සංවර්ධනයක් විවිධ පැති ඔස්සේ ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා. 


එහිදී විශේෂයෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, ආගමික, සමාජයීය, පොදු යටිතල පහසුකම් ආදී අංශ සඳහන් කරන්නට පුළුවන්. ජනාධිපති තුමාගේ මූලික සංකල්පයක් වන නාස්තිය, දූෂණය, පිටුදකිමින් අප මේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා විනිවිද භාවයකින් යුතුව සියලු දේ සිදු කිරීමට වග බලා ගන්නවා. විශේෂයෙන්ම බොහෝ ඉදිකිරීම් ක්ෂේත්‍රවල දී ත්‍රිවිධ හමුදාව මගින් ඒ කටයුතු සිදුකිරීමත් මේ සංවර්ධන වැඩසටහනේ එක් මූලික ලක්ෂණයක්. 


එහිදී ඉදිකිරීම්වල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව, ප්‍රගතිය, නිමාව මේ සියල්ල ඉතා ඉහළයි. මේ ගැන ජනාධිපතිතුමාගේ ප්‍රශංසාව, අගැයීම බොහෝ අවස්ථාවල හිමි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කය පුරා පැතුරුණු සමබර සංවර්ධනයක් සිදුවනවා. අප මේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කරනවා. 


ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ මැති ඇමැතිවරුන්, දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් අදාළ ආයතන ප්‍රධානීන් මේ සියලු දෙනාගේ සහභාගිත්වය ඇතිව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම් ආදිය ද මෙතෙක් පවත්වනු ලැබුවා. මෙය පස් අවුරුදු වැඩපිළිවෙළක්. ඉදිරියටත් ඒ සියලු කටයුතු අඛණ්ඩව සිදු කරනවා. 


අදින් වසර තුන හතරකට පෙර පොලොන්නරුවට පැමිණි අයෙකු නැවත මේ දිනවල පොලොන්නරුවට පැමිණ සිදුවන සංවර්ධනයන් දකින විට මවිත කරවන බව අතිශයෝක්තියක් නොවේ. 


2015 වසරින් ඇරඹි 2020 දී අවසන් වීමට නියමිත මේ විසල් සංවර්ධන ව්‍යාපෘති අංගසම්පූර්ණ වන විට පෙර රජ දවසින් පසුව පුලතිසිපුරවරය යළි ප්‍රතිනිර්මාණය වීමක් ලෙස දැකිය හැකි වනු ඇත. එහි ඉමහත් ගෞරවය මේ සංවර්ධනයේ නියමුවාණන් වන පුලතිසි පුතු, ජනපති මෛත්‍රීට බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

 

 

 

 

සටහන සහ ඡායාරූප 
පොලොන්නරුව-ක.ග. කරුණාරත්න