නිරෝධායන නීති කඩා රටට ඇතුළු වුණේ ඇමෙරිකා හමුදාවේ නිලධාරියෙක්ද?


 

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ රට ආරක්ෂා කර ගැනීමට රජය නොපිරිහෙලා යුතුකම් ඉටු කරමින් සිටින අතරවාරයේදී ඉකුත් 04 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා ඇ​ෙමරිකා තානාපති කාර්යාල රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී පී.සී.ආර් පරීක්ෂාව නොකර රටට ඇතුළු වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය සතියේ දැඩි කතාබහට ලක්වූයේය. මෙරටට ඇතුළුවන්නන් සඳහා ඉතාමත් දැඩි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකදී මෙවැනි සිදුවීමක් වාර්තා වීම මෙරට සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තිකයින් ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින්ද පවතින්නේය. 


ඉකුත් 04 වැනි දා අලුයම 1.30ට පමණ අදාළ නිලධාරියා මෙරටට පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් බැව් ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියා සිටී. මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසුවේ, ඔහු තානාපති වරප්‍රසාද යටතේ පරීක්ෂණ සිදු නොකර මුදා හැරිය බවයි. කෙසේ වෙතත් තානාපති කාර්යාල රෙගුලාසිවලට අනුව අදාළ නිලධාරියා දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු අතර අනතුරුව එම තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය පියවර ගන්නා බවද හෙතෙම කියා සිටියේය. 


එලෙස රටේ පවතින රෙගුලාසිවලට යටත් නොවී රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද යටතේ පැමිණි ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා කවුරුන්ද යන්න නිල වශයෙන් හෙළි වී නැති නමුත් ඇතැම් දේශපාලනඥයින් මාධ්‍ය හමුවලදී ප්‍රකාශක කර සිටියේ එම පුද්ගලයා ඇමෙරිකාවේ යුද ආරක්ෂක නිලධරයෙකු බවයි. මෙම සිද්ධිය වූ සැණින් ඇමෙරිකානු තානාපති කාර්යාලයද එම පුද්ගලයා හඳුන්වා දුන්නේ එම තානාපති කාර්ය මණ්ඩලයේ අයෙකු ලෙසින් පමණකි. 
මේ සිද්ධිය පිළිබඳව හා මෙරටට පැමිණි ඇමෙරිකා රාජ්‍යතාන්ත්‍රිකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන් හෝර්න් මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ තානාපති කාර්යාලයේ සේවකයා අදාළ ශ්‍රී ලංකා බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වූ බවය. එක්සත් ජනපද සේවකයාගේ පැමිණීම විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය අනුමත කළ බවත්, සේවකයා ශ්‍රී ලංකා රජයේ ප්‍රවේශ ක්‍රියා පටිපාටිවලට අනුකූල වූ බවද නැන්සි වැන් හෝර්න් මහත්මිය කියා සිටියාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රවේශ ක්‍රියා පටිපාටීන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයා පැමිණීමෙන් පසු  05 වැනිදින යාවත්කාලීන කළ බවය. 
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන් හෝර්න් කියා සිටියේ තම කාර්ය මණ්ඩල සේවකයා දැනට ඔහුගේ නිවසේ නිරෝධායනයෙහි යෙදී සිටින බවත්, නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු ඔහු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවකයෙකු ලෙස වැඩ භාර ගන්නා බවය. 


එසේම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩල සාමාජිකයා ශ්‍රී ලංකාවට පැමිණීයේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව නිරෝධායන සීමා කිරීම් සහ කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ පිළිබඳව දැනුම්වත්ව බවය. 


එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය මෙම සංචාරය සිදුකරන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියාපටිපාටිවලටද අනුකූලව බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව අදාළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීයා කටයුතු කර ඇති බව ඇයට විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද අවධාරණය කළාය. 


ඉකුත් ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැ⁣මිණෙන සෑම ගුවන් මගියෙකුම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට රජය තීරණය කරනු ලැබුවේය. 


කටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර් පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වූ අමෙරිකානු තානාපති කාර්යාල සේවකයා සම්බන්ධයෙන් මෙරට බලධාරීහු විවිධ ප්‍රකාශ සිදු කළහ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ පී.සී.ආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මෙරට සිටින විදේශ දූත මණ්ඩල නියෝජිතයින් මීට පෙර දැනුම්වත් කර නොතිබූ බවයි. ඒ අනුව ඉකුත් 05 වැනිදා දිනයේ ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඔවුන් දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය. 


විදේශ අමාත්‍යාංශ නිලධාරියා එසේ පැවසුවත් කොරෝනා වසංගත තත්ත්වය ආරම්භවීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ 27 වැනිදා මෙරට සිටින සියලුම විදේශ දූත මණ්ඩලවලට විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් යවා තිබුණි. එහි සඳහන් වූයේ 1962 රෝග නිවාරණ හා නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම බලධාරීන් නිකුත් කරන උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙසය. රටේ ස්වෛරීභාවයට ප්‍රමුඛතාව දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ දූත මණ්ඩලවලට එම චක්‍ර​ලේඛයෙන් පැහැදිලිව දැනුම්දී තිබුණි. එම චක්‍රලේඛයේ සඳහන් වූයේ එම ප්‍රතිපත්තිය රටට පැමිණෙන සියලු විදේශිකයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සිදුවන බවයි. රාජ්‍යතාන්ත්‍රික මුක්තිය කෙසේ වෙතත්, පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව රජය ක්‍රියාකිරීමට බැඳී සිටින බව එහි අවධාරණය කර තිබේ. 


එසේ තිබියදී ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා පී.සී.ආර්.පරීක්ෂාව ප්‍රතික්ෂේප කර රටට ඇතුළු වූයේ කුමන බලයක් යොදාගෙන ද යන්න ප්‍රශ්නාර්ථයකි. රාජ්‍ය තාන්ත්‍රිකයා තානාපති මුක්තිය භුක්ති විදිය යුත්තේ සේවය කරන රටේ නීති හා රීතිවලට ගරු කරමින් බව වියානා සම්මුතියේ 41 වන වගන්තියේ පළමුවන ඡේදයේ සඳහන් වේ. රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ද එම වගන්තියේ නිශ්චිතව සඳහන් කර තිබේ. 
රටක නීතිය නොසලකා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන තානාපතිවරයෙකු හෝ තානාපති කාර්යාල නිලධාරියෙකුගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය අහෝසි කර රටින් පිටකළ හැකි බව වියානා සම්මුතියේ 9 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වේ. 


මෙම සිදුවීම පසුගිය සතියේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට ද පත්විණි. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අැමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු පී.සී.ආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තමා කනස්සල්ල පළ කරන බවයි. වියානා සම්මුතිය පැවතියත්, නොපැවතියත් ගෝලීය වසංගතයක් පවතින තත්ත්වයක ජීවිත සුරක්ෂිත භාවය වෙනුවෙන් තවත් රටක නීති රාමුවට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිකුත් කළ ටිව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ. 


මෙවැනි ප්‍රශ්න කිහිපයක් රටේ ඉතිරිව තිබියදී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපොළේ දී ඉදිරිපත් කළ යුතු බවට මෙරටට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් මාලවක් නිකුත් කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය ඉකුත් 05 වැනි දා කටයුතු කළේය. 


එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ අදාළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපොළේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සඳහා මුහුණ දිය යුතු බවය. පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. 


කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින සහ කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ලංකාවට ඇතුළු වන විට හෝ නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ඉකුත් 04 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව, එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත දැනුම් දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය වහාම පියවර ගත්තේය. 


විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම සංශෝධන උපදෙස් අනුව සංශෝධන අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් මගින් කල් තබා දැනුම් දිය යුතුව ඇත. 
එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අනිවාර්ය පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරනු ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී. 


දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතු අතරම පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය යැයිද එහි සඳහන් වේ. 


මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය. 


 රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත්වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතු බවට උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කර සිටී. 


ඇමෙරිකානු තානාපති නිලධාරියා සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ සේවකයින් ක්‍රියාකළ අාකාරය පැසසිය යුතුයි. මොහු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරමින් නිසි සෞඛ්‍ය මගපෙන්වීම් අනුගමනය කිරීමට ඔවුන් උපරිම උත්සාහ දරා තිබුණි. නමුත් රාජ්‍යතාන්ත්‍රික අයිතීන් යොදාගෙන රටේ සෞඛ්‍ය රෙගුලාසි අභිබවා ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියා අවසානයේ ක්‍රියාකිරීම රටේ ජනතාවගේ දැඩි අවධානයට ලක්වී තිබේ. ගෝලීය වසංගත තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රියා නිසා රට තුළ නැවතත් වසංගත අවදානමක් මතුවුණොත් එහි වගකීම ගන්නේ කවුද? 


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මව්බිමට පැමිණීමේදී විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම නිසා ආසාදිතයින් පැමිණියත් එය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. එහෙත් රටේ සෞඛ්‍ය රෙගුලාසි නොතකා රාජ්‍යතාන්ත්‍රිකයින් බලය යොදන්න ගියොත් කුමක් සිදුවෙයිද? තවදුරටත් මෙවැනි සිදුවීම්වලට ඉඩ දිය යුතුද? මෙවැනි ප්‍රශ්න ගණනාවක්ම රටේ ඉතිරිව පවතී. 

 

සටහන - තිළිණි ද සිල්වා