නැකතින් අරඹන සිංහල අලුත් අවුරුද්ද


බක්මහේ පණිවුඩකරුවා සොබාදහමයි. බක්මහ වැස්සෙන් ගහ කොළ නිල්ලෙන් පිරෙයි, එල දරයි. සතා සිව්පාවා පවා ප්‍රමුදිත වෙයි. කොහා ප්‍රජනනයේ හඬ නගන්නේ පරිසරයට මිහිරක් එක් කරමිනි. ඒ කාලයේ වැටට සිටෙව්වේ එරබදු ගස්ය. මල් පිපී තිබෙන විට පළාතම රතු පාටින් බැබළෙන්නේය. ඒ මල් පිපෙන මාසය අපි අවුරුදු සිරියාවට එකතු කරගත්තෙමු. කජු ගසත් එසේමය. කජු පුහුලන් ගස පුරා තිබෙන විට ඇත්තේ අපූරු සුන්දරත්වයකි. මේ සියල්ලම ඈත කාලයේ සිට අපට සමීප වූ අවුරුදු මෙවලම් වේ. එදා ගමේ අවුරුද්ද පටන් ගත්තේ ගොම මැටි ගෑමෙනි. පොල් අතු ගෙවල්වල නම් පොල් අතු බැඳීමෙනි. උළු ගෙවල්වල නම් උළු මාරු කිරීමෙනි. දර මඩුව පිරවීමෙනි, බිත්තිවල හුණු ගෑම ද, බිම සෝදා හැරීම ද, පැදුරු, දොර තිර සෝදා පිරිසිදු කිරීම ද අවුරුද්දට සූදානම් වීමක් විය.   
 
අටුවේ වී බිස්සේ පටන් පිරවීම සිදු කැරේ. තෙල් හැලි දෙක තුනක් හිඳිති. ඒවා බෝතල්වල පිරැවේ. ළිපට උඩින් ඇති දුම් මැස්සේ ගොරක මුට්ටිය, කරවල මුට්ටිය, උම්බලකඩ, පෙතං කජු ඇට ගෝනි ගබඩා කර ඇත.   
 
“දරදිය ඇදලා ගොමැටි ගාලා මහගෙය කළ එළි    කරගන්නේ
බොරදඟ කවලා රටා දමාලා පන්නන් වියමන්    කරපන්නේ
පෙරයම අලුසල් මංගල්ලේ කර කැවිලි තහංචිය    අරවන්නේ
දුර නෑ වරිගේ බලා කියාගෙන පෙර අවුරුදු කාලයි    එන්නේ”
 
 එදා අවුරුද්දට සූදානම් වුණේ එසේය. යල කන්නේ ඇස්වැන්න නෙළාගෙන වී බිස්සේ හා අටුවේ තැන්පත් කෙරේ. මෙසේ නෙළාගන්නා වී අස්වැන්න ගෙවිලියන් විසින් කොටා අලුත් සහල් සාදා ගනිති. එම සහල් පළමුව පූජා කරනු ලබන්නේ ගමේ පන්සලටයි. මහනුවර දළදා මාලිගාවේ ද සිව් දේවාලයේ ද රට පුරා සියලුම දේවාලවල ද අලුත් සහල් මංගල්‍යයක් අලි ඇතුන් සහිත මහ පෙරහරකින් පවත්වනු ලැබේ. එය යල මහ දෙකන්නයේම සිදුවෙතත්, සිංහල අවුරුද්දට සම්බන්ධයක් නැත. ගමේ කෙරෙන අලුත් සහල් පූජාව ඒ කාලයේ ගැමියෝ සාමූහිකවත් තනි තනිවත් සිදු කළහ. දෙවනුව කුඹුරේදීම කමතේදී වී මනින විට ‘අක්කියාල’ නමින් දෙවියන්ට වී වෙන් කිරීමක් සිදු කෙරේ. වළං කරත්තත්, වළං කත්කාරයාත් ගමට එන්නේ මේ කාලයටය. නව වසරේ අලුත් වළංවල ආහාර පිසීම සුබ ප්‍රතිඵල ගෙන එන්නක් බව පැරැන්නෝ තදින් විශ්වාස කළහ. කොරහ, නෑඹිලිය, ඇතිලිය, බත් මුට්ටිය, හට්ටි, වතුර කළය, මූඩිය, රොටී කබල, ආදී සෑම මැටි භාණ්ඩයක්ම මිලට ගත්හ.   
 
ඒ කාලයේ වළංවලට මිල ගෙවූයේ වී, කුරහන්, තල, මෙනේරි, කජු හා පුවක්වලින්ය.
 
මණි බඩු වෙළෙන්දා
 
අවුරුද්ද කිට්ටු වනවිටම ගමේ කාන්තාවෝ මග බලා සිටියේ මණි බඩු වෙළෙන්දෝ එනතුරුය. ඔහු හිස තබාගෙන එන පෙට්ටියේ කාන්තාවන්ට අවශ්‍ය හැට්ට කටුවේ, කපුරු බෝලයේ සිට නැති දෙයක් නැත. කොණ්ඩ කටු, සාරි කටු, සැන්ට්, පවුඩර්, වීදුරු වළලු අාදී විච්චූර්ණ තොරම්බල් පිරී තිබේ. තරුණියන් වසරක් පුරා එකතු කළ මැටි කාසි කැට බිඳෙන්නේ මේ තොරම්බල් මිලදී ගැනීමටයි.   
 
චීන රෙදි වෙළෙන්දෝ ද අවුරුදු කාලයට “...රෙදියෙප්... රෙදියෙප්...” කියමින් රෙදි පොට්ටනිය කර තබාගෙන ගමට පැමිණෙයි. ඇතැම්හු ඉරිදා හෝ සඳුදා පොළට යන ගමන් කඩමණ්ඩියේදී අවුරුද්දට රෙදිපිළි මිලදී ගත්හ. සරොම්, බැනියම්, චීත්ත, හැට්ට රෙදි, කම්බා, ආදී වශයෙන් මෙසේ මිලදීගත් රෙදිපිළි නම් කළ හැකිය. අම්මලාට තෑගි දුන්නේ චීත්තයක් හා හැට්ට රෙද්දකි. තාත්තාට සරමක්, මේස් බැනියමක් වැනි යමක්ය. වැඩි වුණොත් තුවායක්ය. ගැටවරයන්ට සරමක් හෝ බොක්සිං බැනියමක් ලැබුණි. බොක්සිං බැනියම යනුවෙන් හැඳින්වූයේ අත් කොට මේස් බැනියමයි. නංගිලාට අක්කලාට ගවොම් රෙදිය. ගමේ මහන ගෙදරදී ඒවා මසා ගත්තේය. කිරි අම්මලාට දුන්නේ කම්බායක් හා හැට්ට රෙද්දක්ය.   
 
ප්‍රථම චාරිත්‍රය : නව සඳ බැලීම   
 
අවුරුද්ද ආරම්භ වන්නේ බක් මස පුර පෑලවියෙනි. අලුත් අවුරුද්දේ ප්‍රථම චාරිත්‍රය නව සඳ බැලීමයි. අලුත් අවුරුද්දට සඳ බැලීම ඒ සඳහා නියමිත දිනයේ දී සිදු කරනු ලැබේ. පළමුවෙන් අවුරුදු හඳ දැක්ක අයෙක් “හූ” කීම සිරිතකි. හඳ බලා හකුරු සමඟ පොල් ඉරි කෑම ද සිරිතකි.   
 
මේ නව සඳ බැලීම හිරු උදාව මෙන්ම පැරැණි ඉතිහාසයක් ඇති චාරිත්‍රයකි. හිරු මෙන්ම සඳු ද දේවත්වයෙහි ලා පැරැණියෝ සැලකූහ.   
 
සූර්ය දිව්‍යරාජයා එන්නේ අසුන් සත් දෙනෙකු බැඳි රියකිනි. මෙයට වසර 112කට පෙර පහත සඳහන් අවුරුදු සංවත්සර පත්‍රයේ එදා අවුරුද්ද ගැන අවබෝධයක් ඇති කරගත හැකිය.   
ශත වර්ෂ 1830න්, ගතවන අවුරුද්දේ මීන රවි 28 භාග අප්‍රේල් මස 10 වැනි සෙනසුරාදා ස්නානය කර ඉෂ්ට දේවතාවන් සිහිකර වාසය කළ යුතුය. මීන රවි 30 භාග අප්‍රේල් මස 12 වැනි සඳුදා උදයාදි 35 පැය විනාඩි 31න් නොහොත් ඔරලෝසු පැය ගණනින් (සවස) 8 පසු වී මිනිට්ටු 17න් මෙපිට කාබී සම්පූර්ණව (සියලු) වැඩ අත්හරිනු. අලුත් අවුරුද්දට එම දා උදයාදි 50 පැය විනාඩි 31 පටන් දහසය (16) පැයක් පුණ්‍ය කාලය බැවින් ඒ අතර විහාර චෛත්‍යය ස්ථානාදීන් වන්දනාමානාදිය කිරීම පිණිස දකුණු දිශාභිමුඛව පිටත්ව යනු. මේෂ රවි 1 භාග අප්‍රේල් මස 13 වැනි අඟහරුවාදා (උයද) ඉර මුදුනට යන්ට 28 පියවර අඟල් 3ට ඔරලෝසු පැය ගණනින් 7 පසුවී මිනිට්ටු 8ට දකුණු දිග බලා ආහාර පිස එතැන් පටන් 1 පැය විනාඩි 40ක් ඇතුළත නොහොත් ඉර මුදුනට එන්ට 15 පියවර අඟල් 3ට ඔරලෝසු පැය ගණනින් 7 පසු වී මිනිට්ටු 48ට දක්වා ඒ අතර රක්ත වර්ණ වස්ත්‍රාභරණ පැලඳ දකුණු දිග බලා ලබන රස සහිත සුදු ආහාර අනුභව කර සියලු වැඩ අල්ලා ගනුදෙනු කරනු.   
 
මේෂ රවි 5 භාග අප්‍රේල් මස 17 සෙනසුරාදා ඉර මුදුනට එන්ට 22 පියවර අඟල් 7ට ඔරලෝසු පැය ගණනින් 7 පසු වී මිනිත්තු 24ට උතුරු දිග බලා හිස තෙල් ගා ස්නානය කරනු. හිසට නුග කොළ පයට කරඳ කොළ නානුවට ගෝරොචන කුංකුමප්පු කලාඳුරු, සැවැන්දරා, ඉරිවේරිය, කහඉඹුල් කොළ, ස්වරස හිස ගා වැටකොළු වැටකේ විෂ්ණුක්‍රාන්ති සස්සඳ ගොඩමානෙල් නස්නාරන් මුල්, බෙලිමුල් නෙලුම් දඬු, ඉරිවේරිය, වෙනිවැල්ගැට, ඊතණ, ගෝරෝචන යන ද්‍රව්‍ය බහා කකාරන ලද ජලයෙන් ස්නානය කළ යුතුය.   
 
සඳ බැලීමට චන්ද්‍ර අවුරුද්දට (ශක වර්ෂ 1830න්) ගතවන මීන රවි 12 භාග මාර්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා සූර්ය අවුරුද්දට (ශක වර්ෂ 1831න් සිටි) මේෂ රවි 10 භාග අප්‍රේල් මස 22 වැනි බ්‍රහස්පතින්දා සඳ බැලිය යුතුය.   
 
සියවසකට පෙර ක්‍රි.ව. 1909 දී අවුරුදු කුමාරයා මෙලොවට පහළ වූයේ මෙසේය.
 
ශ්‍රී ශුද්ධ ශාලිවාහනාරූඪ ශකරාජ වර්ෂ ප්‍රමාණයෙන් එක්වා දහස් අටසිය තිස් එක් වැන්නෙන් මතු අවුරුද්ද එනම් ප්‍රභවාදි ෂෂ්ටි සංවත්සරයන් අතුරෙන් ඊශ්වර විංශතියෙහි චන්ද්‍ර යුග පංචාබ්දයෙන් තෙවන සෞම්‍යාභිධාන චන්‍ද්‍රාධිපති ඉඩා වත්සරය ගතවන අවුරුද්දේ මීන රවි තිස් භාගයට පැමිණි ක්‍රිස්තු වර්ෂ එක්වා දහස් නවසිය නවයක් (1909) වූ අප්‍රේල් මස දොළොස්වන (12) සඳු දින උදය නදී තත්පර පනහ (50) පැය විනාඩි තිස් එකකුත් (31) තත්පර පහළොහට (15) ඔරලෝසු පැය ගණනින් රෑ දෙක (2) පසු වී මිනිට්ටු දාහතකුත් (17) තත්පර දාහතට (17) ආරම්භ වන හෙයින් ඒ වෙලාවට ශූධ ශුභ පරභිත සිද්‍ධාන්ත ක්‍රමයෙන් ගැන දුටු ඉෂ්ට ලග්නස්පුට විසින් මකර ලග්නායෙන් රවි රාශ්‍යර්ධයෙන් කන්‍යා දුෂ්කාරණනාංශකයෙන් මකර ස්ප්තාංශකයෙන් කන්‍යා නවාංශකයෙන් මේෂ දශංශකයෙන් ධනු ද්වාදශාංශකයෙන් මේෂ කලාංශකයෙන් කුජ ත්‍රිංශාංශකයෙන් කුබෙර පෂ්ටාංශකයෙන් බක් මස අවසනවකින් පුවසළ නැකතින් ශිව යෝගයෙන් බව කරණයෙන් සෙමෝදර මුහුර්තියෙන් රාජ සගුණයෙන් අම:ත සඝටිකාවෙන් බුධ තත්කාල හෝරාවෙන් රවි රක්ත වර්ණව රක්ත වස්ත්‍රාභරණ මාලාදියෙන් සැරැසී අජ රූපාකාරයෙන් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වශයෙන් පැමිණෙන අතර මහමෙර පශ්චිම දිශා භාගයෙහි වූ ත්‍රිකූට පර්වතයෙහි ඊශ්වර අවතාරයෙන් මිහිගු දිව්‍ය පුතයාය යන නමින් ප්‍රදිසිද්ධව ඉපිද පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා ෂත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා දිවයහනෙක සිට යෙල ගව්වක් උස සමවන් රථයක් මවා එහි සමවන් යහනෙක දෑ සමන් මල් අතුට මුතු සුණු යාලයකින් සහ දිව සඳුනෙන් පිරිබන්ධ කර එකී රථයට සමවන් ගොනකු යොදා අතකින් පිච්ච මල් මාලාවක් සහ අංකුසයක් ගෙන එකී රථයට නැගී සිට සතර දිගට ගීත නාද පතුරුවා නොයෙක් නළු නාටකයෙන් සමවන් ගුරුළු මුඛ්‍යාකාර මාර්ගයකින් මෙලොව පහළවන්නේය’ යන බව ශාස්ත්‍රයෙහි දක්වා තිබෙන බැවින් මෙසේ නාඩි කලාංශකාදියෙන් ආරම්භ වන්නා වූ මෙම අභිනව වර්ෂයෙහි ග්‍රහ නක්‍ෂත්‍ර සංයෝග ආදියෙන් ප්‍රකාශ කටයුතු වූ රාජාධිපති ආදි ශුභාශුභ ඵල විපාක ක්‍රමය පූර්වාචර්‍ය්‍ය වචනානුකාරයෙන් මෙහි සංක්‍ෂෙපයෙන් දක්වනු ලැබේ.   
 
අවුරුදු නැකැත් ලීවේ පුස්කොළ සීට්ටුවේය. නැකැත් ගුරුන්නාන්සේ පන්සලේ ලොකු හාමුදුරුවෝ සමග එක් වී සෑදූ අවුරුදු සංවත්සරය තිබුණේ පන්සලේය. ලංකාවේ මුද්‍රණ ශිල්පය ආරම්භ වීමත් සමගම “පංචාංග ලිත” අච්චු ගස්සවා ප්‍රසිද්ධ කළේ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසිනි. එතුමා ලංකාවේ පළමුවරට ශත වර්ෂ 1776 සඳහා ඈපා පංචාංග ලිත ප්‍රකාශයට පත් කළේය.   
 
නැකත 
 
“නැකත” යන වචනය සංස්කෘතයෙන් ‘නක්‍ෂත්‍ර’ වශයෙන් ද පාලියෙන් ‘නක්ඛත්ත’ යනුවෙන් ද ආවෙකි. නැකත නම් සුබ හෝ අසුබ වේලාවයි. ඉර, හඳ, තාරකා, ග්‍රහයන් මුල් කරගෙන නැකත් යෙදේ. සිංහල අවුරුද්ද නැකතට මුල් තැන දෙන අතර එය මුළුමනින්ම රඳා පවතින්නේ නැකත මතය.   
 
පැරැණි මුතුන් මිත්තෝ භාරතයේ සියලුම දෙවිවරුන්ට නමස්කාර කළේ අපේ රටේ දෙවිදේවතාවුන් ද හවුල් කරගෙනය. ග්‍රහයන්ගේ පිහිටීමත්, එම ග්‍රහයන් දේවත්වයේ ලා සලකමින් නැතකට අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කළේය. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දේවාශිර්වාදය ලබා ගැනීමට පුද පූජා සිදු විය. අලුත් සහල් මංගල්‍යය, අඩුක්කු තැබීම, කංකාරී පැවැත්වීම, ගම්මඩු පැවැත්වීම, පමණක් නොව ක්‍රීඩා වශයෙන් පොර පොල් ගැසීම, අංඇදීම ආදිය ද මේ සඳහා යොදා ගැනුණි.   
 
තෙල් තාච්චිය ළිපේ තැබීමේ සිට සුබ නැකතට ගිනි දැල්වීම, අනුභවය, ගනුදෙනුව, හිසතෙල් ගෑම, ආදී අවුරුදු චාරිත්‍රවල සියලුම ප්‍රධාන අංග සිදු කෙරුණේ නැකත ප්‍රධාන කරගෙනයි.   
 
කෝඳුරුවන්ට හාල් කිරි 
 
හාල් කිරි කෑම යනු කෝඳුරුවන් සඳහා කරනු ලබන පූජාවකි. හාල් පිටිවලට පැණි හා දුරු මිශ්‍රකොට සාදන ලද හාල් කිරි දේව දානයට ද සම්බන්ධය. එහෙයින් පළමුකොට කොස් කොළ ගොටුවලට හාල් කිරි දමා බිත්තියේ යටලීය උඩ තබනු ලැබේ. හාල් කිරි නොදුන්නොත් කෝඳුරුවන්ගෙන් කරදර වෙතැයි ගැමියන් අතර මතයක් පැවැතුණි.   
 
අවුරුද්දේ අරුත   
 
අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රධාන වශයෙන් අවස්ථා 4කට බෙදා දැක්විය හැකිය.   
 
(අ) පරණ අවුරුද්ද   
(ආ) නොනගතය නොහොත් සංක්‍රාන්තිය   
(ඇ) අලුත් අවුරුද්ද   
(ඈ) හිස තෙල් ගෑම හා ස්නානය කිරීම යනුවෙනි.   
 
පරණ අවුරුද්දට අයත් වන්නේ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා කටයුතු සංවිධානය අවසන් කොට සියලු දෛනික කටයුතුවලින් මුළුමනින් මිදී සිටීමයි. එහෙයින් මෙම කාලය “සූදානම් වීමේ අවස්ථාව” ලෙස හඳුන්වමු. ඊළඟට එළැඹෙන නොනගත (නැකත් නැති) කාලය තුළ කිසිදු දෛනික කටයුත්තක යෙදීමට යෝග්‍ය නොවන හෙයින් මුළුමනින්ම පුණ්‍ය කටයුතුවල පමණක් යෙදිය යුතු වේ. එහෙයින් ඊට පුණ්‍ය කාලය යැයි ද කියමු. අලුත් අවුරුදු උදාව එළැඹෙන්නේ සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟය. අලුත් අවුරුද්දට සියලු දෛනික කටයුතුවලට නැවත මුල පිරීම මෙම මොහොතේදී සිදු වේ. ඉන් පසු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් රාශියක් ඉටු කිරීමට කාලය ලැබේ. අවසාන අවස්ථාව එළැඹෙන්නේ ඉන් දින දෙකකට පසුවය. ඒ සුබ නැකතින් නානු ගා ස්නානය කිරීම සඳහා වේ. නීරෝගි නිදුක් බව පතන අවස්ථාව මෙය වේ.   
 
‘අලුත් අවුරුද්දට දෙසතියකට හෝ තෙසතියකට පෙර වාර්ෂික ප්‍රධාන විවේක කාලය ආරම්භ වෙයි. මේ කාලයේ කුඹුරුවල වැඩ කටයුතු සඳහා සිත යෙදීම අනවශ්‍යය. එහෙත් මිනිස්සු අංකෙළිය වැනි ක්‍රීඩාවන්හි යෙදෙති.   
 
අලුත් අවුරුද්දට පෙර  
අවුරුද්ද ලබන නියම දිනය හා මොහොත   
නානුමුර මංගල්‍යයට සුදුසු නැකත   
අලුත් අවුරුද්ද සඳහා ආහාර අනුභවයට යහපත් නැකත   
ස්නානයට සුදුසු නැකත   
වැඩ ඇල්ලීමේ නැකත හා   
 
ගනුදෙනු කිරීමේ නැකත සම්බන්ධ තොරතුරු දැක්වෙන දැන්වීමක් පිළිවෙළ කිරීම ජ්‍යොතිෂ්ශාස්ත්‍රඥයන් සතු කාර්යයයි.   
 
නානුමුර මංගල්‍යය නම් අලුත් අවුරුද්ද ලැබූ විගස පිරිසිදු වීමේ උළෙලයි. මේ සඳහා දෙහි ඇඹුල්, සඳුන් සුණු, ආදියෙන් යුතු මිශ්‍රණයක් විශේෂයෙන් හිස සේදීම සඳහා භාවිත වෙයි. 
 
නැකතින් අරඹන සිංහල අවුරුද්ද   
 
සිංහල අලුත් අවුරුද්ද ඇරැඹීමේ ප්‍රථම චාරිත්‍රය වන්නේ ස්නානයයි. ගැමියන් කියන්නේ පරණ අවුරුද්ද සෝදා හැර අලුත් අවුරුද්දට අලුත් වනවා යන්නයි. එදා අප හෙළ දිව සිංහල ගැමියන් හැම දේම කළේ නැකැත් අනුවය. වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව පැවැත එන සිංහල චාරිත්‍ර විධිය. ඒ අනුව පරණ අවුරුද්දේ නෑම ද ඉතා වැදගත් චාරිත්‍රයකි.   
මෙම ස්නානය සඳහා ද නානු ගෑමක් සිදු කරනු ලබන්නේ අලුත් අවුරුද්ද හිස පිරිසිදු කරගැනීමට මෙන්ම අසනීප දුරු කරගැනීමටත්, කටවහ, ඇස්වහ දෝෂ හා ග්‍රහ දෝෂ දුරු කරගැනීමටත් බව කිව යුතුය. මේ සඳහා නානු පිළියෙල කිරීම පැරැණියෝ එක් ඖෂධ වට්ටෝරු ක්‍රමයකට සාදනු ලබයි. එසේ සාදනු ලබන නානු අටවිසි පිරිතෙන් විසි එක් වරු පිරිත් කරගැනීම ද ඇතැම් අය කරනු ලබන්නේ තව තවත් සෙත් ශාන්තිය ලැබෙනු පිණිසය. 
 
අවුරුදු උළෙලේ තවත් එක් චාරිත්‍රයකි, ළිප් බැඳ නැකැතට ගිනි මෙළවීම. ඉදිරි වර්ෂය තුළ දී ගෙදර ආහාර පානයෙන් අඩුපාඩුවක් නැතිව තිබීමට මෙන්ම ගෙදර අරපරෙස්සම් ආදිය ඇතිවීම සඳහා ළිප් බැඳ ගිනි මෙළෙවීම නැකැතට සිදු කරනු ලැබේ.   
 
ඇතැම් අය අවස්ථාවට ළිප් බැඳීම කරතත් බොහෝ අය තිබෙන ළිපේම ළිප ගිනි මෙළෙවීම පමණක් නැකැතට කරනු ලබති. මෙය ඒ, ඒ වසරට යෙදී ඇති මුහුර්තිය මත ඒ, ඒ දිශාව බලා කරනු ලබයි.   
 
බොහෝවිට ආහාර පිසීම කරනු ලබනුයේ ඒ, අලුත් අවුරුද්දට ජ්‍යොතිෂයේ නියම කරනු ලැබූ අයුරුය. හැමවිටම පාහේ කිරිබත් පිළියෙල කළ යුතු අතර, ඒවාට ගිතෙල්, උඳු, මුං, තල ආදියෙන් එක් වර්ගයක් හෝ වර්ග දෙකක් යෙදීම සිදු කරනු ලබයි. ඇතැම් විට උක් හකුරු, කිතුල් හකුරු යෙදීම ද කරනු ලබයි.   
 
ගනුදෙනු කිරීම ද නියම වේලාවට තමාට විශ්වාස, වඩා ආර්ථිකයෙන් දියුණු හොඳ කෙනෙකු ළඟට ගොස් මුදලක් බුලත් කොළයක තබා දෙනු ලබයි. එවිට අනික් පුද්ගලයා ඊට වැඩි මුදලක් එම කොළයේම තබා ආපසු දෙයි. එයින් මුළු වසරම ආර්ථික අතින් මහත් සේ ජය ලැබීමට හේතු වෙනවා යන්න විශ්වාස කෙරේ. 
 
නොනගතය   
 
 ඉපැරැණි හෙළ වදනක් ලෙස හඳුනාගත හැකි මේ නොනගත යන්න යෙදෙන්නේ අද ඇතැමුන් “පුණ්‍ය කාලය” නමින් ද ගන්නා අවුරුදු සංගරාන්දියටයි. නව වටය අරඹන්නට සැරැසෙන හිරු මීන රැසේ අගැ රේවතී නැකැතින් මේස රැසේ මුලැ අස්විද නැකැතට ගමන් ගනිද්දී ඒ දෙ නැකැතට මැ නැති අතුරු මැදි සමයයි.   
 නොනගත යන්නේ නිරුත වනුව එහි අරුත වනුයේ තම ම වෙසෙසින් නොපැමිණ යන්නයි.   
 
 න + අ + ගත - ගත - නොනගත යි.   
 
 ගත නම් ‘ග’ ගමන්හි කිරිය මුලින් වු කිරිය දුනු (කෘදන්ත) නාම යි. මෙහි ‘අ’ නම් අවුරුදු යන තන්හි වු මෙන් වෙසෙහි අරුත්හි උපසග යි. දැන් අගත නම් වෙසෙසින් පැමිණි යනු යි. න + අගත (නොනගත) නම් වෙසෙසින් නොපැමිණි යන්නයි.   
 
 බඩගින්න බසෙසින් පැවිණි යන අරුතැති සාගත (සා + අගත) යනු ද මෙබඳු තව ඉපැරැණි වදනෙකි.   
 
මල් පැල   
 
මේ සෑම නිවසකම මල් පැලක් ඉදිකර තිබෙනු දක්නට ලැබේ. ගම්බාර දෙවියන් වෙනුවෙන් අලුත් අවුරුද්දේ ඉදිකරන මෙම මල් පැලේ පානක් දැල්වේ.   
 
ඇල්බීසියා ලී හතරක් මත ගොක්කොළවලින් වියනු ලබන (පොල් අතු) මෙම මල් පැල ගේ දොරකඩ මුහුණ ලා තනන්නකි.   
 
 මල් පැල වියන විට සාමාන්‍යයෙන් ගමේ පොල් අතු වියන ක්‍රමයට පයට පාගා වියන්නේ නැත. විශේෂයෙන් මෙම ගොක් අත්ත වියනු ලබන්නේ පිරිමියකු විසිනි. එයට උඩින් පැනීමක් පවා කරන්නේ නැත. මල් පැල වියා එයට කහ දියර මිශ්‍ර ජලය ඉස දුම්මල ඇල්ලීම කෙරේ. අලුත් අවුරුදු උදාව සමඟම මෙහි පොල්තෙල් පානක් දල්වනු ලැබේ.   
 
 පුණ්‍ය කාලයේ වැදගත්කම   
 
 සෑම මිනිසකුටම වයස අවුරුදු 14න් පසු තම තමන් වෙනුවෙන් වෙන් වූ ඉෂ්ට දේවතාවෙකු ඇතැයි සිද්ධාන්තයක් ඉතා ඈත අතීතයේ සිටම පෙරදිග වැසියන් අතර පවතී. වයස අවුරුදු 14 දක්වා අයට රැකවරණය ලැබෙනුයේ තම මව්පියන්ගේ ඉටු දෙවියගෙනි. දැහැමි, අදැහැමි, දුප්පත්, පොහොසත්, සත්පුරුෂ, අසත්පුරුෂ, සැමටම ඔහුට හිතවත් ඉටු දෙවියකු වේ. හෙතෙම ඔහු රකියි. වසර පුරා තමන් හොඳින් ආරක්ෂා කළ ඉටු දෙවියන් සිහිකර ඔහුට පින් පෙත් දීම ඉෂ්ට දේවතානුස්මරණය යනුවෙන් හැඳින්වේ. මෙය පුරාණයේ සිට විශ්වාසයෙකි.   
 
 හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන වේලාව උග්‍ර ග්‍රහ බලවේගයක් ඇති වන වේලාවකි. මෙම බලවේගයට මුහුණ දී සිටීමට ඉටු දෙවියන් වැනි අල්පේශාක්‍ය දෙවියනට තබා මහේශාක්‍ය දෙවියනට ද නොහැකි වේ. එබැවින් මේ අවස්ථාව වනවිට දෙවියන් මිනිස් ලොව සමඟ තිබූ සිය සබඳකම් අත්හැර තම තමන් සතු දෙව් විමන්වලට වදිති. යළි ඔවුන්ට මිනිස් ලොව දෙස බැලිය හැකි වන්නේ පෙර කී ග්‍රහ බලය අවසන් වූ පසුය. මිනිසාට තමාගේ ඉටු දෙවියන් නැවත තමන් කරා කැඳවා ගත හැක්කේ ද ඉන් පසුවය. එනිසා ඔහු නා පිරිසිදු පේවී සිටිය යුතු යැයි පැරැන්නෝ කීවෝය.
   
බත ළඟට බුලත   
බුලත් අතක් අර ගනිමු   
දුම්කොළයක් එහි තබමු   
ගුරුතුම හට දී වඳිමු   
අවුරුදු සිරිතය කරමු   
 
 අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් යන දරුවාට බුලත් අතක් දී යැවීම පැරැණි සිරිතකි. අමතර තෑගි බෝග නැති වුවත්, අවම වශයෙන් තම දරුවාට බුලත් අතක් දී යැවීම ඉතාම දුප්පත් මව්පියෝ වුව ද කරති. එය සත් චාරිත්‍රයකි. 
 
 බෞද්ධයෝ සම්බුදු පියාණන් වහන්සේට ද බුලත් පූජා කරති.   
“නාගවල්ලි දලූපේතං   
චුණ්ණ පූග සමායුතං   
තාම්බුලං පතිගණ්හාතු   
සතං පූජේමි දංජිනෝ”   
 
යනාදී ගාථා කියා බුලත් විට බුදු හිමියනට ද පූජා කරනුයේ උතුම් වස්තුවක් නිසාය. භික්ෂුන් වහන්සේ වෙත ගෞරව පෙරදැරිව දානය පිළිගන්වා (බුලත් විට) පූජා කිරීම ද බෞද්ධ සිරිතය. අනෙක් පිරිත් පින්කම් ආදියේ ගිලන්පස පූජාව අදත් සිදුවේ.   
 
 ‘බුලත් විටක් කාපු කටින් සාදු කියාපන් කොල්ලෝ සාදු කියාපන්’   
 
 මෙබඳු රබන් පද ඇසෙනුයේ අවුරුදු සමයටය. ගෙදරකට අමුත්තකු ආ විට එදා මුලින්ම දුන්නේ බුලත් ඉලත්තට්ටුවය. මනාල යුවළක් පෝරුවේ සිටුවීමේ දී මාමණ්ඩියට දුන් තෑගි අතර රිදී කිල්ලෝටයක්, ඊට සරිලන ගිරයක් සහිත බුලත් මඩිස්සලයක් ද විය. මනාලියට දුන් භාණ්ඩ අතර, පිත්තල ඉලත්තට්ටුව හා පිත්තල පඩික්කම ද පිත්තල පොල් තෙල් පහන ද මුල් තැනක් ගත් බැව් පෙනේ.   
 
 අවුරුදු සංග්‍රහය සඳහා බුලත් අතක් දී පන්සලේ හාමුදුරුවන්ට, දෙමාපියනට, ගුරුවර වැඩිහිටියනට වැඳීම පුරාණයේ සිට පැවැතෙන සිරිතකි. අමනාප වූ අය අලුත් අවුරුද්දට සමා කරගැනීම සඳහා බුලත් අතක් දී වැඳීම තරම් උතුම් දෙයක් නැත.   
 
කෙහෙල්කන් බිං කෙරීම   
 
ගෙදර වත්තේ කොටුවෙන් කපාගන්නා ලද හොඳට පැසුණු කෙහෙල්කැන් කීපයක්, නිවස අසල වළක් කපා කැප්පෙටියා කොළ අතුරා ඒ දමා වළ දැමේ. එම වළ හොඳින් ආවරණය කොට පුංචි සිදුරක් සකසා එයින් පිදුරු දුම් පිඹ කෙසෙල්කැන් ඉදවා ගැනීමට කටයුතු කරති. මෙය කරනු ලබන්නේ අවුරුද්ද ලබන්නට දින තුන හතරකට කලින්ය. මෙම කටයුත්ත සෑම ගෙදරකම සිදුවේ. පිදුරු හා කැප්පෙටියා කොළ දුම නිසා කෙසෙල්කැන හොඳට ඉදෙන අතර එහි වස විස ඇති වීමක් ද නැත. 
 
කුණුමුත්තා පිදීම   
 
සිංහල අලුත් අවුරුද්දේ කෙරුණ චාරිත්‍රයකි කුණුමුත්තා පිදීම. එහෙත් දැන් එම චාරිත්‍රය දකින්නට ලැබෙතොත් ඉතාම කලාතුරකිනි. කුණුමුත්තා පිදීම චාරිත්‍රයක් වුව ද එක්තරා පූජාවකි. විශේෂයෙන් සත් කෝරලයේ මෙම පූජාව හැටේ දශකය වනතෙක්ම දකින්නට ලැබුණි. 
 
සිංහල අවුරුද්ද දවසේ පාන්දර ඉඳිකොළ ඉලපතෙන් ගේ අතුගා ගන්නා සියලු කුණු ඒ වසරේ පාවිච්චි කළ කුල්ලට දමයි. අවුරුද්ද දා උයන පිහන බත්, වෑංජන හා කැවිලි පෙවිලි වට්ටියකට දමා කුල්ලේ කුණු මත තැන්පත් කොට වත්තේ කෙළවරක කැලෑවක තැන්පත් කෙරේ. අවුරුද්ද මුළුල්ලේ ගේ අතුගෑ ඉලපත ද එහි තබනු ලැබේ. බත් සමඟ බුලත් විටක් ද කාසියක් ද ඇතැම් විටෙක තැඹිලි ගෙඩියක් හා හැලි අරක්කු වීදුරුවක් ද පිදේ.   
 
එකල අවුරුදු   
 
“එකල නුවර අවුරුදු පතා කෙළිනා වූ නැකැත් කෙළි නම් උත්සවයක් විය. එකල මතු මාලෙන් යට මාලට නොබස්නා යට මාලෙන් එළිපත් පැන පිටත නොයන කුල ස්ත්‍රීහු තම තමන්ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමඟ සියලු සතුන්ට පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහු ය.”   
 
 (පූජාවලිය 305 පි.)   
 
 “ඉක්බිති එක් දවසක රාජ පුරුෂයෝ හැමදෙනාම නැකැත් කෙළිය මැනවැයි කියා එ ගම්හි බෙර ලැවූහ. ඒ කල්හි නන්දිකයෝ තමන්ගේ මෑණියන් සමීපයට ගොස් කියන්නාහු මෑණියන් වහන්ස, අද මම නැකැත් කෙළි කෙළනා කැමැත්තෙමි, ඇඳගන්නට යහපත් හිණකඩක් දුන මැනවැයි කීහ. ඒ තෙපුල් අසා නන්දකයන්ගේ මෑණියෝ තෙල ඉණකඩ ඇඳගෙන කෙළින්ට යවයි කියා යහපත් කොට අපුලා තිබූ ඉණකඩ දුන්හ. ඒ දැක නන්දිකයෝ මෑණියන්ට කියන්නාහු මෑණියන් වහන්ස, මේ ඉණකඩ ඉතා ම දළ, අනික් ඉණකඩ දුන මැනවැයි කීහ.”   
 
(සද්ධර්මාලංකාරය 179 පි.)   
 
 “නානාරංගරත්තවත්ථං මනුඤ්ඤාලංකාරං නක්ඛත්තං කිළන්තං මහා ජනං සිද්වා බලව දෝමනස්සං උප්පජ්ජනති” (නොඑක් රජනින් රැදු හන්සළු ඇති සිත්කළු වූ පළන් අබරණ ඇති නැකැත් කෙළි කෙළනා වූ මහජනයා දැක බලවත් දොම්නස කෙමේ උපදනේයි”)   
 
(අභිධර්මප්‍රදීපිකා 479 පි.)   
 
මෙම පාඨයන් විමසා බලන කල නක්‍ෂත්‍ර තාරකාවන් හා සම්බන්ධව පැවැති වාර්ෂික උත්සවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. අද අප අලුත් අවුරුදු උත්සවය නමින් හඳුන්වනුයේ එදා පැවැති නැකැත් කෙළිය යැයි සිතිය හැකිය. අවුරුදු උත්සවයේ දක්නට ලැබෙන ඇතැම් කරුණු ඒ නැකැත් කෙළියෙහි ද පැවැති බව පෙනේ. විශේෂයක් ලෙස පෙනෙනුයේ එදා රජය මුල් වී මෙම නැකැත් කෙළි දිනය මහජනයාට අණ බෙර මඟින් දැනුම් දෙන බව සඳහන් වීමයි. 
 
වැදගත් කරුණු අරමුණු කරගෙන අවුරුදු පතා යම් යම් උත්සව පැවැත්වීමේ සිරිත ඈත අතීතයේ පටන් ශිෂ්ට සමාජ චාරිත්‍රයක් වශයෙන් පැවැති බව ඓතිහාසික හා සාහිත්‍යයික සාධක අනුව පැහැදිලි කරුණකි.
 
 
 
පී. ඇම්. සේනාරත්න