නව තාක්‍ෂණය සමග පාසලට එන ස්මාර්ට් පන්ති කාමර


 

 

වැලිපිල්ල, ගල්ලෑල්ල, පොත, කළුලෑල්ල, වයිඩ් බෝඩ් එක යනුවෙන් කාලයෙන් කාලයට පරිණාමය වූ අධ්‍යාපන ක්‍රමවේදයේ විප්ලවීය සන්ධිස්ථානය ලෙස ස්මාර්ට් පන්ති කාමර හඳුන්වා දිය හැකිය. 

 
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා​ෙග් සංකල්පයකට අනුව නව ලෝකයට ගැළපෙන තාක්‍ෂණය සහිත නවතම ක්‍රමවේදයකට ආරම්භ කර ඇති සහ ආරම්භ කිරීමට නියමිත ස්මාර්ට් පන්ති කාමරවල ක්‍රමවේදය මෙසේය.   


සුවහුරු පුවරුව හෙවත් ස්මාර්ට් බෝඩ් (මල්ටි මීඩියා බෝඩ්) භාවිතා කිරීම මගින් අධ්‍යාපන ක්‍රමවේදය සකස් වී ඇති අතර, ඒ සඳහා සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම ද සිදුවේ. මහා පොත් මල්ලකට සමුදී සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබාදීම මෙහි අරමුණ වන අතර ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය වැනි රටවල් මෙම ක්‍රමවේදයන් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත්තේය.   


මේ වන විට දිවයින පුරා සුවහුරු පන්ති කාමර රාශියක් ඉදිකර ඇති අතර සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද පුහුණු මධ්‍යස්ථාන හා දේශන ශාලා ඉදිකර තිබේ. එමගින් ප්‍රායෝගික පරීක්‍ෂණ, ප්‍රශ්න පත්‍ර, වෙනත් අධ්‍යාපන මෙවලම් හා අන්තර්ජාල මෙවලම් ආදී සියල්ල එකම තැනක සිට පරිශීලනය කිරීමේ අවස්ථාව ලැබෙන අතර විශ්වීය දැනුම ක්ෂණිකව ග්‍රහණය කරගත හැකිය.  


එසේම දුරස්ථ අධ්‍යාපන අවස්ථා එළිදැක්වීමේ එක් මෙවලමක් ලෙස මෙම ක්‍රමවේදය භාවිත කරන අතර එහිදී දුෂ්කර පාසලක සිටින දරුවන්ටද ජනප්‍රිය, හොඳ ප්‍රතිඵල සහිත වූ පාසල්වල ඉගෙනුම් ක්‍රියාවලිය ටැබ් පරිහරණය හරහා නැරඹිය හැකි වන්නේය.   


මෙවන්වූ ක්ෂණික හා ප්‍රතිඵලද‌ායක ක්‍රියා පිළිවෙතක් සහිත නියමු ව්‍යාපෘති 192ක් මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා ඒ සෑම පාසලකම ස්මාර්ට් පන්ති කාමරයක් නිමවා ඇත.   
මෙහි දිගුවක් ලෙස උසස් පෙළ හද‌ාරන සෑම සිසුවෙකුටම ටැබ් පරිගණකයක් ලබා දීම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ අරමුණ වෙයි.   


එහිදී ස්මාර්ට් පන්ති කාමරයකට අවශ්‍ය බොහෝ පහසුකම් සැලසීම සිදුවන අතර, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව යනාදී ආයතන මගින් ඉගෙනුම් මෙවලම් සකස් කිරීම සිදු කෙරේ.   

 

 


උද‌ාහරණ ලෙස ඊ පෙළ පොත්, පාස් පේපර් පොත්, යූ ටියුබ් හරහා අධ්‍යාපන පාඨමාලා සලසාදීම ආදිය පෙන්වාදිය හැකිය.   


මේ වසරේදී ටැබ් පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වේ.   


එසේම මේ වන විට පරීක්ෂණාත්මකව පැවති නව අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රතිඵල ලැබෙමින් පවතින අතර සිසුන් ඒ සඳහා ආශාවෙන් නැඹුරුව ඇති බව අනාවරණය වී ඇත.   
ඊට හේතුව රූපසටහන් අධ්‍යාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ත්‍රිමාණ රූප සහිත වැඩසටහන්වලින් ඉතා සරලව හා පැහැදිලිව දැනුම ලබා ගැනීමට හැකිවීමයි. අලුත් අත්දැකීමට මුහුණදීම යහපත් ප්‍රතිඵල දක්වා ඇති බව හා ඉන් පාසල් ළමුන් විෂය කරුණු ආශාවෙන් මතක තබා ගන්නා බවද තහවුරු වී ඇත.   


මේ නිසාම මුලින් ආරම්භ කළ ස්මාර්ට් පන්ති කාමර ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කරමින් මුළු රට පුරා පන්ති කාමර 450ක් නිම කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අඩිතාලම දමා ඇත. එහිදී උසස් පෙළ සිසුන් සියලු දෙනාට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට නියමිතය. ඒ සඳහා අතුරු අයවැයෙන් මිලියන 5ක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.   


‘‘ළඟම පාසල හොඳම පාසල’’ යන තේමාව යටතේ මෙම සුවහුරු පන්ති කාමර ඉදිකිරීම සිදු කෙරෙන්නේය.   


එහිදී මූලික අදියර ලෙස එක් පාසලකට එක් පන්ති කාමරයක් බැගින් නිම කිරීමට පියවර තබා අැති අතර ඊට සිසුන් බඳවා ගැනීමට විදුහල්පතිවරුනට සාධාරණ ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීමේ බලය පවරා තිබේ. සුවහුරු පන්ති කාමරයේදී විද්‍යා හා ගණිත විෂයන්ට ප්‍රමුඛතාව ලැබීමත් විශේෂිත කරුණකි.   


මීට අමතරව අන්තර්ජාල පහසුකම් නැති පාසල් සඳහා වයිෆයි ලබාදීම හා ස්කූල් නෙට් පහසුකම් ලබා දීම සිදුකිරීමට නියමිත අතර රට පුරා නව අධ්‍යාපන ක්‍රවවේදය ව්‍යාප්ත කිරීම අරමුණ වෙයි. විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් සලසා දීමේදී ළමයින්ට ලබා දෙන ටැබ් පරිගණක යම් නියාමනයකට යටත්ව ලබා දීමට නියමිත අතර ඉන් අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය අනවශ්‍ය දර්ශන නැරඹීමට අවස්ථා සීමා වෙයි.   


එවන් වූ ක්‍රමානුකූල ක්‍රමවේදයකට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. දියුණුවන ලෝකය තුළ හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය විධිමත් තාක්‍ෂණික දැනුමකින් ඔප් නැන්වීම අධ්‍යාපන ඇමතිතුමාගේ අරමුණ වී තිබේ. ලෝකයේ අධ්‍යාපනය දියුණුම රටවල් ලෙස පිළිගන්නා දකුණු කොරියාව, ෆින්ලන්තය සේම වත්මනෙහි ඉන්දියාවද ඉංග්‍රීසි භාෂා හා තාක්‍ෂණ ඥ‌ාණය වර්ධනය කර ගනිමින් මෙම අධ්‍යාපන රටාවෙහි ප්‍රතිඵල දක්වා ඇත්තේය.   


අධ්‍යාපන ඇමතිතුමා​ෙග් දැක්ම අනුව තාක්‍ෂණය හොඳ සහ නරක පැති දෙකක් ඇත. එහෙත් ස්මාර්ට් පන්ති කාමරය තුළින් තාක්ෂණයේ ධනාත්මක පැතිකඩ දරුවන්ට ද‌ායාද කිරීම සිදුකිරීම අරමුණ වෙයි.   


‘‘ළඟම පාසල හොඳම පාසල’’ කිරීම යන තේමාවේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අංගසම්පූර්ණ පාසල් දෙකක් නිම කිරීම ​ඔහුගේ තවත්අපේක්‍ෂාවකි. එහි එක් දිගුවක් ලෙස අන්තර්ජාල අධ්‍යාපනය උරගා බලන ස්මාර්ට් පන්ති කාමර ක්‍රමවේදය හැඳින්විය හැකිය. 

 

 

 

 

 
විශේෂ ස්තූතිය:  


අධ්‍යාපන ඇමැතිතුමාගේ මාධ්‍ය ලේකම් 
කල්ප මහතාට
සටහන කුමාරි හේරත්