දේශයේ ගෞරවයට අභීතව මුහුණ දුන් ජේ.ආර්. ජයවර්ධන


සැප්තැම්බර් 17ට යෙදෙන උපන් දිනය නිමිත්තෙනි.

 

ජනතාව ඔහුගේ මනෝමූලික ක‍්‍රියාකාරකම්, අදහස් හා පැවැත්ම ගැන දන්නේ සොච්චමකි. ඒ නිසාම ඉතිහාසයේ අතිශය අවදානම් කාලපරිච්ෙඡ්දයන් සම්බන්ධව, ඔහු කටයුතු කළ ආකාරය, ගත්තා වූ නිගමන ගැන ජනතාව කතා කළේ ද හරිහැටි කරුණු නොදැනය.   


ජනතාවට ඔහුගේ බලය, විධායකත්වය, ක‍්‍රියාකාරීත්වය ලොව සිරිතට අනුව, ස්වයංක‍්‍රීයව දැනෙමින් තිබුණා විනා එක එල්ලේම ප‍්‍රදර්ශනය නොවීය.   


ඔහුගේ පිළිමලුන්, ‘ලූලා නැති වළේ’ අද රජයති. ඔහුගේ නාමය ජන සමාජයෙන් ලොප් කිරීමට ද ඇතැමුන් සිටී.
සමකාලීන අනෙකුත් විධායක ජනාධිපතිවරුන් මෙන් ඔහු ප‍්‍රතිරූපය හෝ ස්වරූපය හුවා දැක්වීමට, අප‍්‍රකට හෝ සුප‍්‍රකට අභ්‍යාසවල නොයෙදුණේය.   


ඔහු වෙනුවෙන් කිසිවකු ගී නොලිවීය. ග‍්‍රන්ථ රචනා නොකළේය.      


ලංකාවේ අනාගතය, ජනතාව විසින්ම මකර-කටට ඇදගෙන යන යුගයක අනුන් විසින් මිහිදන් කරන ලද ජේ.ආර්. ගේ අතීත තීරණ, නූපන් අනාගතයේ දී වුව ද යළි යළි දැක ගන්නට අවශ්‍යවනු ඇති. එවැනි අවස්ථාවල දී පමණක් ගොඩ එන ඒ මිහිරි සත්‍යය, අපේ ඉතිහාසයේ සැබෑ වීරයන් හා සැබෑ සතුරන් කවුදැයි නිරාවරණය කරයි.   


අසූවේ දශකය (1980) මුල භාගයේ දී, ‘ප්ලොට්‘(PLOTE), සංවිධානයේ මූලිකත්වයෙන් ඉන්දීය ද්‍රවිඩයන් මෙරට මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මුලතිව්, මඩකළපුව හා අම්පාර දේශසීමාවන් හි පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් තිබුණේය. ඒ ක‍්‍රියාවලියට සහයෝගය දුන් SEDEC, OXFAM, NOVIB, TRRO, SCOTS, GTZ, RED, BARANA නමැති රාජ්‍ය නොවන සංවිධාන නිසා 200,000ට වැඩි ඉන්දීය ද්‍රවියෝ ඉහත ප‍්‍රදේශවල ශීඝ්‍රයෙන් ජනපද හදා ගත්තෝය.   


මෙයින් කැකෑරෙමින් ආ ගැටුම් වර්ධනය හෝ මර්දනය කිරීමට පෙරමුණ ගත් අයෙකි, ජී. පර්තසාරතී. මුලින්ම ජයවර්ධන මහතාත්, දෙවනුව ද්‍ර.එ.පෙ. (TULF) මුණ ගැසුණු පාර්තසාරතී, 1983 නොවැම්බරයේ දී නව දිල්ලියේ මුළු දෙවුණු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ දී මේ ගැන සාකච්ඡා කරන්නට ජේ.ආර්. ට මගක් පිළියෙල කළේය. 1983 නොවැම්බර් 24 වැනිදා සමුළුව අමතමින් කතා කළ ඔහු, අවසානයේ දී මෙසේ ද කීවේය.   


“ශ‍්‍රී ලංකාව පුංචි රටකි, අපට ඇත්තේ මිනිසුන් ලක්ෂ 150කි. ඕනෑම කෙනකුට අපව ආක‍්‍රමණය කළ හැකිය. කිසිවකුට එරෙහිව සටන් වදින්නට මම කිසිවකුවත් සන්නද්ධ නොකරමි. අපේ ආයුධ සම්පූර්ණයෙන්ම ආත්මාරක්ෂාවට පමණි. මට ශක්තියත්, ජීවිතයත් ඇත්නම්, මගේ ජනතාවට අත පෙවීමට කිසිවකුටවත් ඉඩ නොතබමි. කවුරුන් විසින් හෝ ආක‍්‍රමණය කරනු ලැබුවහොත් හා කවුරුන්ටවත් අයිති නොවීම සඳහා මේ මිනිසුන් ලක්ෂ 150ටම මියදෙන්නට වුවත්, තීරණයක් ගත හැකිය.”   


ජේ.ආර්. ඒ කතාව කළේ එහැම පිටින්ම භාරතයට ගොසිනි!   


1984 මාර්තු වනවිට, ඉන්දියාව සමඟ අලුත් මිත‍්‍රත්ව ගිවිසුමක් ඇතිකර ගැනීමටත්, (ඉන්දියාවේ කොටි කඳවුරු පෙන්වා දීමටත්) ඒකාබද්ධ පරීක්ෂණ මෙහෙයුමක් සංවිධානය කරන්නටත්, ජේ.ආර්. සැලසුම් කළේය. නමුත්, ඉන්දියාව ඊට බියවිය.   


ඒ ආසන්නයේම 1984 මැයි 20 වැනිදා කළ චීන සංචාරයේ දී ජේ.ආර්. එහි ජනාධිපති ලී ක්ෂෑන් නියැන්ට මෙසේ කීය.   


“2500 වසරක් වූ ශ‍්‍රී ලංකා ඉතිහාසය මුළුල්ලේම අපව කොතෙකුත් ආක‍්‍රමණය කර ඇතත්, අපි කිසිදා යටත් නොවීමු. ඒ තරමටම අපේ මිනිසුන්ගේ ශක්තිය අසමසමය. ඔහු සටන් වදින්නේය. අපව ආක‍්‍රමණය කළහොත්, ලක්ෂ 150ක් වන අපේ මිනිසුන් යටත් නොවෙමින් මිය යනු ඇත.”   


මේ හමුවෙන් පසුව, චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මිලිටරි කොමිසමේ සභාපති වූ ඩෙං ෂියාවෝ පෙං, ජේ.ආර්. ට මුණ ගැසුණේය. (එහි දී ඔහු පැවැත්වූ කතාව සැලවීමෙන්, එවකට ඉන්දීය අග‍්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි බොහෝ කෝපයට පත්වූවාය.)   


ජේ.ආර්. ගේ මතයට ඉහළින් වැඩ කරන්නට සමතෙක් ඒ දිනවල ඔහුගේ කැබිනෙට්ටුව තුළ ප‍්‍රසිද්ධියේ ඉස්මතු නොවීය.   


මේ නිසා යම් යම් අවස්ථාවල දී, තමන්ගේ ස්ථාවරය මුළු රටේම තීරණය ලෙස වුවමනාවටත් වැඩියෙන් පිළිගැනුණු වාර බොහෝය. එයින් එක් අවස්ථාවක් 1983 දී උදාවිය. එදින වෙනත් බාධාවන් නිසා ජේ.ආර්. ගේ මතය බොඳවී නොගියා නම් මේ වනවිට ‘ඊලාම් යුද්ධයේ’ කතා නායකයා මියැදෙන්නේ 1983 දීමය!  

 
එය මෙසේය.   


ප‍්‍රභාකරන්, ‘ටෙලෝ’ සංවිධානයට එක්වීමේ දී තමන් වඩාත් ආදරය කළ ‘කොටි’ නාමය අතහරින්නැ’යි ‘තංගදුරෙයි’ නමැත්තකු ඔහුට කිව්වත්, ප‍්‍රභා ඊට ඇහුම්කන් නොදුන්නේය. TELO කණ්ඩායම, වැල්වැටිතුරෙයි සිට යාපනයට මුලින්ම ව්‍යාප්ත වූවකි. පසුව ඔවුහු බම්බලපිටිය, වැල්ලවත්ත වැනි ප‍්‍රදේශවලට ද පැමිණියෝය. SRI නාමය අපල යැයි ද එය SHRI ලෙස භාවිතා කළ යුතු යැයි අගමැති ආර්. ප්‍රේමදාසට කියා සිටියේ ද TELO සංවිධානයයි. ප්‍රේමදාස එය විශ්වාස කළ අතර, එම සංවිධානයට මෝටර් රථයක් ද තෑගි කළේය. දැනට විදේශගතව සිටින ‘කුගන් ෂාප්’ නොහොත් විනෝදලිංගම් ඒ වකවානුවේ ශ‍්‍රී ලංකාවේ සිටි අතර, එ.ජා.ප. යේ ගාමිණී දිසානායක, ජී.එම්. ​ෙප්‍ර්මචන්ද්‍ර ඇතුළු පතාක යෝධයන් කිහිපදෙනකු ඝාතනය වුණු කොස්ගස් හන්දියේ රැස්වීමට TELO සංවිධානය ද සහභාගී විය. බෝම්බය පුපුරන්නට විනාඩි 5කට පමණ පෙර, එවකට TELO මහලේකම්ව රැස්වීමට සහභාගීව සිටි එම්. සිවාජිලිංගම් එතනින් පිටත්ව ගියේය.   


1981.04.03 වැනි දින තංගදුරෙයි හා කුට්ටිමනී අත්අඩංගුවට ගැනීමෙන් පසු, ශ‍්‍රී සභා රත්නම් ටෙලෝ හි නායකත්වයට පත්විය. ජෙගන්, කුට්ටිමනී, තංගදුරෙයි බෝට්ටුවකින් ඉන්දියාවට පලා යද්දී, මාහල්කඩුව දී අත්අඩංගුවට ගැනීමට ඔත්තුව දුන්නේ ප‍්‍රභාකරන් යැයි ටෙලෝ සංවිධානය කියයි.   


තංගදුරෙයි අත්අඩංගුවට ගත් පසු, ප‍්‍රභාකරන්ව මරා දැමීමට එක් දිනක් ඉල්ලීය. (නමුත් එයට ආණ්ඩුවෙන් කැමැත්තක් නොවීය). ඉන්පසු තංගදුරෙයි ඩෙන්සිල් කොබ්බෑකඩුව හරහා ද ප‍්‍රභාකරන්ව මරා දැමීමට එක් දිනයක් දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. පොරොන්දුවට සහතික රක්ෂණයක් වශයෙන් තමන් එම කටයුත්ත කර එනතුරු සිය පවුල රජයට භාරදීමටත් ඔහු එකඟත්වය පළ කළේය. 1983 දී එවකට එජාප සභාපති වූ එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතාව සහාය කරගෙන, ජේ.ආර්. තංගදුරෙයි සමඟ රහස් සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කළ නමුත්, 1983 ජුලි කලබලවලින් ඒවා අහෝසි විය!   


එම වෑයම අසාර්ථක වුවත්, ඒ වෙනුවෙන් ඔහු තම අභිමතය ක‍්‍රියාවට නැංවීම දේශපාලනයේ විරල සිදුවීමකි. එම විරලකම පමණක් නොව, තම ගතිස්වභාවයත්, එවකට කැබිනෙට්ටුව තමනට අවනත වී සිටි ආකාරයත්, ජේ.ආර්. දිනක් මෙසේ අනාවරණය කළේය.   


“ජනාධිපති වශයෙන් මා කැබිනෙට්ටුව ඉදිරියේ කටයුතු කරනවිට, අමාත්‍යවරුන් කරන ප‍්‍රකාශවලට මම ඇහුම්කම් දුන්නෙමි. අවසානයට එළඹීමේ දී මම මගේ විනිශ්චය දෙන්නෙමි. එය සම්මුතියක් වුවත් නැතත්, භාරගන්නා ලදුව ක‍්‍රියාවට නැංවෙන්නේ මවිසින් කියන ලද කාරණායි.”   


ජේ.ආර්. නිතරම ප‍්‍රශ්නවලට එළිපිට මුහුණ දුන්නේ ය.   


1970 ගණන්වල ජ.වි.පෙ. ඉතා කෲර අන්දමින් ක‍්‍රියාකරන අවස්ථාවක, සබරගමුවේ එවකට ශ‍්‍රීලනිප ප‍්‍රබලයා වූ නන්ද එල්ලාවල ජේ.ආර්. ට පැමිණිලි කළේය.   


“කර්නල් ලකී අල්ගම, පොලිස් අධිකාරී එච්.එම්.එස්. හේරත් ජ.වි.පෙ. මර්දනයට කටයුතු කරන්නේ නෑ. ඔවුන් අල්ලාගෙන මරා දාලා හරි ඉක්මනට ඉවරයක් කරන්න බලන්නේ නැහැ.” ඔහු එවකට පාලකයාව සිටි ජේ.ආර්. ට කිව්වේ ය.   


මේ තිදෙනාම කැඳ වූ ජේ.ආර්., පළමුව තිදෙනාටම “වාඩිවෙන්න” යැයි කීය. දෙවනුව එල්ලාවල තම චෝදනාව නැවත ප‍්‍රකාශ කළේය.   


 ඒ අවස්ථාවේ මැදිහත් වූ රනිල් වික‍්‍රමසිංහ “මේ නිලධාරීන් දෙදෙනා ඉතා උසස් අයුරින් සබරගමුවේ නීතීය හා සාමය වෙනුවෙන් කටයුතු කරන බව අපට විශ්වාසයි” යැයි කීය.   


“ඔබට දැන් යන්න පුළුවන්” යැයි ජේ.ආර්. දැනට ජීවතුන් අතර නැති ලකී අල්ගමටත්, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම ගිය එච්.එම්. සිරිසේන හේරත් මහතාටත් කීය.   


 නන්ද එල්ලාවල ගේ චෝදනාව තම පක්ෂයේ විශ්වාසවන්තයන්ගේ රෙකමදාරුව පිට විසිවිය.   


ජේ.ආර්. සිය පක්ෂයේ හා පාක්ෂිකයන්ගේ වටිනාකමට එදා ඒ අයුරින් උසස් මිම්මක් පවත්වාගෙන ගියේය.   


එයින් දින කිහිපයකට පසු ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය විවෘත කරමින් කතා කළ ජේ.ආර්., “යාපනය නිදහස් කරගන්නා තුරු ශ‍්‍රී ලංකා හමුදාව සටන් කරනු ඇතැයි ද පැවැසීය.”   


එදින සවසම ඩික්සිත් වෝඩ් පෙදෙසේ නිවසේ දී ජේ.ආර්. හමුවිය. ඩික්සිත්ට රජීව් ගාන්ධි දුන් දුරකථන ඇමතුම ඔහු ලිපි කවරයක ලියාගෙන ඇවිත් තිබුණේය. ඒවා අතර මෙම ප‍්‍රධාන මාතෘකා විය.   


1. තදබල අයුරින් පීඩාවටත් නොකැමැත්තටත් පත්වීමි.   
2. 1983 ට පසු දහස් ගණනක් ජනතාව මරා දමා ඇත.   
3. යාපනය අර්ධද්වීපය තුළ ඔබ විසින් කරනලද අලුත්ම පහරදීමෙන් අප අතර පැවැති අවබෝධයේ පදනම සහමුලින්ම වෙනස්කර ඇත.   
4. ආක‍්‍රමණය, ඝාතනය අපි භාර නොගනිමු.   
5. අපේ ප‍්‍රතිපත්ති විවරණය කිරීමට අපට බලපෑම් නොකරන්න.


ජේ.ආර්. එම පණිවිඩය කියවා බැලූ නමුදු, කෙරෙමින් පැවැති යුද්ධය නොකඩවා කරගෙන යන්නට ඉඩ දුන්නේය. ජාත්‍යන්තර බලවේගවලට, විදේශයකට යට නොවී වැඩකරන හැටි මුලින්ම පෙන්නුවේ ඔහුය! (1987)   
1987.05.28 වැනි දින වනවිට, ශ‍්‍රී ලංකා හමුදාව බංකර 32ක් විනාශකර තිබුණි. වැල්වැටිතුරෙයි ද අල්ලා ගත්තේ ය.   
රජීව්, ජේ.ආර්. ට දුරකථනයෙන් කතා කළවිට තමන් යාපනයට අවශ්‍ය දෙයක් කරන බව ජේ.ආර්. පෙරළා පැවැසීය. (මෙම පණිවිඩය සැලවීමෙන් නොසන්සුන් වූ එම්.ජී.ආර්. වහාම නවදිල්ලියට ගොස්, රජීව් ව පුද්ගලිකව බැහැදුටුවේ ය.)   


1987.08.12 වන දින ඩික්සිත්, ජේ.ආර්. ට ‘තර්ජනය’ කරමින් යාපනයට අත නොතබන ලෙස දැන්වීය. ඒ සම්බන්ධව ජේ.ආර්. ගේ මතකය මෙසේ ය.   


“අපට යාපනය අත්පත් කර ගැනීමට ඉන්දියාව ඉඩ නොදෙන බව තමන්ට දන්වා ඇතැයි ලලිත් ඇතුලත්මුදලි මට කීවා. මගේ ප‍්‍රහාරය නොකඩවා සිදුකරන්නට තිබුණා නම්, මට ලලිත්ව පහ කරන්නට සිදු වූවා. එවිට ඉන්දියාව ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය නොකරාවි. ඉන්දියාව කොටි සංවිධානයට උදව් කරාවි. මම නිකම් පඹයකු වේවි!”   


ගැටුම් උත්සන්න වෙද්දී 1987.06.01 වැනි දින සිට රජීව් හා ජේ.ආර්. අතර විශේෂ සන්නිවේදන මාධ්‍යයක් ඇරඹිණි. සියලු පණිවිඩ ‘අතිශය රහසිගතයි’ නම් වූ අතර ඒවා දැක්කේ ජේ.ආර්. හා රජීව්/රෝ කණ්ඩායම පමණි.  

 
ගුවනින් ආහාර ගෙනවිත් යාපනයට අතහැරීම පිළිබඳව වාතාවරණය ඇති වෙද්දී, යළිත් ජේ.ආර්. හා රජීව් අතර උණුසුම් වුවත් විචක්ෂණ අදහස් හුවමාරුවක් සිදුවිය.   


1987.06.02 වැනි දින ජේ.ආර්. විසින් රජීව් ගාන්ධිට යැවූ රහස් පණිවිඩය.   


“ඔබ දැනටමත් දන්නා පරිදි, ආධාර එවීමේ නිවේදනය නිකුත් කළාට පසුව, ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් බොහෝ දෙනකු කොටි සංවිධානය විසින් මරාදමා තිබේ. ඔවුහු තවතවත් සැලසුම් කරමින් සිටිති. ඔබ විසින්ම මෙවැනි ක‍්‍රියාකාරකම් හෙළාදැක තිබේ. මෙම කරුණු ඉදිරියේ ත‍්‍රස්තවාදයට විරුද්ධවන්නා වූ ද ත‍්‍රස්තවාදයෙන් බැටකන්නා වූ ද අප දෙදෙනාම ආධාර අවශ්‍ය අයට ආධාර කිරීමට අප එකඟ වී සිටියදීත්, ගුවනින් ආහාර බෙදීම ගැන රණ්ඩු කරන්නේ ඇයි? යාපනයේ දිසාපති මාර්ගයෙන් එහි ජනතාවට අපට උපකාර කළ හැකිය. මෙම කාර්යාවලියේ දී ඔහු සමඟ කෙබඳු පිරිසක් සහභාගී විය යුතු ද යන්නත් අපට කතාබස්කර එකඟවීමට පුළුවන.”   


ජේ.ආර්. ගේ නුවණ එසේ වුව ද රජීව් ගාන්ධි යාපනය සම්බන්ධව හිතුවක්කාර තීරණයක් ගත්තේය.   


යාපනයට ආහාර ගෙනා ‘වික‍්‍රම්’ නැව ඇතුළු ධීවර යාත‍්‍රා 19ක් පෝක් සමුද්‍ර සංධියේ දී ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කෙරිණි.   


ඉන්දියාව කලබල විය. රජීව් ගාන්ධි ගෝවේ සිට නවදිල්ලියට ආවේය. පස්වරු. 1.00ට රැස්වීමක් විය. ‘රෝ’ සංවිධානයේ ශ‍්‍රී ලංකාව භාර ‘චන්ද්‍රන්’ හෙවත් එස්. චන්ද්‍රසේකරන්ට, ද්‍රවිඩ සංවිධානවල අදහස් විමසීම භාරවිනි.   
ඊට එම්.ජී.ආර්. මෙසේ කීය.   


“යාපනයේ දී කොටි සංවිධානය පරාජය වන්නට ඉඩ දෙන්න එපා. කොටි සංවිධානය රැකගත යුතුයි.”   


මේ අනුව 1987.06.04 වන දින (15.30 වන පැයට) ඒ.එන්.32 ගුවන් යානා පහකින්, ආහාර මෙට්‍රික් ටොන් විසි පහක් අඩි 1500ක දී යාපනයට අත් හැරිනි. මෙම ‘මෙහෙයුම’ ඔවුන් නම් කර තිබුණේ ‘මල් දම මෙහෙයුම’ නමිනි.   
ඉන්දියාව, ලංකාවට ගුවනින් (පරිප්පු) ආහාර බෙදීමෙන් පසු, ජුනි 17 වැනිදා පැවැති ‘සාක්’ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට ශ‍්‍රී ලංකාව සහභාගී නොවීය. ඉන්දියාවේ එම්.ඩී. තිවාරි, යුද සහාය පතමින් රුසියාවට ගියේය. ශ‍්‍රී ලංකාවේ රනිල් වික‍්‍රමසිංහ, යුද සහාය පතමින් පකිස්තානයට ගියේය. ඊට මසකට පමණ පසු , ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් තැබිණි. ඒ සඳහා 87-07-29 වන දින පෙරවරු 10.00ට KIA ගුවන් යානයකින් රජීව් ගාන්ධි ලංකාවට පැමිණියේ ය. ඒ වනවිට ජනපති මැඳුරේ සියලු කටයුතු සූදානම් වෙමින් තිබුණි.   


පස්වරු 3.37ට අත්සන් තැබීමෙන් පසු, ඊට මාසයකට පෙර රජීව් ගාන්ධි විසින් යානයට හෙලූ ආහාර ගැන රජීව්ට මතක් කළ ජේ.ආර්. මෙසේ කීය.   


“එදා ඉන්දියාව කළ දේට මම සමාව දෙන්නම්, නමුත් ඒක මම අමතක කරන්නේ නැහැ.”   


දැඩි ඇමෙරිකන්වාදියකු ලෙස සිය ප‍්‍රතිවාදීන් විසින් හංවඩු ගසන ලද ජේ.ආර්., සැබවින්ම ඇමෙරිකන් ගැත්තෙක්දැ’යි විමර්ෂණය කිරීම ‘ඉන්දු-ලංකා’ ගිවිසුම නිමිත්තකි.   


මෙම ගිවිසුම ගැනවත්, අත්සන් තැබීම ගැනවත් ජේ.ආර්. වොෂින්ටනයට දැනුම් දුන්නේ නැත. නමුත්, ලෝකයේ ඇතැම් අය මෙන්ම, ඇමෙරිකාව ද ජේ.ආර්. දෙස ඒ මොහොතේ බලා සිට ඇති විත්තිය ඔහු තේරුම් ගත්තේ පසු දවසකය.   


අහම්බෙන් මෙන් ‘ඉන්දු-ලංකා’ ගිවිසුම ගැන ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය දැන ගත්තේ, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් - වොයිස් ඔෆ් ඇමෙරිකා සේවයත් අතර වූ රැස්වීම් හදිසියේ අත්හිටවීමේ දී ය. ඒ අනුසාරයෙන්, ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් පවතින බව එවකට මෙහි ඇමෙරිකානු තානාපති ජේම්ස් ස්පේන්ටර් ට දැන ගන්නනට ලැබිණි. එයින් ස්වල්ප කාලයකට පසු, ජේ.ආර්. ඇමෙරිකාවෙන් හෙලිකොප්ටර් යානා අමතර කොටස් ඉල්ලූ විට, ඒවා ලබාදීමට නම් ඉන්දියාවේ අවසරය ලබාගත යුතු බව ඇමෙරිකාවේ පිළිතුර විය. එය ලැබුණේ ඇමෙරිකා විදේශ මිලිටරි අලෙවි ණයක් හැටියටය. ඉන්දියාව සමඟ ‘ගිවිසුම’ ඇතිකර ගන්නට යන බව ඇමෙරිකාවට කලින් නොකී නිසා මෙසේ කරන්නට සිදුවුණු බව” පැවැසීය.   


අඩු අත්දැකීම් සහිතව දේශපාලනයේ නියැලුනු ඉන්දීය අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි, ජේ.ආර්. ගේ උපදේශාත්මක අදහස් විශ්ලේෂණය කළා නම්, තමා විසින්ම නඩත්තු කළ දාමරිකයන් අතින් ඔහු මියැදෙන්නේ නැත.   


ජාතිවාදී ගැටුමට යුද්ධමය විසඳුමක් නොපමාවම සොයමින් සිටින මොහොතක, ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ්වඩ් අසාද් වෙත පළකළ අදහසකි.   


“ඉලක්කය කොතරම් පිරිසුදු වුවත්, හිංසාව අඩුවෙන්ම අවශ්‍ය බව අවබෝධ කරගන්නට, රජීව් ගාන්ධිට සිදුවනු ඇති. අවිහිංසාවේ වැදගත්කම ඉන්දියාවට තේරුම් ගොස් තිබේ. අහිංසා ධර්මයෙන් සටන් වැදීමේ පාරම්පරික ප‍්‍රතිපත්ති මත නොයැළීම වර්තමාන ඉන්දීය නායකත්වයට ලජ්ජාවකි. ඉන්දියාව වැනි ශීලාචාර සමාජවලට, කැලෑවේ නීතිය කඩා වැදීමට ඉඩ නොදිය යුතුයි. ජනතාව ත‍්‍රස්තවාදීන් හා භීතියෙන් පාලනය කිරීමට ආයුෂ අඩුය. ඔබට හැමදාමත් හැමෝම අරියාදුවට ලක්කළ නොහැකිය. අවිහිංසාව හා සම්ප‍්‍රදායික සාරධර්මවලට එරෙහි වෙමින්, රජීව්ට ජය ගන්නට නොලැබෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ අපට තේජසකුත්, ධෛර්යයකුත්, යුක්තිය පිළිබඳ ගෞරවයකුත් ඇත්තේය. අපි යම් යම් විට පසු බෑවත්, මොන ආකාරයෙන්වත් පරාජය කළ නොහැකිය. අපි දිගින් දිගටම පවතින්නෙමු.”   
ජයවර්ධන විංසතිය විනිවිද යන ඉන්දීය මැදිහත්වීමේ සුලමුල 1987 ජුලිවලටත් වඩා ඈතට දිව යයි.   


1976 දී ගාන්ධි විසින් නේපාලය සමඟ ගනුදෙනු නතර කරනු ලැබීය. මෙසේ ඉන්දියාව අනියත ගුප්ත බියක් ඇතිකර ගනිමින් ඉන්දියාවේ ‘ඉවසීමේ සීමාව’ මේයැ’යි කියන්නට මෙන් සිය අසල්වැසි රාජ්‍යයන් සමඟ මඳක් ‘ඉහළින්’ තීරණ ගන්ට පෙළඹී සිටියා ය.   


1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ඇමෙරිකානු ළැදි ප‍්‍රතිපත්තියක්, පසුව ක‍්‍රියාත්මක වූ ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, පකිස්ථානය, චීනය හා ඊශ‍්‍රායලය ඇසුරු කරමින් ගොඩ නැගුණු ඔත්තු සේවා සම්බන්ධතාවනුත් ඉන්දියාවේ බලවත් කනස්සල්ලට හා නොඉවසිල්ලට හේතු වූ බව පෙණිනි.   


උතුරට ආහාර බෙදීමෙන් ආරම්භ වූ මේ ‘කේන්තිය පිරිමැසීමේ’ වෑයම, පසුව ධර්මතාවක් බවට පත් වූ බවක් පෙනිණි. සජීවී ආක‍්‍රමණයක් හෝ රැඳී සිටීමක් බවට පත්වන තෙක් ශ‍්‍රීමතී ඉන්දිරා ගාන්ධි ජීවත් නොවීය. එසේ සිදු වූවා නම් සමහරවිට ශ‍්‍රී ලංකාව, ඉන්දියාවේ ‘වියට්නාමයක්’ වෙන්නට ඉඩ තිබුණි.   


ශ‍්‍රී ලංකාවේ අනාගතය ගැන, ජේ.ආර්. මෙසේ කීවේය.   


“යමෙකු සත්‍යවාදී විය යුතුය, අපේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සාධාරණ සමාජයක් ඇති කිරීමට අපි දායක වෙමින් සිටිමු. අප වැරැදි සිදු කිරීම මඟ හැරිය යුතුය. නමුත් අපට ත‍්‍රස්තවාදය හා භීතිය ද වළක්වා ගැනීමට අත්‍යාවශ්‍යය. අපි සර්ව සුබවාදීන් වන්නා සේම, සත්‍යවාදීන් ද වන්නෙමු. අතීතය දෙස විශේෂයෙන් පසුගිය වසර තුන දෙස හැරී බලන්න. ශ‍්‍රී ලංකාව දේශපාලන හා සමාජීය මුහුණුවර වෙනස් කිරීමට සෑම උත්සාහයක් ම අපි අවිහිංසාවෙන් දරා ඇත. කෙසේ වුවත්, පසුගිය සිදුවීම් දෙස බලනවිට, ඉන්දියාවට තමන්ගේ පාර්ශ්වයේ එම යුතුකම ඉටුකර ගන්නට හැකි වී නැත. පන්දුව අපේ වැයික්කියේ බව ඉන්දියාව කියයි. කෙසේ වුවත්, එය කා වෙත විසිකළ යුතු දැයි මට විශ්වාසයක් නැත. මේ කාරණයේ දී, සමහරවිට කලාපයටත්, ශ‍්‍රී ලංකාවටත් තර්ජනය කරන ආකාරයෙන් ඉන්දියාව කටයුතු කරයි. යහපත් ආකාරයෙන් ඉන්දියාව තීරණ නොගතහොත්, ශ‍්‍රී ලංකාවටත් එමෙන්ම ඉන්දියාවටත් අපහසු කාලයක් උදාවේවි. ගින්දර එක්ක සෙල්ලම් කරනවා නම් පිච්චෙන්නටත් සූදානම් විය යුතුය.”   


රජීව් සමඟ අත්සන් කරන්නට යෙදුනු ගිවිසුම ගැන ජේ.ආර්. නැවතත් මෙසේ කියයි.   


“ගිවිසුම ගැන කරන දෝෂාරෝපණවලට මට ප‍්‍රතිප‍්‍රහාර දිය හැකියි. ඒ අවස්ථාවේ පැවතුණු විකල්පය කුමක් ද? කිසිවකුවත් ඒකට උත්තර දෙන්නේ නෑ. එදා මම එයට අත්සන් නොකළා නම්, ජේ.ආර්. සමහරවිට තරගයෙන් දැවී යනවා. මුසෝලිනි ගේ වගේ මගේ කකුල් දෙකත් බැඳ ඳමාවි. කවුද පාලනය භාර ගන්නේ? මෙතන ජේ.වී.පී. කාරයොත්, උතුරු-නැගෙනහිර කොටියනුත් පමණයි.”   


බලයට පත්වීමෙන් පසු, ආර්. ප්‍රේමදාස කුමක් කීව ද 1987 දී ඔහුගේ මතය වූයේ ද මේ ජාතිවාදී ගැටුමට යුදමය විසඳුමක් අවශ්‍ය වූ බවය.   


87.04.17 වන දින, කොටි සංවිධානය හබරණ-ත‍්‍රිකුණාමලය මාර්ගයේ බසයක් පුපුරුවා 127ක් මිය ගොස්, ඊට දින හතරකදී පිටකොටුවේ අටවන ලද බෝම්බයකින් මරණ 107කුත්, තුවාලකරුවන් 288කුත් ඇතිවිය. ඊටත් දින 04කට පසු, මෙම විසඳුම ලබාගත යුත්තේ යුද්ධමය ස්ථාවරයකින් බව ආර්. ප්‍රේමදාස අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේය.   


එයින් සිව් දිනකට පසු, ජේ.ආර්. මෙසේ ප‍්‍රකාශ කළේය.   


 “මම හැම වෙලාවෙම සූදානම් මිලිටරිමය විසඳුමකටයි. යුද්ධය විසඳුමකින්ම අවසානය දැකිය යුතුයි. එවිට දැවැන්ත සංග්‍රාමයක් සිදුවේවි.”   


1988 දී ජේ.වී.පී. භීෂණයත් සමඟම, ජේ.ආර්. වෙනුවට ආර්. ප්‍රේමදාස ආදේශ විය. එම සිද්ධිය ගැන ජේ.ආර්. මෙසේ කියයි.   


“ඔහු මගේ දෙවැනියාව සිටියා. ඔහු මට පෙරට එන්නයැ’යි කීවා. බණ්ඩාරනායක මැතිනියටත් මහ මැතිවරණයක් වුවමනා වුණා. නමුත්, තව ටික කලකට ඔබ බලයේ ඉන්න යැයි ඇය කීවා. පැවතුණු තත්ත්වයට අත ගසන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. මටම බලයේ රැඳෙන්නට වුවමනා නම්, අලූත් නීති-රීති ගෙනෙන්නට සිදුවෙනවා.

ව්‍යවස්ථාව හැදුවෙත් මම නිසා, කළයුතුව තිබුණෙත් මොනවා ද කියා මම දැනගෙන හිටියා. මට ඒ වෙනකොට වසය අවුරුදු 84ක් වී තිබුණත්, හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවුණා. තවත් ජනමත විචාරණයක් පවත්වන්නටත් තිබුණා. එහෙම වුණා නම්, විපක්ෂය කියාවි ‘මේ මිනිහාට හැමදාම බලයේ ඉන්න වුවමනා වෙලා’ කියලා. මගේ බිරිඳත් ඊට තරයේම විරුද්ධ වෙලා හිටියා. ඒ නිසා එය උභතෝකෝටිකයක් වුණා.    


මේ යුගයේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයකු වන්නට ජේ.ආර්. ට වරම් ලැබුණේ ඔහුගේ ප‍්‍රතිභාවත්, වාසනාවත් උත්තරීතර මට්ටමකින් සංකලණය වූ නිසා විය හැක.   


“දැන් මම විශ‍්‍රාම ගොහිල්ලා ඉන්නේ. මට කිසිම බලයක් නෑ. කරුණාකරලා පළාතේ මන්ත‍්‍රීවරයා හම්බවෙලා ඔය ප‍්‍රශ්නෙ ඉදිරිපත් කොරන්න” එය උදව් බලාගෙන ඔහු හමුවන්නට ආ අයට ඔහු දුන් කෙටි පිළිතුර විය.   


ප‍්‍රතිපත්තියක් වශයෙන් රටේ දේශපාලන තත්ත්වය ගැන හෝ බලයේ සිටින රජය පිළිබඳව හෝ අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියමුත් සමහර ශූර මාධ්‍යවේදීන් මොහු දිගින් දිගට සාකච්ඡාවට පටලවා ගත් සමහර අවස්ථාවල ඔහුට නොදැනීම මෙන් දේශපාලනයට සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් ඔහුගෙන් පිටවන අවස්ථා තිබිණි.   


ඔහුට හුරතලුන් දෙදෙනෙක් වූහ. එකකු “කළු” යනුවෙන් හැඳින්වූ තනි කළුපාට ජර්මන් ෂෙපර්ඩ් ඇල්සේෂන් බල්ලකු වූ අතර අනෙකා කිලෝ දෙකක් තුනක් බර ඇති යෝධ ඉබ්බෙකි.   


ස්වාමියාට ඉතා හිතවත් වූ ‘කලූ’ නිතරම ජේ.ආර්. අසල බිම වැතිර සිටී. ඔහු හමුවන්නට එන සමහරු ‘කලූ’ ට බියෙන් මෙන් හැසිරෙති.   


“බයවෙන්න එපා. එයා සැර නෑ” ඔහු කියයි. සමහරු ‘කළු’ට ඉංග‍්‍රීසි බසින් ඉවත්වන්න යැයි කියති.   
“කළු ඉංග‍්‍රීසි දන්නේ නෑ. සිංහලෙන් කියන්න. කළු මොකද ඔතන කොරන්නෙ? පලයන් අහකට” කී විට ‘කළු’ හෙමින් වැතිර සිටින තැනින් සාන්ත දාන්තව ඉවත්ව යයි. ජේ.ආර්. ට ආවේණික ගති පැවතුම් අතර කාරුණිකභාවය, විනීතකම, ශිෂ්ටකම, ආචාරශීලීත්වය වැදගත් තැනක් ගත්තේ ය. හමුවන්නට එන්නේ කාන්තාවක නම් ඇය කොළඹ හතේ කාන්තාවක වුවත්, පිටකොටුවේ වෙළෙඳාම් කරන වට්ටි අම්මා කෙනකු වුවත් කිසිම වෙනසක් නැතිව ඔහු ඇය අමතනු ලබන්නේ ‘මැඩම්’ යනුවෙනි.   


ජයවර්ධන යුවළ ගෘහ සේවකයන්ට ඉතා හොඳින් සැලකූ අතර ඕනෑම අවස්ථාවක මේ දෙපළ වෙත පැමිණිල්ලක් හෝ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට කිසිම බාධාවක් නොවීය.   


වරක් ජපානයට ගොස් ජේ.ආර්. සිය නිලධාරීන් කිහිප දෙනකු සමඟ කටුනායකට ළඟාවෙමින් සිටියේය. ගුවන් යානය බැස්සවීමට පැය කාලකට පමණ කලින් ජනාධිපතිවරයා මට කතාකොට අප විශේෂ අමුත්තන්ගේ මණ්ඩපයෙන් එළියට යතත් අප සියලු දෙනාගේම ගමන් මලු සහ අනෙකුත් බඩු බාහිරාදිය රේගුවට පෙන්වන ලෙස මට උපදෙස් දුන්නේය. ගුවන් යානය බිමට බැස්ස වූ පසු විශේෂ අමුත්තන්ගේ මණ්ඩපයට පැමිණි සියලු දෙනාගේම ගමන් මලු රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට යොමුවන අන්දමින් කටයුතු කළෙමි. එහෙත් ජනාධිපතිවරයා අතේ ගෙනියන පරණ කුඩා බෑගය ඔවුනට නොපෙන්වීමි.   


“ඇයි මේක කස්ටම් එකට පෙන්නුවේ නැත්තේ” ජනාධිපතිවරයා මගෙන් ඇසුවේය.   


“මේකෙ ඉතින් ඇති දෙයක් නෑනෙ” මම ගණනකටවත් නොගෙන කීවෙමි.   


“නෑ, ඒ වැඩේ හරි නෑ. මේක ගෙනිහින් ඇරලා ඒ අයට පෙන්වන්න” ඔහු මට උපදෙස් දෙමින් කලිසම් සාක්කුවේ ලේන්සු කෙළවරක ගැටගසා තිබූ මළ බැඳි කුඩා යතුරක් දිගු කළේය. කෞතුක වස්තුවක් වැනි හමගිය කුඩා සූට්කේසය ද රැගෙන ගොස් බඩු බාහිරාදිය පරීක්ෂණය සඳහා රේගු නිලධාරීන් ඉදිරියේ ඇති ඇලුමිනියම් මේසය මත තබා මළ බැඳි යතුරෙන් කුඩා බෑගය විවෘත කොට එහි වූ දේ අවුස්සා රේගු නිලධාරීන් හට පෙන්වූයෙමි. එහි සායම් ගිය පරණ තුවායක්, කෑලි දෙකේ කුඩා විදුලි ටෝච් එකක්, හිස පීරන පරණ බුරුසුවක්, ඉටි පන්දමක් හා ගිනිපෙට්ටියක් ද විය. ජනාධිපතිවරයාගේ පෞද්ගලික දෑ අඩංගු අතේ ගෙනයන බෑගය තුළ තිබූ භාණ්ඩයන් දුටු රේගු නිලධාරීහු මඳ සිනහවකින් යුතුව එකිනෙකාගේ මුහුණ බලාගත්හ.   


ඉංග‍්‍රීසි පුවත්පත්වල මාධ්‍යවේදීන් ජේ.ආර්. හැඳින්වූයේ "Old Fox" යනුවෙනි. එහි තේරුම “මහළු හිවලා” යන්නයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් අදහස් කළේ ඒ අදහස නොවේ. "Old Fox" යනුවෙන් පත‍්‍ර කලාවේදීන් තමන් අමතනු ලබන බව ජේ.ආර්. දැනගෙන සිටියේය. එසේ ඔහු ඇමතීම ගැන ඔහු උරණ වූයේ ද නැත. සමහර අවස්ථාවල මාධ්‍යවේදීන් ජේ.ආර්. හමු වී ඔහුගෙන් සමුගන්නා විට “ආයෙ "Old Fox" බලන්නට එන්නේ කවදාදැයි” ජේ.ආර්. ඔවුන්ගෙන් විමසන ලද අවස්ථා තිබිණි.      


වාචාල දේශපාලනඥයකු වචන සිය ගණනකින් කියන්නට තතනන දේ, ඔහු එක් වැකියකින් අභිනය කළේය.   
ජනතා වියදමින් ගොඩනගා, තමන්ගේ නමට ඔප්පුව නොලියූ ජේ.ආර්. ඔහුටම ආවේණික වූ කතා විලාසයකින් ද වාග්මාලාවකින් ද හිටිවන කතා පැවැත්වීය.   


අහස් යාත‍්‍ර හමුදාව (AIR FORCE), ලෝකෙ බැංකුව (WORLD BANK), අායතන (INSTITUTES), කොරන්න (Do) වැනි වදන් මතකයට එනවිට ඔහුගේ අව්‍යාජ එහෙත් උත්තුංග දේහ විලාශය අප ඉදිරිපිට පාදුර්භූත වේ.   
ඒ තමා ලක්දිව දේශපාලනයේ දියසලකුණ බඳු: “මට රකින්නට පරපුරක් නැත”, “ඔටුනු පලඳවන්නට කුමාරයන් - කුමාරියන් නැත” තඹ සතයක් රටින් නොගත්, තිබුණු සේසත රටට දී “තමනට තමන්ම පහනක්ව” සිටි ජනනායක ජේ.ආර්. ජයවර්ධන; මිත‍්‍රවරුණි!   

රවි ප‍්‍රසාද් හේරත් විසිනි