දියතලාව බස් බෝම්බය ගෙන ආ සෙබළාගේ පාපොච්චාරණය


 

ඌව පළාතේ ප්‍රථම බස් බෝම්බය පුපුරා ගියේ 1987 ජනවාරි 18 වැනිදාය. බදුල්ල-කුට්ටියගොල්ල මාර්ගයේ කලන්වත්ත හන්දියේදී ලංගම බස්රථයක් තුළ බෝම්බයක් පිපිරී මගීන් 8 දෙනෙක් මිය ගියහ. දෙදෙනෙකුගේ දෙපා යුගලද හත් දෙනෙකුගේ එක පාදය බැගින්ද අහිමිවිය. 57 දෙනෙක් තුවාල ලැබීය.   


එය කොටින්ගේ ක්‍රියාවක් ලෙස හැඟවීමට උත්සාහ කළත් එය ත්‍රස්ත සංවිධානයක් විසින් කරන ලද්දක් බව විමර්ශනවලදී පසුව අනාවරණය විය.   


ඌව පළාතේ ‍බසයක දෙවැනි බෝම්බය පුපුරා ගියේ ඉකුත් 21 වැනිදා අලුයම 5.15 ට පමණ දියතලාව-කහගොල්ලේදීය.   


ශීතල දියතලාව පමණක් නොව මුළු රටම උණුසුම් කළ ඒ බෝම්බය අත්බෝම්බයක් බවත් එය යුදහමුදා නිලධාරියෙකු සන්තකයේ තිබී පුපුරා ගිය බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.   


මගීන් 19 දෙනෙක් මෙම පිපිරීමෙන් තුවාල ලැබු අතර යුද හමුදාවේ සාමාජිකයන් 7 දෙනෙක් ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙක් හා සිවිල් පුද්ගලයන් 7 දෙනෙක් තුවාලකරුවන් අතර වුහ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේ දියතලාව මුලික රෝහලටය.   


බසය පිපිරී ගිනිගෙන මුළුමනින්ම විනාශ වූ අතර එය ඇටසැකිල්ලක් සේ දිස්විය.   


මෙම පිපිරීම රටම ගිනි අවුලවන මාතෘකාවක් වීමට ඉඩ තිබුණත් එය මග හැරී ගියේ පොලිස් යුද හමුදා සහ ගුවන් හමුදා කඩිනම් විමර්ශනවල ප්‍රබලතාව නිසා බව කියති.   


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරි (11) සාජන් මේජර් ඒ.එම්. ජානක ලෙස්ලි කුමාර චන්ද්‍රෙස්න (39) ද බරපතළ තුවාල ලබා සිටියේය.   


ඔහුගේ උදරයට, පාදවලට හා අතකට බරපතළ තුවාල සිදුව තිබුණි. දියතලාව මූලික රෝහලේදී සැත්කම්වලට භාජනය කිරීමෙන් පසු ඔහු‍ගේ ප්‍රකාශයක් ලබා ගැනීමට දියතලාව පොලිසිය සමත්විය.   
ඔහු කියන කතාව අතිශයින්ම සංවේදි එකකි.   


හැඬූ කඳුළින් යුතුව පැවසු ඒ කතාවයි මේ   


“මගේ තාත්තා කුලී වැඩ කරල අම්මයි මායි නංගියි ජීවත් කළා. අපි ජීවත් උනේ කුලීයට ගත් කාමරයක. තාත්තා මහවැලි ග​ෙඟ් නාන්න ගිය අවස්ථාවක දියේ ගිලී මරණයට පත්වුණ​ා.   


මම අමුපිටිය මහා විද්‍යාලයේ 13 වසර දක්වා ඉගෙන ගත්තා. තාත්තා මිය ගිය පසු අම්මයි නංගියි ජීවත් කරවන්න අවශ්‍ය නිසා මා යුද හමුදාවට බැ​ෙඳන්න තීරණය කළා.   


1999 ජනවාරි 11 වැනිදා මම යුද හමුදාවට බැඳුණා. විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අනුයුක්තව රැකියාව කරගෙන සිටියදි ගාල්ලේ පැවැති යුද හමුදා සංදර්ශනයකට සහභාගීවීමට ගිය අවස්ථාවේ හඳුනාගත් ප්‍රියංකා මගේ පෙම්වතිය වුණා. 2004 දි අපි විවාහ වුණා.   


රැකියාවෙන් ලැබුණ මුදල් එකතු කරලා ණය මුදලකුත් අරන් බෝබැබිල කියන අපේ ගමේ පර්චස් 13 ක ඉඩමක් අරන් ගෙයක් හැදුවා. මමයි බිරිඳයි මගේ දරු තුන්දෙනයි. මගේ අම්මයි නංගියි ජීවත් වුණේ මේ ගෙදර.   
මගේ බිරිදගේ අම්මා (නැන්දම්මා) රැකියාව කළේ ඊශ්‍රායලයේ.   


එයා අපිට ලීසිංකරලා රුපියල් විසිපන් ලක්ෂ පනස් දාහක් වටිනා ඩොල්පින් වෑන් එකක් අරන් දුන්නා. මම තවත් සල්ලි වියදම් කරලා ඒක තවත් හොඳට සැප පහසුවට හදලා යාපනයේ රාජ්‍ය නොවන සංවිධානයකට කුලියට දුන්නා. බිරිඳ නිවසේ සිටම රූපලාවන්‍ය සැලුන් එකක් කරගෙන ගියා. ඊට අමතරව රෙදි විකිණීමද කළා.   


අපි ඔක්කොම හොදට සතුටින් ජීවත් වුණා.  මෙහෙම ඉන්දෙද්දි වෑන් එක කුලියට දුන් රාජ්‍ය නොවන ආයතනය වැහුනා.   


ඒ ආදායම අහිමි උනා. වෑන් එකේ මාසික වාරිකය රුපියල් 75000 ක්. ඒක ගෙවාගන්න බැරිවෙනකොට මම පොලියට සල්ලි අරන් ඒක ගෙවාගෙන ආවා.   


වෑන්එක පාඩුවට විකුණලා ණය ගෙවලත් ණය ඉවර කරන්න බැරිවුණා.  අවසානය ​ෙවන කොට මට තේරුණා ණයට ගත් මුදලටත් වඩා මම පොලි ගෙවා තිබෙන බව.   


ණයට මුදල් දුන් අය සල්ලි ඉල්ලා නිතර නිතර කරදර කළා.   


මම මේ නිසා මානසික පීඩාවට පත් වුණා.   


දියතලාව කඳවුරේ සේවයට වාර්තා කිරීමෙන් පසු දෙවැනි නිවාඩුව ලෙස 2018-2-12 වැනිදා මම ගෙදර ගියා. මම ගෙදර සිටියදීත් පොලියට ණය ගත් අය ඇවිත් සල්ලි ඉල්ලා කරදර කළා.   


මට ජීවිතය එපා උනා. නිවාඩුවෙන් පසු නැවත සේවයට වාර්තා කිරීමට තිබුණේ 2018-2-21 වනදා උදේ 8-00 ට. නිවාඩුව ඉවර වෙලා, 21 වැනිදා අලුයම 12.30ට මම දියතලාවට එන්න නිවසින් පිටවෙලා වත්තේ ගසක් යට වළදා තිබු අත්බෝම්බය අරන් ගමන් මල්ලේ දා ගත්තා. (එම බෝම්බය මම 2015 මුලතිව්වල සේවය කරද්දී එල්ටීටීඊ එකට අයත් පැරැණි වාහන අංගණයක තිබි හමුවූ එකක්. එය ගෙනැවිත් ගෙවත්තේ වළදමා තිබුණා)  සියදිවි නසා ගත්තොත් බිරිඳ හා දරුවන්ට මගේ විශ්‍රාම වැටුප නොලැබෙන නිසා මම හිතුවා සියදිවි නසාගැනීමක් නොවන සේ හැඟවීමට සුදුසු පරිදි බෝම්බය පුපුරවාගෙන මියයාමට.   


ඒ අනුව රාජකාරියට එන ගමනේදී දියතලාවෙන් බසයෙන් බැහැලා මැණිකන්ද පිහිටි අපේ කදවුරට යන පාරේ හමුවන වෙඩිපිටියේදී බෝම්බය පුපුරවා ගන්න සිතා සිටියා.   


අලුයම් කාලය නිසා කාටවත් නොපෙනෙන ලෙස මෙය වෙඩිපිටියේදී සිදුවු හදිසි පිපිරීමක් යැයි නිගමනය වනු ඇතැයි මා සිතුවා.   


මහනුවරට ඇවිත් අලුයම 1.30 ට පමණ යාපනේ ඉඳල දියතලාවට යන පුද්ගලික බස්රථයට නැග්ගා. බසයේදීත් එම ගමන්මල්ල උකුලේ තියාගෙන කාටවත් හානියක් නොවන සේ එය ආරක්ෂා කරගත්තා. (අත් බෝම්බය සහිත ගමන් මල්ල උකුලේ තබාගෙන මහනුවර සිට නොනිදා ඔහු බසයේ ගමන් කරන අයුරු එම බස් රථයේ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ)   


යාපනයේ සිට පැමිණි බස් රථයේ මගීන් බණ්ඩාරවෙලදී දියතලාවට යාම සඳහා එම බස් හිමියාටම අයත් වෙනත් බසයකට මාරුකළා.   


බෝම්බය ආරක්ෂා කරගෙනම මමත් එම බසයට නැග්ගා.   

 

 

එම බසයේදී මගේ කඳවුරේම සේවය කරන නලින් හමුඋනා. අපි දෙදෙනා එකම අසුනේ ඉඳගත්තා. රියැදුරු අසුනේ සිට තුන්වැනි පෙළේ වූ එම අසුනේ සිටි නලින්ටවත් නොදැනෙන්න මම තවදුරටත් අත්බෝම්බය සහිත ගමන් මල්ල පරිස්සමින් ඔඩොක්කුවේ තියාගත්තා. බසයෙන් බහින්න සුදානම් වනකොටම ගමන්මල්ලේ තිබු අත්බෝම්බය බෑග් එකේ සිප් එක ඇරිලා තිබුණ තැනින් වැටෙන්න ගියා. මම ඒක අල්ලන්න පහත් වෙනකොටම පුපුරා ගියා.” යැයිද ඔහු පැවසුවේ වරින් වර කතාව නතර කරමින් කදුළු පිස දමමින්ය.   


තමා රුපියල් ලක්ෂ 16 ක් ණය වි ඇති බව පොලිසියට ප්‍රකාශ කර තිබුණත් ඔහු ණය වී තිබුණ මුදල රුපියල් විසිපන් ලක්ෂයකට අධික බව විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය සඳහන් කළේය.   


සැකකරුගේ මේ ප්‍රකාශයෙන් පසු සැකකරු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට ගත්තේය.   


පීඩාකාරි ජීව අත්බෝම්බයක් අනාරක්ෂිතව මගින් ගමන්ගන්නා බස්රථයක ගෙනවිත් එය පිපිරවීමට සැලැස්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙකුට තුවාල සිදුකිරීම හා එමගින් බස්ථයට රුපියල් ලක්ෂ 50 ක අනර්ථයක් සිදුකිරීම යන චෝදනා යටතේ දියතලාව පොලිසිය මොහුට විරුද්ධව බී වාර්තාවක් මගින් අධිකරණය ට කරුණු වාර්තා කළේය.   


ඒ අනුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් රුවන් ගුණසේකර මහතා රෝහලට පැමිණ සැකකරු නිරීක්ෂණය කළේය.   


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරිත හල්පිට මහතා කරුණු දක්වමින්, මෙම සිද්ධියේ සැකකාර යුද හමුදා නිලධාරියා මෙම අත්බෝම්ය රැගෙන ආ බවට දැනට සිදුකළ විමර්ශනවලදී හෙළිවු බව මහේස්ත්‍රාත්වරයාට සැළකර සිටියේය.   


තුවාලකරුවන් ලබාදුන් සාක්කි හා බසයේ සවිකර තිබු ආරක්ෂක කැමරාවේ දර්ශන මෙන්ම සැකකරු වරද පිළිගනිමින් කළ පාපෝච්චාරණය මගින් ඒ බව තහවුරු ​ෙවන බවත් පොලිසිය සඳහන් කළේය.   
මහේස්ත්‍රාත්වරයා සැකකරු අමතා තමාට මේ සිද්ධිය සම්බන්ධයෙන් යමක් කීමට ඇද්දැයි විමසුවේය.   


ඔව්, ස්වාමිනි කියා සැකකරු උත්තර දුන්නේය.   


එම ප්‍රකාශය සඳහා ඉදිරි දිනයේ අවස්ථාව ලබාදෙන බවට සැකකරුට දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරයා මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර බාරයට පත්කිරිමට නියෝග කළේය.   


දියතලාව මුලික රෝහලේ සිට බදුල්ල මහරෝහල වෙත රැගෙන ආ සැකකරු බදුල්ල බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.   


සැකකරුගේ අසුනේ එක්පසක ගමන්කළ දියතලාව ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන්භට වෙළගෙදර අසංග රවීන්ද්‍ර කුමාර ද මෙම පිපිරීමෙන් බරපතළ තුවාල ලැබීය.   


දියතලාව මුලික රෝහලේදි කළ ප්‍රතිකාරවලින් පසු ඔහු ගුවන් හමුදා රෝහල වෙත මාරුකර යවා තිබේ.   


සැකකරු ගමන්ගත් අසුනේම ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වු ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරි (11) සාජන් මේජර් පලුගම විදාන රාළලාගේ නලින් කුමාර (37) ගේ වම්පාදයට කළ සැත්කමකින් දණහිස අසලින් කපා ඉවත් කර තිබේ.   


අනෙක් තුවාලකරුවන් සියලු දෙනා සුවය ලබා රෝහලින් පිටවී ගොස් ඇතැයි දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   


වෛද්‍ය අධිකාරිවරයාගෙන් අවසර ලබා මම එම රෝහලේ 6 වන වාට්ටුවට ගියෙමි.   


සැත්කමක් මගින් පාදයක් කපා ඉවත්කර තිබෙන යුද හමුදා නිලධාරි නලින් ඇඳමත ඉතා අසරණව සිටියේය.   


දෙදරු පියෙක් වන ඔහුට මෙම සිදුවීම සිහිනයක් මෙනි.   


පොලොන්නරුව පලුගස්දමන විදුහලේ ඉගෙනුම ලැබු නලින්, 1998-11-6 වැනි දින යුද හමුදාවට බැඳුණේය. 2018-2-12 වැනිදා නිවාඩු ලබා ගෙදර ගිය ඔහු නිවාඩුව බිරිඳ හා දරු දෙ​​ෙදනා සමග ගත කර නැවත සේවයට එන්නට පසුගිය මස 21 වැනිදා අලුයම් කාලයේ පිටත්වුයේ මහනුවර වෙලංබඩ, ලොකුඅංග පිහිටි නිවසේ සිටය.   


ගම්පොල වැලිගල්ලෙන් අලුයම 2.15 ට පමණ යාපනයේ සිට දියතලාවට එන පුද්ගලික බස්රථයේ පැමිණ අනතුර සිදුවූ රථයට මාරුවිය.   


රියදුරු අසුනේ සිට තුන්වැනි පේලියේ ජනේලය අසළ අසුනේ නලින් ඉඳගත්තේය.   


ඒ සමගම බසයට ගොඩවු චන්ද්‍රෙස්න (සැකකරු) බසයට ගොඩවී නලින්කුමාර ළගින්ම මැද අසුනේ ඉඳගත්තේය.   


දෙදෙනාම සේවය කරන්නේ එකම ස්ථානයේ බැවින් දියතලාව කහගොල්ලේදී බසයෙන් බැසීමට සුදානම්​ෙවත්ම මෙම පිපිරීම සිදුවිය.   


පාදයක් අහිමිව සැමියා පත්ව ඇති තත්ත්වය පිළිබඳව බිරිඳ හඬමින් දුක්වන්නීය. 10 වැනි වියේ හා 4 වැනි වියේ පසුවන ආදරණීය දියණියන් දෙදෙනාටද මේ දුක ඉවසා සිටිය නොහැකිය.   


නලින් රාජකාරියට පැමිණෙමින් සිටියදී සිදුවු මෙම අනතුර නිසා අහිමිවූ සැබෑ පාදය යළි දෙන්නට කාටවත් බැරිය. එහෙත් අසරණව සිටින ඔහුට උපරිම සාධාරණය ඉටුකළ යුතුය.   


එම වගකීම ඇත්තේ යුද හමුදාවට, බස්රථයේ හිමිකරුට හා රක්ෂණ ආයතනයන්ටය.   


මොනව කරන්නද මහා කරුමයක් තියෙන්න ඇති. නලින් හිතහදාගන්නේ එහෙම කියමිනි.   

 

 


(විශේෂ ස්තුතිය බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාට)   

 

 

 

 

බදුල්ලේ පාලිත ආරියවංශ