දමිළ දැරියකට සරණ වූ යතිවරයකුගේ කතාව


ඡායාරූපයෙන් දැක්වෙන්නේ පෝද්දිවෙල චන්දානන්ද හිමියෝ ජස්මිනීට වෙදනළාවක් පරිත්‍යාග කළ අවස්ථාවය. එම අවස්ථාවට එක්වූ ඇයගේ මව සහ සොහොයුරාද මෙහි වෙති

 

 

අප රට තුළ පැවති යුද ගිනිදැල් නිවා දමා ජාතික සමගිය ඇති කරන්නට සුනාමිය අනුබලයක් වූ සංසිද්ධීන් රැසක් මේවනවිට සමාජය තුළ සිදුවී ඇත.   


සුනාමි විනාශය පැමිණියේ දැනට වසර 14කට පෙරදීය. එම සිද්ධියෙන් පසුව මෙරට ජන සමාජය තුළ යහපත් වූ බොහෝදේ සිදුවූ බව අපට මතකය.   


පැල්පත්වල ජීවත්වූ වැසියන්ට තට්ටු නිවාස සහ ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවලට යටිතල සංවර්ධන පහසුකම් සිදුවෙමින් ජාතික සමගියටද දැවැන්ත පදනමක් ඉන්පසුව නිර්මාණය විය.   


ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියෙන් නැගෙනහිර පළාතේ අම්පාර දිසාවේ වෙරළබඩ ප්‍රදේශ රැසකට දැඩි හානියක් සිදුවිය.   


සිද්ධිය දුටුවන් පවසන පරිදි කිලෝමීටර් දෙකක් පමණ උසැති උදම් රළ ගේ දොර හරකා බාන ගහකොළ ආදී භෞතික දෑ මහ පොළව මත සමතලා කර දැමීය.   


දිවි ගලවා ගත් ජනයා ඇඳිවත පිටින්ම යනඑන මං නැතිව සරණාගත කඳවුරුවලට කොටුවූහ. දහස් ගණනකගේ අවසන් ජීවන හුස්ම වා තලයට මුසුවූයේ ස්වභාව ධර්මයෙන් ඇති කළ මෙම සිද්ධියත් සමගය. එහෙත් ජාතීන් අතර සංහිදියාවට මූලික පදනම වැටුණේ කවුරුත් නොසිතූ පරිදිය.   


ඒ අවදියේ ඇතිවූ බොහෝ සිද්ධීන් ගැන අමතක නොවන තොරතුරු තවමත් සමාජගත නොවීමද එක් අඩුපාඩුවකි.   


එවැනි සිද්ධියක් ගැන හෙළිදරව්වක් කිරීමට මෙම සටහන තැබීම යුක්ති සහගත බව සිතමි.   


සුනාමියෙන් පසුව නැගෙනහිර පළාතේ නන්නත්තාරවූ සමස්ත ජනතාව ගේදොර අහිමිවී ඇඳිවත පිටින් සරණාගත වෙද්දී කල්මුණ පාණ්ඩිරිප්පුවේ දමිළ වැසියන් විශාල පිරිසක් සරණාගත කඳවුරුවලට ගිය අතර තවත් පිරිසක් පිහිට පතා එදා අම්පාර මල්වත්ත තිස්සපුර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට පැමිණියහ.   


එහි විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමියන් වහා ක්‍රියාත්මක වී අසරණ පිරිස් වලට ආහාරපාන ඇඳුම් පැලඳුම් ඖෂධ සපයාදෙමින් සත්කාර කටයුතු කළ ආකාරය හින්දු භක්තිකයින්වූ දමිළ ජනතාවට අදහා ගත නොහැකිවූ අත්දැකීමක් විය.   


මිනිස්කම මැනවින් හඳුනාගෙන ඔවුන් පත්ව සිටින අසරණභාවය මනාව තේරුම් ගෙන සැබෑ අනුකම්පාවකින් කටයුතු කළ පෝද්දිවෙල හාමුදුරුවෝ සැබෑ බුද්ධ පුත්‍රයෙකු බව ඔවුහු පසක් කර ගත්හ.   


සිංහල බෞද්ධ භික්ෂුවක් සරණාගත පිරිස්වලට උවටැන් කරන ආකාරයත් රැකවරණය දීමත් පාණ්ඩිරිප්පුවේ දමිළ ජනයාත් අම්පාරේ තිස්සපුර ගොවි ජනපදයත් යා කරන සාමයේ පාලමක් ඇති වන්නට සමත්විය.   
එම හේතුවෙන් සිංහල සහ දෙමළ සහසම්බන්ධතාව මහා රුකක් බවට පත්ව මල්ඵල දැරුවේය.   


එදා කොටි ත්‍රස්තවාදීන් පිනුම් ගැසූ අනාරක්ෂිත ප්‍රදේශයක්වු පාණ්ඩිරිප්පුවෙන් මල්වත්ත තිස්සපුරට පැමිණි පිරිස අතර වසන්තා සහ තවරාසා යුවළද ඔවුන්ගේ දරුවන් පස්දෙනාද වූහ. එම දරුවන් අතර පෙර පාසල් වියේ පසුවූ කුඩාම දරුවා වූයේ ජස්මිනීය.   


පන්සලේ කඳවුරේ සිටි කාගේත් අවධානයට මේ කුඩා දැරිය යොමුවුණාය. ධම්මිකා, රෝෂාන්, අච්චිනා, රූබා, ජානි වැනි තවත් දරුවන් අතර සිටි හුරුබුහුටි දරුවා වූයේද ජස්මිනීය.   


හාමුදුරුවන් ළඟටම වී සිටින්නට කැමැත්තක් දැක්වූ ඇයට හාමුදුරුවෝද දියණියක සේ සලකා ටොෆී චොකලට් රසකැවිලි වැනි දේ ලබා දුන්හ.   


මේ අතර එම කඳවුරේ සිටි අනෙක් දරුවන්ට ශිෂ්‍යාධාර පවා ලබා දෙන ලදී.   


ඒ සඳහා දායක වුණේ ජර්මානු ජාතික දානපතිනියක වූ උර්සුලා බයර් මහත්මියයි. සමේ වර්ණය සුදු වූ නිසාත් ඇයගේ නම කියන්නට ඇති අපහසුව නිසාත් කවුරුත් ඇය හැඳින්වූයේ ‘සුදු අම්මා’ යන ආදර නාමයෙනි.   
එවකට පැවති ශාපකාරි යුද්ධයත් සුනාමි ව්‍යසනයත් දිනෙන් දින අතීතයට එක්වෙද්දී ජස්මිනී දැරිය වැඩිවියට පත්ව සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව ඒ- 09 ක ඉහළ සාමාර්ථයක් හිමිකර ගත්තාය.   


එවකට ඇය ඉගෙනුම ලැබුවේ කල්මුණ කාමෙල් ෆාතිමා විදුහලේය. ඇය එදා තම ජයග්‍රහණය ගැන දැනුම් දීමට මුලින්ම ජංගම දුරකථනය ඔස්සේ පෝද්දිවෙල හිමියන්ට කතා කළාය.   


‘හාමුදුරුවනේ මම විභාගය පාස්. ඒ නවයක් ’යැයි සඳහන් කරද්දී හාමුදුරුවන්ගේ සතුටද ඉහවහාගොස් ‘දුවට මගෙන් මොනවද ඕනැ කරන්නේ කියා විමසා ඇත.   


‘මට කොම්පියුටරයක් අරන් දෙන්නැයි’ ඇය කීවාය. ඒ ගැන හාමුදුරුවන් දෙවරක් සිතා බැලුවේ නැත. උන්වහන්සේ ජර්මානු ජාතික දානපතියක වන ‘සුදු අම්මාට’ (උර්සුලා බයර්ට) කතාකර ජස්මිනාගේ අධ්‍යාපන අවශ්‍යතාව්‍ය ගැන යෝජනා කළහ.   


ඒ අනුව ඇයට පරිගණකයක් මිලදී ගැනීමට රුපියල් 55000/-ක මුදලක් ලැබුණ අතර ඉතිරි අඩුව හාමුදුරුවන් විසින් පියවා රුපියල් 58000/-ක පරිගණකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කෙරිණි.   


කල්මුණ ජාතික පාසලේ විදුහල්පති ස්ටීවන් මැතිව් සහෝදරතුමන් ඉදියේදී ඇයට එය ප්‍රදානය කරනු ලැබිණ.   


ජස්මිනී නැවත හාමුදුරුවන්ට ජංගම දුරකථනයෙන් ඇමතුවේ උන්වහන්සේට සුබ පැතීමටය. ඒ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේදීය. එදා ඇය හාමුදුරුවන්ගෙන් කිසිම ආධාරයක් පැතුවේ නැත.   


‘හාමුදුරුවනේ අපි හෙට ඔබවහන්සේ දැක බලාගෙන යන්න එනවා’ යැයි ඇය පැවසුවාය. ඒ අනුව ඇය තම මවත් සහෝදරයෙකුත් සමග මේ වනවිට දීඝවාපි පරිවාර චෛත්‍යය විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවසන පෝද්දිවෙල හාමුදුරුවෝ ඔවුන් එහි පැමිණි විට එදින දහවල් ආහාරය පවා ලබා දුන්හ. සවස ඔවුහු හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන කල්මුණ බලා පිටත්වූහ.   


සමුගැනීමත් සමග ‘හෙට දින උන්වහන්සේටද පාණ්ඩිරිප්පුවට එන ලෙසද ඔව්හු ආරාධනය කිරීමට අමතක නොකළහ.   


පෝද්දිවෙල හිමියෝ එම ඇරියුම පිළිගෙන එහි ගියවිට උන්වහන්සේට දහවල් දානයද පිළි​ෙයල කර තිබිණ.   


උන්වහන්සේ එදා ආපසු අම්පාර බලා එනවිට ‘දුව වෛද්‍ය විද්‍යාලයට යන දවසේ මම තමයි ඔයාට වෙද නළාව අතට දෙන්නේ’ යැයි ඇයට පවසා තිබිණ.   


කාලය සෙමෙන් ගෙවී ගියේය. ‘සයිටම්’ සිසු අරගලය නිසා එක් වසරක් ගතව ගියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකළ ඇය ඉකුත්දා කල්මුණ මහරෝහලේ ප්‍රායෝගික පුහුණුව සඳහා පැමිණියාය.   


එදින ජස්මිනීගේ නිවසට හාමුදුරුවෝ වැඩම කළහ. එය දමිළ නිවසක් වුවද නිවැසියන් ගෙන් හාමුදුරුවන්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. බෞද්ධ නිවසකදී මෙන් දැඩි ළෙන්ගතු කමක් ඔවුන් තුළින් ප්‍රදර්ශනය විය.   
ජස්මිනී තම දෙමාපියන් ඇතුළු පිරිස හින්දු සංස්කෘතියට අයත් පිරිසක් වුවද හාමුදුරුවන්ගේ දෙපා නැමද පිළිගනු ලැබුවේ මේ නම් සැබෑම බුද්ධ පුත්‍රයෙකු බව වටහා ගෙනය.   


ඔවුන්ගේ නිවසේ බිත්තියක තිබුණ ඡායාරූප රැසක් අතරින් හාමුදුරුවන්ගේ ඡායාරූපයද ඉහළින්ම දිස්විණි. අසල නිවසක පදිංචි කතෝලික ගුරුවරියක වන පිලෝමිනාද එහි පැමිණ හාමුදුරුවන්ගේ දෙපා නැමද ගෞරව කළාය.   


පාණ්ඩිරිප්පුවේ දමිළ ජනතාව ඇතුළු පවුලක් හාමුදුරුවන්ට භක්ති ප්‍රණාමය දැක්වූ මෙම සිද්ධිය අසුරින් පැහැදිලි වුණේ අන් කිසිවක් නොව මනුෂ්‍යත්වයේ උතුම් ගුණ මහිමය තුළ සාමය ළඟා කරගත හැකි බවය.   
දකුණු ප්‍රදේශයෙන් පැමිණ නැගෙනහිර පළාතේ සුවිශේෂි ආගමික මෙන්ම සමාජයීය මෙහෙවරක නිරත වන ප්‍රධාන අධිකරණ සංඝනායක පෝද්දිවෙල චන්දානන්ද හිමියන් වැනි හිමිවරුන් වැනි තවත් හිමිවරුන් කීපදෙනෙකු හෝ සිටියොත් මොනතරම් අගනේදැයි අප කවුරුත් සිතා බැලීම යෝග්‍යය.   


මන්ද යත් එවැනි අයට උතුරත් දකුණත් යාකැරෙන සාමයේ පාලම තැනිය හැකිවන බව අප විශ්වාස කරන බැවිණි.

 

 


සටහන සහ සේයාරුව
හිඟුරානේ නවරත්න සමරතුංග