තිස්වසරකට පෙර ‘මරාදැමූ’ නුවරඑළියේ ග්ලේන්


 

ඉංග‍්‍රීසින් විසින් 1828 දී ඇරඹූ නුවරඑළිය පාරිසරික පාරාදීසයක් බව දෙස් විදෙස් කාගේත් මතයයි. එහෙත් අද මෙම සොඳුරු පාරාදීසය දින දින මහත් අර්බුදයකට යමින් පවතී. ගෙවුණු දශක 04ක පමණ කාලයක සිට නුවරඑළිය හැඩකළ සුන්දර පාරිසරික වටපිටාවට විශාල බලපෑම් එල්ලවී ඇත. එදා අප දුටු සුන්දර නුවරඑළිය අද දැක ගත නොහැකි බව නුවරඑළියට එන යන අයගේද මතයයි. ඊට විවිධ හේතු පදනම්වී ඇති බව නොරහසකි.   

 

මෙවන් වූ පරිසරයක් තුළ නගරයට සුන්දරත්වය එක්කළ ග්ලෙන් නුවරඑළිය නගරයේ සියලුම වැසියන් බලා සිටියදී මිය යෑම පිළිබඳව අද දවසේදී කතාබහක් කළ යුතු තැනකට පත්ව ඇත.   

1828 දී නුවරඑළිය නගරයක් බවට පරිවර්තනය කර සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලය ඔහුගේ නිල නිවාසයට යාබද ප‍්‍රදේශයක පදිංචිවී සිටි බවට ඕනෑතරම් තොරතුරු එකතු කළ හැක. එම නිවාස පද්ධතියට ඉහළින් මීටර් 60 - 70ක් පමණ උසැති දර්ශනීය දිය ඇල්ලක් ඇදහැළී ඇත. එම දිය ඇල්ලට ග්ලෙන් යන නාමය අාදේශ වී ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාර්ය මණ්ඩලයේ කාගේ හෝ නමක් විය හැක. එහෙත් අද මෙම දිය ඇල්ල දකින්න නොහැක. නමුත්, ග්ලෙන් ෆෝල් යන නමින් මාවතක්ද එම මාවත ඔස්සේ ග්ලෙන් ෆෝල් නමින් හෝටල් ගණනාවක් ද ශේෂ වී ඇත. වැසි දිනවලට පමණක් දැක ගත හැකි ග්ලෙන් දිය ඇල්ල නුවරඑළියේ නගර වැසියන්ට එතරම් වටිනාකමක් ඇද්ද යන්න පිළිබඳව ප‍්‍රශ්නයක් නිර්මාණයවී ඇත. ඒ නුවරඑළියේ අද පාරිසරික වටපිටාවට වඩා වාණිජ ව්‍යාපාරවලට නතුවී ඇති නිසායි.   


දශක 04ක කාලයක සිට නුවරඑළිය නගරය ආශ‍්‍රිත අක‍්‍රමවත් ඉඩම් පරිහරණයක් සිදුවූ බව නොරහසකි. නුවරඑළියේ පැවැති ජල මූලාශ‍්‍ර, ජල පෝෂිත ප‍්‍රදේශ හා තෙත් බිම් ගණනාවක්ද වාණිජත්වය විසින් යටකරගෙන ගොඩනැගිලි ඉදිවිය. නගරය අවට කඳුද ආක‍්‍රමණය කරමින් කෙරුණු අක‍්‍රමවත් ඉඩම් පරිහරණය අදට වඩා හෙට දවසේදී නුවරඑළියට බලපෑම් එල්ල කිරීම නොවැළැක්විය හැකි කරුණක් බව පරිසරවේදීන්ගේ මතයයි. 1960 දශකයේ අග භාගයේදී නුවරඑළියට ආදේශ වූ අර්තාපල් උප සංස්කෘතියද මෙයට විශාල වශයෙන් හේතු කාරණා වී ඇත.   


මුහුදු මට්ටමින් අඩි 6,830කින් උසැති නුවරඑළිය සිංගල් ට්‍රී කඳුයායේ බටහිර බෑවුමේ ශාන්තිපුර කලාපුර ඔයට යාබද රක්‍ෂිතය තුළ පිහිටි තෙත් බිම් කිහිපයකින් උපන් ජලධාරා නිසා නිර්මාණය වූ ග්ලෙන් ඇල්ල නුවරඑළිය නගරය හැඩ කරමින් නුවරඑළියට අලෝකයක් ගෙන දුන්නේය. අර්තාපල් උප සංස්කෘතිය හේතුකොටගෙන ග්​ෙලන් දිය ඇල්ලට ඉහළ ඉඩම් කොටසක්ද මෙම අර්තාපල් ගොවිතැනට යටවීම නිසා ග්ලෙන් දිය ඇල්ලේ පැවැත්මට මහත් බාධාවක් එල්ල වූ බව පෙනෙන්නට ඇත.   


වර්ග කි.මී. 12.43කින් සමන්විත නුවරඑළිය නගරය 1828 දී ඉංග‍්‍රීසින් විසින් ඇරඹුවාට පසු 1848 දී සැමුවෙල් බේකර්ගේ අක්කර 1,000ක ගොවිපළ හේතුවෙන් නුවරඑළිය ගොවීන්ගේ නගරයක් බවට පත්විය. අද මෙම නගරය සංචාරක නගරයක් බවට පත්ව ඇත.   
1881 දී නුවරඑළියේ විසූ සහකාර දිසාපතිවරයෙකු වූ එස්.එම්. බාරෝස් මහතා විසින් කළ ජන සංගණනයක වාර්තා අනුව නුවරඑළිය අවට නිවාස 262ක් තිබුණු බවද එම නිවාසවල පවුල් 270ක් සිට ඇති අතර, 1,791ක් දෙනෙකු ජීවත් වූ බව තොරතුරු අනාවරණය වේ. ඉන්පසු නුවරඑළියේ ජනගහනය 1946 වසරේදී 9,840ක් බවට වාර්තා විය. අද ​ෙවන විට (2017) නුවරඑළිය ජනගහනය 35,000ක් පමණ වන බව කරුණු අනාවරණය විය. (මේ අතර, නගරයට එන සංචාරකයින්ද ඇතුළත් වේ)   


නුවරඑළිය මහා නගර සභාවේ දත්ත අනුව, නුවරඑළිය නගරයේ නිවාස 7,500ක් පමණ වන අතර, ගෘහ ඒකක 5,791ක් ද ව්‍යාපාරික ස්ථාන 3,530ක් ද, රජයේ ආයතන 803ක්ද ඇති බව කියැවේ.   


නුවරඑළිය පාරිසරික වටපිටාව තුළ 1881 දී පවුල් 270ක් භාවිතා කළ යටිතල පහසුකම් අතර, පානීය ජලය සැපයීම අද වනවිටත් එහි වැඩිවීමක් දකින්නට නැත. මේ වන විට කඳුපන්ති තුළින් ඇදහැළුනු දිය ඇලි ක‍්‍රමානුකූලව වියැකෙමින් පවතී. ඒ කඳුකරයේ පවතින දේශගුණික රටාවේ වෙනස්වීම්වල හේතුන් නිසාය. කෙසේ වුවත් නුවරඑළියේ පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් ලෙස මීට දශකයකට පමණ පෙරාතුව ජයිකා ආයතනය විසින් සකස්කර දුන් භූගත ජලය ලබා ගන්නා නළ ළිං ආශ‍්‍රිතව අද නුවරඑළිය නගරයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳීමට නුවරඑළියේ මහා නගර සභාව කටයුතු කර ඇත. එහෙත්, දිනක් දෙකක් දැඩිලෙස හිරු රශ්මිය පතිත වූ අවස්ථාවේදී නුවරඑළියේ පානීය ජල ප‍්‍රශ්නයත් ඇතැම් තැන්වල පවතින බව නොරහසකි.   

 


අද දවසේදී නුවරඑළියේ ඉදිකෙරෙන්නාවූ මහා පරිමාණ හෝටල් සංකීර්ණ හා ව්‍යාපාරික ස්ථානද නවාතැන් පොළවල් සඳහාද හෙට දවසේදී අදට වඩා පානීය ජල අවශ්‍යතාවක් පෙනෙන්ට තිබේ. ඒ අතරම, මේ වනවිට, ඉදිකෙරෙමින් පවතින නුවරඑළිය මහ රෝහල් සංකීර්ණයටද ප‍්‍රමාණවත් ජලයක් නිරන්තරයෙන්ම අවැසි බව පෙනෙන්නට ඇත. මෙවන් වට පිටාවක නගරයට අලංකාරයක් ගෙනදුන් ග්ලෙන් දියඇල්ල යළි සක‍්‍රීය කර ගැනීමට හැකිනම්, හෙට දවසේ මතුවන්නාවූ පානීය ජල ප‍්‍රශ්නයට තරමක් හෝ විසඳුමක් සොයා ගැනීමට හැකිවනු ඇත. මේ වන විටත්, නුවරඑළියේ පවතින පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් සොයා ගැනීම් සඳහා ඇතැම් දෙනා නළ ළිං ඉදිකිරීමට ද උත්සුක වී ඇත්තේ ඒ නිසාය.   


අදට වඩා හෙට දවසේදී නුවරඑළියේ පැවැත්ම ජලය විසින් තීන්දු කරනු ඇත. එබැවින්, නුවරඑළියේ ඉඩම් පරිහරණය, පරිසරය පිළිබඳවත්, ජල මූලාශ‍්‍ර පිළිබඳවත්, විධිමත් වූ ක‍්‍රියාමාර්ගයක් ගතයුතු කාලය එළඹී ඇත. එසේ නොවුනහොත් කිසියම් වූ මොහොතක ජල ප‍්‍රශ්නය නිසා නුවරඑළිය එක තැනක නතරවනු ඇත.


ඡායාරූප හා සටහන 
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි