තලගොයි මරුවාට පොළඟෙක් දෂ්ට කරයි


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

පින්නදූව එම්.එච්. සිරිවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


කරන කලට පව් මිහිරිය මීසේ   


දකුණු පළාතේ කුඩා ගම්මානයක ඔහු සිය පවුලත් සමග ජීවත්ව සිටියේය. ඔහුට දූවරුන් දෙදෙනෙක් වූ අතර ගැමියන් විසින් ඔහු හැඳින්වූයේ මයියොක්කා මාටින් යනුවෙනි. රැකියාව වශයෙන් ඔහු කළේ අසල ගම්වල හේන්වලින් එකතු කර ගන්නා මයියොක්කා බයිසිකලයට පටවා නගරයට ගෙන ගොස් ඒවා විකිණීමය. මාටින් සෑම දිනකම වැඩ අවසන් කොට සවස් කල ගිනි වතුරෙන් සප්පායම් වීමද පුරුද්දක් කොටගෙන තිබුණි.   


මස් මාංශ කෑමට ප්‍රිය බවක් දැක් වූ මාටින් මයියොක්කා විකුණා ලැබෙන මුදලින් ගෙදරට මස් හෝ මාළු ගෙන යෑමට ද අමතක කළේ නැත. මාටින්ගේ බිරිඳ හා දරුවන් ද මස් කෑමට ප්‍රිය බවක් දැක් වූ හෙයින් නිවසේ දෛනික වියදමට එය තරමක ප්‍රශ්නයක් ද විය.   


එදා පෝය දිනයකි. මස් ගැනීමට නගරයේ මස් කඩ නොවූ බැවින් ගෙදර එන ගමන් ගිනි වතුර පිරවුම් හලට ගියේ පරණ පුරුද්දටය. එහිදී හමු වූ මිතුරකු සමග මත් වතුර ගැනීමට එකතු වූ මාටින්ට කට ගැස්ම සඳහා මිතුරා විසින් ගෙනත් තිබූ පිසින ලද මස් පාර්සලයක් දිග හැරියේය. මාටින් කට කොනට හිනාවක් නගමින් ඉන් කැබැල්ලක් කටේ දාගත්තේය. එහි අමුතුම රසයක් ඇති බව මාටින්ට දැනුණි. ගිනි වතුර පොළේ සිටි මාටින්ගේ සියලුම මිතුරන්ට ද ඔහු මේ කට ගැස්මෙන් සංග්‍රහ කිරීමට අමතක කළේ නැත. මින් පෙර කිසි දිනක මාටින් නොකා තිබූ එම මස් තලගොයි මස් බව මිතුරාගෙන් දැනගත් පසු තමා ඉතාම පුදුමයට පත් වූ බවත් ඒ බව දැන ගත්තේ අද දින බවත් මාටින් මිතුරාට පැවසීය.   


මයියොක්කා එකතු කිරීම සඳහා ගමේ ඈත මායිම් හේන්වලට යන මාටින්ට කදිම අදහසක් පහළ විය. ඒ තලගොයකු අල්ලා මරා ඌ හම ගසා මස් ටික ගෙදර ගෙන ඒමටය. බිරිඳ සහ දරුවනුත් කැමැත්තෙන් මස් කන නිසාත් ගෙදර මස් මාංශවලට යන මුදල් ප්‍රමාණයත් ඉතිරි කිරීමට හැකි නිසාත් මාටින් එයට කැමැත්තක් දැක්වීය.   


එදා මයියොක්කා ගැලවීමට ගිය ඔහුට ඇත්තටම හේන අයිනේ සිටි තලගොයකු නෙත ගැටුණ නිසා මයියොක්කා ගැලවීම පසෙකට ලා තලගොයා මැරීමට සූදානම් විය. ඉතාම අහිංසක සතෙකු වන තලගොයා හෙමි හෙමින් හේන අයිනෙන් වැටී ඇති පාරෙන් ගමන් කළ අතර මාටින්ගේ ඉනේ තිබූ වක් පිහිය තලගොයාගේ හිස මතට පාත් විය. දෙතුන් වතාවක් කැරකුණු තලගොයා විනාඩි පහකට පමණ පසු මිය ගියේය. බයිසිකලයත් ගෙන කැලෑවට ඇතුළු වූ මාටින් තලගොයා සුද්ද කොට මස් කෑලිවලට කපා තමන්ගේ පන් මල්ලේ බහාගෙන මයියොක්කා එකතු කිරීමට ගියේය.   
මයියොක්කා එකතු කර ගත් මාටින් ඒවා ඉක්මනින් නගරයට ගෙන ගොස් විකුණා රාත්‍රිය ළඟා වීමට කලින් ගෙදර යෑමට ද අමතක කළේ නැත. එම ගමනේදී මාටින් ගිනි වතුර පොළට යෑමට ද අමතක නොකළේය. ගෙදර ගිය මාටින් අද දින කඩේ එළු මස් පමණක් තිබූ බවට බිරිඳට බොරුවක් පවසා තලගොයි මස් පාර්සලය බිරිඳට දුන්නේය. බිරිඳ ද සිනා සී මස් පාර්සලය ගෙන කුස්සියට ගොස් එය පිසීමට සූදානම් විය.

   
එදා රාත්‍රී කෑමට තලගොයි මසුත් මයියොක්කාත් බතුත් තිබුණ නිසා මාටින් තවත් වතාවක් ගිනි වතුර ටිකක් බී රාත්‍රී කෑම කෑ අතර බිරිඳ සහ ළමයින් ඉතා ආසාවෙන් මස් කන හැටි බීමතින් සිටි මාටින් බලා සිටියේය.   


සතියකට වරක් වත් තලගොයි මස් කෑමට ඇත්නම් හොඳයි සිතූ ඔහු බිරිඳගෙනුත් එයට අකමැත්තක් නොවූ නිසා මාටින් මේ ක්‍රියාව සතියකට වරක් කළේය. මාටින්ගේ තලගොයි මස් ජෝගිය ගිනි වතුර පොළේ මිතුරන් අතර ප්‍රසිද්ධ වී ගිය නිසා ඔහු මිතුරන් අතර තලගොයි මස් මුදලට ද විකිණුවේය. ගමින් ගමට ගොස් මයියොක්කා ගලවා ගෙන විකිණීමට වඩා ලාබයක් තලගොයි මස් ටිකක් විකුණ​ා ලබාගත හැකි බව මාටින්ට පැහැදිලි වී ගියේය. මේ නිසා ඔහු මේ ජාවාරම සෑම දිනකම පාහේ කරගෙන ගිය අතර එයින් ඔහුගේ ගිනි වතුර ​පොළට යන මුදල කවර් කර ගැනීමටත් හැකි විය.   


දිනක් මාටින් මයියොක්කා එකතු කර ගැනීමට ගිය අතර හේනේ තලගොයින් සිටී දැයි විපරම් කර බැලීය. ඔහුගේ නෙතට එක් වරම ගැටුණේ තලගොයින් දෙදෙනෙකි. ඔහුගේ අතේ තිබූ වක් පිහිය දමා ගසා එක් සතකු මරා ගත් අතර ටිකක් ලොකු තලගොයා දුවගොස් අසල තිබූ බෙනයකට රිංගා ගත්තේය. මාටින් වහා දුවගොස් මරාගෙන සිටි තලගොයා බිමින් තබා බෙනයට අත දමා අත ඒ මේ අත යවා තලගොයා අසුවනවා දැයි සොයා බැලීය. මුළු අතම බෙනයට ඇතුළු කළ නිසා එක් වරම තලගොයාගේ වලිග කොටස මාටින්ට අසු විය. ඔහු ඉතා වේගයෙන් වලිග කොටස එළියට ඇද්දේය.   


තලගොයා වෙනුවට මාටින්ට අසු වී තිබුණේ තඩි පොළඟෙකි. ඔහු පොළඟා ඈතට විසි කරන්න සූදානම් වුණා පමණි. බුදු අම්මෝ... කියමින් මාටින් සිහි විකල් වූවකු මෙන් එහේ මෙහේ දුවන්නට විය. එහෙත් ඔහුට අඩු ගණනේ හේනේ සිට පාරට ඒමටවත් බැරි වූ අතර ඔහු හේන අයිනේ තිබූ කුරුඳු කැලෑවේ කානුවක් ඇතුළට වැටුණි.   


මාටින්ගේ දකුණු අතට දෂ්ඨ කළ ​පොළඟා ඔහු​ෙග් අතින් ගිලිහී ගියේය. කටින් සෙම දමා බිම ඇද වැටුණු මාටින්ගේ මිනිය සොයා ගත්තේ දින හතරකට පසුවය. ඒ වන විට මාටිනුත් කුණු වී ඔහු විසින් මරාගෙන සිටි තලගොයාත් කුණු වී ඕජස් වැක්කෙරෙමින් තිබුණි. අහිංසක සතුන් මැරීම මෙලොවදීම පඩිසන් දෙන ක්‍රියාවකි. ඔහුගේ ක්‍රියා කලාපය ගැන දැන සිටි ගැමියන් ඔහුගේ අවමඟුලට සහභාගි වූයේ ඉතා අඩුවෙනි.   


මාටින්ගේ බිරිඳත් දූවරුන් දෙන්නාත් ඒ ගම හැර ගියේ මාටින්ගේ මළගමෙන් පසුවය. ඔවුන් කොහේ ගියා දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.   

 



බාඳුරාගොඩ ගස්පෙ පී.ඒ.ටී. තේජබන්දු මහතා ලියා එවූ කතාවකි.   


සෙනසුරු වාහනයට මාරකයක් 


වයඹ පළාතට අාසන්නව පිහිටි නොදියුණු ග්‍රාමයකි. මෙය 1970 දශකයේ වු සත්‍ය සිදුවීමකි. ඒ ගම විසු ඉන්දරේ මැදි වියේ වූ අවිවාහකයෙකි. වඩු වැඩෙහි දක්ෂයකු වූ ඔහු කැත්තේ උදැල්ලේ වැඩද දත්තෙකි. නමුත් මේවායේ යෙදෙනුයේ අක්‍රමවත් ලෙස​ හේතුව වුයේ ඔහු සුරා ලෝලියකු වූ බැවිනි.   


ගජ මිතුරා වූයේ ද වංචනික ක්‍රියාවක් නිසා රැකියාවෙන් දොට්ට දැමු තරුණ වියේ පසු වූ අසල්වාසී සමීප ඥාතියෙකි. අවිවාහකයකු වූ හෙතෙම ද සුරා සූදු අන්තුවෙකි. අපි හෙක්ටර් නමින් ඔහු හඳුන්වමු. කථාවෙහි දක්ෂ හා කපටි ප්‍රයෝගයන් ද පුරුදු දෙදෙනාම අරමුණු සඳහා කෙසේ හෝ මුදල් කඩා වඩා ගැනීමට අති දක්ෂයෝය. ඒ සඳහාම කුලී වැඩෙහි ද ඉඳ හිට යෙදෙන මොවුන් දෙදෙනාම තම පවුල් වලට බරක් වූවෝම විය.   


​ෙම් වෙන විට මාස් කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වී තිබුණි. කුඹුරක නියර වල් සෑදීම භාර ගත් මොවුන් දෙදෙනා එදින උදයේම පැමිණ වැඩ ආරම්භ කර තිබුණි. දහවල් තේ සඳහා අවශ්‍ය දැ රැගෙන විත් එයද ගසක එල්ලා රඳවා තැබීය. මාස් කන්නයේ වී වැපිරීම සඳහා අවට කුඹුරුවල ද මිනිසුන් වැඩෙහි යෙදී සිටින බව දිස් විය. දහවල ආසන්නවෙන විට අවට සැරි සරන කපුටෝ එල්ලා තිබූ බෑගය අවුස්සා එහි තිබූ පාන් කැබලි කඩා රැගෙන යාමට පටන් ගත්හ. කපුටන්ගේ කෑ ගැසීම ද පොර කෑමද නිසා පාන් කැබලි පාර්සලය ඉරී විසිරිණි.   


මෙය දුටු වැඩෙහි යෙදී සිටි ඉන්දරේ සහ හෙක්ටර් දුවගෙනවිත් කෝපයෙන් කපුටන් පන්නා දැමීය. ඉතිරි වූ පාන් කැබිලි ටික එකතු කර ගත් දෙදෙනා මෙයට කරන දෑ ගැන කතා කරන්නට විය. වට පිට බැලු ඉන්දරේ ඈත කුඹුරක තෙල් ඉසින අයකු දිටීය. ඔහුව ළඟ සිටි හෙක්ටර්ට පෙන්වා ඔහුගෙන් කෙසේ හෝ ස්වල්පයක් ඉල්ලාගෙන එන ලෙසට දැන්වීය. ඔහු ද එයට එකපයින්ම කැමතිව ගෙන එන්නේ කෙසේදැයි විමසීය. ටික වේලාවක් කල්පනා කර සිටී ඉන්දරේ ‘‘මට හොඳ අදහසක් ආවා හිටපන්, ඔහොම’’ යනුවෙන් පවසා ඉන රැඳි පිහිය ගෙන අවට තිබු පඳුරකින් බට කෝටුවක් කපාගෙන ආවේය. එහි පුරුකක් සිටින පරිදි අඟල් තුනක් පමණ දිගට කපා සිදුරක් සහිත වට පුරුක සාදා හෙක්ටර් අතට දුණි. එයට රැගෙන එන ලෙස දන්වා ‘‘ඕවට මොළේ තියෙන්න ඕනෑ බං’’ යයි කියමින් පුරසාරම් දොඩවමින් එතන රැඳුණේය. මඳ වේලාවකින් බට පුරකට වල් නාශක තෙල් රැගෙන පැමිණි ඔහුගෙන් එය ලබා ගෙන එකතු කර ගත් පාන් කැබලි වලට දමා මිශ්‍ර කරන ලදි. අනතුරුව එම පාන් කැබලි කපුටන් වෙතට විසි කරන ලදී. සෑනෙකින් පැමිණි කපුටන් රංචුව පොර කමින් පාන් කැබලි කමින් රැගෙන අවට ගස් වලට පියෑඹූහ.   


ගත වුයේ ස්වල්ප වේලාවකි. කෑ ගසමින් ඉගිළී යන කපුටන් එකා දෙන්නා බිම ඇඳ වැටෙන්නට වූහ. එන්න එන්නම මහ හඬින් කපුටු ඝෝෂාව වැඩි විය. තව තවත් කපුටන් බිම වැටෙන්නට විය. අවට මහත් කැලඹිලි සහිත විය. කපුටු ඝෝෂාව තීව්‍ර වෙමින් ඉගිලෙමින් මහත් ඝෝෂාවක් වීම ද අරුමයකි. එතන සිටින ලද කපුටන් සංඛ්‍යාව අති විශාලය.   


පැය භාගයකට අධික කාලයක් තිස්සේ වූ සිදුවීම කුමක් දැයි කුඹුරුවල සිටි සියල්ලෝම පාහේ මෙතැන පිහිටි ඕවිටට පැමිණ විමසා බැලූහ. තටු විහිදාගෙන මැරී වැටී සිටි කපුටන් දුටු බොහෝ දෙනා දුකට පත් වීම නොයෙකුත් දෑ කියමින් මේ අපරාධය කළේ කව් ද යන්න ප්‍රශ්නාර්ථව විමසා බැලූහ. මේ අතරට පැමිණි ඉහත දෙදෙනා ද කිසිදු අමුත්තක් නොමැතිව ඔවුන්ට එක් විය.   


මැරී වැටී සිටි කපුටන් සංඛ්‍යාව ගැන බැලූ විට විසි නවයක් විය. එය ද කියමින් පිරිස ටිකින් ටික විසිර ගිය බැවින් යහළුවෝ දෙදෙනා ද පුරසාරම් දොඩවමින් ආපසු පැමිණියහ. එහි සිටි එක්වැඩිහිටියෙක් කපුටකුගේ ආයුෂ අවුරුදු සියයක් පමණ වන බවද කීය.   


මෙය මුළු ප්‍රදේශයේම ලැව් ගින්නක් මෙන් පැතිර ගිය බැවින් සහගහන අපරාධයක් ලෙසින් ගමේ කතාවේ මුල් තැනට පත් වී අදට ද නොනැසී වරින් වර මතුවෙමින් පවතී.   


වසර කිහිපයක් ගත විය. 1977 බිහි වූ නව රජයෙන් රැකියා විරහිත තරුණයින් හට රැපියල් පනහක දිමනාවක් ලබා දීමට පියවර ගති. කෙසේ හෝ මෙම දීමනාව හෙක්ටර්ටද ලැබුණි. නිවසට ම ලැබුණ එම මුදල තමාගේ බැවින් එය ඉල්ලා ගෙදර උදවිය සමග රංඩු සරුවල් විය. කෙසේ හෝ එය නොලැබීම නිසා කෝපයට පත්ව බනිමින් ගෙදරින් පිට විය. පැය කිහිපයකට පසුව වස පානය කර වැටී සිටි බව ආරංචි විය. එහි සිටි පිරිස් ඔහුව රෝහලට ගෙන ගොස් භාර දුණි. නමුත් පසු දා රෝහලේ දී වැසිකිළියට යාමට ​ගොස් අතර මඟ ඇද වැටීමෙන් දෑත් දෙපා විහිදුවා ගෙන මැරී සිටියේය. පානය කර ඇත්තේ කුඹුරුවලට යොදන වල් නාශකයක් බවද හෙළි විය.   


හෙක්ටර්ගේ අවසානය සිදු වුයේ එසේය. 

 
මින් තවත් වසරක් පමණ ගත විය. ඉන්දරේ ද පාපැදියක නැගී ගමනක් යන විට වංගුවක් සහිත දිග පල්ලමකදී පෙරළී වැටීමෙන් අත පය කැඩී රෝගාතුර විය. එතැන් සිට ගමන් කිරීමට නොහැකිව ඥාතියකුගේ නිවසක එක තැන දුක් විඳිමින් කෙඳිරිගාමින් මාස 06 ක් පමණ ගත කලේ වේදනාකාරී ඉරියව්වකිනි. කතාව පැටලිලි සහිත විය. කථා කිරිමට බොහෝ උත්සාහ කළ ද මුවින් පිට වූයේ ‘‘ක’’ ශබ්දය පමණි. මෙසේ විඳවමින් සිට දුක්බර අවසානයකට ඔහු ද ළඟා විය.   


මොවුන් දෙදෙනාට ඉහත සිද්ධියේ විපාකය මොළොව දීම පළ දුන් බව මේ ගැන හොඳින් දත් වැඩිහිටියෝ අදටත් සඳහන් කරති.   

 



මහඔය කේ.එච්.එම්. වීරසේකර මහතා ලියා එවූ කතාවකි.   


නැගෙනහිර පළාතේ කුඩා ගම්මානයක විසූ සියාතු එදිනෙදා දිවි රැක ගත්තේ නගරයේ සිට ගම් වලට පැමිණ ගම්මාන තුළ අැවිදිමින් මසට ගවයින් රැගෙන යන හරක් මුදලාලි පසු පස යමින් ගවයින් සොයා දීමෙන්ය. මිලදි ගන්නා සතුන් වනගත මාවත්වලින් දක්කාගෙන ගොස් ලොරි රථයක් පැමිණ සතුන් ගෙන යන තෙක් රැක බලා ගැනීම වෙනුවෙන් හරක් මුදලාලි ඔහුට මුදල් ලබා දුන්නේය.   
ඇඟ පතින් කුඩා වුවත් ඕනෑම දරදඬු අකීකරු සතකු සමග අල්ලා වැට්ටවීමටත් විනාඩි කීපයකින් එම සතා හීලෑ කර තිප්පොළ කරා දැක්කීමටත් සියාතු ගැටයා දක්ෂයෙකි.   


අනින්නට කඩා පනින අකීකරු ගවයෙකු ගේ බෙල්ලට සියාතු අතින් ලණුවක් දැමුව හොත් එම සතා කීකරුව නිහඬව සියාතු සමග ඔහු යන තැනකට යන බව ගම්වාසීහු පවසති.   


මෙම ව්‍යාපාරය නිසා අත මිට සරු වූ සියාතු  හරක් මුදලාලි සමග ගමේ කරක් ගසමින් ගවයන් මිල දී ගෙන මුදලාලිට භාර දීම අත් හැර දමා මුදලාලිගෙන් අත්තිකාරම් මුදල් ​රැගෙන එම මුදලින් ගවයින් මිලදී ගෙන ලාභයක් සහිත ගවයින් මුදලාලිට බාර දී ගනුදෙනු පියවීම සිදු කළේ එමගින් වැඩි ආදායමක් උපයා ගනිමිනි. 

 
දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ගම්මාන පුරා ඇවිදිමින් සතුන් මිලදී ගෙන එක් රැස් කර රැගෙන යාම වෙනුවෙන් වෙහෙසක් දැරූ හරක් මුදලාලිද සියාතුගේ වැඩ පිළිවෙළට එකඟ වූයේ ඔහුට ද එය පහසුවක් වූ බැවිනි.   


බින්තැන්න පත්තුවේ වැඩි පිරිසක් තමන් ඇති දැඩි කරන සතුන් මසට විකිණීමට අකමැති බැවින් හරක් මුදලාලි නොමැතිව ගමට යන සියාතු කිරි හරක් ලෙස රැක බලා ගැනීමටත් පුරුදු පුහුණු කර ගොවිතැන් වැඩවලට යොදා ගැනීමට සතුන් මිලදී ගන්නා බව ගැමියන්ට කියා අඩු මුදලකට ගත් ගවයින් වැඩි මුදලකට මුදලාලිට විකුණා ඉතා කෙටි කලක් තුළ විශාල මුදලක් උපයා ගැනීමට ද ඔහු සමත් විය.   


විවිධ දේ කියමින් බින්තැන්න පත්තුවේ ගම්මානවලට යන සියාතු මෙසේ අඩු මුදලකට මිලදී ගත් ගවයින් එක් රැස් කර නගරයේ හරක් මුදලාලිට දැන් වූ පසු ඔහු පැමිණ මස් බර අනුව සතුන් වර්ග කර ගනුදෙනු නිරාකරණය කිරීම සිදුකර සතුන් ලොරියේ පටවා නගරයට රැගෙන යාම මසකට තුන් හතර වතාවක් සිදු විය.   


එකතු කර ගත් ගවයින් ලොරියට පටවන දවස සියාතුටත් ඒ සඳහා උදව් උපකාර කරන පිරිසටත් මඟුල් දිනයකි.   


වසු පැටවෙක් මරා සකස් කරගත් කටගැස්මට සරිලන මත් වතුර ​රැගෙන එන්නේ නගරයේ හරක් මුදලාලි විසින් ගවයින් තිහක් පමණ පටවා ගත් ලොරි රථය ගමෙන් පිටත් වන විට සියාතු ඇතුළු සහචර පිරිස ගෙවල්වලට යන්නේ හතර ගාත​යෙනි.   


වසර කීපයක් තුළ රැකියාව සියාතුට අහිමි වූයේ දිනක් දැඩි වර්ෂාව මැද හරක් බානක් දක්කාගෙන යමින් සිටි සියාතු ගලකින් පහළට ඇඳ වැටී දෙකකුල් බිඳී යාම නිසාය. 

 
දෙකකුල් බිඳුණ සියාතු ගෙපැලේ ඇඳට වැටුණු අතර සියාතු තරුණ කල මෙම රැකියාවට එකතු වූ අන්දමට ඔහුගේ දරුවන්ද කර දඬු උස මහත් වෙනවිටම පියා​ෙ​ග් රැකියාවට එක්ව සිටි බැවින් සියාතු නැති පාඩුව කිසිවෙකුටත් දැනුණේ නැත. 

 
වියපත්ව දෙකකුල් බිඳී අැඳට වැටුණ සියාතු ගැනසොයා බලන්නට ඔහුට ප්‍රතිකාරයක් ලබාදෙන්නට ඔහුගේ පුත්‍රයන්ට පවා විවේකයක් හෝ සිතක් පහළ වූයේ නැත.   


කිසිවකුගේ පිළිසරණයකට ලක් නොවූ සියාතු මරන්නට ගෙන යන ගවයකු මෙන් සති කීපයක් කෑ ගසමින් සිට මියගිය බව ගම්වාසීහු පවසති.   

 

 

 

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ   
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්