ඡන්ද වරම නැති මෙහෙණින් වහන්සේලා අටදාහක්


 

 

බමුණු මතයක් වූ ‘ද්වංගුල පඤ්ඤා’ නමින් හඳුන්වන අඟල් දෙකක් වූ හැඳි මිටේ නුවණ බිඳ හෙළමින් ඉස්මතුවෙන භික්ෂුණීන් වහන්සේ නමක් අපිට හමුවන්නේ, ඡන්ද අයිතිය නැති අටදාහක් භික්ෂුණීන් වෙනුවෙන් කතා කරන කාන්තා නායිකාවක් ලෙසිනි. 


සමස්ත ලංකා භික්ෂුණී බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී භික්ෂුණී අධ්‍යාපන පීඨයේ කෘත්‍යධිකාරී ආචාරිණී කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ භික්ෂුණී ශාසනයේ අයිතීන් වෙනුවෙන් උඩුගම් බලා පිහිනන භික්ෂුණීන් වහන්සේ නමක් ලෙසින් අපි හඳුනා ගතිමු. 


‘ලංකාවේ බුද්ධශාසනය කකුල් තුනේ මේසෙකට සමාන’ යැයි විටෙක ආචාර්ය කිරින්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයේ හිස්තැන පුරවමින් භික්ෂුණී ශාසනය 1998 වසරේ දී නැවත ආරම්භ කෙරිණි. එහෙත් තවමත් ඒ භික්ෂුණීන් සඳහා මේ රටේ අයිතිවාසිකම් නොලැබෙන්නේ කාගේ වුවමනාවට දැයි ගැටලුවක් පවතී. 
කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ මෙහෙණි සසුන ආරම්භ කිරීමට පුරෝගාමී වූ ජ්‍යෙෂ්ඨ භික්ෂුණියක් ලෙස කටයුතු කරමින් සිටිය දී ‘ලංකාදීප’ අපි උන්වහන්සේ මේ කතාබහට එක්කර ගතිමු. 


කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමාන පදනමක් මත මානව අයිතිවාසිකම් හා මූලික නිදහස ක්‍රියාත්මක කිරීම හා භුක්ති විඳීම සහතික කිරීමේ කාර්යය සඳහා උචිත සියලු පියවර ගත යුතුයි කියලා ශ්‍රී ලංකා රජය විසින් 1993 වසරේදී ප්‍රකාශයට පත් කළා. කාන්තා ප්‍රඥප්තියේ ඒ විදියට සඳහන් වෙලා තියෙනවා. එසේ තිබිය දී ලොව බුද්ධ රාජ්‍ය යටතට ගෙන ශ්‍රී ලංකාවේ ථෙරවාදී බුදුදහම තුළ සිව්වනක් පිරිස නියෝජනය නොවීම පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. එහෙත්, මෙරට භික්ෂුණී ශාසනය නොපිළිගන්නා යුගයක උඩුගම් බලා පීනන්නට සුමේධා මෙහෙණින් වහන්සේ වසර ගණනාවක් පුරාවට කටයුතු කරමින් සිටී. 


භික්ෂුණී අධ්‍යාපන පීඨයේ වසර විසිදෙකක පාලන කටයුතු සිදු කරනු ලබන අස්ගිරි විහාර රංගිරි දඹුලු පාර්ශ්වයේ මහනායක ඉනාමලුවේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වර්තමානය වනවිට භික්ෂුණීන් වහන්සේලා තුන්දහසක් පමණ උපසම්පදා අධි සීලයෙහි පිහිටුවා සිටී. භික්ෂුණීන් වහන්සේලාට අධ්‍යාපන කටයුතු සඳහා මං විවර වීම සහ උපසම්පදාව හිමිවීම පිළිබඳව කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ කියා සිටියේ දස සීලය රකින සාමණේරයන් වහන්සේලා අධි සීලයෙහි පිහිටුවන්නට තමාට දායක වෙන්න ලැබීම ලොකු භාග්‍යයක් ලෙස තමා සලකන බවය. 

 

 


“අද භික්ෂුණීන් මහණ උපසම්පදාව ලබන්නට අවශ්‍ය පහසුකම් සියල්ල තියෙනවා.

1998 දී උපසම්පදා කර්මය ලබනතුරු අභියෝග බොහොමයකට අපි මුහුණ පෑවා. භික්ෂුණීන් වහන්සේලා 300ක් පමණ සංඛ්‍යාවකින් අපි විසි දෙනෙක් පමණ සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරාගෙන මාස නවයක් පුරාවට කලුන්දෑව භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේ දී අපි අවශ්‍ය දැනුම ලබා ගත්තා. ඊට පස්සේ 1998 පෙබරවාරි 15 සහ 21 යන දෙදින තුළදී දඹදිව බුද්ධගයාවේ දී චීන භික්ෂුණීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රටවල් 22ක සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ජාත්‍යන්තර භික්ෂුණී උපසම්පදා විනය කර්මයේ දී චීන භික්ෂූන්ගේ හා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් උපසම්පදා අධිශීල ලැබුවා. තන්ත්‍රයානය, මහායානය, වජ්‍රයානය, හීනයානය හැමෝම එදා උපසම්පදාව ලැබුවා. මෙහිදී හීනයාන කියලා කියන්නේ ථෙරවාදී බුදු දහමට. අපි එදා එහිදී උපසම්පදාව ලැබුවත් අපේ ලංකාවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාගෙන් තමයි අපි සාමනේර සිල් ලැබුවේ. ඊට පස්සේ වත්පිළිවෙත් කළා. අපි ලංකාවේ තුන්සිය තුන් සිවුරු දෝතින් ගෙන බුදුන් වහන්සේ ළඟ තියලා පූජා කරලයි මේ සිවුර පොරවන් ඉන්නෙ. මේ කටයුත්ත සඳහා ලංකාවෙන් වැඩම කළේ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ ධම්මානන්ද හිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැදගම ශ්‍රී වජිරඤාණ නාහිමි, රාජකීය පණ්ඩිත තලල්ලේ ශ්‍රී ධම්මානන්ද අනුනායක හිමි, රාජකීය පණ්ඩිත මාපලගම විපුලසාර නායක හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත ඉනාමළුවේ සුමංගල නාහිමි, ආචාර්ය වරකාගොඩ පේමරතන නාහිමි, ශාස්ත්‍රපති පොරවගම සෝමාලංකාර නාහිමි, පිරිවෙන් පරීක්ෂක රාජකීය පණ්ඩිත කඹුරුපිටියේ නන්දරතන නාහිමි යන මහා සංඝරත්නය ඉදිරියේ අපි එදා සුදු රෙදි ඇඳලා සාමනේර සිල් ලැබුවා. ඊට පසුව ලබපු උපසම්පදාවට තමයි අද මේ රටේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන්නේ. ඒක කාගේ වුවමනාවට සිද්ධ වෙනවා ද කියන්න දන්නෙ නෑ. 


එදා අනුරාධපුර යුගයේදී අනුලා බිසවගෙන් පසුව වසර නවසීයකට පසු උපසම්පදාව ලබපු පළමු පිරිස විදියට අපි ලංකාවට එනකොට ලංකාව සම්පූර්ණයෙන්ම කැලඹිලා තිබුණා. මහායාන හීනයාන එකගෙයි කෑම යනුවෙන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණා. නමුත් අපි ඒවට සැලුණේ නෑ. අපි කටුනායක ඇවරිවත්ත විහාරස්ථානයේ දී ප්‍රථම සාංඝික දානය ලබාගත්තා. 


1998 මාර්තු මාසේ, ජූලි මාසයේ සහ දෙසැම්බර් මාසයේ උපසම්පදා තුනක් පිළිවෙළින් සිදු කළා. මේ වනවිට භික්ෂුණී ශාසනය තුළ උපසම්පදාව ලද භික්ෂුණීන් වහන්සේලා තුන්දාහක් පමණ ඉන්නවා. ඒ වගේම සාමණේරි වහන්සේලා ඇතුළුව භික්ෂුණීන් වහන්සේලා අටදාහක් පමණ ඉන්නවා. 


නමුත්, අපිට මේ රටේ අයිතිවාසිකමක් නෑ. ආරාමවලට ලියාපදිංචිය දෙන්නෙ නෑ. හැඳුනුම්පත නොමැතිව අපි දුක් විඳිනවා. හැඳුනුම්පත නොමැතිකමින් විදෙස්ගත වෙන්න අපහසුයි. අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවෙලා තියෙනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා භික්ෂුණීන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්නට සහ විභාගවලට ඉදිරිපත් වෙන්නට තැපැල් හැඳුනුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් උසස් පෙළ විභාගය සඳහා ජාතික හැඳුනුම්පත අවශ්‍යයි. භික්ෂුණීන් වහන්සේලා උසස් පෙළ සහ උසස් අධ්‍යාපනයේ දී ඉදිරිපත් කරන්නේ විභාග ප්‍රවේශ පත්‍ර සහ සහතික කරන ලද ඡායාරූප, දිවුරුම් ප්‍රකාශ වැනි දේ. ඒ තත්ත්වයට භික්ෂුණීන් වහන්සේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්නට මේ රටේ පුරුෂාධිපත්‍ය සමාජ ක්‍රමය සකස් වෙලා තියෙනවා. මේ නිසා භික්ෂුණීන් වහන්සේලා අටදාහකට පමණ මෙරට ඡන්දය අහිමි වෙලා තියෙනවා. අපිට ඡන්දය වැඩක් නෑ. නමුත් මේ සමාජයේ ජීවත්වන යම් පිරිසක් විදිහට මේ අයිතිවාසිකම් හැමෝටම ලැබිය යුතුයි. භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් ක්‍රමය පැවැතුණත්, භික්ෂුණීන් වහන්සේලාට මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. දැනට පවතින රජය විසින් භික්ෂුණීන් වහන්සේලා සඳහා පිරිවෙන ආරම්භ කළා. එය සතුටට කාරණයක්. අපේ ආරාම සෑම එකක්ම ලියාපදිංචි කරලා නෑ. ඒ නිසා රජයෙන් ලැබෙන කිසිම ආධාරයක් හෝ ප්‍රතිපාදනයක් ලැබෙන්නේ නෑ. ඇතැම් දේශපාලකයන් අපේ ආරාම සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දෙන්න සූදානම් වුවත්, මේ ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබෙද්දි එහි තිබෙන බෞද්ධ කටයුතු අංශය මගින් මේවා ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඊට හේතුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව භික්ෂුණී ආරාම ලියාපදිංචි නොකිරීමයි. නමුත් මේ ථෙරවාදී බුද්ධ ශාසනය තුළ කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් සියල්ල අහිමි වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලා විදිහට යම් යම් තීරණවලට එළඹෙමින් සිටිනවා. 


මොකද රටේ වගකිවයුතු ආයතන අපිට ඒ අයිතිවාසිකම් ලබා නොදුන්නත්, බෞද්ධ ජනතාව භික්ෂුණීන් වහන්සේලා කෙරෙහි විශාල ගෞරවයක් සහ ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා අපිට නිරන්තරයෙන්ම පිරිත් දේශනා සඳහා, ධර්ම දේශනා සඳහා ආරාධනා ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පාංශුකූලය සඳහාත් ආරාධනා ලැබෙනවා. අපේ බෞද්ධ පින්වතුන්ගෙන් ලැබෙන ඒ ආදරය ගෞරවය නිසා අපිට ලොකු සැනසීමක් තියෙනවා.


බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඔවුන්ට සිල්මාතාව ලෙස සැලකීමට උපදෙස් ලැබී ඇති බවත්, භික්ෂුණියක් ලෙස වෙනම සැලකිය යුතු නැති බවත් කියලා නිලධාරීන් අපිට කියනවා. නමුත් සිල්මාතාව සහ භික්ෂුණිය අතර තිබෙන වෙනසවත් නොදන්නා අය ද මේ තීන්දු තීරණ ගන්නෙ කියලා අපිට පුදුම හිතෙනවා. 
සිල්මාතාව කියන්නේ අනගාරිකව හිඳිමින් දස සීලය රකින කෙනෙක්. නමුත්, භික්ෂුණිය බුද්ධ නීතියට අනුව කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන කෙනෙක්. 

 

 


උපසම්පදා භික්ෂූන් වහන්සේලා කෙනෙක් 227 ශික්ෂා පද රැකිය යුතු අතර, භික්ෂුණීන් වහන්සේලා 311 ශික්ෂා පද ඇතුළුව තවත් කුඩා, අනුකුඩා ශික්ෂා පද බොහොමයක් ආරක්ෂා කරනවා. ඉතින් කොහොමද කියන්නේ භික්ෂුණීන් වහන්සේ සහ සිල්මාතාව සමාන වෙනවා කියලා. 


ඉස්සර බමුණු මතයක් තියෙනවා ‘ද්වංගුල පඤ්ඤා’ කියලා. නමුත් ඒ තත්ත්වය වෙනස් බව පඬිවරු ඒ කාලෙම ප්‍රකාශ කරලා තිබුණා. ‘ඉත්ථිපි පණ්ඩිතා හෝති - 
තන්ත තත්ථ විචක්කනං’ කියලා. සමහර අවස්ථාවන්හිදී කාන්තාව පණ්ඩිතයන් බවට පත්වනවා යනුවෙනි.


ඒ බව සනාථ කරන්න හොඳම උදාහරණ තමයි රාජකීය කාන්තාවන් වන විහාර මහා දේවී, උලකුඩය දේවි, ලීලාවතී බිසව වගේ අය. විදේශීය කාන්තාවන් ගත්තහම එලිසබත් මහ රැජින, මාග්‍රට් තැචර්, තෙරේසා මවුතුමිය වගේ අය. ශ්‍රී ලංකාව ගත්තහම ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක, ඒ වගේම මේ රටේ ජනාධිපතිවරියක් විදිහට කටයුතු කළ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වැනි කාන්තාවන්. ඔවුන් ළඟ තිබුණු හැකියාවන් සහ බුද්ධිය මෙහෙයවලා සමාජයට රටට වැඩ කළා. අදත් ඒ වගේ කාන්තාවෝ සාමාන්‍ය සමාජයේ වගේම මේ භික්ෂුණී ශාසනය තුළ ඉන්නවා. අද වනවිට අපේ භික්ෂුණීන් වහන්සේලා ගොඩක් කථිකාචාර්යවරියන් විදිහට, ගුරුවරියන් විදිහට, සමාජයට සේවය කරනවා. 


නුවරඑළිය කොත්මලේ ප්‍රදේශයේ දී උපත ලබන කොත්මලේ සුමේධා මෙහෙණින් වහන්සේ සාමනේර දිවියට පත්වන්නේ අවුරුදු දහතුනේ දී කෑගල්ල නැව්ගල දීය. උන්වහන්සේ උසස් අධ්‍යාපනය ඉතාමත් අපහසුවෙන් ලබා, භික්ෂුණී අධ්‍යාපන පීඨයේ ආචාර්යවරියක් ලෙස වසර විසිදෙකක් පුරාවට කටයුතු කරමින් සිටී. මේ වනවිට කුරුණෑගල භික්ෂුණී දිස්ත්‍රික් සංවිධානයේ අනුශාසක ලෙසත්, මාතලේ භික්ෂුණී සංවිධානයේ සභාපති ලෙසත්, සමස්ත ලංකා භික්ෂුණී ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී ලෙසත්, කටයුතු කරමින් සිටින උන්වහන්සේ පැවිදි සාමනේර සහ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාත්මික සහ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටී. උන්වහන්සේ පවසන ආකාරයට ඉතාමත් දුෂ්කර දිවි පෙවෙතක් ගතකරන අසරණ පිරිමි දරුවන් මහණ දිවියට පිවිසෙනවා වගේම, අසරණ තත්ත්වයට පත් දැරියන් භික්ෂුණී ආරාමවල වෙසෙන බවය. ඒ අයගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට, ඒ අයට පිරිවෙන් අධ්‍යාපනය ලබාදීමට, ඒ අයට අධ්‍යාපනයෙන් ඉහළට යොමු කිරීමට හැඳුනුම්පත අත් වී ඇත. මෙය සමාජ අවශ්‍යතාවයක්. නමුත් ඒ පිළිබඳව මහානායක හාමුදුරුවරු මෙන්ම මේ රටේ දේශපාලකයන්, නිලධාරීන්, අවධානය යොමු කරනවා නම් ඒක මහත් පින්කමක් ලෙස සලකන බව උන්වහන්සේ කියති.

 


චාන්දනී දිසානායක