ගුරුවරියක් අමාරුවේ දැමූ ගුරුවරයෙක්


 

 

තවත් අලුත් අවුරුද්දක් උදාවිණි. ඒ සමගම තවත් ‘‘කාන්තා දිනයක්ද’’ අත ළඟටම පැමිණ ඇත. එහෙත් දිගින් දිගටම සිදුවන කාන්තා හිංසන, අපචාර හා අපරාධවල අඩුවක් නම් දකින්නට නැත.  


මෙවරත් අපි පොලිස් පැමිණිලි පොතෙන් වාර්තා කරන්නේ එබඳු සිදුවීමකි.  


මේ හසිනිගේ කතාවයි.  


හසිනි වගකිවයුතු රැකියාවක යෙදුණු ඉතාම රූමත් දෙදරු මවකි. ඇය තම සැමියා සහ දරුවන් සමග ඉතා සාර්ථක ජීවිතයක් ගත කළාය.  


කොළඹට තදාසන්න පෙදෙසක යහපත් පවුල් පසුබිමක හැදී වැඩුණු ඇය සේවය කළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක වශයෙනි. ගුරු දෙගුරු කොයි කා සමගත් සුහදව වැඩ කරමින් ඇය කාගෙත් ආදරය දිනාගත්තාය.  


ඇයගේ ජීවිතයට කණකොකා හැඬුවේ කිසිසේත්ම නොසිතූ නොපැතූ අයුරිනි. ඒ පාසලට පැමිණි අලුත් ගුරුවරයෙකු නිසාය.  


ඔහු විජිත ය. විජිත පැමිණියේ තොරතුරු තාක්ෂණය විෂය ඉගැන්වීමට ය. ඔහුගේ ආගමනය තම ජීවිතයට බරපතළ බලපෑමක් වේ යැයි අැය කිසිසේත්ම සිතන්නට නැත. එහෙත් කාලය නපුරු ය.  


විජිත 28 හැවිරිදි ය. ඔහු තොරතුරු තාක්ෂණය ඉගැන්වීම පමණක් නොව තාක්ෂණික අංශයේ සියලු රාජකාරි කළේ ය.  


එම පාසලේ තිබෙන්නේ ආවරණය කරන ලද කාමර ය. දිනක් හසිනි තනිවම පන්ති කාමරයේ රැඳී සිටියදී විජිත අවසරයක් නොගෙනම ඒ පන්ති කාමරයට ඇතුළු වූවේ ය. ඒ කැමරා පද්ධතියේ අලුත්වැඩියා කිරීමක් සිදුකිරීමට ඇති බව පවසමිනි.  


ඇයට ද ඔහු පිළිබඳ කිසිදු අවිශ්වාසයක් නොතිබූ නිසා ඔහුට ඉඩදී ඉවත්ව ගියා ය. ඒ සමගම මෙම ගුරුවරයා ඇය සිප වැළඳගෙන තිබෙන්නේ බලහත්කාරයෙනි.  
කිසිවෙකුත් නොමැති නිසොල්මන් පන්ති කාමරය තුළ සිදුවූ මෙම සිද්ධිය අදහාගත නොහැකිව ඇය වික්ෂිප්තව බලා සිටියා ය.  


සිහි එළැඹි වහාම ඇය කෑ ගසමින් මේ පිළිබඳ ඔහුගෙන් විමසූ විට එම ගුරුවරයා ක්ෂණයකින් එතැනින් පලා ගොස් ඇත. එසේ පිටවගොස් ඇයට ඇමතුමක් දී කියා ඇත්තේ සිදුවූ සියල්ල CCTV කැමරාවල අඩංගුව ඇති බවත් මේ පිළිබඳව කිසිවෙකුට හෙළි කළහොත් අවශ්‍ය වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවත්ය.  


ඔහු ඒ වෙන විටත් CCTV පද්ධතියෙන් ඒ අදාළ වීඩියෝ පටය තම සන්තකයට ගෙන තිබිණි.  


තම දරු දෙදෙනා සහ ස්වාමියා සමග ඉතා හොඳින් ජීවත් වූ හසිනිගේ ජීවිතය ගිනිගෙන දැවෙන්නට වුණේ ඉන් අනතුරුව ය.  


මෙම සාහසිකයා ගුරුවරිය බියවද්දා අයුතු යෝජනා කරන්නට පටන්ගෙන තිබිණි.  


ඔහු හමුවීමට එන ලෙසත් එය ප්‍රතික්ෂේප කළහොත් CCTV පද්ධතියේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බවත් කියමින් තර්ජනය කර ඇත.  


ඔහු එම වීඩියෝව තම ජංගම දුරකතනයටද එක්කොට එහි අඩංගුව ඇති වීඩියෝව ඇයට පෙන්වමින් තව තවත් ඇය ප්‍රාණ ඇපයට තබාගන්නට උත්සාහ කර ඇත්තේ තමාට අවශ්‍ය ආශාවන් සන්තර්පනය කර ගැනීමේ අදිටනෙනි.  


ඔහුගේ කැඳවීම්වලට අවනත වෙනවා හැරෙන්නට ඇයටද කරන්නට කිසිවක් නොමැති විය.  


තමාට වූ මෙම අසාධාරණය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළහොත් දැඩි ලජ්ජාවට සහ අපහසුතාවට පත්වේ යැයි බිය වූ බැවින් සාහසිකයාට තව දුරටත් සවන් දෙන්නට ඇයට සිදුවිය.  
දිගින් දිගටම අපචාරයට ලක් වෙමින් මෙලෙසින් විස බඹර තුඩුවලට ගොදුරු වීමට ඇයට සිදුවූ අතර සිදුවීම අවසන් වූයේ ඛේදවාචකයකිනි.  


ඇයට සමාජ රෝග තත්ත්වයක්ද වැළඳී තිබිණි.  


මේ පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට අප සම්බන්ධ කර ගත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ සථානාධිපති මනෝජ් සමරසේකර මහතා ය.  


මේ සිද්ධියට අදාළ තොරතුරු ලැබුණු විගසම අපි අවශ්‍ය විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ සිදුවීමේදී මේ ගුරුවරයා විසින් ගුරුවරිය බය කරගෙන ඉඳලා තියෙන්නෙ. ඒ ඇයව සිපගන්නා දර්ශන ඇතුළත් ක්ලිප් එකක් අන්තර්ජාලයට මුදාහරින බව කියමින්. ඇයට තර්ජනය කර විවිධ යෝජනා කර තිබෙනවා. ඒ හෝටල් කාමර ආදියට යාමට. ඇය ඒවා ප්‍රතික්ෂේප කර නොතිබී ඇත්තේ ඔහුගේ තර්ජන නිසා. දිගින් දිගටම මේ පුද්ගලයා ඇයට මේ අපරාධය සිදුකරනවා. අවසානයේ තමයි දැනගන්නෙ ඇයට සමාජ රෝගයක් වැළඳී තිබෙන බව.  


මේ සිදුවීම ඇයගේ ස්වාමියාටත් ආරංචි වුණා. සමහරවිට ඒ වෙද්දී ඔහුටත් ඒ රෝගය පැතිරිලා තියෙන්නටත් ඇති.  


මේ පැමිණිල්ල සටහන් කරගත් වහාම අපි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. කාන්තාවකට බලපෑම් කර යම්කිසි අපචාරයක් සිදුකළොත් එය ‘ස්ත්‍රී දූෂණයක්’ කියන වරදට යටත්වෙනවා.  


ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නෙ රැකියා කරන කාන්තාවන්ට සමහර වෙලාවට මෙවැනි දේ ගැන අවධානයෙන් ඉන්නයි. බලපෑම් කරලා වීඩියෝ ඡායාරූප ආදිය ළඟ තබාගෙන කියලයි. ඒවා අන්තර්ජාලයට මුදා හරිනවා. ජීවිතය විනාශ කරනවා යනුවෙන් බිය වද්දා තම අරමුණුවලට යන්න පුළුවන්. ඒ වගේ මානසික ලෙඩ්ඩු මේ රටේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් ඒවාට බියවෙලා ඒවා දරාගෙන සිටීම නෙවෙයි කළයුතු වෙන්නේ. ඒ පිළිබඳ වහාම ක්‍රියාත්මකවීමයි අවශ්‍ය වෙන්නේ.  


ශ්‍රී ලංකාවෙ නීති පද්ධති​ෙය තියෙනවා කාන්තාවකට ආරක්ෂා වීමේ නීතියක්. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය. ඒ පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. 80 වැනි වගන්තියේ දිගටම තියෙන්නෙ පෞද්ගලික ආරක්ෂාවීමේ අයිතිය පිළිබඳව.  


ඕනෑම කාන්තාවකට තමන්ගෙ ජීවිතය මෙන්ම දේපොළ ආරක්ෂා කර ගැනීමේ අයිතිය නීතියේම තියෙනවා. ඒ වෙනුවෙන් තමන්ට හිමිකමක් තියෙනවා. ඒ නිසා කිසිම දේකට බියවීමේ හේතු නැහැ. එවැනි අවස්ථාවක ක්‍රියාත්මක විය යුතුයි.  


බියවීම තුළින් සිදුවෙන්නෙ තමා අගතියටම යාම පමණයි. දිගින් දිගටම මේ දේවල් සිදුවුණොත් විනාශයටම යනවා. නියපොත්තෙන් කඩන්න පුළුවන් එ්වා පොරොවෙන් කපනකල් වැවෙන්න අරින්න හොඳ නෑ.  


විශේෂයෙන් කාන්තාවන් අවට සිදුවෙන හැම දේ ගැනම අවධානයෙන් සිටීම ඉතා වැදගත්. බස්රථයේ, දුම්රියේ ගමන් කරද්දී වුවත් තමන් ගැවසෙන සෑම ස්ථානයකදීම ආරක්ෂා විය යුතුයි.  


ඒ වගේම මතක තබා ගත යුතුම දෙයක් තමයි දැන් මිනිස්සු හැමෝම ළඟ තියෙන්නෙ ස්මාර්ට් ​ෙෆා්න්. ඒවයින් අපරාධ සිදුවීම ඉතා වැඩියි. ඒ නිසා නොදන්නා පුද්ගලයන් සමග කතාබහ කිරීමේදී පවා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.  


ඇතැමුන් ජීවිතය නැතිකර ගන්නෙත් මෙවැනි සිදුවීම් නිසා. තමාගේ ප්‍රශ්න විවෘතව කතා නොකොට විසඳුම් ලබා ගැනීමට නොහැකිව මානසික ආතතියෙන් මිදීමට තෝරාගන්නා මාර්ගය එය නොවේ.  


බුද්ධියෙන් විමසා බලා හැමදේ ගැනම තීරණ ගන්නවා නම් මෙවැනි විපත් මැඩ පවත්වා ගැනීමට හැකිවෙයි.  


ඉතා සතුටින් තම දරුවන් දෙදෙනාත් සමග ජීවත් වූ මෙම කාන්තාවගේ කුරුලු කූඩුව කඩා මුළු පවුලටම දුකක් දී සිදුකළ මෙම පාපතර ක්‍රියාව කෙතරම් සිතට වේදනාවක්ද? තම ස්වාමියාට දැනෙන වේදනාව ජීවිතයට ඇතිවෙන කලකිරීම කොතෙක්ද?  


මෙමගින් මේ පවුලේ සියලු දෙනාටම සිදුව ඇත්තේ ඇවිලුණ ගින්නෙන් දැවි දැවී ජීවත්වීමට නොවේද?  


මේ දේවල්වලින් තමාත් සැමියාත් පවුලේ අයත් සමාජ අපවාදයන්ට ගැරහුම්වලට ලක්වෙන බවද නොරහසකි. මෙවැනි සිදුවීමකදී දැඩි පීඩනයකට කනස්සල්ලකට පත්වෙන බවද අමුතුවෙන් කිවයුතු නොවේ.  


එදා සිට අද දක්වාම කාන්තාව මෘදු, සුකොමළ ළද බොළඳ ලජ්ජාව බිය ඇති තැනැත්තියක ලෙස නම් දරා ඇත. ඒ නිසා ඇතැම්හු කුමන කරදරයක් සිදුවුවත් සමාජයෙන් සඟවා තබාගන්නට උත්සාහ ගනිති. තමා තනිවම දඬුවම් විදී. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ.  


සමාජයට පිළිලයක් ​ෙවන මෙවැනි පාපතරයන්ට නිසි දඬුවම් ලබාදී ඔවුන්ව නීතියේ රැහැනට හසුකර දීමයි.

 

 

 

සටහන : ධනු විජේරත්න
ඡායාරූප : චානුක කුලසේකර