ගැබ්බර ඊරිය මැරූ පවට බෙල්ල කැඩී පරලොව ගිය මස් වැද්ද‌ා


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. ​ෙම් විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 


අකුරැස්ස, පහළ මලිද‌ාව මිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

 
ගැබ්බර ඊරිය මැරූ පවට බෙල්ල කැඩී පරලොව ගිය මස් වැද්ද‌ා   


මෙකල සතුන් දඩයම් කිරීම, මස් පිණිස විකිණීම දැඩි ලෙස නීතියෙන් තහනම් වූ කටයුත්තක් වූවත් මීට කලකට ඉහත එය එතරම් තද බල නීති විරෝධී කටයුත්තක් ලෙස නොසැලකුණි. එබැවින් එද‌ා ගම්වල සිටි බොහෝ දෙනා ගම අවට ඇති කැලෑ තුළට වැදී සතුන් දඩයම, මස් පිණිස විකිණීම සාමාන්‍ය දෙයක් බවට පත් කර ගෙන තිබුණි.   


එය සමහර අයගේ ජීවනෝපාය බවටද පත් කර ගෙන තිබුණි. එසේම බොහෝ ගැමියන්ට තම කෑම වේලට දඩමසක් නැතිවම බැරි දෙයක් විය. එවන් වූ පරිසරයක මීට කලකට පෙර ඈත දුෂ්කර ගමක දිවි ගෙවූ කළු අප්පු නමගිය දඩයක්කරුවෙකු විය. තම ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්වල පවා ඔහු ගැන නොදන්නා කෙනෙක් නොවීය. ඔහුගේ පව්කාරකම කෙතරම් බලවත් වීද යත් ඔහුට කිසි දිනෙක දඩයමක් නම් වැරදුණේ නැත.   


සතුන් මැරීම කළු අප්පුට මහත් විනෝදයක් ගෙන දෙන්නක් විය. සතුන්ට දස වධ දෙමින් මරා මස් කිරීමෙන් ඔහු ලැබුවේ අපමණ සතුටකි. එසේ බලන විට කළු අප්පු මස් වැද්දෙක් යැයි හැදින්වූවාට කිසිදු වරදක් නැත.   


එකල ගමේ මගුල් තුලාවක් හෝ වෙනයම් උත්සව කටයුත්තකදී මුලින්ම මතකයට එන්නේ කළු අප්පුය. ඒ උත්සවයට අවශ්‍ය දඩමස් ටික නොවරදවාම සපයා ගත හැකි නිසාය. අවශ්‍ය වෙන්නේ දිනය දැනුම් දීම පමණි. හරියටම දිනයේ නියමිත වෙලාවටම කිරිගහට ඇන්නා වගේ මස් ටික ලැබෙන බව හැමෝම දනිති. ඔහුගේ ප්‍රධාන ආද‌ායම් මාර්ගයද වූයේ සතුන් මරා මස් විකිණීමයි. මෙයින් ඔහුට හොඳ ආද‌ායමක්ද ලැබුණි. ‘‘කළු අප්පු දකින කොට ඌරෝ එන්නේ තුන පහ පිටේ බැඳගෙන’’ යැයි පැවසීමට තරම් බොහෝ ගැමියෝ පුරුදුව සිටියේ ඔහු ඌරු දඩයමට ඒ තරම් ගජ හපනෙක් වීම නිසාමය. වෙඩි තබා හෝ උගුලක් අටවා සතුන් දඩයම් කිරීමට ඔහු අති දක්‍ෂයෙක් විය.   


දිනක් කළු අප්පු ඇටවූ උගුලකට විශාල ඊරියක් අසු වී තිබිණි. මේ ආරංචිය කණ වැකුණු මසට ගිජු වූ ගැමියො බොහෝ දෙනෙක් ඌරු මස් මිලදී ගැනීමට පැමිණියහ. ඒ වන විටත් උගුලට අසුවී දඟලන ඊරිය මෙල්ල කර ගැනීමට කළු අප්පු මුගුරක් ගෙන ඊරියට පහර පිට පහර එල්ල කරමින් සිටියේය. මස් මිලදී ගැනීමට පැමිණ සිටි බොහෝ දෙනෙකුට දැකගත හැකි වූයේ ඊරිය පැටවුන් ලැබීමට ඉතා ආසන්න ගැබ්බර එකියක් බවයි. ඇයගේ තණ පුඩු වලින් කිරිද ගලා යනු පෙණින. කළු අප්පුට ඒ වගක් නැත. ඔහු වැළක්වීමටද හැකි කෙනෙක් නැත.   


ටික වේලාවක් පහර කෑ ඊරිය අසරණව කෑ ගසමින් දඟලා අවසන් හුස්ම හෙලුවේ හද කම්පා කරවන ලෙසිනි. කළු අප්පු මදක් හති ඇර ඊරිය මස් කිරීම ඇරඹීය. මුලින්ම කළේ ඊරියගේ බඩ පලා කුස තුළ සිටි මස් වැදිලි වැනි ඌරු පැටවුන් කීපදෙනෙක් එලියට ගෙන පසෙකින් තැබීමයි. සතෙකුට වුවත් මේ කරන අපරාධය දුටු බොහෝ දෙනෙක් ආපසු යන්නට ගියේ අපිට නම් ජීවිතේටම මස් එපා යැයි පවසමිනි.   


ඒ අැසුණු කළු අප්පු ‘‘උඹලගේ කොරටු වල බෝග පාලු කරන කොට ඔහොම කියන්නේ නෑ. මම කරන්නේ මොන තරම් සේවයක්ද?’’ යනුවෙන් පැවසුවේ මහත් උජාරුවෙනි. තම කටයුත්ත කර මස්ටික විකුණා ගත් ඔහු පැටවුන් පෙන්නා පැවසුවේ ‘‘මරු කටගැස්මයි’’ තලු මරමිනි.   


එහෙත් මේ ඔහුගේ අවසන් දඩයම බව ඔහුවත් නොදත්තේය. මේ ම්ලේච්ඡ ක්‍රියාව සිදුකර වැඩි දිනක් ගතවීමට පෙර මේ මහා පාපයේ විපාකය ඔහු සොයා එන්නට විය. කළු අප්පු තමා අලුතින් ඉදිකළ නිවසේ වහලයට අවශ්‍ය ලී ටික ලබා ගැනීමට තවත් කීප දෙනෙකු සමග වනයට ඇතුලුව විශාල ගසක් කපා බිම හෙළීය. එහි කඳ කොටස් වලට කපා වෙන්කළ අතර තරමක උස්බිමක තිබූ බැවින් ඒවා පහළට ගෙන ඒමට අවශ්‍ය විය. එක් විශාල කොටයක් කීපදෙනා එක්ව පහළට පෙරළන්නට විය. කරුමයක මහත එක් වරම එම දැවැන්ත කඳ ඔවුන්ට හසුරුවා ගැනීමට නොහැකිව එක් වරම කර කැවී වේගයෙන් පහළට පෙරළෙන්නට වූයේ එහි එක් කොණක් කළු අප්පුගේ ඇඟේ වැදී ගෙනය. වැදුණ පහරේ වේගයට ඔහු උඩින්ම විසි වී ගොස් අසල තිබූ හෙළකට ඇද වැටුණේ හිස පහතට හැරෙන්නටය. බිම වැටෙනවාත් සමගම බෙල්ල කැඩී ගොස් තිබූ අතර හීන් කෙඳිරියක් වත් නොනගා කළු අප්පු අවසන් හුස්ම හෙළ තිබුණි.   


අහිංසක සතුන්ට කළ අපරාධ මෙලොවදීම පළදී ඇති බව හැමෝම පවසන්නට වූහ. අදටත් ගමේ මඟුල් තුලාවක් වැනි දෙයකදී ගැමියන් එක් වූ විට මෙය සිහිපත් කරන්නේ පවක් කළොත් එයට මෙලොවදීම විපාක ලැබෙන බව පවසමිනි.   

 


අම්පාර, මිහිදුපුර   


අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


බල්ලන් කෙරේ වෛර බැඳගත් සුනන්දට අත් වූ ඉරණම   


මීට වසර විසිඅටකට පමණ පෙර අද තරමට දියුණු නොවූ කුඩා නගරයක කුළුබඩු නිෂ්පාදනය කොට බෙද‌ාහැරීමේ කර්මාන්ත ශාලාවක් තිබුණි. එම ආයතනයේ නිෂ්පාදන අවට ගම්වලට බෙද‌ාහැරීම කෙරුණේ ඔවුන් සතුව තිබුණ පරණ වෑන් රථයකිනි. එහි රියදුරු වශයෙන් සේවය කළේ වැඩපළට සැතපුම් බාගයක් පමණ දුරින් පදිංචිව සිටි සුනන්ද නැමත්තෙකි. ඔහුගේ නිවසත් වැඩපළත් අතර ගමේ පන්සල පිහිටා තිබුණි.   


එක් දිනක් මෙම අබලන් වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා සුනන්ද එය සාද‌ාගෙන වැඩපළට එනවිට රාත්‍රි දහය පමණ වී තිබුණි. ඔහු සේවය නිමකොට පන්සල අසලින් නිවසට යන විට අසල සිටි බල්ලෙකු බුරාගෙන විත් සුනන්දගේ කකුලක් සපාකෑවේය. පාර අයිණේ තිබූ ගල්කැට කිහිපයක් ගෙන බල්ලාට ගසා පන්නා දැමූ සුනන්ද ගෙදරට යන විට බල්ලා සපා කෑ කකුල දිගේ ලේ බේරෙමින් තිබුණි.   


සුනන්ද මේ විත්තිය බිරියට කීවේය. ඒ ඇසූ ඇය ඕකට බය වෙන්න දෙයක් නෑ. මුරුංගා පොතු බලු විෂට හොඳ බෙහෙතක් නේ කියා වත්තේ තිබුණු මුරුංගා ගසකින් පොතු කෑල්ලක් ගෙන විත් ගලක තබා අඹරා බල්ලා සපා කෑ මුඛයේ තබා රෙදිකඩකින් තදකොට බැඳ තැබුවාය. පසු දින උදේ වන විට සුනන්දට කිසිම වේදනාවක් නොදැනුණ නිසා පුරුදු පරිදි ඔහු වැඩට ගොස් මුදලාලිටද මෙම සිද්ධිය කීවේය.   


ඒ ඇසූ මුදලාලි එදින සුනන්දට වැඩට නොයන ලෙස කියා තවත් සේවකයෙකු සමඟ ඔහු ග්‍රාමීය රෝහල වෙත යවනු ලැබිය. එහිදී බල්ලා සපා කෑ තුවාලය පරීක්‍ෂාකර බැලූ දොස්තර මහතා සුනන්දගේ බුරිය අසලට ඉංජැක්ෂන් එකක් විද ඉදිරියට තව දින එකොළහක් පැමිණ ඉංජැක්සන් විදගත යුතු බවට නියම කළේය. එහෙත් රැකියාවට යාම නතර කිරීම අවශ්‍ය නොවන බවද කීවේය.   
ඒ අනුව සුනන්ද වාහනයේ වැඩකරන අතරම නියම කරන ලද එන්නත්ද ලබාගත්තේය. මේ සිද්ධියෙන් පසු සුනන්ද බල්ලන් කෙරේ බද්ධ වෛරයක් ඇතිකර ගත්තේය මේ ආකාරයට සුනන්ද තුළ බල්ලන් කෙරේ ඇති වූ වෛරය නිසාම ඔහු වෑන් රථය පදවාගෙන යන හැම මොහොතකම පාරේ බල්ලෙකු සිටිනවා දුටුවොත් වාහනයට යටකර ගෙන යාමට උත්සාහ කළේය. ඒ ආකාරයට සතියකට බල්ලන් දෙතුන් දෙනෙකු ඔහු අතින් මිය නොගියා නම් ඒ කලාකුරකිනි.   


මෙසේ කාලයක් ගතවන විට ඔහුට ගමේ මිනිසුන්ද ‘‘බලු සුනන්ද’’ යනුවෙන් නමක් පටබැඳ ගත්තේය. මේ දැන සුනන්ද බල්ලන් කෙරේ ඇති කරගෙන සිටි වෛරය තව තවත් වැඩිකර ගත්තා මිස බල්ලන් යට කිරීම අත්හලේ නැත.   


අද මෙන් එදත් බලු පැටව් බළල් පැටවුන් රංචු පිටින් පන්සල් අසලට ගෙනවිත් දැමීම අපේ සමාජයේ බො​ෙහා් අය කරන දෙයකි.   


එක් දිනක් සුනන්ද සේවය නිමකිරීම සඳහා වාහනය පදවාගෙන වැඩපළට යන විට පන්සල ළඟ කුඩා බලුපැටවුන් හතර පස් දෙනෙකු කිසිවෙකු හෝ ගෙනවිත් දමා සිටිනු දුටුවේය. සුනන්ද වාහනයට යටකර එම බලුපැටවුන්ද විනාශ කර දමා යන්නට ගියේය. ඉන් මාසයකට පමණ පසු දිනෙක සුනන්ද වැඩට ගිය පසු මුදලාලි ඔහුට කතා කොට එදින කුළු බඩු බෙද‌ාහැරීම නවතා වෙනත් දුරබැහැර ගමනක් යාමට ඇති බවත්, ආපසු ඒමට සිදුවන්නේ පසුදින බවත් පැවසීය.   


ඒ අැසූ සුනන්ද ‘‘මුදලාලි එහෙම නම් මට අමතර ඇඳුමක් ගෙනියන්න වෙනවා. මම ගෙදර ගිහින් ඇඳුමක් අරන් එන්නද’’ කියා ඇසීය. වාහනය අරන් ගිහින් ඉක්මණට එන්නැයි මුදලාලී කීවේය.   
සුනන්ද වෑන් රථය රැගෙන ගෙදර ගොස් බිරිඳටද මේ බව පවසා ඇඳුමක්ද ලෑස්තිකර ගෙන මිදුලේ නවතා තිබුණු වාහනයට නැග එය පණගන්වා ආපසු යෑමට හැරෙව්වේය. එහෙත් ඔහුගේ සිව් හැවිරිදි පුතා වාහනය පිටුපස සිටිනවා ඔහු දුටුවේ නැත. වාහනයට යට වූ දරුවා ඒ මොහොතේම මියගියේය.   


මෙයින් වේදනාවට පත් සුනන්ද මාස දෙක තුනක් වැඩට නොගොස් සිට නැවත සේවයට ගියේ ජීවත් වීමට මඟක් නැති තැනය. එසේ ගොස් ඔහුට වැඩ කිරීමට ලැබුණේ මාස හතරක පමණ කාලයක්. හදිසි රිය අනතුරක් සිදුවීමෙන් ඔහුටද මෙලොව හැරයාමට සිදුවිය.   

 



මහනුවර,   


ජේ.ඒ.එල්. ජයසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


මෙම සිදුවීම මධ්‍යම පළාතට නුදුරු ගම්මානයක සත්‍ය සිද්ධියකි. මෙහි කථා නායකයා දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රබල වූ දේශපාලනඥයෙකුගේ සමීප සහචරයෙකු සහ පුද්ගලික ආරක්‍ෂකයෙකු ලෙස කාලයක් වැජඹුණේ ඔහුගේ තරුණ අවදියේය.  


ඉතා හැඩි දැඩි සිරුරකින් යුත් මොහු ගෝරිං යන අන්වර්ථ නාමයෙන් හැඳින්විය. නිතර නිතර ගැටුම්කාරීව හැසිරුණු, තම විරුද්ධවාදී දේශපාලනඥයන්ට සහය දුන් ආධාර කරුවන්ට පහර දී වධහිංසා කිරීම, කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ වලටද නිරන්තර​ෙයන් සම්බන්ධ වීම ගමේ ප්‍රබල චණ්ඩියෙකු ලෙස ගම්වාසින් අතර ප්‍රසිද්ධව සිටි අයෙකි  


​ෙම් මැර පුද්ගලයාගේ ජීවිතය අවසානයේ කෙළවර වූයේ ඔහු කරන ලද අපරාධ වලට බුදු දහමේ නියමය අනුව දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙනි.  


අහිංසක මිනිසුන් බියවැද්දීම් වලට නිරන්තරයෙන් සම්බන්ධ වූ ඔහු තම දේශපාලනඥයාගේ බලය අතට ගනිමින් ගම්වාසින් බියට පත් කරමින් ඉතා සැහැසි ලෙස ක්‍රියාකළ අතර අහිංසක තරුණියන් කීප දෙනෙකු දූෂණයටද ලක් කළේය.  


තමා සමග හිතවත්ව සිටි ගමේ ප්‍රභූ පුද්ගලයෙකු ලෙස ජීවත් වූ මහත්මයකුගේ නිවස වසා තිබියදී එහි දොර කඩා නිවසට ඇතුළු වී එම ප්‍රභූවරයාගේ රුපියල් ලක්‍ෂ 10ක මුදලක්ද සොරාගෙන පලා ගොස් සිටි මෙම පුද්ගලයාට එරෙහිව කිසිවෙකු වචනයක් කථා නොකළේය. තම තරුණ අවදියේ දේශපාලන බලවතාගේ හයියෙන් විවිධ අපරාධ අපචාර සිදුකළ ඔහුට එරෙහිව බොහෝ විට ‘නීතිය’ ක්‍රියාත්මක නොවූයේ ඔහුට එරෙහිව කිසිවකු පොලිසියට සක්‍ෂි ලබා නොදීම නිසාය.  


තරුණ අවදියේ විවිධ අපරාධ අපචාර කොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කරමින් තම විරුද්ධවාදී දේශපාලන මත දැරූ පුද්ගලයන්ට හිරිහැර කරමින් ඔවුන්ගේ දේපොළවලට හානි කරමින් ‘‘වීරයෙකු ලෙස හැසිරුණු ඔහු ක්‍රම ක්‍රමයෙන් වයස් ගත වන විට’’ ඔහුට නොදැනෙන්නට මෙන් ඉතා භයානක ලෙඩ රෝග ඔහුගේ ශරීරය වෙළා ගත්තේය.  


ඉතා දරුණු පිළිකා රෝගයක් ඔහුට වැළඳී තිබූ අතර ශරීරය පුරා කුඩා තුවාල (හොරි) සැදී ​ෙබලහීන තත්ත්වයකට ඔහු පත්වූයේ තරුණ කාලයේ සිදු කරන ලද පාප කර්මයන්ට දෙවියන් දුන් දඬුවමක් ලෙසය   


වයස අවුරුදු 62 වනවිට පිළිකා රෝගය ඉතා දරුණු ලෙස ඔහුගේ සිරුර පුරා පැතිර ගොස් ඔහු කථා කරන විට මුවෙන් හඬ පිටවීමක්ද සිදු ​නොවිය. ඉතා අසීරුවෙන් මහමග ඇවිද ගිය ඔහු ගමේ පාරකදී හදිසියේම බිම ඇද වැටුණේ සිරුරේ ශක්තිය ‘හීනවී’ ගොස් තිබූ නිසාය. ගම්වාසින් මෙම ශක්තිමත් පුද්ගලයාට සිදුවූ දෙය පිළිබඳව කම්පා නොවූහ. ඔහු තරුණ අවදියේ දේශපාලනඥයාගේ බලයෙන් ඉදිමී ගමේ මිනිසුනට කළ හිරිහැර වධහිංසා සහ අපරාධ ගම්වාසින් සිහිපත් කළහ.  


මොහුට සහාය දුන් මොහුගේ සෑම අපචාරයක්ම ක්‍රියාවක්ම අනුමත කළ ප්‍රබල දේශපාලනඥයා මෙලොවින් සමුගෙන සිටි අතර තරුණ අවදියේ ඔහුගේ විවිධ අපරාධ හා නොපනත්කම් වලට, සහාය දුන් සගයාද (මිතුරාද) අතපය අප්‍රාණික වී අංශ භාග රෝගය වැළඳී ලෙඩ ඇ​ෙඳ් පසුවෙයි. පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඔහුගේ මුදල් කොල්ලකෑමටද සම්බන්ධ වූ ‘‘ගෝරිං’’ සාක්‍ෂි කිසිවක් ඔහුට එරෙහිව නැගී නොතිබුණු නිසාත් ඔහුගේ දේශපාලනඥයාගේ බලය නිසාත් එම අපරාධයෙන් සූක්‍ෂම ලෙස බේරීමටද සමත්විය.  


ඔහුගේ වීරකම් චණ්ඩිකම් නිමාවී පිළිකා රෝගය උත්සන්න වී මහමග ඇද වැටී ඉතාමත් අවාසනාවන්ත වී මහමග සමුගැනීම ඔහු විසින් කළ සියලු අපරාධ ගැලේ බැඳි රියසක ලෙස ඔහු පසුපසම ආ නිසා බව ඔහු විසූ ගමේ වැඩිහිටියෝ පැවසූහ. මියගියද කිසිවෙකු ඔහුට අනුකම්පා නොකළහ. ඔහු කල වැරදිවලට ඔහුට ‘ජීවත්ව සිටියදීම දඬුවම් ලැබුණේ බුදු දහමට අනුව කර්මය ඵලදීමෙන් බව ගම්වාසීහු පවසති.  

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.   


රුදු මරු එනවිට බැහැ සැඟවෙන්නට

   
විල්සන් නමින් ​මොහු හඳුන්වමි. විල්සන් මේ ගමේ තරමක පොහොසත් පවුලක තරුණයෙකි. පියා විසින් ඔහු නගරයේ ප්‍රසිද්ධ පාසලකට යවා උගන්වනු ලැබුවත් ඔහු ඉගෙන ගත් දෙයක් නොවීය. දෙටු පෙළ විභාගය ඔහු තෙවරක්ම ගත්තේ පියාගේ බල කිරීම නිසාය. විභාගය අසමත් වූ ඔහු පියා​ෙග් සිල්ලර කඩයේ වැඩ කිරීම භාර ගත්තේය. ඔහුට පාප මිත්‍රයෝ බොහෝ වූහ. ටිකෙන් ටික සවසට යන්තම් හොර සුරා පානයට ඔහු පුරුදු විය. ගමේ පෙරන හොර සුරා පැරදවීමට ඔහු ‘දන්කොටුව ස්පෙෂල්’ නමින් එදත් අදත් හඳුන්වන හොර සුරා ගමට ගෙන ආවේය. ඔහුගේ ව්‍යාපාරය සාර්ථක විය. එවකට පෞද්ගලික බස් නොතිබූ නිසා ඔහු හොරසුරා ගෙන එනු ලැබුවේ ලංගම බස් රියැදුරන් මගිනි. සන්තෝසම් ලැබෙන නිසා බොහෝ රියැදුරෝ මොහුට සුරා ගෙන ආහ. අහල පහළ ගම් පවා තම ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමටත් ඒවායේ දඩබ්බර තරුණයන් තම වසඟයට ගැනීමටත් විල්සන් සමත් විය. පසුව මොහු ගම් වැසියන්ගේ ගවයන් සොරකම් කොට මස් මුදලාලිට විකිණීමට ද පුරුදු විය. මැරයන් මගින් මුළු ගම් පළාතම බිය ගන්වා තම කටයුතු කිරීමට විල්සන් සමත් විය.   


ගම් වැසියන් දෙදෙනකු මොහු පිළිබඳ පොලිසියට පැමිණිලි කළ අතර ඔවුන් දෙදෙනාගේ සැක කටයුතු අකල් මරණ නිසා කිසිවෙකු ඔහුට විරුද්ධව පොලිසිය ගියේ නැත. හරක් හොරකම් කොට මැරීම හොරසුරා ආදියට අමතරව මොහුගෙන් ගමේ කාන්තාවන්ට ද බොහෝ කරදර සිදු විය. යුවතියන් පමණක් නොව රූමත් විවාහක කාන්තාවන් මෙන්ම මව්වරුන්ට ද මොහුගෙන් ගැලවීමක් නොවීය. ඔහුට විරුද්ධ වෙමින් ක්‍රියාත්මක වූ පුදගලයෝ විල්සන්ගේ මැර ප්‍රහාරවලින් තුවාල ලබා සදාකාලික හෝ තාවකාලික අබ්බගාතයන් බවට පත් වූහ. කලැත්තෑවේ සිද්ධියේ පතළවීමත් සමග ගම්මුන් මොහු හැඳින්වූයේ පොඩි සොයිසා නමිනි. මොහුගේ පවිටු ක්‍රියාකාරකම්වලට විරුද්ධ වූ පියාට ද අත්වූයේ අකල් මරණයකි. මියගිය සියලු දෙනාම වැවේ ගිලි මිය ගිය අතර ගම් ප්‍රදේශය භාරව සිටි හදිසි මරණ පරීක්ෂකවරයා මෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන් ද ඔහුගේ මුදල් වලට යට වී ඒ මරණ සියල්ල ස්වභාවික මරණ බවට තීන්දු කර තිබුණි. පොඩි සොයිසා අහළ ගම් හතකට ආධිපත්‍ය තහවුරු කරගෙන තිබුණි. වර්තමානයේ පාතාල කල්ලි නායකයන් වැඩ පුරුදු වූයේ මොහුගෙන් යැයි සිතන්නට පවා ඉඩ ඇත. පොඩි සොයිසා පංච දුශ්චරිතයේ ගැලී වසර පහක් පමණ රජ කරන්නට සමත් විය.   


දිනක් හොර හරක් වෑන් රියකට පටවමින් සිටියදී රැහැන කඩා ගත් හරකෙක් පොඩි සොයිසාට උදරයට හා පපුවට ඇණ බරපතළ තුවාල සිදු කළේය. රෝහලට ගෙන ගිය පොඩි සොයියාගේ බඩවැල් වලින් වැඩි කොටසක් කපා දැමීමට ද පෙණහල්ලක් ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදුවිය. හිසට ඇති වූ තුවාල නිසා ඔහුගේ සිහිය ද වෙනස් විය. එය සුව කළ නොහැකි බව මනෝ වෛද්‍යවරයා විසින් දන්වනු ලැබ තිබුණි.   


රෝහලෙන් පිට වූයේ හැරමිටි ආධාරයෙනි. ඇවිදින ශරීරය හොඳටම දුබල වූ අවාසනාවන්ත මිනිසෙකි. ඔහුට උදව් කිරීමට ගමේ කිසිවෙක් නොවූහ. මිතුරෝ ඔහුගෙන් ඈත් වූහ. ඉඩ කඩම් කුඹුරු වතු පිටි තිබුණද ඒවායින් ආදායම් ගත නොහැකි නිසා ඔහු නගරයේ සිඟා කෑමට පෙළඹුණේ ඉඩමක් විකුණ හෝ ඔහුව නඩත්තු කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසාය. අධික ශීත ඇති උඳුවත් මාසයක රෑ පාළු කඩයක් ඉදිරිපිට ඔහු අවසන් හුස්ම හෙළා තිබුණි. ඔහුගේ මිනිය රජයේ වියදමින් මිහිදන් කළ අතර ඔහුගේ දේපළ එකම සොයුරියට පැවරුණි.   

 

 

 

 

 

 

 



මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.