කුරිරු මිනිසෙකුට බල්ලකු දුන් දඬුවම


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

 

උඩවෙල ඕපනායක එච්.එ්. ජයසේන මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

 
බලු පැටවුන්, බළල් පැටවුන් විහාරස්ථානවල ගෙනැවිත් දැමීම අද භික්ෂූන් වහන්සේලාට පමණක් නොව වැඳුම් පිදුම් සඳහා විහාරස්ථාන වලට පැමිණෙන අයට ද මහත් හිසරදයක්ව පවතී. බල්ලන් බළලුන් හැදීම පිළිබඳව භික්ෂූන් වහන්සේලාට අප්‍රසාදය පළ කරන ගිහියන් එම සතුන් ගෙනැවිත් දැම්මේ අවට ගිහියන් මිස පිට පළාත් වල අය හෝ භික්ෂූන් වහන්සේලා කොහෙන් හෝ ගෙනා සතුන් නොවන බව ඔවුනට වටහා දිය යුතුව ඇත. භික්ෂූන් වහන්සේලා සතුන්ට කරුණාව දයාව දැක්වීමත්, ඔවුනට ආහාර ලබා දීමත් අප වරදවා තේරුම් නොගත යුතුය. උන් වහන්සේලා දානයකට පිටට වැඩම කර දානය අවසානයේ පාර්සලයක් ඉල්ලා සිටින්නේ උන් වහන්සේලාගේ දූ දරුවන්ට නොව ගිහියන් ගෙනැවිත් දැමූ සතුන්ටය. සමහර උදවිය එය දකින්නේ වරදක් හැටියට වුවද උන් වහන්සේලා ඒ කරන්නේ උදාරතර මනුස්සකමයි. මේ ලියන්නේ එසේ සතුන් පන්සලට ගෙනැවිත් දැමු නරුමයකුට වූ අකරතැබ්බයි.   


සබරගමුවේ එක්තරා ගමක ජීවත් වූ අකාරුණික පුද්ගලයෙකි. හරමානිස් කිසිම සතකුට වත්ත පැත්තට පළාතේ ඒමට ඉඩ නොදීමට ඔහු වග බලා ගත්තේය. නමුත් ඔහු හා විවාහ වූ ලැයිසා එසේ නොව ඉතාම කාරුණික ළඳකි. ඇය විවාහ වී හරමානිස් සමග එන විට ඇය ඇති දැඩි කළ බැල්ලිය ද ගෙන ආවාය. අකාරුණික හරමානිස්ට කළ හැකි දෙයක් නොවූ නිසා එය විඳ දරා ගනිමින් නිහඬ විය. ටික දිනකදී බැල්ල ගැබ්බර වූවාය. පැටවුන් ලබන දින වකවානුව පැමිණි පසු ඇය පැටවුන් දෙදෙනකු බිහි කළාය. ගිනි පුපුරමින් ලැයිසා ටද බැණ වදිමින් සිටි හරමානිස් බලු පැටවුන් දෙදෙනා පොහොර කවරයක දමා දිනක් රාත්‍රියේ ලැයිසාට ද හොර රහසේ ගමේ විහාරස්ථානය කරා පිය මැනීය. හෙමින් සීරුවේ බලු පැටවුන් දෙදෙනා පන්සල මිදුලේ කොනක තැබූ ඔහු කිසිත් නොදන්නා සේ නිවසට පැමිණියේය. රාත්‍රියේ බලු පැටවුන්ගේ කෑ ගැසීම ඇසී බැලූ විහාරාධිපති සීතලේ ගැහෙන බලු පැටවුන් දෙදෙනා ගෙනැවිත් පරණ සිවුරුකඩක ඔතා පහන් තිරයක් සකස් කර කිරි පෙවීය. කෙසේ හෝ උන්වහන්සේගේ කරුණාව මත තරමක් වැඩුණු පැටවුන් දෙදෙනාම බල්ලන් වීම නිසා එක් පැටවකු නිවසකට ගෙන ගිය අතර අනිත් පැටවා පන්සලේම ඇතිදැඩි විය. බලු පැටවුන්ට වූ දෙය නොදත් ලැයිසා රාත්‍රියේ සතෙකු ​ගොදුරකට ගෙන ඇතැයි හරමානිස් පැවසූ බසට අවනත වූවාය.   


කලකදී බැල්ල නැවත ගැබ්බර වූවාය. කලවකවානු පසු වී එවර ඇය පැටවුන් හතර දෙනෙකු වැදූ අතර එවරද හරමානිස් දිනක් රාත්‍රියේ පැටවුන් හතර දෙනා පොහොර කවරයක දමා පන්සල වෙත පැමිණියේය. මේ වන විට පළමුව ගෙනැවිත් දැමූ බලු පැටවා හැඩි දැඩි බල්ලෙකි. පන්සලේ මිදුලේ කොනක බල්ලා ළැග සිටි අතර ඒ නුදුටු හරමානිස් ඒ අසලටම පැමිණ බලු පැටවුන් බිමට හැලුවේය. නින්දෙන් අවදි වූ බල්ලා හරමනිස්ට බුරාගෙන පැන්නේය. බල්ලාගේ පිම්මට කාණුවට ඇද වැටුණු හරමානිස්ව බල්ලා හපා කන්නට විය. විහාරාධිපති වහන්සේ බල්ලාගේ බිරීමත් හරමානිස්ගේ කෑ ගැසීම් කන වැටුණ සැනින් මිදුලේ විදුලිය දල්වා දොර හැරගෙන මිදුලට බැස්සේ කුමක් හෝ සිදුවන බැව් වටහා ගත් බැවිනි. බලු පැටවුන් හා පොහොර කවරය දෙසත් කාණුවේ වැටී බල්ලා සමග පොර බදන හරමානිස් දෙසත් මාරුවෙන් මාරුවට බැලූ උන්වහන්සේ සියල්ල වටහා ගත් අතර බල්ලාට තරවටු කර එලවා දමා හරමානිස් කානුවෙන් ගොඩට ගත්තේය. ඒ වන විට බල්ලාගේ සපා කෑම නිසාත් කොන්ක්‍රීට් කාණු ගැට්ටේ වැදීම නිසාත් බරපතළ තත්ත්වයේ සිටි හරමානිස් දුටු විහාරාධිපතීන් වහන්සේට හරමානිස් කළ සියලු වැරදි අමතකව ගියේය. කරුණා දයාව ඉස්මතු විය. වහා ගන්ඨාරය නාද කර අසල් වැසියන් ගෙන්වාගත් උන්වහන්සේ හරමානිස්ව රෝහල කරා යැවීය. කෙසේ හෝ හරමානිස් පන්සලට ගෙනැවිත් දැමූ බල්ලා ඔහුට ජීවිතයට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. මියයන තුරු එක් කකුලක වූ ආබාධය නිසා කොර ගසමින් ජීවත් වුවද රෝහලේ සිට නිවෙසට පැමිණි හරමානිස්ගේ සුවදුක් බැලීම සඳහා ඔහුගේ නිවෙසට වැඩම කළ විහාරාධිපතීන් වහන්සේ​ෙග් අවවාද අනුශාසනා නිසා පන්සල පැත්ත පළාතේ නො​ගොස් සිටි හරමානිස් කාරුණික සැදැහැවතකු ලෙස කොර ගසමින් නිතර පන්සලට පැමිණ ආගමික වතාවත්වල යෙදුණු අතර පන්සලේ හොඳම දායකයා විය. බල්ලා දුන් දඬුවමත් විහාරාධිපතින් වහන්සේගේ මුදු හදවතත් නිසා අකාරුණික පුද්ගලයකු යහ මඟට පත්විය.   

 



අංගොඩ කුඩාබුත්ගමුව   

එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.

ඉඩම් තණ්හාව නිසා පවුලම වැනසෙයි.   

 

මධ්‍යම පාංතික පවුලකට අයත් එම මව් පිය දෙපළ කාරුණික ගති පැවතුම් ඇතිව දිවි ගෙවූ අතර අනුන්ට උදව් උපකාර කිරීමට ද අමතක නොකළහ. අසල්වැසි කාගේත් ප්‍රසාදය ඔවුනට හිමිව තිබුණේ එහෙයිනි. මෙම දෙදෙනා සතුව නිවෙසක් සහිත ඉඩමක් වෙනත් ප්‍රදේශයකද පිහිටා තිබුණි.   


අක්කරයක පමණ විශාලත්වයෙන් යුතු එම ඉඩමෙහි පොල් කොස් යනාදිය මෙන්ම නොයෙක් පළතුරු ද සරු ලෙස වැඩී තිබුණ අතර එය ආරක්ෂාවට තම ඥාතියකු ද යොදවනු ලැබ සිටියේය. සිය දිවියෙහි සැඳෑ සමය එහි ගත කිරීම මව් පිය දෙපළගේ අරමුණ වී පැවතිණ. එහෙයින් ඊට කාලය එළැඹෙන තෙක් ඔවුහු තම විවාහක දියණියගේ නිවසෙහි විසූහ.

   
මෙම දෙපළ දන්නා හඳුනන අයෙකු හට එකී ඉඩම පිහිටි ප්‍රදේශයට ස්ථාන මාරුවක් ලැබුණේ එම අවදියේදීය. එහෙයින් ඔහු හට රැකියාවට පැමිණීමේ පහසුව පිණිස එහි පදිංචිවීමේ අවශ්‍යතාවක් ඇති වූ අතර ඒ සඳහා මව් පිය යුවළගේ අවසරය පැතුවේය.   


දෙවරක් කල්පනා නොකළ ඔවුහු එයට තම කැමැත්ත පළ කර සිටියෝය. ඒ එක්තරා කාල සීමාවක් සඳහාය. එසේම කිසියම් මුදලක් ද අය කර ගෙනය. ඒ අනුව හෙතෙම සිය පවුලේ අය ද සමග එම නිවසෙහි පදිංචියට පැමිණියේ මහත් සතුටින් යුතුවය. ගෙවත්තෙහි වැවී තිබූ සියල්ලෙන් උපරිම ප්‍රයෝජනය ලැබගත් ඔවුහු විවිධ බෝග වගා කිරීමට ද යුහුසුළු වූහ.   


මෙලෙස දින සති මාස අවුරුදු වශයෙන් කාලය ද ගෙවී ගිය අතර නිවස හා ඉඩම යළි ආපසු භාර දිය යුතු දවස ද ළඟා වෙමින් තිබිණ. එහෙත් ඒ සඳහා ඔහු හෝ පවුලේ සෙසු කිසිවකුත් උනන්දු වන බවක් නොපෙනුණි. එකඟ වූ පරිදි කටයුතු කරනවා වෙනුවට නොයෙක් විට තමන් රවටමින් මඟ හැර සිටීමට ඔවුහු උත්සාහ කරන අයුරුද මෙම මව්පියනට වැටහිණ.   


එහෙයින් තව දුරටත් බැගෑපත් නොවීමට තීරණය කළ අතර එම තැනැත්තාට එරෙහිව නඩු පවරනු ලැබීය. ඔහු හා දියණිය ද නීති ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කළ අය වූ අතර එක්තරා ප්‍රාදේශීය දේශපාලන බලවතකු සමග සමීප ඇසුරක් ද ඔවුන් විසින් ගොඩ නගනු ලැබ තිබිණ.   


කාලයක් පුරා විභාග වූ ඉඩම් නඩුවේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉඩමෙහි හිමිකාරත්වය මව්පිය යුවළට අහිමිවීමය. ඉන් එම දෙපළ මහත් කනස්සල්ලට පත් වූ අතර කෙටි කාලයක් තුළ දී ඔවුහු මෙලොව හැර ගියේ ශෝචනීය අයුරිනි. ඉඩම ලද සතුට රිසි සේ භුක්ති විඳීමට අනෙකා හට ද ඉඩක් නොලැබිණි.   


දරුණු පිළිකා රෝගයක් ඔහුට වැළඳී තිබුණෙන් හෙතෙම වසරක් පමණ ඉන් පීඩා විඳ මෙලොවින් සමුගෙන ගියේය. එය සිදු වී වැඩි කලක් ගත නොවීය. ඔහුගේ බිරිඳ හදිසියේ මිය ගියාය. ඒ මහ මඟ යමින් සිටියදී බිම ඇද වැටීමෙනි. ඉන් මාස කිහිපයක් ගෙවී ගියා පමණි. දියණිය සමග එතෙක් සතුටින් දිවි ගෙවූ සැමියා හට ඇය පිළිබඳව කනස්සල්ලක් ඇති වූ අතර නිවෙසට යළි නොඑන බව පවසා එතෙර රැකියාවක් සඳහා හදිසියේ නික්ම ගියේ අනපේක්ෂිත විලසිනි.   


කලක් ගත වුවද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය. එහෙයින් ඇය මෙලොවෙහි අසරණ වූවාය. පසුව මහත් සිත් වේදනාවෙන් යුතුව නිවෙස හා ඉඩම අනිකෙකු හට විකුණා දමා වෙනත් ප්‍රදේශයක පදිංචිය පිණිස ගියාය. උපක්‍රමශීලීව ව්‍යාජ ලේඛන සකසා අනුනට අයත් ඉඩම් වංචනික ලෙස අත්පත් කර ගැනී​ෙම් පාප කර්මය ඔවුනට එලෙස විපාක දුන් බව එක පෙළට එය සිදු වූ ආකාරය අනුව මනාව පැහැදිලි වන්නේය. 

 


 
අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.   

කූට කොළ කැඳ වෙළෙන්දා ඊට දඬුවම් වින්ඳා   


වර්තමානයේ මුදල් උපයන මාර්ග වලින් එකක් ලෙස ජනප්‍රියව ඇත්තේ කොළ කැඳ වෙළඳාමයි. නගර බද පෙදෙස් වල මෙන්ම මහ මඟ දෙපස ද කොළ කැඳ අලෙවි කරන ස්ථාන සුලභව දැකිය හැකිය. හරි හැටි සකස් කර කොළ කැඳ වෙළඳාම් කර සාධාරණ මුදලක් සොයා ගැනීම වරදක් නොවේ. එහෙත් ඇතැම් කපටි පුද්ගලයන් කොළ කැඳ පිළියෙළ කිරීමේදී වංචනික ක්‍රියා සිදු කරන්නේ කෙසේ හෝ ලාභ ලැබීමේ චේතනාවෙනි.   


​ෙකාළ කැඳ මිලදී ගන්නා පාරිභෝගිකයෝ කුස ගින්න නිවා ගැනීමටත් රුව ලස්සන වීමටත් නිරෝගී වීමටත් සිතා කොළ කැඳ පානය කරති. ඔවුන් රවටා මුදල් ලබා ගැනීම අපරාධයක් මෙන්ම පාපයක් ද වේ. ආහාරයෙන් වංචා කළ පුද්ගලයන්ට දඬුවම් ලැබුණ අයුරු බෞද්ධ සාහිත්‍ය පොත්වල කොතෙකුත් දක්නට ලැබේ. මේ කියන්නට යන්නේ දැනට වසර තුනකට පමණ පෙර සිදු වූ සත්‍ය කතාවකි. අද කොළ කැඳ ව්‍යාපාරයේ යෙදෙන අයට මෙන්ම වංචනිකයන්ට රැවටෙන පරිභෝගිකයන්ටද මේ කතාවෙන් කිසියම් ප්‍රයෝජනයක් වෙතැයි මට සිතෙයි.   


රජරට ප්‍රධාන නගරයක බස් නැවතුම්පොළක හා ඒ ආශ්‍රිතව ටොපි සිගරැට් හා බුලත් විට විකුණමින් ජීවත් වූ ඔහු සිරිපාල නමින් හඳුන්වමි. සිරිපාල වරෙක ටොපි සිගරැට් වෙළෙන්දෙකි. වරෙක රඹුටන් හා ගඩුගුඩා වෙළෙන්දකි. නව අවුරුදු කාලයට ලිත් හා පලාපල පොත් වෙළෙන්දෙකි. මේ ආකාරයෙන් නොයෙක් නොයෙක් දේ වෙළඳාම් කළ සිරිපාල නගරයේ ජනාකීර්ණ තැනෙක කොළ කැඳ වෙළඳාමක් පටන් ගත්තේය. උදේපාන්දරම ගමන්බිමන් වල යෙදෙන අය බස්රියෙන් හෝ දුම්රියෙන් හෝ බැස යන එන අතරතුර මොහුගෙන් කොළ කැඳ බීමට පුරුදු වූහ. දිනෙන් දින දියුණුවට පත් වූ මේ ව්‍යාපාරය සිරිපාලට වාසනාව ගෙන දෙන්නක් විය.   


මුලින්ම මේසයක් හා කුඩා ප්ලාස්ටික් පුටු කිහිපයක් තබා ගෙන ඇරඹූ වෙළෙඳාම පසුව ඒ සඳහාම සූදානම් කර ගත් වාහනයක ජංගම වෙළඳ පළක් බවට පත්කෙරුණි.   


ටික කලක් ගත වන විට සිරිපාලට යම් කිසි උදර රෝගයක් ඇතිවිය. මුලින් දේශීය ප්‍රතිකාර කර ඉන් සුවයක් නොවූ විට සිරිපාල නගරයේ ප්‍රධාන රෝහලට ඇතුළත් විය. නොයෙක් විධියේ පරීක්ෂණ කළ වෛද්‍යවරු සිරිපාලට බරපතළ උදර පිළිකාවක් ඇති බවත් එය බඩවැල් පුරාම පැතිරී ඇති බවත් පැවසූහ. සිරිපාල රෝහල් ගතව සිටියදී ඔහු ළඟ උපස්ථානයට නැවතී සිටි ඔහුගේ සහායකුගෙන් ​රෝහල් සේවකයකු ලබා ගත් තොරතුරු විස්මය දනවන්නක් විය.   


සිරිපාල කොළ කැඳ පිළියෙළ කිරීමට ගත්තේ ගම්බද පෙදෙස් වල වී මෝල් වලින් ලබා ගත් සුදු සහල් හෝ කැඩුණ සහල්ය.   


සිංහල බෙහෙත් කඩවල විකිණීමට ඇති ඖෂධීය පානයක කුඩු හා කොළ පාට සායම් වර්ගයක් ද පොල් කිරි හා පාන් පිටි ද දමා ඔහු කොළ කැඳ සකසා ඇත. සායම් වලින් කොළ පාටත් ඖෂධ කුඩු වලින් ඖෂධීය රසයත් පාන්පිටි වලින් උකු ගතියක් කොළ කැඳ වලට ලැබී තිබුණි. සහායකයාගෙන් දැනගත් ආකාරයට සිරිපාල කොළ කැඳ සඳහා පළා වර්ග භාවිතා කර නැත. ඩයි වර්ග ද අඩු මුදලට ලබා ගන්නා සුණු සහල් පාරිභෝගිකයන් නොදැනුවත්වම ශරීර ගත කර ගෙන ඇත.   


අවුරුදු තුනක් පමණ කාලයක් තුළ තරමක පොහොසතකු වූ සිරිපාලට තවදුරටත් මිනිසුන් රැවට්ටවීමට ද දෙවියෝ ඉඩ නුදුන්හ. ශල්‍යකර්ම කිහිපකයට ලක් වූ සිරිපාල හිත පුරා බඩපුරා ආහාරයක් නොමැතිව වසරක් පමණ කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිට මිය ගියේ මිනිසුන්ගේ වාසනාවකට විය හැක. නැතිනම් තවත් බොහෝ දෙනෙකු ඔහුගේ උපක්‍රම වලට හසුවීමට ඉඩ තිබුණි.

සාගින්නට හෝ පිපාසයට සහනයක් සොයන මගී ජනතාව රැවට්ටීම සුළු පටු අපරාධයක් නොවන බව ඔහු සිතන්නට නැත. මුදල් පසු පසම හඹා යන අයට කදිම පාඩමක් කියා දී සිරිපාල මියගිය ද තවත් එවැනි අය කොතෙකුත් අප අතර වෙත්ද?   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

 

 

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්