කැනඩාවෙන් ආ දෙමළ ජාතිකයා දුම්රියෙන් වැටී මියගිහින්


 

 

  • තවත් “සුදුවෑන්” කෙප්පයක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවෙයි
  • සුදුවෑන් රියකින් පැහැරගෙන දුම්රියට තල්ලු කළ බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරලා

 

අපේ ගේ ළඟ රේල් පාර අයිනේ වයසක කෙනෙක් වැටිලා ඉන්නවා. කරුණාකර ඇවිත් බලන්න. වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට දුරකථනයෙන් කතා කළ අයෙක් කලබලයෙන් දැනුම් දුන්නේය. ඒ පසුගිය නොවැම්බර් මාසයේ 25 වැනිදා රාත්‍රී කාලයේය. ඒ සැණින් 1990 සුවසැරිය ගිලන් රථය මිරිසන්කොටුව බලා පිටත්ව ගියේ වැටී සිටි පුද්ගලයා රැගෙන ඒමටය.   


ඔහු ඔසවා ගිලන් ඇඳේ තැබීමට ගිය අවස්ථාවේ රෝගියා බොහොම අමාරුවෙන් දෙමළ භාෂාවෙන් වචන තෙපළමින් සුව සැරියේ සාත්තු සේවකයන්ගෙන් ඉන්හේලර් එකක් ඉල්ලා ඇත්තේ තමාට හුස්ම ගැනීමට අපහසු බව කියමිනි.   
මෙම වියපත් පුද්ගලයා ඇදුම රෝගයෙන් පෙළෙන අයකු බව සුව සැරියේ සාත්තු සේවකයන් අනුමාන කර ඇතතේ ඔහු ඉන්හේලර් එකක් ඉල්ලා කෙඳිරි ගෑම නිසාය. 

 
ඒ වෙන විටත් ඔහු හුස්ම ගනිමින් සිට ඇත්තේ ද බොහොම අමාරුවෙනි. මාරවිල රෝහලේ තුන් වැනි වාට්ටුවට ඇතුළත් කර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් අපමණ වූ වෙහෙසක් දැරුවත් වැඩක් වූයේ නැත.   


ඔහුගේ සිරුර තැන්පත් කරනු ලැබුවේ මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේය. මිය ගිය අය කාගේ කවුද කියා හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබිණි. ඔහු හැඳ සිටි කමිස සාක්කුවේ තිබී කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කිරීමට ගෙන තිබූ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ද පොලිසියට හමු විය.   
කැනඩාවේ පුරවැසිකම ලබා ඇති මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයා නිවාඩුවක් ගත කිරීමට මෙරට පැමිණ සිටි අතරවාරයේ සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් වධ හිංසා වලට ලක් කර අවසානයේ දුම්රියකට තල්ලු කර ඝාතනය වීමට සලස්වා ඇති බවට ඒ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවියක් මගින් ප්‍රචාරය කර තිබිණි. මේ කතාව පළ කර තිබුණේ එම පුද්ගලයාගේ ඡායාරූපය හා නම ද සඳහන් කරමිනි. මෙවනි පුවතක් සමාජ මාධ්‍යක පළ වී තිබීම ජාත්‍යන්තර හමුවේ අපේ රටට කළු පැල්ලමක් ඇති කරවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.   


මෙහිදී ඇති වී තිබූ තවත් බැරූරුම් කාරණයක් වන්නේ ඒ වන විටත් රටේ අලුත් ජනාධිපතිවරයා පත් වී දින හයක පමණ කාලයක් ගතව තිබූ වටපිටාවක් තුළ වීම නිසාය. වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ බව දැන ගත් මොහොතේම මේ ගැන විශේෂ අවධානයක් යොමු කර වහාම මේ ගැන සොයා බලන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.   


වයඹ හා උතුරු මැද පළාත් භාර​ ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කළේ මේ කතාවේ ඇත්ත නැත්ත සොයා ගැනීමටය.   


පොලිසියට ඇති වී තිබූ ලොකුම ප්‍රශ්නය වී තිබුණේ කෝච්චි පාර අයිනේ වැටී සිටි කෙනා කාගේ කවුද කියා සොයා ගැනීමය.   
යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි කයි ගෂනාදන් ෂර්මිලා නමැති කාන්තාවක් ඇතුළු ඇයගේ ඥාතීන් කිහිප දෙනෙක් මාරවිල රෝහල් මෘත ශරීරාගාරයට ඉකුත් 29 වැනිදා පැමිණ තිබුණේ දුම්රිය මාර්ගය අයිනේ වැටී සිටියදී රෝහල් ගත කළ පසු මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටි අතරවාරයේය.   


තමා ගුරුවරියක බව ඇය පැවසුවාය. පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ වයෝවෘද්ධ පුද්ගලයාගේ සිරුර හොඳින් නිරීක්ෂණය කළ ෂර්මිලා පොලිස් නිලධාරීන් සමග කියා ඇත්තේ මේ ඉන්නේ තමාගේ මාමා කෙනෙකු යැයි කියාය.   
මිය ගිය පුද්ගලයා 82 වියේ පසු වන අම්බලවානන් තම්බිරාජා බවට හඳුනා ගැනුණේ ඒ අනුවය.   


මොරටුව සොයිසාපුර මහල් නිවාසයේ විසූ මොහු ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි.   
ඔහුගේ බිරිය මිය ගොස් ඇත්තේ මීට වසර 34 කට පමණ ඉහත දී වන අතර මුල් පදිංචිය යාපනය කොකුවිල් ප්‍රදේශයේය. ඔහු සිවු දරු පියෙකු වන අතර එක් දරුවෙකු ඇමරිකාවේ රැකියාවක නිතර වෙමින් සිටියදී මිය ගොස් ඇත. දියණියන් දෙදෙනා හා අනෙක් පුතා කැනඩාවේ පදිංචිව සිටිති.   


ඇමරිකාවේ පදිංචිව සිටින තම්බිරාජා මහතාගේ ඥාතියෙක් මුහුණු පොතේ ඡායාරූපයක් ද සහිතව පළ වී තිබූ තොරතුරු දැක ඒ බව යාපනය කොකුවිල් පදිංචි ෂර්මිලා මහත්මියට දැනුම් දී ඇත. ෂර්මිලා මහත්මිය තමා මාරවිල රෝහලට පැමිණියේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සිය ඥාතියා පැවසූ තොරතුරු වලින් පසුව බව කීවාය.   
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුට ඉදිරිපත් කර තම්බිරාජා මහතාගේ සිරුර කපා පරීක්ෂා කර බලා මරණයට හේතු සාධක සොයා ගැනීමටත් හදිසි මරණ පරීක්ෂකවරයකු වෙනුවට ම​හේස්ත්‍රාත් පරීකෂණයක් පැවැත්වීමටත් උසස් පොලිස් නිලධාරින් තීරණය කරනු ලැබුවේ වෙන හේතුවක් නිසා නොව මෙම මරණය ගැන​ වෙඩි අඩවි මගින් නගා තිබූ බරපතළ චෝදනා සැලකිල්ලට ගනිමිනි.   


​මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත්තේ පොලිස් සැරයන් පෙරේරා (57475) මහතා විසිනි. මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරනු ලැබුවේ හලාවත මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෙද්‍ය රමේෂ් අලගියවන්න මහතා වෙතය.   
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හලාවත රෝහල වෙත ගෙන එනු ලැබීය.   
අධිකරණ වෛද්‍ය විශේෂඥ අලගියවන්න මහතා අත්දැකීම් බහුල පළපුරුදු විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයෙකු වන අතර ඔහු මේ වන විට මළ සිරුරු 4,000කගේ පමණ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇත. අධිකරණ වෛද්‍ය විශේෂඥ අලගියවන්න මහතා හමුවේ ඉකුත් 02 වැනිදා සිරුර හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.   
පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අවසානයේ තම්බිරාජා මහතාගේ පැමිණ සිටි ඥාතීන් හමුවේ මරණයට බලපෑ හේතු සාධක පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ කීය.   


සිරුරේ ඉළ ඇට හතරක් කැඩී ගොස් තිබෙනවා. ඉළ ඇට කැඩී ගොස් තිබෙන්නේ ඉහළක සිට රළු පෘෂ්ඨයක් මත ඇද වැටීමෙන්. හිසේ තැළීම් තුවාලයක් ද දැකීමට ලැබුණා. එම තැළීම් තුවාලය ඇති වී තිබෙන්නේ ද ඇදවැටීම නිසා බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. පෙනහළු වලින් පිට පපු කුහරය තුළට ලේ ගලා ගොස් තිබෙනවා. ඔහුට වැලඳී තිබූ ඇඳුම රෝගය ද හෘදයාබාධය ද උත්සන්න වීමත් මෙම මරණයට බලපා තිබෙනවා.   
මෙය ස්වාභාවික මරණයක් බවට තීන්දු වූයේ ඒ අනුවය. තම්බි රාජා මහතාගේ ඇඳඉහපතද පොලිසිය විසින් අධිකරණ වෛද්‍ය විශේෂඥයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.   
එයද අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ විශේෂ අවධානය ලක් විය. රෝගියා රෝහලට ඇතුළත් කරන විට හොඳ සිහියකින් සිටි බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇඳඉහපතේ සටහන් කර තිබෙන බව එහිදී විශේෂඥ වෛද්‍යවරයා පැමිණ සිටි ඥාතීන්ට පැහැදිලි කර දුන්නේය.   


පැහැර ගොස් වධහිංසා කර කෝච්චියකට තල්ලු කළේ නම් ඒ බව තම්බිරාජා මහතාට පොලිසියට හෝ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට කීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණ බව මේ අනුව ඕනැම කෙනෙකුට පැහැදිලි වන කරුණකි. එපමණක් නොව ධාවනය වෙමින් පවතින දුම්රියකට යම් කණ්ඩායමක් තම්බිරාජා මහතා තල්ලු කර දැමුවේ නම් ඔහුගේ සිරුරට වන හානිය විශාල බව පොලිසිය පෙන්වා දෙයි.   


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මුල සිටම මෙම මරණය සම්බන්ධයන් පරීක්ෂණ පවත්වනු ලැබුවේ වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් සැරයන් පෙරේරා මහතා විසිනි.   


ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් සැරයන් පෙරේරා මහතා ෂර්මිලා මහත්මියගෙන් තම්බිරාජා මහතා ගැන තොරතුරු විමසූ අවස්ථාවේ ඇය මෙසේ කීවාය.   
මිය ගොස් සිටින තම්බිරාජා මගේ තාත්තාගේ අක්කාගේ මහත්තයා. ඔහු සිවිල් ඉංජිනේරුවරයෙක්. මොහු විවාහ වී සිටි මගේ තාත්තාගේ අක්කා එම වසර 34 කට විතර කලින් මිය ගියා. තම්බිරාජා කියන මගේ මාමා ඩුබායි රටේ රැකියාවක් කර පසුව කැනඩාවේ රැකියාවකට ගියා. එහිදී ඔහු ද්විත්ව පුරවැසිකම ලබා ගත්තා. ඊට පස්සේ දරුවෝ හතර දෙනාගෙන් තුන් දෙනෙක් කැනඩාවට ගෙන්වා ගත්තා. වැඩිමල් දරුවා ඇමරිකාවේ රැකියාවකට ගියා. ඇමරිකාවේ ගිය පුතා මිය ගිහින් එයාගේ දරුවෝ රටේ පදිංචි වෙලා ඉන්නවා.

 

ඇමරිකාවේදී තම්බිරාජා මාමාගේ පුතාගේ දියණියක් මුහුණු පොතේ සීයාගේ ඡායාරූපය දැකලා ඒ විස්තරේ කිව්වාට පස්සේ තමා මම මාරවිල රෝහලට ඇවිත් මාමාගේ සිරුර හඳුනා ගත්තේ. මාමා අවුරුදු ගණනාවක් කැනඩාවේ කොම්පැනියක සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස රැකියාවක් කරලා විශ්‍රාම ගත්තා. ඊට පස්සේ ඔහු මොරටුවේ සොයිසාපුර පැල්ට් එකෙන් නිවසක් මිලදී ගෙන එහි පදිංචිව සිටියා. විශ්‍රාම වැටුප ලබා ගත්තා. ඔහු වරින් වර කැනඩාවට යනවා. සතියක් විතර කැනඩාවේ ඉඳලා ආපසු ලංකාවට එනවා. රැකියාවෙන් විශ්‍රාම ගන්නවට පස්සේ මේ විදිහට තමා වැඩකටයුතු සිද්ධවුණේ.   


මේ මරණය ගැන අපට කිසිම සැකයක් නැහැ. මාමාට ඇතිව තිබූ රෝගී තත්ත්වයන් උත්සන්න වී දුම්රියෙන් ගමන් කරද්දී ඇදවැටී මිය ගිය බවට විශ්වාස කරනවා යැයි ද ඇය පොලිස්සැරයන් වරයාට ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවේ පැවසුවාය.   


තම්බිරාජා මහතා හලාවත ප්‍රදේශයේ සිටින ඔහුගේ මිතුරෙකු බැලීමට යමින් සිටි අතරවාරයේ මෙසේ දුම්රියෙන් ඇදවැටී ඇති බවට තොරතුරු මෙහිදී අනාවරණය වී ඇත.   
සුදු වෑන් රථයකින් අපේ මාමා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා කෝච්චියකට තල්ලු කර ඇති බවට යාපනයේ පළවන දමිල පුවත්පතක පළ කර තිබුණා. ඊට පස්සේ ඔවුන් මේ පුවතම කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව වෙත යවා ඒ පුවත අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මේක සම්පූර්ණ බොරුවක් කියා දැන ගත්තට පස්සේ මම ඒ පත්තර කන්තෝරුවට ගියා. මේ වගේ බොරුවක් ප්‍රචාරය කළාට ඔවුන්ට හොඳටම දොස් කිව්වා. මෙවැනි බොරු ප්‍රවෘත්තියක් පළ කිරීම ගැන මම ඉදිරියේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.


අපි දෙමළ වුණාට ශ්‍රී ලාංකිකයෝ. මේ රටට අපි ​ආදරෙයි. අපි ජීවත් වෙන්නේ මේ රටේ. මේ වගේ බොරු ප්‍රචාරය කරලා අපේ මව්බිම අගෞරවයට ලක් කරන එක හරිම වැරදි යැයි යාපනයේ පදිංචි ස්ටැන්ලි නමැත්තා පොලිස් සැරයන් පෙරේරා මහතා සමග පවසා ඇති බව දැන ගැනීමට ඇත.   
ස්ටැන්ලි මහතා මේ බව පොලිස් සැරයන් සමග කියා ඇත්තේ තම්බිරාජාගේ මරණ පරීක්ෂණයට පැමිණ සිටි අවස්ථාවේය.   


ස්වභාවික මරණයක් ඝාතනයක් බවට හුවා දක්වා දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මහත් අපකීර්තියකට පත් කිරීමට ගත් නින්දිත උත්සාහයක් පට්ටපල් බොරුවක් බවට පොලිසිය හෙළි කර ගත්තේ ඔවුන් කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙනි. අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා වෛද්‍ය විද්‍යාත්මක සාධක ගෙන හැර දක්වමින් පොලිසියට හෙළි කර ගත් තොරතුරු තහවුරු කළේය.   


වත්මන් රජය දැඩි අපහසුතාවට පත් කිරීමට දෙමළ ඩයස් පෝරාව හා අන්තවාදීන් ගත් උත්සාහය අතේ පත්තු වුණු බොරුවක් බවට පත් වූයේ ඒ අන්දමිනි. හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ මහතාගේ මඟ පෙන්වීම ද මෙම පරීක්ෂණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලැබී ඇත.   
මිය ගිය තම්බිරාජා මහතාගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ සිරුර පසු ගිය 03 වැනිදා කැනඩාව බලා ගෙන ගියේ අධිකරණයෙන් ලබාගත් අවසරය මතය.

 

 

 

සටහන :
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : මාදම්පේ එස්. හේරත්