ඊශ්‍රායල් යවන්න සල්ලි ගරන මීගමුවේ හොර ජාවාරම


 

හිරු ගිනියම් වී ඇත. එහෙත් ඒ දැඩි අව්රශ්මිය පලවා හරිමින් මුහුදු සුළං හමා එයි. මීගමු වෙරළේ නවතා තිබූ ඔරුබඳකට හේත්තු වූ ඔහු ඉමක් කොනක් නොපෙනෙනා මහ මුහුද දෙස බලා සිටියේය.   


“ඒයි මචෝ... ඔන්න මගේ වැඩේ හරි” ඔහු කල්පනා ලෝකයට සමුදී සුපුරුදු කටහඬ ආ දෙස හැරී බැලුවේය.   


“උඹ ආවද බං.. මම මේ කල්පනා කළෙත් උඹ පරක්කු ඇයි කියලා.” කරුණාදාස මුවගට සිනාවක් නගාගෙන සිය මිතුරා දෙස බලා සිටියේය.   


“කන්න වගේ බලාගෙන ඉන්නේ නැතිව ගිය වැඩේ මොකද කියලා කියපන්” සුමනදාස සිය මිතුරාට ඇවිටිලි කරන්නට විය.   


 “මේකයි යාළුවා” මම ඊශ්‍රායෙල් යවන මෑන්​ෙග තොරතුරු හොයා ගත්තා. ෆෝන් නම්බර් එකත් හොයා ගත්තා. ඊට පස්සේ කෝල් එකකුත් දුන්නා. මිනිහා දවසකුයි වෙලාවකුයි කිව්වා ඇවිත් හම්බවෙන්න කියලා.” කරුණාදාස කියවාගෙන ගියේය.   


“කොහෙද බන් ඔෆිස් එක තියන්නේ. සුමනදාස තවත් ප්‍රශ්නයක් නැගුවේය.   


“මේකයි මචං... මමත් ඒ මෑන්ගෙන් ඔය ප්‍රශ්නයම ඇහුවා. ඔෆිස් එකක් නෑලු. එ් ගැන කතා කරගන්න මීගමුව ටවුන් එකට එන්න කිව්වා. මිනිහා එන්නේ රෝස බස් එකක. එතන අපි වගේම රට යන්න ඉන්න අය ඉන්නවලු. එතනදී ඔක්කොම විස්තර කියන්නම් කිව්වා.   


“උඹට හොඳටම විශ්වාසයි නේද?”   


“ඔව්. ඔව්. මේ වෙනකොට මිනිහා කීප දෙනෙක්ම ඊශ්‍රායලයට යවලත් තියනවලු. එයාලට කතා කරන්නත් අපට පුළුවන් කිව්වා”   


සුමනදාස කරුණාදාසගේ විස්තරය විශ්වාස කළේය. ධීවර රස්සාවෙන් උපයා ගත් යම් මුදල් ඉතිරි කරගෙන සිටි දෙමිත්‍රයෝ කතා වූයේ එය වියදම් කර රට රස්සාවකට හෝ ගොස් ජීවිතය ගොඩදා ගත යුතු බවය. ඔවුන්ගේ හිතේ ලාපොරොත්තු රාශියක් දළුලන්නට විය.   


කතිකා කරගත් පරිදි රට යවන පුද්ගලයා මුණ ගැහෙන දිනය ළඟා වූවේය. දෙමිත්‍රයෝ මීගමුව ෆුඩ්සිටිය ළඟ නැවතී බලා සිටියේ අදාළ රෝස බස් රථය පැමිණෙන තුරුය. කාලය තප්පරයෙන් තප්පරය ගෙවී ගියේය. දුරකථනයෙන් පැවසූ ආකාරයටම ඔවුන් සිටි තැන රෝස බස් රථයක් නතර වූ​ෙය්ය. බසයට නැගගත් සුමනදාස හා කරුණාදාස දුටුවේ තමන් වැනිම තවත් පිරිසක් බස් රථයේ සිටින අයුරුය.   
සියලු දෙනා රැගත් බස් රථය මීගමු නගරයේ පාරවල් වල රවුම් ගහන්නට විය. අදාළ පුද්ගලයා රට යැවීමේ ක්‍රමවේදය විස්තර කරන්නට වූවේය. ඔහුගේ කීමට අනුව එක් පුද්ගලයෙක් ඊශ්‍රායෙල් ගමන සඳහා රුපියල් ලක්ෂ 10ක් ගෙවිය යුතුය. ඒ සම්බන්ධව ලබා දෙන ලිඛිත ලිපියේ සඳහන් වෙන්නේ අදාළ පුද්ගලයා ලක්ෂ එකහමාරක් ලබාගත් බවය. (මෙය අදාළ පුද්ගලයාට වාසි සහගත තත්ත්වයක් වෙන අතර රැකියා සිහිනයේ සිටින පුද්ගලයන්ට නෛතිකමය තත්ත්වයකදී සිදුවන විශාල පාඩුවක් වන්නේය) මේ පිළිබඳ රැකියා අපේක්ෂකයින්ට ගැටලු ඇති වුවද ඔවුන් ඒ පිළිබඳ ප්‍රශ්න නොනැඟූවෝය. ඒ කෙ​ෙස​​් හෝ ඊශ්‍රාලයේ රැකියාවකට යා යුතු බැවිනි.   


මුදල් ලබා ගන්නවා සේම අදාළ විදෙස් ගමන් බලපත්‍රයද සැකසිය යුතු වන්නේය. ඒ සඳහා වගකීම අදාළ පුද්ගලයා බාර ගන්නා බව පැවසුවේය. ඔහු ඒ සඳහා වව්නියාවේ පාස්පෝර්ට් කාර්යාලයක් තෝරාගෙන තිබුණේය.   
එහිදී සිදුවෙන්නේ හොර පාස්පෝට් එකක් සෑදීමය. එනම් ඊශ්‍රායල් සඳහා මෙරට තානාපති කාර්යාලයක් නොමැති අතර ඉන්දීය සම්බන්ධය මඟින් සම්මුඛ පරීක්ෂණ සිදු කරන්නේය. ඉන්පසු අදාළ පුද්ගලයන් සඳහා හදන විදෙස් ගමන් බලපත්‍රයට ඇඟිලි සලකුණු තබා නිත්‍යානුකූලව තහවුරු කිරීම සිදු කරන්නේය. මේ සඳහා මෙම ව්‍යාජ රැකියාකරුවා උපදෙස් දෙන්නේ මාපට ඇඟිල්ල භාවිත නොකර මැදගිල්ල හෝ දබරැගිල්ල පමණක් ඇඟිලි සලකුණු සඳහා භාවිත කරන ලෙසය.   


ඊශ්‍රාලයේ රැකියා සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශයෙන් ගෘහ සේවක වීසා නොදෙන බැවින් සරණාගතයන් ලෙස යැවීමට මෙම ව්‍යාජ ක්‍රම​ෙව්දය අනුගමනය කරන්නේය.   


මේ ආකාරයට බැඳිය යුතු මුදල් හා පාස්පෝර්ට් සාදන ආකාරය පිළිබඳ තොරතුරු හා උපදෙස් සපයන අදාළ රැකියාකරුවා එම පිරිස එක් ස්ථානයකින් බස්සවා එතැනින් පෙර කණ්ඩායම වැනිම රැකියා අපේක්ෂිත තවත් පිරිසක් බසයට ගොඩ කර ගත්තේය.   


කරුණාදාසට හෝ සුමනදාසට ඔහුව විශ්වාස කරනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නොමැත. ඔහුත් අදාළ පුද්ගලයන්ගේ විශ්වාසය තහවුරු කිරීම පිණිස ඊශ්‍රාලයට ඔහු යවන ලදැයි කියන මිතුරන් කීපදෙනෙක් සමඟ කතා කිරීමට සලස්වා විශ්වාසය තහවුරු කර ගත්තේය.   


නිශාන්ත නම් වූ අදාළ පුද්ගලයාගේ මෙම ක්‍රමවේදය පිළිබඳව නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායමටද අසන්නට ලැබු​ෙණ්ය. ඒ පිළිබඳ තතු සොයා බැලීම සඳහා ඔවුන් බැලුම්ගල රහස් මෙහෙයුම ක්‍රියාත්මක කරවූවේය. ඒ අනුව මෙවැනි තොරතුරු අණාවරණය වී ඇත.   


ලියාපදිංචි කාර්යාලයක් නොමැතිව කරගෙන යන මෙම ව්‍යාපාරය වංචනිකය. අදාළ රැකියා අපේක්ෂකයන්ට කතා කරනා පිරිස ඊශ්‍රායලයේ රැකියා කරන අදාළ පුද්ගලයාගේ යහළුවන්ය. ඔවුන්ව පාවිච්චි කරමින් රජය නොමඟ යවමින් කරනා මෙය නීති විරෝධී ක්‍රියාවකි. එනම් හැමවිටම නෛතික ලියවිල්ලක ඇඟිලි සලකුණු තබන්නේ මාපට ඇගිල්ලෙනි. එහෙත් මොහු ඒ සඳහා භාවිත කරන්නේ දබරැඟිල්ල හෝ මැදඟිල්ලය. ඒ වංචාකාරී ව්‍යාජ ක්‍රියා හසුවීමෙන් වැළකීමටය.   


මොහු එක් පුද්ගලයකු​ෙගන් ලක්ෂ 10ක් ලබාගත්තද ලක්ෂ 1 1/2ක් ලබාගත් බවට ලිපියක් දෙන්නේය. එයින්ද නඩු කටයුත්තකදී අවාසිය මුදල් ගෙවූ අයටය. මේ වන විට ඊශ්‍රායල් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ පිරිස 250කට අධිකය. අදාළ පුද්ගලයා පවසා ඇත්තේ මේ අගෝස්තුවල මේ පිරිස විදෙස් රැකියා සඳහා යවන බවය. එහෙත් බැලුම්ගල විමසීමේදී හෙළිදරව් වී ඇත්තේ ​ෙමපමණ කාලයක් මොහු විසින් කිසිවෙකු ඊශ්‍රාලයට නොයවා ඇති බවය.   


මෙම මුදල් වංචාවට හසුවුවෝ මේ පිළිබඳව ඔවුන්ගේ ප්‍රදේශවල පොලිසිවලට පැමිණිලි දමා ඇත. එහෙත් ලක්ෂ 1 1/2 ලියවිල්ල ඔවුන්ට අවාසිදායකය.   


බැලුම්ගල කණ්ඩායම එක් ව්‍යාජ රැකියා උත්පාදකයෙකු පිළිබඳව හෙළිදරව් කළේය. මෙවැනිම අය දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් සිටිය හැකිය. ව්‍යාජ රැකියා ආයතන තිබිය හැකිය. ඒ නිසා වෙහෙස වී හරි හම්බ කරගන්නා මුදල් හෝ, දරුවන් වෙනුවෙන් ​ෙගාඩනගා ඇති දේපළ හෝ මෙවැනි වංචනිකයන් නිසා විනාශ මුඛයට ඇද නොදැමිය යුතුය.   


රටක පවත්නා නීතියක් ඇත. නීතියෙන් ලියාපදිංචි වූ ආයතන ඇත. එම ආයතන මඟින් නෛතිකමය රාමුවකට අනුව කටයුතු කරන්නේය. එවැනි තත්ත්ව තිබියදී වංචනිකයන්ට හසු නොවන ලෙස අවධාරණය කරමු.

 

 

 

 

සටහන
කුමාරි හේරත්