ඉක්මණින් මුදල් උපයන්නට ගිය දෙමිතුරෝ ඉක්මණින් රෝහල්ගත වූහ


​ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

 

 

අම්බලන්ගොඩ එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.  


මත්වතුර පොදක් තොල ගෑමටවත්, දිවට රස දැනෙන අහරක් බුදීමටවත් නැතිව දින ගණනක් ගෙවී ගියේය. ‘‘මෙහෙම ඉඳල හරි යන්නෙ නෑ. මොකක් හරි කරන්නට ඕනෑ’’ දෙමිතුරෝ එක්ව දස අතේ කල්පනා කළහ.  


ටික වෙලාවකින් එක් අයෙක් හඬ අවදි කළේය. ‘‘හරි මට ආව හොඳ අයිඩියා එකක්. රජමහ විහාරයෙ ලොකු සඳුන් ගහක් තියෙනවා. ඉස්සුවොත් දෙන්නම ගොඩ.’’
යෝජනාව ස්ථිර විය. එය සාර්ථක කර ගැනීමට සැලසුම් කෙරිණි. දින ගණනාවක් සැලසුම් කර දින නියම කෙරිණි.  


රජමහා විහාරය ඇත්තේ ගමෙන් සැතපුමක් පමණ ඈතිනි. ඊට ඉඩම් අක්කර 10ක් පමණ අයත් හෙයින් අවට ගෙයක් දොරක් නැත. එය හුදකලා බිමකි. මෙම බිමෙහි පොල්, කොස්, කිතුල්, පුවක්, අඹ, දෙල් ආදී විසල් වෘක්ෂයෝ බොහෝ වෙති. තවත් විවිධ දැව වර්ග ද බොහෝය. එබැවින් හිරු රැස් බිමට පතිත වෙන්නේ මද වශයෙනි. කුරුඳු වගාවක්ද ඈතින් ඇත්තේය. සංඝාවාසය හා විහාර මන්දිරය කඳු පාමුල ඇති අතර කිලෝ මීටරයක් පමණ උසින් කඳු මුදුනේ චෛත්‍ය පිහිටියේය. එහි අගනා චූඩා මාණික්‍යයක් පළඳා ඇත. සංඝාවාසය හා විහාර මන්දිරය කාලයකින් අලුත්වැඩියා කර ඇති බවක් නොපෙනේ. බිත්ති දිය සෙවෙල් බැඳිලාය. තැනින් තැන බිත්තිවල කපරාරුව ගැලවී ගොසිනි. විහාර මන්දිරයේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. වහලේ සෙවිලි කර ඇති මෙරට උළු තැනින් තැන ගැලවී ගොසිනි. විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා හා දුර්වර්ණ වූ සිතුවම් මෙම විහාරය මහනුවර යුගයට අයත් බව ප්‍රකට කරයි.  


විහාරස්ථානයේ වැඩ සිටින්නේ එක් භික්‍ෂූන් වහන්සේ නමක් පමණි. මැදි වයසට ආසන්නව පසු වූ උන්වහන්සේ හෙළ වෙදකම හා මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ නිපුණතා සහිතය. බොහෝ කල්ගිය රෝග සුවපත් කිරීමේ හැකියාව සහිත බවට ප්‍රසිද්ධියක් දරා ඇත. විශාල යතුරු කැරැල්ලක් ඉණෙහි රඳවා අඳනය පමණක් හැඳ විහාර බිම සරන උන්වහන්සේ යකෙකුටවත් බය ඇති අයෙකු නොවේ. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමක් තබා ආවතේවකරුවෙක් වත් උන්වහන්සේ සමග නැත. මන්ද උන්වහන්සේගේ චණ්ඩ බව හමුවේ කිසිවෙකුටවත් විමසීම නොහැකි හෙයිනි. ඉඳහිට දානයක් ලැබුණද, එසේ නොවූවද හාමුදුරුවන් කම්පා නොවේ. තම ආහාර වේල තමන් වහන්සේම පිළියෙළ කර ගනිති.  
පන්සලට බලු පැටව් ගෙනවිත් අතහැර යන අය කෙරෙහි හිමියන් තුළ වෛරී සිතක් නැත. ‘‘තව ගෙනත් දාපල්ලා. මම උන් ආපහු උඹලගෙ පැත්තටම හරවනවා.’’ දැනට පන්සලේ බලු රංචුව සොළොස ඉක්මවා ඇත. උන් සියල්ලෝම හාමුදුරුවන් සේම චණ්ඩය. වත්තේ ඇවිදින්නට යන විට මෙම ආරක්‍ෂකයෝ හාමුදුරුවන් ඉදිරියෙන් හා පසුපසින් යති. ස්වාමියාගෙන් අණ ලදොත් මිනිසෙකු වුව පෙරළා දැමීමට මෙම ආරක්‍ෂකයින්ට ගත වන්නේ සුළු මොහොතකි. ඒනිසා පන්සලට බල්ලන් පිරිනැමූ හා එසේ නොකළ කිසිවෙකු හාමුදුරුවන්ගේ අවසරයකින් තොරව නොපැමිණෙති.  


ඇඳිරි වැටී හෝරාවකින් පමණ සංඝාවාසයෙහි ඉදිරිපස හා පසුපස දොරවල් වසා අතුළත වැඩ සිටින හිමියෝ පසුදා හිරු එළිය වැටෙන තෙක් යළි එළියට නොවඩින බව බොහෝ අය දැන සිටියහ. මේ කාලය තුළ පන්සලේ ආරක්‍ෂාව භාර ගන්නේ සුනඛ සේනාවය. එහෙත් සැබෑ තත්ත්වය හාමුදුරුවන් හැර අන් කිසිවෙකුත් නොදනිති. අඩු වශයෙන් ආරක්‍ෂකයින් පවා එය නොදනී. සංඝාවාසය තුළින් පිටතට ඒමට රහස් දොරටුවක් ඇත. තරමක් රෑ බෝ වූ පසු හාමුදුරුවන් ඉන් පිටත්ව එළිමහනේ සැඟව සිටිති.  


ඉහතින් සඳහන් කළ දෙමිතුරන් හාමුදුරුවන්ගේ මෙම හැසිරීම් රටාව නොදත්හ. බලු රැළට නොදැනෙන්ට වෙනත් මගකින් පන්සල් වත්තට ඇතුළු වූ දෙදෙනා අඳුරේම සඳුන් ගහ වෙත ළඟා වූහ. හිතේ හට ගත් බිය හිතේ හට ගත් තෘෂ්ණාව මගින් යටපත් කළේය. සිය කාර්ය ඇරඹූහ. සිහින් දුනු කියතකින් හඬ නොනැගෙන සේ ගස කපන්නට විය. ගිනි අවිය ද අතදරා එළියේ සිටි හිමියන්ට ඈතින් නැගෙන නුපුරුදු සිහින් ශබ්දයක් ඇසුණි. තීව්‍ර ලෙස සවන් පත් යොමු කළ ද එය හඳුනා ගැනීමට උන්වහන්සේ අපොහොසත් වූහ. එහෙත් කුමක් වුවද, මෙය යහපත් හඬක් නොවන බව නම් උන්වහන්සේට පැහැදිලි විය. විපරමින් තවත් සුළු වෙලාවක් ගත විණි. හඬ නතර වෙන්නේ නැත. අත රැඳි ගිනි අවිය එදෙසට අමෝරා උණ්ඩයක් මුදා හැරියේය. ඉන් නිකුත් හඬ නිදා සිටි සියොත් කැලගේ කම්පනයට හේතු විය. බලු රංචුව හඬ තලමින් එදෙසට දුව ගියහ. හාමුදුරුවන් සිය කුටියට වැඩම කළහ.  


අනපේක්‍ෂිත සිදුවීමෙන් කලබලයට පත් දෙමිතුරෝ හිස් ලූ ලූ අත දිව ගියහ. එකෙකුටවත් අනිකා පිළිබඳ මතකයක් නැත. මරු විකල්ලෙන් දෙපැත්තකට දිව ගිය ඔවුන් පය පැටලී බිම ඇද වැටුණු වාර ද බොහෝය. ඇඟපත සීරී ලේ ගලමින් දිවි රැක ගැනීම පතා දිව ගියහ. පන්සල් වත්තේ ගහ කොළ අතර අතරමං වූ ඔවුහු බොහෝ වෙලාවකට පසු දෙමගකින් ගම්මානයට සේන්දු වූහ. යළි ඔවුන් එකිනෙකා හමු වූයේ පසුවදාය. ඒ එකම රෝහලේ වාට්ටුවක එකිනෙකට ආසන්න ඇඳන් දෙකක් මත සිටියදීය. එකෙකුගේ හිස වෙළලාය අනෙකාගේ පාදය වෙළලාය. පහසුවෙන් මුදල් සොයන්නට ගොස් එසේ ඔවුන් කායික හා මානසික අපහසුවට පත් කළේය.  

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.  

මස් කඩයට දැක්කූ ගොන් නාම්බා අයිතිකරුවාට ඇණ මරාදාලා  


දැනට දශක තුන හතරකට පමණ පෙර ගම්දනව්වල ඝෝෂාකාරී පරිසරයක් නොතිබුණ අතර හැම අතින්ම දක්නට ලැබුණේ සුන්දර නිහැඬියාවකි. තාර,​ කොන්ක්‍රීට් හා කාපට් දැමූ මංමාවත් නැතත් වැලි, බොරළු පාරවල් හා අතුරු පාරවල් ගැමියන්ට යෑම් ඊම් සඳහා ඔවුන් විසින්ම සකසා ගෙන තිබුණි.  


ගමේ පිහිටි සරුසාර කුඹුරුයාය ‘‘යල’’ ‘‘මහ’’ දෙකන්නය ගොවිතැන් කර වී ලබාගත් ගැමියා ගමේ එළවළු පලතුරු හා අලබතල කොස්​ දෙල් ආදිය බුදිමින් නිරෝගිමත් ජීවිත ගත කළ බව නොරහසකි. පැණි හකුරු, වෙල්මාළු, දඩමස් හා කිරි ආදිය වැඩි මහන්සියකින් තොරව ‘සතපහක්’ පවා වැයනොකර ලබාගැනීමේ වාසනාව ගමේ උදවියට ලැබුණේ ඇති නැති අප කවුරුත් පාහේ බෙදහදා ගෙන කෑමට පුරුදු පුහුණු වී සිටි බැවිනි.  


බර කරත්ත, බරබාග, අත්කරත්ත හා තිරික්කල ගමේ වැඩිදෙනෙකුට තිබුණ බව සැබෑවකි. ගොනුන් කරත්තයේ බැඳීමට හා කුඹුරු ගොවිතැන් කිරීම නගුලේ බැඳ බිම් සකස් කිරීමටත් එළදෙනුන්ගෙන් පැටවුන් හා කිරි ලබාගත හැකි වීමත් ගවයින් ඇති කිරීම නිසා ලද මහඟු දායාදයකි. එහෙත් ඒ හැම එකටම වඩා මහත් පලදායි වූයේ සෑම වගාවක් සඳහාම ගොම පොහොර යොදා ගැනීම වේ.   


ගම පුරා ලඳු කැලෑ, මුඩු බිම් හා තණබිම් බහුලව තිබූ බැවින් ගවයින් ඇතිකිරීම ගමේ උදවියට දුෂ්කර කාර්යයක් වූයේ නැත. පිනට දහමට බර වූ ගමේ ගැමි ජනතාව කිසිවිටෙක තමන් ඇති කරන ගවයින් මස්කඩේට දැක්කුවේ නැත. පිටගම්වලින් පැමිණෙන තැරැව්කරුවන් ඇතිකිරීමට හෝ එක්කෝ කරත්තයේ බැඳීමට හෝ කියා වැඩි මිලට ගවයින් ඉල්ලන නමුත් මස්කඩ ජාවාරම්කරුවන්ගේ බොරු ගජබින්නවලට ගැමියන් රැවටෙන්නේ නැත. ඔවුන්ට සතා දුන්නොත් කෙළින්ම මස්කඩේ ‘‘කොක්කට’’ යන බව ගම්මු සහසුද්දෙන්ම දන්නා බැවිනි.  


සේදිරිස් ඇති කරන ලද වසුපැටවෙක් කුඩා කාලයේ පටන්ම හීලෑ කර ගත නොහැකි දඩබ්බර එකෙක් විය. ගොවිතැන් කටයුතුවලට හෝ කරත්තයේ බැඳීමටවත් පුරුදු කළ නොහැකි වූ මේ ගොන් නාම්බා කල්යෑමේදී මහා වස නපුරු අනින ගොනෙක් විය. සේදිරිස්ට ද කීප දිනක්ම ඇන බිම දමා ඇති මේකාට කුමක් කරන්නේදැයි කල්පනා කළ සේදිරිස් මේ දරුණු තීරණය ගත්තේ කිනම් මොහොතක හෝ ‘‘මූ මාවත් මරා දමනු ඇතැයි’’සැක සිතුන බැවිනි.  


දිනක් ගම්මුන්ට රහසේ සතා එළියට ගෙන පාන්දර යාමයේම නගරය කරා දක්කාගෙන ගියේ කලින් කතා කරගත් පරිදි ගැනුම්කරුවා අතරමගදී හමුවී මුදල් ලබාගෙන ගොනා ඔහුට බාරදීම සඳහාය.  


වැඩිදුරක් යාමට මත්තෙන් තමා ‘‘මරන්න’’ ගෙන යන බව ඉවෙන් මෙන් තේරුම් ගත් ගොන් නාම්බා සේදිරිස්ගේ යටිබඩ හරහා වේගවත් පහරක් ඇන ඔහු බිම වැටුණ පසුද පපුවට හා බඩට පහර කීපයක් ඇන කැලෑවට පැන ගත්තේය.  


මස් කඩයට දැක්කූ ගොන් නාම්බා හාම්පුතාටම ඇන මරාදාලා යැයි උදේ පාන්දරම ගම පුරා පැතිර ගියේය.  

 



බිංගිරිය කොස්වත්තේ ඩී.එන් දිසානායක මහතා ලියා එවූ කතාවකි.  

හරක් මැරූ සයියප්පුට අත් වූ ඉරණම 


‘‘සයියප්පු’’ වයඹ ප්‍රදේශයේ ජීවත් වූ මහා පරිමාණ මස්කඩ ව්‍යාපාරිකයෙක් විය. දිනපතා ඔහු විසින් මරනු ලැබූ එළහරකුන් හා මී හරකුන් සංඛ්‍යාව දහයක් හෝ පහළොවක් පමණ විය. එසේ මරන හරක් මස්කර ඔහු ප්‍රදේශයේ වෙළඳ‌ාම් පොළවලට හා ඔහු විසින් පවත්වාගෙන යනු ලබන මස් කඩවලට වාහනවලින් ප්‍රවාහනය කරන්නේ ගෝලබාලයන් අතෙහිය.  


උදේ සිට රෑ වනතුරුම බීමත්ම සිටින මොහුට හරකකු හෝ මී හරකකු මැරීමට ගත වන්නේ ඉතා සුළු වෙලාවකි. හරකාගේ බෙල්ල ඉලක්කකොට තම අතැති විශාල පොරවෙන් ඉතා වැරෙන් තදබල පහරක් ගසන විට මරහඬ දී වැටෙන ගවයා දෙස ඔහු බලා සිටින්නේ අධික ප්‍රීතියෙනි. බිම වැතිර දඟලන සතාට තවත් ​ෙපාරෝ පහරවල් කීපයක් ඉතා වැරෙන් ඔහු ගසන්නේ සිංදුවක් කියමින් සිනාසෙමිනි. ඒ බීමතිනි. මස් කෑමට මහත් ගිජුකමක් දක්වන මොහුට දවසේ හැම වේලටම මස් පමණක් උයාපිහා දීම ඔහුගේ බිරිඳට පැවරී ඇති කාර්යයකි.  


මේ අතර දවසට එකා බැගින් ගැබ්බර එළදෙනකු මරණ මොහු එළදෙනගේ කුසෙහි සිටින පැටියා වෙනමම ගෙන රෝස්කර, පුළුස්සා කෑම ඔහු අතින් නිරායාසයෙන් සිදුකෙරෙයි.  
දවසේ වැඩ අවසන් වූ පසු සවස් කාලයේ අධික ලෙස බීමතින් පාරේ එහාට මෙහාට වැනි වැනි නොයෙකුත් පැරණි රසාංග කියමින් ගමන් කරන මොහු දිනක් මහපාර අයිනේ වූ බෝක්කුවක් මත හිද ‘‘මේ ලෝකෙ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේ’’ යන ගීතය ගැයුවේ අධික බීමතිනි. මේ ගීතය ගයා අවසන්වත්ම කිසිවෙකු නොසිතූ පරිදි ඔහු බෝක්කුවෙන් පහලට ඇද වැටුනේ හිස පහළට සිටින සේ මහ කළු ගලක් මතටය. කළුගලේ හිස තදින් වැදුණු සයියප්පු අවසාන ගමන් ගියේ එම බෝක්කුව තුළදීමය.  


කාලයක් තිස්සේ සයියප්පු කළ ඒ මහා පාප කර්මවලට විපාක වශයෙන් ඔහුට මෙවන් දුක්ඛිත ඉරණමකට මුහුණදීමට සිදුවූ බව මේ සිදුවීම දෙස බැලීමේදී කාටත් වැටෙහෙනු නිසැකයි.  


මෙය සත්‍ය සිදුවීමකි. බෝක්කුව තුළ වූ ඔහුගේ මළ සිරුර හමු වූයේ ඊට දින කිහිපයකට පසුවය. මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිතය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් පහත ලිපිනයට ඒවා යොමු කරන්න.  


සංස්කාරක “මේ ජීවිතයේදීම කළකම් පළදෙන හැටි”, ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලය, නො.8, හුණුපිටිය හරස් පාර, කොළඹ 2

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්