ඇවිදින විට දුරකතන බැටරිය ආරෝපණය කරන්න උපකරණයක් හැදූ පාසල් ශිෂ්‍යයා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චතුරගේ ඉදිරි වැඩ කටයුතු සඳහා මුදල් ප්‍රදානය කළ අයුරු.

 

 

 

සිංගප්පූරුවේ අගමැතිවරයකු වූ ලික්වාන් යූ මහතා වරෙක පැවැසුවේ. “සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් බවට පත්කරන බවය.” එහෙත් එයින් ඔබ්බට ගොස් සිංගප්පූරුව තාක්ෂණයෙන් පිරි සුරපුරයක් බවට පත් කිරීමට ඔහුට හැකි විය. දෙවන ලෝක යුද සමයේ ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජපානය සමාජීය, ආර්ථික ආදී තත්ත්වයන් අතින් ඉතා අසීරු අඩියකට ඇද වැටිණි. එහෙත් එයින් නොසැලී අද වනවිට තාක්ෂණය හා සෑම අතින්ම ලෝකයේ ප්‍රබල රටවල් අතර පෙරමුණ ගැනීමට ජපානයට හැකිව තිබේ. 
ලෝකයේ පමණක් නොව අතීතයේ රාවණ යුගයේ හෙළදිව ජීවත් වූ ‍මිනිසුන් ද තාක්ෂණය අතින් හිනිපෙත්තටම පැමිණ තිබූ බවට සාක්ෂි සාධක ඕනෑ තරම් ඇති බව අද වනවිට සොයා ගෙන තිබේ. අහස උඩින් මුහුද යටින් යෑමට තරම් එදා හෙළයෝ බුද්ධිමත් වූහ. එවන් තාක්ෂණික දැනුමකින් හෙබි අභිමානවත් ජාතියකින් පැවැත එන ලාංකිකයන් අද වනවිට විදේශීය නිෂ්පාදන මතම යැපීමට පුරුදුව සිටීම දුකට හා කනගාටුවට කරුණ
කි. 


අලුතින් සිතමින් අලුත් නිර්මාණයන් බිහි කිරීම සැමටම කළ නොහැකි කරුණකි. මන්දයත් එයට විශේෂිත වූ හැකියාවක් සහ ශිල්පීය ඥානයක් තිබිය යුතුය. හැකියාවන් හා දැනුම තිබූ පමණින්ම අවශ්‍ය ඉලක්කය වෙත යාමට පහසු නොවේ. මන්දයත් කාලය මුදල් සහ නිවැරදි මඟපෙන්වීම වැනි අමතර උපකාරයන් ද ඒ සඳහා අවශ්‍ය වේ. 
විවිධ බාධක හා හැලහැප්පීම් මැද හැකියාව ශිල්පීය දැනුමෙන් සහ උත්සාහයෙන් නව නිර්මාණ බිහි කළ ලෝකය ජයගත් දිරිය දරුවකු ඉරිදා ලංකාදීපයේ අපට හමුවිය. ඇවිදිනවිට දුරකතන බැටරි ආරෝපණය කළ හැකි උපකරණයක් සැකසූ ඔහු කේ.ආර්. චතුර මධුමාල් ය. කන්තලේ ශ්‍රී දන්තලාව මහ විද්‍යාලයේ උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් මෙවර ඔහු විභාගය සඳහා පෙනී සිටියේය. 


චතුර තම නව නිර්මාණය පිළිබඳව “ඉරිදා ලංකාදීපය” වෙත මෙසේ අදහස් දැක්වීය. 
“ඇවිදින විට බැටරි දුරකතන ආරෝපණය කළ හැකි උපකරණයක් නව නිපැයුමක් ලෙස මා නිර්මාණය කළා. එය පුද්ගලයකු සාමාන්‍ය ඇවිදිමකදී පැය එකයි විනාඩි 30ක් ඇතුළත බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමට පුළුවන්. දුරකතන බැටරියේ සිට ඊට වඩා වැඩි ධාරිතාවන්ගේ බැටරි ආරෝපණය කිරීමක් දක්වා මෙම නිර්මාණය ඉදිරියේදී වැඩිදියුණු කරන්න මම බලාපොරොත්තු වෙනවා. 
කුඩා දරුවන් සඳහා නිමවා තිබෙන ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන් දැකීමෙන් මගේ හිතට කුතුහලයක් ඇති වුණා ඇවිදින විට සපත්තුවෙන් ශබ්දය නිකුත් වන්නේ කොහොමද කියලා. මම හැම වේලාවෙම මේ ගැන හිතුවා. එහි ඇති ක්‍රියාදාමය හොඳින් අධ්‍යයනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මට මෙම නව නිර්මාණය කරන්න මුලින්ම අදහසක් ඇති වුණේ. 

ඇවිදින විට දුරකථන බැටරිය ආරෝපණය වන උපකරණය

 

 


මම ජීවත්වෙන්නේ දියුණු පළාතක නෙවෙයි. කන්තලේ කියන්නේ එදා වේල ඉතා අමාරුවෙන් හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න පැත්තක්. මගේ පවුලත් එහෙම්මයි. පවුලේ හය දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා මල්ලී සහ නංගිලා දෙන්නෙක් මට ඉන්නවා. මල්ලීයි මමයි නිවුන් සහෝදරයින්. මගේ තාත්තා කරන්නේ වැලි රස්සාව, අම්මා රැකියාවක් කරන්නේ නැහැ, මා ඇතුළු මගේ මල්ලී සහ නංගිලා දෙන්නා තවම අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. 
අපි ජීවිතේ ගැට ගහගන්නේ ඉතාම අමාරුවෙන්. හදිසියේ හරි තාත්තා අසනීප වුණොත් එදාට තාත්තාට පඩිය ලැබෙන්නේ නැහැ. වැහි දවස්වලට තාත්තාට රැකියාවට යන්න විදියක් නැහැ. එහෙම දිනවල අපි සියලු දෙනා බඩගින්නේ පවා ඉඳලා තියෙනවා. තාත්තාගේ පුංචි පඩියෙන් තමයි අපේ සියලු දේම අපි කරගන්නේ. 
කොච්චර අපහසුතා නැති බැරිකම් අඩුපාඩු තිබුණත් අධ්‍යාපන කටයුතුවලට ඒ දේවල් බාධාවක් කර ගත්තේ නැහැ. මල්ලීයි මමයි දෙන්නම ඉගෙනගන්න දක්ෂයි. ඒ අතරිනුත් ගණිතය හා විද්‍යාව විෂයන්ට පොඩි දවස්වල ඉඳලාම හරිම උනන්දුයි. පාසලේදී විවිධ ප්‍රදර්ශන සඳහා අපි නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී අපිට වෙනස්ම ආකාරයේ ගණිත ගැටලු විසඳන උපකරණයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ගණිතය විෂයය සඳහා බියක් දක්වන සිසුන්ට ආසාවෙන් විෂය එක්ක ගැටෙන්න එය උපකාරී වුණා. මෙය මඟින් තව තවත් නව නිර්මාණ කරන්න අපිට ආශාවක් ධෛර්යයක් ඇති වුණා. 


මම අතිරේක විෂය කාණ්ඩය යටතේ ඇති මෝටර් කාර්මික විෂය ඉගෙන ගත්තා. එම විෂය පිළිබඳ ඉගැන්වීම් කටයුතු කළේ තිලකරත්න ජයසිංහ ගුරුතුමා. ඔහු ඉගැන් වූ දේවල්වලින් ද මා විවිධ නිපැයුම් කළා. ඒ අතරින් වැඩිපුරම නිර්මාණ කළේ ඉලෙක්ට්‍රොනික පරිපථයි. එම පරිපත නිර්මාණය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ මිලදී ගන්න හැකියාවක් මට කොහෙත්ම තිබුණේ නැහැ. සර් තමයි මට අවශ්‍ය සියලු දේ ගෙනත් දුන්නේ.  
මම පාසලේ 8 වසරට වගේ එනකන්ම නිර්මාණය කළේ ඉතා කුඩා දේවල්. ඒ අතරිනුත් පාපැදි අලුත්වැඩියා කටයුතු කරන්න පුරුදු වුණා. මෝටර් සම්බන්ධ දේ ද නිර්මාණය කළා. මේ සියලු දේ තුළින් මා ලැබූ දැනුම අත්දැකීම් එක්ක නව නිපැයුමක් පිළිබඳව සිතීමට සහ එය නිර්මාණය කරන්න අවශ්‍ය පන්නරය ලබා ගත්තා.  
පාසල් මට්ටමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කරන අතරතුර ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් ලෙස ජාතික විද්‍යා පදනම මඟින් සිදුකරන ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් ඉදිරිපත් කරන්න අවස්ථාව අපිට හිමිවුණා. මල්ලී මමයි දෙන්නම මේ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වුණා. මම ඒ සඳහා ඇවිදින විට සපත්තුව තුළින් ආරෝපණය වන බැටරිය සහිත නිපැයුම ඉදිරිපත් කළා. ඒ වගේම මල්ලීත් ගොඩක් මහන්සි වෙලා විකල්ප විදුලි පහනක් නිර්මාණය කළා. මෙම නිර්මාණත් එක්ක ලංකාවේ හොඳම 10 දෙනා අතරට එන්න අපි දෙන්නටම හැකියාව ලැබුණා. 

 

විවිධ නිපැයුම් සඳහා ඔහු ලැබූ පදක්කම්

 

 


පොඩි දරුවන් ඇවිදින විට ශබ්දය නිකුත් කරන පාවහන්වල ආකෘතියට අනුව මෙම නව නිපැයුම මා නිර්මාණය කළා. පියවරක් ඇවිදින විට සපත්තුව තුළ ඇති පරිපථය ක්‍රියාත්මක වන අතර එහි ඇති ලීවරයක් මඟින් විදුලිය නිෂ්පාදනය වී පසුව එය බැටරිය සඳහා ආරෝපණය වන ආකාරයට නිපැයුම නිර්මාණය කළා. මම එතැන් පටන්ම මෙම නිර්මාණය විවිධ වෙනස්කම් කරමින් වැඩි දියුණු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වර්ෂයේ දී කොරියාවේ පැවැති නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයකදී රිදී පදක්කමක් ලබා ගැනීමට මට හැකි වුණා. එම වසරේදීම වෙනත් තරඟයක් සඳහා කොරියාවේ දී තවත් රිදී පදක්කමක් සහ රන් පදක්කමක් ද 2019 වර්ෂයේදී කැනඩාවේ පැවැත් වූ ඉලෙක්ට්‍රොනික නව නිපැයුම්කරුවන්ගේ තරඟයේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට මා සමත්වුණා. 
ජාත්‍යන්තර තරග හා ප්‍රදර්ශනවලදී රන් හා රිදී පදක්කම් දිනාගත්තත් ඒවායින් මට ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වුණේ එක් රිදී පදක්කමක් පමණයි. අනෙක් පදක්කම් ලංකාවට ගෙන්වා ගැනීමට ඉන්වොයිස් ගෙවීමට තරම් මුදලක් මා ළඟ නැහැ. එම පදක්කම් ලංකාවට ගෙන්වා ගැනීමට උදව් කරන ලෙස බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා. එසේම 2016 වර්ෂයේදී මෙම නිර්මාණය සඳහා පේටන්ට් අදාළ බලපත්‍රය ලබා ගැනීමට මා ඉල්ලුම් කළා. එහෙත් තවම එය මා හට ලැබී නැහැ. මේ ගැටලුව නව නිර්මාණ කරන හැමෝටම තියෙනවා. මේ පිළිබඳවත් බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් තව තවත් නව නිර්මාණ කිරීමට එය අපිට ශක්තියක් වෙනවා. 
මෙවැනි නව නිර්මාණයක් බිහිකරමින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න මට හැකියාවක් ලැබුණා. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ආඩම්බරයි. හැම වේලාවෙම මාව දිරිමත් කළ අම්මට, තාත්තාට‌, මගේ සහෝදර සහෝදරියන්ට‌, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට, තිලකරත්න ජයසිංහ ගුරුතුමාට මගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ජයන්ත විජේසේකර මහතාට සහ සෑම ආකාරයකින්ම මා හට උපකාර කළ සියලු දෙනාට ස්තුතිය පුදකරනවා’’. 


කැළේ පිපෙන මල් කැළේටම පරවෙන්න නොදී එහි සුවඳ රටට ලෝකයට විහිදුවාලීමට අපි සැවෝම වගබලාගත යුතුය. මන්දයත් රටක් ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් මේවැනි සම්පත් ආරක්ෂා කර ගත යුතු සේම ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීම ද කළ යුතුය. 


අඳුරෙන් අඳුරට නොගොස් අඳුරෙන් ආලෝකය සොයා යන මෙවැනි මිනිසුන්ගේ ධෛර්යය රටේ ලොකු පොඩි සැමගේම අවධානයට යොමු විය යුතු අතර අලුතින් සිතන නිර්මාණශීලී ජාතික් බිහි කිරීමෙහිලා වෙහෙසෙන සැවොම මෙම මිනිසුන් වෙනුවෙන් අවධානය යොමු කළ යුතුය.

 

 

සටහන හා ඡායාරූප
මනෝජ් හර්ෂික මධුෂාන්