ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා මාර්ගය


නුතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

 

අභිධජමහාරට්ඨගුරු, අග්ගමහාපණ්ඩිත බළංගොඩ, ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සිය අත්අකුරින් රචනා කරන ලද Notes of Meditation නම් භාවනා අත්දැකීම් කෘතිය ඇසුරින් සිය ජීවිතයේ පශ්චිම සමයේදී නාහිමියෝ සෝවාන් ඵලයට පත්වූහ’යි අපි ප්‍රකාශ කර සිටියෙමු. 1896 උපන් ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ 1998 දක්වා වසර 102ක් නිරෝගීව ජීවත් වූහ. වයස්ගත භාවය නිසා යම් යම් අසනීප තත්ත්වයන් අවසාන සමයේ එළඹුණද ජීවිත කාලය පුරා කිසිදු බරපතළ රෝගාබාධයක් උන්වහන්සේට තිබුණේ නැත. මේ ලේඛකයා පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී මහනාහිමියන් සමග බොහෝ ලිපි හුවමාරු කරගෙන ඇති අතර ඉන් එක් ලිපියක නාහිමියන් සඳහන් කර තිබුණේ “අද මට වයස 94යි. එහෙත් කිසිම ලෙඩක් නැත” යනුවෙනි. 

 
පසුගිය සමයේ බටහිර රටවල බුදු දහම ප්‍රචාරය කළ ශ්‍රේෂ්ඨතම ධර්මදූතයන් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් පහළ විය. ඉන්දියාවේ සිට එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී මුළු මහත් බටහිර සමාජයම අවදි කරවාලීමට ධර්මදූත මෙහෙයෙහි යෙදුණ මේ දේශකයන් තිදෙනාට හැකියාව ලැබිණ. ජාත්‍යන්තර කීර්තියට පත් මේ ප්‍රමුඛතම ධර්මදූතයන් තිදෙනා නම් අනගාරික ධර්මපාලතුමාත්, වජිරාරාමාධිපතිව වැඩ සිටි නාරද හිමියෝත්, බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියනුත්ය.   


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් ධර්මදූතයෙකු ලෙස කෙතරම් කීර්තිමත්ව සිටියාදැයි කියතොත් ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමා උන්වහන්සේ සිය ආචාර්යවරයෙකු ලෙස සැලකීමට පුරුදුව සිටියේය. 1996 මාර්තු මස 8 වන දින ඉන්දියාවේ දිල්ලියේ අශෝක් හෝටලයේදී ප්‍රවීණ මාධ්‍යවේදී නෙම්සිරි මුතුකුමාර මහතාට දලයි ලාමාතුමා හමුවූ විට පළමුව විමසා ඇත්තේ “මගේ ගුරුවර ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ සැප දුක් කෙසේද? උන්වහන්සේ මගේ ආදරණීය ගුරුවරයාය. කරුණාකර මගේ ගෞරවය උන්වහන්සේට ප්‍රකාශ කරන්න” යනුවෙනි.


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් ඍෂිකේෂයේ, ගන්ධමාදන පර්වතයේ, තිරුවන්නමාලේ, අරුණචලා කන්දේ හින්දු භාවනානුයෝගීන් හමුවීමට ගොස් භාවනා කළ බව සිය චරිතාපදානයේදී ප්‍රකාශ කර තිබේ. එයින් ලද අනුප්‍රාණය ඇතිව ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේලාද, මාධ්‍යවේදියෝද මේ හිමාලය ප්‍රදේශයේ භාවනා කිරීමට යොමු වූහ. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි, මිස්සක කමලසිරි හිමි, ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක ආදීහු එලෙස අප දන්නා චරිත වෙත්. ඍෂිකේෂයේ, මායාකුණ්ඩයේ උන්වහන්සේ වැඩ සිටි ආශ්‍රමය සොයාගෙන තමන් වැඩි බවත්, අද එම ප්‍රදේශ සියල්ල වෙනස් වී ඇති බවත් නාහිමියන්ට හමුවූ අවංක යෝගීන් හා ඍෂිවරුන් අද එහි දක්නට නොමැති බවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් වරෙක සඳහන් කර තිබිණ.   


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් භාවනාවෙන් විවිධ විශ්මිත අත්දැකීම් ලද භික්ෂුවකි. මනෝමය ශරීරයෙන් යෑම පිළිබඳ ප්‍රථමවරට අත්හදා බැලූ භික්ෂුව ලෙස සැලකෙන්නේද උන්වහන්සේය. තමන් හම්බන්තොට පෙදෙසේ බූන්දල කැලයේ භාවනා කරමින් සිටි විට ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සිහිනෙන් දුටු බවත් ඉක්මනට ගොස් උන්වහන්සේව මුණගැසෙන්නැයි කවුරුන්දෝ කියනු ඇසුණු බවත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ලිපියක සටහන් කර තිබිණ. බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් පිළිබඳ මෙබඳු ආශ්චර්යවත් ප්‍රවෘත්ති ඕනෑ තරම් ඇතත් අප මෙහිදී උත්සාහ කරන්නේ උන්වහන්සේ සෝතාපන්න මාර්ගය වැඩූ ආකාරය විග්‍රහ කර පෙන්වීමටය.   


කොස්වත්තේ අරියවිමල හිමියන් අනඳමෙත් ‘නාහිමියන්ගේ භාවනාමය මනස’ යනුවෙන් ලියා තිබූ අපූරු ලිපියෙහි ඉතා වැදගත් අදහසක් සඳහන් කර තිබේ. එනම් නූතන යුගයේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට, සමාජ සේවයට, යොමුව සිටින භික්ෂු පරපුරක් අතර ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් තුළ තිබූ භාවනාමය උද්‌යෝගය ඉතා සාධනීය ලක්ෂණයක් බවයි. මෑත භාගයේ භාවනාව පිළිබඳ වැඩිම සමාජ උනන්දුව ඇති කළ භික්ෂූන් වහන්සේද ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාද වරක් සටහන් කර තිබිණ.   


නාහිමියන් තුළ තිබූ භාවනා උද්‌යෝගය නිසාම බෞද්ධ භාවනා ක්‍රමද, හින්දු භාවනා ක්‍රමද, කුණ්ඩලීනි යෝගද, ගොඑන්කාජි ක්‍රමයද උන්වහන්සේ නොයෙක්වර ප්‍රගුණ කර අත්දැකීම් ලබාගත්තේය. එහෙත් උන්වහන්සේ වඩාත් ප්‍රිය කළ කර්මස්ථානය වී ඇත්තේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එන ධාතු මනසිකාරයයි. එය තමාටම ආවේණික ක්‍රමයකට වඩා ඇති බව නාහිමියන්ගේ භාවනා සටහන් අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් විදර්ශනා භාවනාව දැඩි ලෙස වඩන්නට පටන්ගෙන ඇත්තේ 1956 දී කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදීය. ස්වකීය භාවනා අත්දැකීම් ලේඛනගත කිරීමද නාහිමියන් විසින් ආරම්භ කරනු ලැබ අත්තේ එහි සිටය.   


ආනන්ද මෛත්‍රෙය නාහිමියන් කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කොට ඇත්තේ බුරුම ජාතික කම්මට්ඨානාචාර්යවරයෙකු වන සුජාත තෙරුන් යටතේ විදර්ශනා වැඩීමේ අරමුණෙනි. බුරුම ජාතික තෙරුන් සමග නාහිමියන් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කොට ඇත්තේ පාලි භාෂාවෙනි. මේ සුජාත තෙර මහා ධර්මධරයෙකු බවත් පාලි පඬිවරයෙකු බවත් නාහිමියෝ සඳහන් කරති. බුරුමයේ මහා කම්මට්ඨානාචාර්ය අග්ගමහාපණ්ඩිත මහාසී සයාඩෝ තෙරුන් විසින් කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කහටපිටියේ සුමතිපාල තෙරුණගේ ඉල්ලීම මත බුරුම ජාතික සුජාත තෙර නම ලංකාවට එවා තිබිණ.   
1955 බුරුමයේදී පැවැත්වූ ජට්ඨමහාසංගායනාවේ පළමු සංගීති වාරයේදී එහි අවසාන ශෝධක මණ්ඩලයට ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ ඇතුළත්ව සිටියහ. ඒ මණ්ඩලයේ බුරුම ජාතික විසුද්ධාභිවංශ ස්ථවිරයනුත්, මහාසී සයාඩෝ ස්ථවිරයනුත් කටයුතු කර තිබූ අතර එහෙයින් ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හා බුරුම භික්ෂූන් අතර මනා සම්බන්ධයක් ඇති වී තිබිණ. මෑත භාගයේ බුරුමයේ විදර්ශනා භාවනා ක්‍රමය ජනප්‍රිය කරවීමේ පුරෝගාමියා වූයේ අග්ගමහාපණ්ඩිත මහාසී සයාඩෝ තෙරණුවෝය. ධර්ම ග්‍රන්ථ 67ක් පමණ රචනා කර ඇති මේ ශ්‍රේෂ්ඨ මහා යතිවරයාණෝ ඡට්ඨ මහා සංගායනාවේ අවසාන සංස්කාරක ධුරයත්, පුච්ඡක හෙවත් ප්‍රශ්න අසන්නා ලෙසත් කටයුතු කළහ.   


මහාසී සයාඩෝ නමින් ප්‍රකට වුවද උන්වහන්සේගේ මුල් නම ෂින් සෝභන යන්නයි. සෝභන හිමියන්ගේ භාවනා වැඩසටහන් බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වීමත්, ශිෂ්‍ය පිරිස විශාල වශයෙන් වැඩි වීමට පටන් ගැනීමත් සමග ෂින් සෝභන හිමියෝ මහාසී සයාඩෝ නමින් හැඳින්වෙන්නට වූහ. උන්වහන්සේ සිය භාවනා වැඩසටහන් සමාරම්භ කර ඇත්තේ බුරුමයේ රැංගුන් නුවර ශාසන යෙයික්ත නම් භාවනා මධ්‍යස්ථානයේදීය. භාවනානුයෝගීන් විශාල වශයෙන් වැඩි වූ නිසා උන්වහන්සේගේ දේශන පටිගත කර වැඩසටහන් සඳහා යොදා ගන්නට සිදුවිය. තායිලන්තය, කාම්බෝජය හා ඉන්දියාව යන ථෙරවාදී බෞද්ධ රටවලද මහාසී සයාඩෝ හිමියන්ගේ භාවනා ක්‍රමය පැතිර ගියේය. මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් පෞරාණික විපස්සනා භාවනාව නමින් හඳුන්වන්නේද ‘සතිපට්ඨාන භාවනාව’ වැනි කෘතිවලින් හඳුන්වා දී ඇත්තේද මේ බුරුම විපස්සනා ක්‍රමයයි. මහාසී සයාඩෝ තෙරුන් ශ්‍රී ලංකාවට තෙවරක් පමණ වැඩම කර ඇති අතර භාවනාව ප්‍රගුණ කරවමින් විශාල සේවාවක් සිදු කරන කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයත්, තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයත් උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ ආයතන වේ. 1972 දී කරන ලද සංගණනයකට අනුව ථෙරවාදී රටවල සයාඩෝ ක්‍රමය අනුගමනය කළ භාවනානුයෝගීන් ප්‍රමාණය ලක්ෂ හතක් පමණ ඉක්මවා ගියේය.   


ආනන්ද මෛත්‍රෙය නාහිමියන් 1956 දී කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට වැඩම කරන විට උන්වහන්සේගේ වයස අවුරුදු හැටක් විය. මේ වන විට උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයා ලෙසද, බළංගොඩ ධර්මානන්ද පිරුවනේ පරිවේණාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබූ අතර මහානායක පදවියකට පත්වී නොසිටියහ. ආනන්ද මෛත්‍රෙය නාහිමියන් නිකායික වශයෙන් අයත් වූයේ අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ රාස්සගල පාර්ශ්වයටය. එය අමරපුර මහා නිකායේම තවත් එක් විහාර පාර්ශ්වයකි. වර්තමානයේ අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් උත්තරීතර මහානායක ධුරය දරන සමස්ත ලංකා අමපුර මහා සංඝ සභාව වනාහි ශාඛා විසි දෙකකින් සමන්විත මහා සංඝ සංස්ථාවකි. එහි උඩරට මූලවංසික මහා නිකාය, උඩරට අමරපුර මහා නිකාය, අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකාය, අමරපුර නිකාය, ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව, අමරපුර නිකාය අඹගහපිටිය පාර්ශ්වය, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය, මාතර අමරපුර සිරි සද්ධම්මයුත්තික නිකාය, අමරපුර ආරියවංස සද්ධම්මයුත්තික නිකාය ආදී වශයෙන් ඒ ඒ ප්‍රදේශ අනුවද විහිදී පැතිරී ගොස් තිබේ.   


මේ විවිධ නිකාය පාර්ශ්වයන් වෙතින් බුදු සසුන බැබල වූ ශ්‍රේෂ්ඨ මහා යතිවරු රාශියක් පහළ වූහ. බම්බලපිටිය සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑණේ සිරි වජිරඤාණ මහ නාහිමියන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායට අයත් වූ අතර උන්වහන්සේගේ ශිෂ්‍යයන් වූ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි, නාරද හිමි, පියදස්සි හිමි, අම්පිටියේ රාහුල හිමි, නූතන යුගයේ නව ශාසනික සම්ප්‍රදායක් ඇරඹීමට පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨ භික්ෂූන් වූහ. පසුකාලීනව අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයටපත් අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියෝ ජාතික ප්‍රශ්නවලදී පෙරමුණ ගත් බලසම්පන්න ජාතික නායකයෙකු වූවා පමණක් නොව ගංගොඩවිල සෝම හිමි, මහරගම ධම්මසිරි හිමි, තිරිකුණාමලේ ආනන්ද හිමි වැනි විශිෂ්ට ශිෂ්‍ය පරපුරක් බිහි කළහ. අමරපුර මහා නිකායේ හිටපු මහානායකවරයෙකු වූ අග්ගමහාපණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර නාහිමියන් අයත් වූයේ උඩරට අමරපුර නිකායටය. අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන් අයත් වූයේද අමරපුර ශ්‍රී කල්‍යාණ වංශ නිකාය පාර්ශ්වයටය. වර්තමානයේ එහි මහානායක ධුරය රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයේ වැඩ සිටින දොඩම්පහල චන්දසිරි නාහිමියන් හොබවන අතර කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝද එහි අනුනායක ධුරයක් හොබවති.   


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අයත් වූ සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ රාස්සගල පාර්ශ්වය රාස්සගල මහවලතැන්නේ භික්ෂු පරපුර වශයෙන්ද හැඳින්විණ. එය ඉතා සිල්වත් භික්ෂූන්ගෙන් යුක්ත සඟ පරපුරක් ලෙස සබරගමු පළාතේ කාගේත් ගෞරවයට ලක්ව තිබූ බව නාහිමියන් සඳහන් කර තිබේ. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ට රාස්සගල විහාර පාර්ශ්වයේ පළමුව ලැබී ඇත්තේ ප්‍රධාන සංඝනායක ධුරයයි. එය එකී පාර්ශ්වයේ මහානායක ධුරය නොව සංඝ සභාව විසින් සම්මත කොට ගන්නා ප්‍රධාන සංඝ නායක ධුරයයි. ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ඒ ධුරයට පත්ව ඇත්තේ 1954 ජනවාරි 18 වැනිදා බව දින සටහන්වල දැක්වේ. රාස්සගල නායක මාහිමියන් මේ පදවිය සඳහා ආනන්ද මෛත්‍රෙය නාහිමියන් යෝජනා කර ඇති අතර සියලු දෙනාගේ කැමැත්තෙන් සමානච්ඡන්දයෙන් නායක ධුරය සම්මත වී තිබේ. 

 
මේ වන විට නාහිමියෝ 58 වැනි වියේ පසු වූහ. නාහිමියන් සිංහල බෞද්ධයා ආදී පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛකයෙකු ලෙස කීර්තිමත්ව සිටි අතර සද්ධර්ම චන්ද්‍රිකා, ශිශුබෝධ බුද්ධ ධර්මය ආදී එකල දහම් පාසල් සිසුන්ට පොත් ලියන ලද්දේද උන්වහන්සේ විසිනි. එසේම සූත්‍රාන්ත පිටකයට අයත් දීඝනිකාය ප්‍රථම වරට සිංහලට නගමින් දික්සඟිය නමින් පළ කර තිබූ කෘතියද වියත් සම්භාවනාවට පත්ව තිබිණ. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ආරාධනාවෙන් බුද්ධ චරිතය ක්‍රමානුකූලව සම්පාදනය කරන ලද්දේද ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසිනි. මේ නිසා වයස 58 වන විට උන්වහන්සේ ලංකාව පුරාම කීර්තියක් දැරූ තෙර නමක වූහ. 

 
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අමරපුර සිරිසද්ධම්මවංශ නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක ධුරයට පත් වන්නේ ප්‍රධාන සංඝනායක ධුරයට පත්ව වසර අටකට පසුවය. එනම් 1962 ජනවාරි 22 වැනිදාය. රාස්සගල පන්සලේ පැවති සභාවාරයකදී තමන් මහානායක ධුරයට පත්කළ බව ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්වල දැක්වෙයි. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාව ආරම්භ වී, අමරපුර නිකායට අයත් සියලු පාර්ශ්ව ඒකරාශී වී එහි ප්‍රථම සභාපති හෙවත් ප්‍රථම මහානායක ලෙස උන්වහන්සේ තෝරා පත් කර ගැනෙන්නේ ඉනුත් වසර හතරකට පසුවය. එනම් 1966 නොවැම්බර් 11 වැනිදාය. ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු හැත්තෑවකි.   


(මතු සම්බන්ධයි)   

 

 

 

සමුද්‍ර වෙත්තසිංහ