​කෙටි කාලයකින් පොහොට්ටුව පිපුණේ මෙහෙමයි


 

2015 ජනාධිපතිවරණයෙන් දෙතුන් සතියකට පසු එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මම හමු වුණෙමි. ඒ ඉරිදා ලංකාදීපයට ඇමැති මංගලගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමටය. එම සම්මුඛ සාකච්ඡාව අප පුවත්පතේ පළ වූයේ “මින් පසු මැද මුලනේ බල්ලෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නෑ.” යන ප්‍රධාන සිරස්තලය යටතේය.  


සැබැවින්ම එය වූ කලී 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට පෙළ ගැසුණු රොද බැඳගත් සෑම වර්ණයකටම අයත් බලවේගවල අපේක්ෂාවද බලාපොරොත්තුවද ආශාවද විය.  


කරුණු කාරණා එපරිදි වුවද ඉකුත් 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු දින දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ “මහින්දට විශිෂ්ට ජයක්” යනුවෙනි.  


ජනාධිපතිවරණයෙන් පරාජය වී මැදමුලනට ගොස් විවේක සුවයෙන් කල්ගත කරනු ඇතැයි සිතූ මහින්ද රාජපක්ෂ නමින් එම පරාජයෙන් තුන් වසරක් ගතවීමටත් මත්තෙන් එබඳු සිරස්තල ලංකාවේ පත්තරවල පළවනු ඇතැයි මහින්ද විරෝධි කඳවුර කල්පනා නොකරන්නට ඇත. මහින්ද විරෝධි කඳවුර පමණක් නොව මහින්දවාදී කඳවුරද එම සිරස්තලයෙන් කිසියම් විමතියකට ලක්වූවාට සැකයක් නැත.  
එයට හේතු කාරණා ගණනාවකි.  


පළාත් පාලන මැතිවරණය හැඳින්වෙන්නේ පුංචි ඡන්දය ලෙසය. එයින් තෝරා ගැනෙන්නේ ගමේ නියෝජිතයන්ය. එබඳු මැතිවරණයකදී ගමේ බලය සාමාන්‍යයෙන් පවතින රජයටම යාම ස්වභාවිකය. මෙම පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය පුරාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ  


“ගම හදන්න අවශ්‍ය මුදල් හා අනෙකුත් සම්පත් මම දෙන්නම්. මගේ නියෝජිතයන් දිනවන්න” යනුවෙනි.  


එහෙත් මහින්ද රාජපක්ෂ මෙරට ඒ මැතිවරණ ඉතිහාසය වෙනස් කළේය. මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා 239 බලය තහවුරු කරගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය.  


එබඳු අනුහස් සහිත ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ අත්පත් කරගනු ලැබුවේ මාස 15 ක් වයසැති පක්ෂයකින් වීම සුවිශේෂි කාරණයකි.  
2015 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂටත් පොදුවේ රාජපක්ෂවරුන්ටත් විවිධාකාර චෝදනා ආණ්ඩුවෙන් එල්ල විය. මිනීමැරුම්, හොරකම්, වංචා, දූෂණ චෝදනා එකක් පසුපස එකක් වශයෙන් එල්ල කෙරුණි. මහින්ද පුතුන් වන නාමල්ට මෙන්ම යෝෂිතටද හිරේ විලංගුවේ වැටීමට සිදුවූහ. බැසිල් රාජපක්ෂ ද ඒ අතර විය. ශිරන්ති රාජපක්ෂටද කට උත්තර දීමට යාමට සිදුවිය. මැතිවරණ ව්‍යාපාරය තුළ දීද ඇමැති රාජිත සේනාරත්න කියා සිටියේ රාජපක්ෂලාගේ ලිපිනය මැදමුලන නොව වැලිකඩ බවය.  


එබඳු පරිසරයක් තුළ තෙවරසක් වැනි කෙටි කාලයක් තුළදී මහින්ද රාජපක්ෂ මෙබඳු අනුහස් සහිත ජයග්‍රහණයක් නිර්මාණය කර ගැනීමට සමත්වීම විමතිය දනවන්නක්මය. විශේෂයෙන්ම ජනතාව ඇහුම්කන් දෙන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේද නිර්දය විවේචනයට වැඩියෙන්ම ලක්වූයේ මහින්දය.  


එහෙත් මහින්ද ජයග්‍රහණය කළේය. මහින්ද එහෙම ජයග්‍රහණය කළේ කොහොමද?  
ඒ ගෞරවය හිමිවිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයටය. මහින්ද සුළගේ උපත ඒ ඒකාබද්ධ විපක්ෂයම වේ.  
“ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දුන්නේ පරද්දන්න නෙවෙයි රිද්දන්න.” පරාජයෙන් පසුව පැවැති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම විමල් වීරවංශ කීවේය.  


“මහින්ද රාජපක්ෂ පරාද වුණා කියන පුවත ආරංචි වුණ මොහොතේ ඉඳලා ගෙවල්වල මිනිස්සු බලාගත් අත බලාගෙන ඉන්නවා. ගෙවල්වල බත් ඉදෙන්නේ නෑ. ලිප ගිනි මෙළවෙන්නේ නෑ. මල් පිපෙන්නේ නෑ. හුළං හමන්නේ නෑ.” පරාජයෙන් පසු පරිසරය විමල් සිතුවමට නැගුවේ එසේය.  


මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් හැඟුම්බර මනෝ භාවයක් නිර්මාණය වීමට මෙබඳු ප්‍රකාශද බලපෑවේය.  


“ඔව්. අපි මහින්ද සමගම නැගිටිමු.” ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම මන්ත්‍රී උදය ගම්මන්පිල කීවේය.  


“මහින්ද සමග නැගිටිමු හා මහින්ද සුළඟ” ව්‍යාපෘතියේ ඇරැඹුම එය විය.  


“මම ගෙදර ඉඳගෙන ටීවී එක බලනකොට උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා එහෙම කියනවා. මම බලාගෙන හිටියා. ඒකම තමයි කරන්න ඕනැ කියලා මම හිතුවා. මම අපේ මන්ත්‍රීවරුන් එක්ක ඒ ගැන කතා කළා. පසුකාලයේදී මන්ත්‍රී ගාමිණී ලොකුගේ ඉරිදා ලංකාදීපයට එසේ කීවේය.  


“ඔබත් ඡන්ද ලක්ෂ 57 ට අයිතිනම් නුගේගොඩට එන්න” මහින්ද සමඟ නැගිටිමු” ව්‍යාපෘතිය වෙනුවෙන් රට පුරා පැතිරුණු පෝස්ටරය එය විය. සටනේ බර කරට ගෙන සිටියේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ය.  


ජනාධිපතිවරණ පරාජයෙන් මාසයක් ඉක්ම යන තැන පැවැති මෙම රැස්වීමට නුගේගොඩට පැමිණි සෙනඟ රැස්වීමකට ආ ඉතිහාසයෙ වැඩිම සෙනඟ වූහ. පැමිණ සිටි ජනයා කුල්මත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයන් ද මෙම රැස්වීමට සහභාගි වූ හෙයිනි. පක්ෂයේ විනය පරික්ෂණ තහංචි නොතකා කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග ආදී නායකයෝ එක්වූහ. තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක්ද එක්වූහ. වේදිකාවට ගොඩවීමට ඉඩක් නොමැතිව විදුර වික්‍රමනායක හා තවත් මන්ත්‍රීවරු විශාල පිරිසක් මහපාරේ වූහ.  


මහින්ද සුළඟ රට පුරාම හමා ගියේය. මෙහි විශේෂත්වය වූයේ මෙම කිසිදු රැස්වීමකට මහින්ද රාජපක්ෂ සහභාගි නොවීමය. එහෙත් මහින්ද සුළඟ මහා කම්පන තරංග බවට පත් වෙමින් දහස් ගණන් ජනයා මෙම රැස්වීම්වලට එක්වූහ.  


මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ​අගෝස්තු 17 පැවැති මහ මැතිවරණයම මහින්ද රාජපක්ෂට නාමයොජනා ලබා නොදී සිටීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොහැකි වීමය. මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ සියලු බලවේග අන්ද මන්ද කරමින් මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන් පසු කාලීනව ලියැවුණු ලේඛනවල සඳහන් වන්නේ පක්ෂය දෙකට බෙදී යාම වැළැක්වීමට ජනාධිපතිවරයා එම තීරණය ගත් බවය.  


 මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කරට කර ඡන්ද සටනක් රට හමුවේ ප්‍රදර්ශනය විය. ඡන්ද සටනේ අවසන් භාගය වෙන විට මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් බවට බුද්ධි අංශ වාර්තාවල සඳහන් විය. මෛත්‍රි සටන අතට ගත්තේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැයකට ආසන්න කාලයක් ජාතිය ඇමැතු ජනාධිපතිවරයා කියා සිටියේ දිනුවත් අගමැතිකම මහින්ද රාජපක්ෂට නොදෙන” බවය. ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ධුරයෙන් අනුර යාපා ඉවත් කෙරිණි. සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත ඉවත් කෙරිණි.  


මෙම සිදුවීම් මාලාව මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට බරපතළ ලෙස බලපෑම් කළේය. අවසන් ප්‍රතිඵලය වූයේ මහින්දගේ ගමන මන්ත්‍රීධුර 96 කින් නතර වීමය. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධුර 105 ක් හිමි විය. මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විය.  


 මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස යහපාලන ආණ්ඩුව බිහි විය.  


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණයට පිටුපා විපක්ෂයේ අසුන් ගත්හ. ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ ​ෙනානිල මග විය. මහින්දගේ හඬ ප්‍රකාශකයෝ බවට ඔවුහු පත්වූහ.  


මේ වන විට පළාත් පාලන ආයතනද විසුරුවා හැර තිබිණි. එම ආයතනවල සිටි මහජන නියෝජිතයෝ මේ නිසා මහත් අසහනයට පත්ව සිටියහ. ඔවුන්ගේ තෝරා ගැනීම වූයේද මහින්ද රාජපක්ෂය විපක්ෂ නායකකම අහිමි වුවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම අහිමිවුවද ආණ්ඩු විරෝධි ගිනි පුපුර පුපුරා ගියේ මහින්ද පෙරටු කරගත් ඒකාබද්ධ විපක්ෂයේ කඳවුරෙනි.  


ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි රැලි සංවිධානය කළේය. කල් දැමූ පළාත් පාලන මැතිවරණය ඉල්ලා මහනුවර සිට කොළඹට පා ගමන් ආවේය. විනය පරික්ෂණ පවත්වන බවටත්, පක්ෂයෙන් නෙරපා හරින බවටත් ශ්‍රිලනිපයෙන් තරවටු කිරීම් නිමක් නොවීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් අහිමි කිරීම් විය. එහෙත් ඔවුහු නොසැලී ධජය අත නොහැර සටන් බිමේ සිටියහ.  
රට ගිය බැසිල් රාජපක්ෂ යළිත් මෙරටට පැමිණියේය. නෙළුම් පොකුණ මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ කාර්යාලය බැසිල්ගේ නිවහන විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ එහිදීය. එහි සභාපති වූයේ මහාචාර්ය ජී.එල්. පීරිස්ය. මහින්දවාදී ක්‍රියාධරයන්ට පක්ෂයක් ලැබුණි. ඔවුහු රට පුරා යමින් පක්ෂය සංවිධානය කළහ.  


තර්ක විතර්ක එමට විය.  


“මහින්ද තුන්වැනි පාරටත් පරාද වෙන්නයි යන්නේ” මේ මහින්ද විරෝධීන්ගේ හඬය.  


“පළාත් පාලන ඡන්දයක් විපක්ෂයේ පක්ෂයක් දිනලා තියෙන්නේ කවදද?” එහෙම කතාත් මතුවිය. අවසන් දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රි දූෂණ විරෝධි සටනේ ඔටුනු පළන් නායකයා බවට පත් විය. ඒ තුළ ඔහු තම ඡන්ද පදනම වැඩිකර ගත් බවක් ද දිස්විය.  


එජාපය ඡන්ද සටනට පිවිසියේ එක්තරා ආකාරයක ජයග්‍රාහී මානසිකත්වයෙනි. වසර 20 ක් විපක්ෂයේ සිටි පක්ෂයක් ආණ්ඩු බලය සහිතව මැතිවරණයකට ඉදිරිපත් වීමේදී එබඳු කථිකත්වයක් මතුවීම ස්වභාවිකය. එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියේද “ආණ්ඩු බලය ශක්තිමත් කිරීමට ගමේ බලයත් ලබා දෙන ලෙසය. ආණ්ඩු බලය තිබෙන පක්ෂයටම ගමේ බලයත් ලැබේවි යැයි යන නිගමනය තුළ පිහිටා එජාපය ඡන්ද සටන මෙහෙය විය.  


පිටියේ වැඩිම වාසියක් නිර්මාණය වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණටය. “උනුත් එකයි-මුනුත් එකයි” යන ජවිපෙ පැරණි සටන් පාඨය මෙවර අපූරුවටම ගළපා ගත හැකිව තිබිණි. මහා ධන නිධානයක් වැය කෙරුණු බව පෙනුණ ඡන්ද ව්‍යාපාරයක්ද ඔවුන්ගෙන් දිස් විය. ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම ජනප්‍රිය කලාකරුවෝද ජවිපෙ ඡන්ද සටනේ වූහ. තිස්ස ආදර්ශය ජවිපෙන් උත්කර්ෂයට නැංවිණි.  
“ඔබේ සභාවත් අපට දෙන්න. අපි තිස්ස වගේ හදලා පෙන්වන්නම්” ඒ ජවිපෙ නායකයෝ ගමක් ගමක් ගානේ ගොස් කියා සිටියහ.  
එහෙත් සටන අවසාන වූයේ “මහින්දට විශිෂ්ට ජයක්” යන ශීර්ෂ පාඨය ර​ෙට් ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්කරමිනි.  


 එය එසේ වූයේ කෙසේද? මැතිවරණ ඉතිහාසයක් මෙසේ වෙනස් වූයේ කෙසේද? වෙනසක් වෙනුවෙන් පෙළ ගැසුණු සමාජයක් මෙසේ එක්වරම වෙනස් වූයේ කෙසේද? අනුහස් සහිත විධායක ජනාධීපතිධුරයේ සිට පා.ම. දක්වා පල්ලම් බැස්ස බවට නිමක් නැති අවමන් විඳි මහින්ද රාජපක්ෂ තෙවසරක් ගත වීමටත් මත්තෙන් විධායක ජනාධිපතිවරයකු පරාජය කළේ කෙසේද? පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත අගමැතිවරයකු පරාජය කළේ කෙසේද?  


දේශපාලන රසායන විද්‍යාවටත් හසුනොවන තරම් සංකීර්ණ මෙම දේශපාලන වටපිටාව එයට හිමි නිසි අරුතෙන් හඳුනා ගැනීම නිරෝගී දේශපාලන සෞඛ්‍යයක් අපේක්ෂා කරන්නවුන්ට ප්‍රයෝජනවත් වනු ඇත.

සටහන  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්