සංවර්ධන වැඩට දෙනවා කී මිලියන 100 දැන් 15ට බස්සලා !


(දයාසීලි ලියනගේ)  

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකුට රුපියල් මිලියන 100 බැගින් ලබා දෙන බව මුදල් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර තිබුණත් දැන් එම මුදල රුපියල් මිලියන 15කට සීමාවී ඇතැයි දැන ගන්නට ඇත.  

ආසන සංවිධායකවරු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට කැඳවා මිලියන 100 බැගින් ආසනයේ සංවර්ධනයට මුදල් ලබා දෙන බැවින් අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණි.  
ඒ අනුව සිය ඡන්ද දායකයන් හමුවේ ප්‍රදේශයේ සංවර්ධන සැලසුම් සකස් කර ඇති ආසන සංවිධායකයන් එම යෝජනා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට බාරදී ඇති බව වාර්තා වේ.  


එහිදී මුදල් නියෝජ්‍ය ඇමැතිවරයාගේ නමින් නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවක් මගින් මේ වසරේ ආසන සංවර්ධන කටයුතු සඳහා මිලියන 15ක් බැගින් මුදල් ලබා දෙන බැවින් එම මුදලට සරිලන පරිදි සංවර්ධන වැඩසටහන් සකස් කරන ලෙසට දැනුම් දී ඇතැයි දැන ගන්නට ඇත.  


මේ තත්ත්වය නිසා පක්ෂයේ ආසන සංවිධායකවරු බලවත් අසීරුතාවකට පත්වී සිටින බව කියති.  


රුපියල් මිලියන 100කට ආසනයේ සංවර්ධන වැඩ සැලසුම් කළ ආසන සංවිධායකවරු සිය සැලසුම් බාර නොදී ආපසු ගොස් ඇති බවද දැන ගන්නට ඇත.