ශ්‍රීලනිප-පොහොට්ටු නව සන්ධානය කඩිනමින්


 

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට යෝජනා වී ඇති බැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව දේශපාලන සන්ධානය කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.  


ඒ සඳහා පක්ෂ දෙකේ නියෝජිතයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් එජාප විරෝධී පක්ෂ හා සංවිධානත් ඒකරාශි කරගනිමින්, නව දේශපාලන සන්ධානය පිහිටුවීමට යෝජනා වී ඇත.  
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී ආණ්ඩුව පිහිටුවීමට පෙර, ඒකාබද්ධ විපක්ෂය මුල් වී දේශපාලන පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් දේශපාලන සන්ධානයක් පිහිටුවීමට යෝජනා වී තිබූ අතර, එහි මූලික කටයුතු සැලසුම් කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තාක්ෂණික කමිටුවක් ද පත්කර තිබිණි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා ද මූලික සැලසුම් සකස් කිරීමට එම තාක්ෂණික කමිටුව සම්බන්ධ කර ගැනෙනු ඇතැයි වාර්තා වේ.