වාහන දඩ මුදල් 25,000 දක්වා වැඩිකිරීම ලබන සතියේ සිට


(මහින්ද නිශ්ශංක)
රථවාහන වැරදි පහක් සඳහා රුපියල් 25,000 බැගින් දඩ මුදල් නියම කිරීම ඇතුළු වාහන දඩ වැඩි කිරීමේ නීතිය ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. 

මෙම රථවාහන දඩ මුදල් වැඩි කිරීම සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය රාමුව මේ වන විටත් සකස් කර අවසන් බවද පවසන වෛද්‍ය කෝදාගොඩ මහතා දඩ මුදල් වැඩි කිරීමේ විශේෂ ගැසට් නිවේදනයද ඉදිරි සතියේදී නිකුත් කරන බවද කීය. රුපියල් 25,000 බැගින් දඩ නියම කෙරෙන රථවාහන වැරදි අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පැදවීම, වලංගු රක්ෂණ බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, දුම්රිය හරස් මාර්ගයක අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා බාල වයස්කරුවන් රිය ධාවනය කිරීම යන වැරදි පහ වෙතැයි සභාපතිවරයා පවසයි.  


මේ අතර අධික වේගයෙන් රියපැදවීමේදී වේගය අනුව දඩ මුදල නියම කෙරෙන බවත් පවසන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය කෝදාගොඩ මහතා රථවාහන දඩ මුදල් රුපියල් 25,000 බැගින් නියම කිරීම ඇතුළු දඩ මුදල් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලැබී ඇතැයි කියා සිටී.