වනාතවිල්ලුවට පුපුරණ ද්‍රව්‍ය ගෙනාවේ අන්තවාදී ආගමික කල්ලියක්


 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් ඇතුළු භාණ්ඩ සඟවා තබා ගැනීම පිටුපස අන්තවාදී කල්ලියක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ඉරිද‌ා ලංකාදීප’යට කීය.

 

මෙම පොල් වත්තේ පිහිටි නිවස තුළ එම අන්තවාදී කල්ලියේ නායකයෙක් බව කියන පුද්ගලයෙක් ප්‍රදේශයේ තරුණ පිරිසකට කාලයක සිට රහසිගතව උපදෙස් පන්ති පවත්වා ඇතැයි ද තොරතුරු අනාවරණය වී ඇත. මෙම කල්ලියේ නායකයා බව කියන පුද්ගලයා හා ඔහුගේ සහෝදරයෙක් ඇතුළු කීපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් පවත්වා ගෙන යයි.  


අත්අඩංගුවට ගැනීමට සොයන අන්තවාදී කල්ලි නායකයා දැඩි අන්තවාදී අදහස් දරන්නෙකු බවත් මේ අදහස් නිසා ඔහු ඇදහූ ආගමෙන් ද නෙරපා ඇති බව ද පොලිසිය කියයි.  
මෙම පුද්ගලයා මාවනැල්ලලේ පිහිටි ඔහුගේ නිවස තුළ ප්‍රදේශයේ තරුණ පිරිස්වලට අන්තවාදී මත පිළිබඳ උපදෙස් පන්ති පවත්වා ඇතැයි ද කියති. මාවනැල්ල හා අවට බුදු පිළිම විනාශ කිරීමට මෙම පුද්ගලයා නායකත්වය දී ඇතැයි ද පොලිසිය පවසයි. මොහුගේ උපදෙස් මත බුදු පිළිම 6ක් කැඩූ දෙදෙනෙක් ද උපදෙස් පන්තිවලට සහභාගි වූ 5 දෙනෙක් ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.  


මෙම කල්ලි නායකයා අත්අඩංගුවට ගැනීමට සොයන නිසා ඔහුගේ පවුලේ අය සමග මාවනැල්ල ප්‍රදේශය හැරගොස් ඇති අතර ඔවුන් වනාතවිල්ලුවේ පිහිටි පොල්වත්තේ පදිංචිව සිටි බව ද දැන ගන්නට ඇත.