මෙරට රැකියා නැති පිරිස හාරලක්ෂ අසූතුන්ද‌ාහක්


(උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ මුල් කාර්තුවේ මෙරට සමස්ත රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ අසූතුන් දහස් එකසිය හැත්තෑදෙකක් (483172) බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙයි.  එහි ප්‍රතිශතාත්මක අගය සියයට 5.7 ක් වෙන අතර එයින් සියයට 3.7 ක් පිරිමින්ය.

සියයට 9.6 ක් කාන්තාවන්ය. ඔවුන් අතරින් වැඩිම පිරිසක් වයස අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩයට අයත් බව සඳහන් කරන අද‌ාළ වාර්තාව එම සංඛ්‍යාව දෙලක්ෂ හැටහය දහස් හත්සිය හතළිස් තුනක් (266743) වන බවට ද තොරතුරු අනාවරණය කරයි. වයස අවුරුදු 25-29 වයස් කාණ්ඩය අතර රැකියා වියුක්ති ජනගහනය අනූහතර දහස් පන්සිය හැටඑකක් (94561) වන අතර වයස අවුරුදු 30 ට වැඩි පිරිස අතර රැකියා වියුක්තිකයන්ගේ ප්‍රමාණය එක්ලක්ෂ විසිඑක්දහස් අටසියය හැටහත (121867) කි.  


අද‌ාළ වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව ඉහළම රැකියා වියුක්තිකයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්​නේ අ.පො.ස. උසස් පෙළ හා ඊට ඉහළ අධ්‍යාපනය ලැබුවන්ගෙන් වන අතර එම ප්‍රමාණය දෙලක්ෂ තුන්දහස් අටසිය හතර (203804) කි.