මැතිවරණ ආශ්‍රිත නඩු ඉක්මනින් විසඳන අධිකරණයක් ඕනෑ


(විනීතා එම්. ගමගේ)  

මැතිවරණ ආශ්‍රිත නඩුකරයන් විසඳීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරයි.  

එවැනි අධිකරණයකට සුවිශේෂී බලතල ද තිබිය යුතු බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙන් කෙලින්ම බී වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාවට ද ලබා දිය යුතු බවත් තමන් යෝජනා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


එවැනි අධිකරණයක් පිහිටුවා මැතිවරණ කොමිසමට පුළුල් බලතල දෙන්නේ නම් එම කොමිසමේ නීති අංශය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.  
මැතිවරණ ක්‍රියාවලිය තුළ නිරායාසයෙන්ම සංශෝධනයට ලක්විය යුතු නීති රාශියක් ඇති බවත් එහිලා සැමගේ අවධානයට යායුතු එක් ක්ෂේත්‍රයක් වන්නේ මැතිවරණ ආශ්‍රිත නඩුකරයන් බවත් කී ගජනායක මහතා එහි පවත්නා කාර්යක්ෂමභාවය ද අතිශයින්ම වැදගත් වන බව ද කියා සිටියේය.  


මැතිවරණ ආශ්‍රිත නඩුවක් යනු ඉඩම් නඩුවක්සේ වසර ගණනක් ගලායන එකක් වන්නේ නම් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගත නොහැකිවනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.  


මෙරට මැතිවරණ ආශ්‍රිත නඩුකර දෙස බලද්දී පැහැදිලි වන්නේ මැතිවරණ ආශ්‍රිත පෙත්සම් සම්බන්ධයෙන් ගතකර ඇති කාලය බොහෝ අවස්ථාවන්හිදී අසාමාන්‍ය බවක් පෙන්වන බව යැයි ද එයින් පළමුවැන්න වන්නේ පුදුකුඩුඉරිප්පු හා මැරිටයිම්පත්තු යන ප්‍රාදේශීය සභාවන් සඳහා පැෆරල් සංවිධානය මීට වසර කිහිපයකට පෙර ඉදිරිපත් කළ මැතිවරණ පෙත්සම බවත් එම පෙත්සම අවසන් වනවිට එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය ද ඉක්ම ගොස් තිබූ බව ගජනායක මහතා පෙන්වා දුන්නේය.  


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ද පැවැත්වීමට නියමිතව පැවතියේ මීට වසර එකහමාරකට පෙරදී වන නමුත් එක් දේශපාලන පක්ෂයක් එහිදී ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරමින් එහි මැතිවරණය අභියෝගයට ලක්කරනු ලැබීමෙන් වසර එක හමාරකට පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබූ බව ඔහු පෙන්වා දුන්නේය.