මැති ඇමැතිවරුන්ගේ රථ ගායෙන් ජනතාව පීඩාවට පත්වන හැටි


 

ඇමැතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා පසුගිය මාර්තු මාසයේ දී පමණක් රුපියල් කෝටි 85ක මුදලක් ලබා ගැනීම සඳහා වූ ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.


පසුගිය නොවැම්බර් මාසයේ මැති ඇමැතිවරු 28 දෙනකුට සුඛෝපභෝගී වාහන සඳහා රුපියල් කෝටි 79ක මුදලක් ලබාගෙන තිබිණි. මේ රජය බලයට පත්වීමෙන් පසු දළ වශයෙන් රුපියල් කෝටි 296ක මුදලක් මැති ඇමැතිවරුන්ගේ වාහන වෙනුවෙන් වියදම් කර ඇත.


අපේ පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන්ට වැලඳී ඇති “රථගාය” බෙහෙවින් බරපතළය. එයට හේතුව දේශපාලනඥයන්ගේ මේ රථගායෙන් පීඩා විඳින්නේ රටත් රටේ ජනතාවත් වීමය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ඇමෙරිකානු ඩොලර් 62500ක් වටිනා වාහනයක් තීරු බදු රහිතව ලබා ගැනීමේ අවස්ථාව ඇත. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුනට එකම වර්ගයේ එකම කාණ්ඩයේ මිට්සුබිෂි පැජරෝ වාහන ලබාදීමත් සමඟ ක්‍රමයෙන් “රථගාය” උග්‍රවී ඇත.


මේ රජය බලයට පත්වීමත් සමඟම මන්ත්‍රී මැති ඇමැතිවරුනට දෙනු ලබන පහසුකම් වරප්‍රසාද වැඩි දියුණු විය. ඇමරිකානු ඩොලර් 50,000කට තීරුබදු රහිතව වාහනයක් ලබා ගැනීමේ අවස්ථාව දැන් වටිනාකම ඇමෙරිකානු ඩොලර් 62500 දක්වා ඉහළ දමනු ලැබ ඇත.


කාර්යාලයක් පවත්වාගෙන යාමට රුපියල් 75,000ක් නිවසක් කුලියට ගැනීමට රුපියල් 50,000ක් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම වෙනුවෙන් රුපියල් 10,000ක් යනාදී වශයෙන් ද ඊට අමතරව ඇමැතිවරුනට හිමි තවත් වරප්‍රසාද ගණනාවකි. ඔවුන් ඡන්දයෙන් පත්වන්නේ ද ඒ සඳහාමය.

 


ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 65,000ක් නියෝජ්‍ය ඇමැති හා නියෝජ්‍ය කාරක සභාපති වැටුප රුපියල් 63,500 මන්ත්‍රීවරයකුට වැටුප රුපියල් 54,285.00 කි.


පාර්ලිමේන්තු සැසියට සහභාගිවීම වෙනුවෙන් එක් දිනකට රුපියල් 2500X8=20,000ක් මසකට හිමිවෙයි. 


බස්නාහිර පළාතේ පදිංචි ඇමැතිවරයකුට ඉන්ධන දීමනා පෙට්‍රල්         වාහනයකට රුපියල්     50,000කි. ඩීසල් වාහනයකට රුපියල් 20,000 කි.


බස්නාහිර පළාතෙන් පිට සිටින ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයකට රුපියල් 75,000 ඩීසල් වාහනයකට රුපියල් 30,000 කි.


බස්නාහිර පළාතෙන් පිට සිටින නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව, පෙට්‍රල් වාහනයකට රුපියල් 65,000 ඩීසල් වාහනයකට රුපියල් 30,000 කි.


බස්නාහිර පළාත තුළ සිටින නියෝජ්‍ය ඇමැතිවරයකුට ඉන්ධන දීමනාව පෙට්‍රල් වාහනයක් සඳහා රුපියල් 40,000 ඩීසල් වාහනයක් සඳහා රුපියල් 20,000 කි.


උදේ ආහාර වේල සඳහා රුපියල් 60.00 දිවා ආහාර වේල සඳහා රුපියල් 150.00 ප්‍රවාහන දීමනාව රුපියල් 10,000 ඇමැතිවරයකුට නිල වාහන 2යි. නියෝජ්‍ය ඇමැතිවරයකුට නිල වාහන 2යි


අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන 5යි. නියෝජ්‍ය ඇමැති කාර්යාල මණ්ඩලයට වාහන 3යි අමාත්‍යවරයකුගේ කාර්යාලයට දුරකථන 2යි. දුරකථන දීමනාව රුපියල් 20,000 නිවෙසට දුරකථන 2යි. දීමනාව රුපියල් 10,000යි. ජංගම දුරකථන 1යි. දීමනාව රුපියල් 4000.00යි.


ඇමැති කාර්ය මණ්ඩලය පුද්ගලයන් 15කි.
නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලය 10කි. 


ඇමැති සම්බන්ධීකරණ ලේකම්ට පෙට්‍රල් වාහනයක් සඳහා ඉන්ධන ලීටර් 218කි. ඩීසල් වාහනයක් සඳහා ලීටර් 264කි.
ඇමැති පෞද්ගලික ලේකම්ට පෙට්‍රල් වාහනයක් සඳහා ඉන්ධන ලීටර් 240කි. ඩීසල් වාහනයක් සඳහා ඉන්ධන ලීටර් 288 කි.
ඇමැති හා නියෝජ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ කාර්යාලයක් සඳහා
ෆැක්ස් යන්ත්‍ර 1යි.
පරිගණක යන්ත්‍ර 1යි
ෆොටෝ කොපි යන්ත්‍ර 1යි


නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්යාලයට දුරකථන 2ට දීමනාව රුපියල් 10,000.00 කි.


නිවසේ දුරකථන 2ට දීමනාව රුපියල් 5000.00 ජංගම දුරකථන සඳහා දීමනාව රුපියල් 2000.00කි.


මන්ත්‍රි කාර්ය මණ්ඩලය 5කි. දුරකථන 2ක් හා වාහනයක් හිමිය. කාර්යාල කටයුතු සඳහා ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථනයක් ඡායා පිටපත් යන්ත්‍රයක් හිමිවේ. රුපියල් 350,000ක කාර්යාල උපකරණ හිමිවේ. සෑම මන්ත්‍රීවරයකුටම ලක්ෂ 20ක රක්ෂණාවරණයක් හිමිය. හදිසි අනතුරකින් මන්ත්‍රීවරයෙක් මියගියහොත් රුපියල් ලක්ෂ 50ක වන්දියක් හිමි වේ.


ඇස් කණ්ණාඩි සඳහා වසර තුනකට වරක් රුපියල් 5000.00ක් හිමි වේ.


ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් ලක්ෂ 50 ක විමධ්‍යගත ප්‍රතිපාදන හිමිවේ. විදේශ සංචාර අවස්ථා හිමි වේ. 


දරුවන් ජාතික පාසල්වලට ඇතුළත් කිරීමේ අවස්ථාව උදාවේ.


මේවා පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ආනුභාවයෙන් ලැබෙන වරප්‍රසාද වෙති. තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ මීට අමතරවය. 


තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමේ අවස්ථාව මත මැති ඇමැතිවරු ගෙන්වනු ලබන්නේ ඉහළම වර්ගයේ අධි සුඛෝපභෝගි වාහනය. පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් වහාම ඊළඟ ඉලක්කය තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගැනීමයි. ඒ බලපත්‍රය බොහෝ අවස්ථාවල රුපියල් ලක්ෂ 180 සිට 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බව දැන ගන්නට ඇත. එම බලපත්‍ර මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවේම වෙනම පිරිසක් සැදී පැහැදී සිටින බව ද වාර්තා වේ. 


මනාප ක්‍රමය යටතේ බලයට ඒමට අති විශාල මුදලක් වැය කළ මන්ත්‍රීවරු බොහොමයක් දෙනා ඒ සඳහා ලබාගත් ණය තුරුස්වලින් නිදහස් වෙන්නේ ද තීරු බදු රහිත බලපත්‍රයට ලබා ගන්නා වාහන බලපත්‍රය විකිණීමෙන් බව ද කියති.


මන්ත්‍රීවරුනට මැති ඇමැතිවරුනට වාහන අවශ්‍යයි. ඡන්දය ඉල්ලන අවස්ථාව වන විට ප්‍රචාරක කටයුතු කරගෙන යාමට වාහනයක් නොවූ ඇතැම් දේශපාලනඥයන් බලයට පත්වී මාස කීපයක් යනවිට ඉහළම වර්ගයේ වාහනයකට හිමිකම් කියති. මන්ත්‍රීවරුනට හා ඇමැතිවරුනට වාහනයක් අවශ්‍යය. ඇමැති වාහන සඳහා තීරුබදු රහිත වාහනයට අමතරව ගෙන්වන වාහන සඳහා මෙම මුදල් ලබා ගනී.


කිසිවෙක් රුපියල් 22,92000ක මිලක් ගෙවා සී. සී. ධාරිතාව 800ක් ඇති ඇල්ටෝ වාර්ගයේ කුඩා මෝටර් රථයක් මිලදී ගන්නේ නැත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සුඛෝපභෝගි වාහන පසුපස නොයන පිරිසක් බව කියති. ඔවුන් පාවිච්චි කරනු ලබන්නේ කැබ් රථයි. වාහන බපත්‍රය විකුණා මුදලක් ලබාගත් බවට තොරතුරක්වත් නැත.


අනෙකුත් මන්ත්‍රීවරු බහුතරය මේ බලපත්‍ර රහිත වාහනයෙන් පෞද්ගලික මට්ටමේ සැප සම්පත් ලබති. ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වෙන මන්ත්‍රීවරයා මේ වරප්‍රසාද ලබන්නේ රටේ අති විශාල මුදල් ප්‍රශ්න එකින් එක ගොඩ ගැසෙමින් තිබිය දී බව කිව යුතුය.


දයාසිලි ලියනගේ