මහින්ද ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට


අතුරු තහනම දිගටම: පෙත්සම් විභාගය 16-17-18

(තිළිණි ද සිල්වා රංජන් කටුගම්පොළ) 

 
තමන් අගමැති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනුකළ විශේෂ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 


ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම්. මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි. 


නමුත් අභියාචනාධිකරණයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනා ගොනු කළ රිට් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අභියාචන පෙත්සම විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමටද තීන්දු කෙරිණි.


අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය. 


ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම ජනවාරි 16, 17, 18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. 

 

තමන් අගමැති ධුරයේ සහ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙම විශේෂ අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණි. මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති. 


නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ. අභියාචනාධිකරණය නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් පෙරේද‌ා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වග උත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ. 


එසේම තමන් තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ. 


එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්. අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ. 


එම තීන්දුව ක්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත්. අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥ‌ාවක් නිෂ්ප්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ආචාර්ය විජයද‌ාස රාජපක්ෂ යන මහත්වරුන් සිය විශේෂ අභියාචන පෙත්සම්වලින් ඉල්ලා සිටිති. 


පෙත්සම්කාර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා යන මහත්වරුන්ද වග උත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ. කනග් ඊශ්වරන් මහතාද පෙනී සිටියේය.