පොදුජන පෙරමුණට විරුද්ධ ශ්‍රීලනිප අලුත් සංවිධානයක්


(දයාසීලි ලියනගේ)   

පොදුජන පෙරමුණ සමග එක්වීමට විරුද්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඒකරාශීවී අලුත් සංවිධානයක් පිහිටුවා ගැනීමට තීරණය කර ඇත.   

පක්ෂයෙන් ඉවත් කරන ලද ආසන සංවිධායකවරු, සංවිධායක තනතුරුවලින් ඉවත් කර නැවත එම තනතුරුවල පිහිටුවනු ලැබූ සංවිධායකවරු පොදු ජන පෙරමුණට සම්බන්ධ නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අලුත් සංවිධානයට එක්වී සිටින බව වාර්තා වේ.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට මෙම පිරිස දැනට තීරණය කර ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුගේ නිවසේ දී රැස්වූ පිරිස මෙම සංවිධානය පිහිටුවීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර සාමාජිකයන් ඒක රාශිකර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පත්කර ගෙන ඇත.   


ඒ අනුව දැනට විසුරුවා හැර තිබෙන පළාත් සභාවල හා ඉදිරියේ විසුරුවා හරින පළාත් සභාවලත් පළාත් පාලන ආයතනවලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ළැදි පිරිස් සොයා බලා ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කර ඇත.