පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම තව දුරටත් දිගු කරයි


(තිළිණි ද සිල්වා)  

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරන තුරු යළිත් වතාවක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.  

පෙත්සම් පිළිබඳ විභාගය සිකුරාදා සන්ධ්‍යාවේ අවසන් වුවද එහි තීරණ ප්‍රකාශ කරන දිනයක් ඒ අවස්ථාවේ දැනුම් දීමක් සිදු නොවීය. ඒ අනුව එකී තීරණය ප්‍රකාශයට පත් කරන තුරු අතුරු තහනම් නියෝගය තව දුරටත් බලපැවැත්වෙනු ඇත.


පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාගය පසුගිය සතියේ දින හතරක් පුරා පැවැත්වුණි.  
එහිදී පෙත්සම්කරුවෝ හා අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කෙරුණි.  


මෙම පෙත්සම් පළමුවෙන් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු සළකා බැලූ අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මෝසමක් සළකා බැලීමෙන් පසු මෙම පෙත්සම් විභාග සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබිණි.