පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේදී කොටුවූ හැටි


 

පාතාල නායකයකු ලෙස සැලකෙන සමයං නමැත්තා ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයකු බව කියන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සහ ඔහුගේ ප්‍රබල ගෝලයකු බව කියන දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග හෙවත් ලැඩියා නමැත්තා ඉන්දියාවට පලා ගොස් සිටියදී එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිටිති.

 

කළුතර උතුර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනෙකු ද බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු ද ඝාතනයකර තිබුණේ මෙම වසරේ පෙබරවාරි මස 27 වැනිදාය.


ප්‍රහාරය එල්ලකිරීමට අංගොඩ ලොක්කා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් පිරිසක් පැමිණ තිබුණේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසීගෙනය.


කළුතර දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමට නායකත්වය ලබාදෙමින් ප්‍රහාරයට පැමිණි අංගොඩ ලොක්කා සහ ඔහුගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලසෙන ලැඩියා හොර රහසේ ඉන්දියාවට ගියේ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට සොයන නිසාය.


ඉන්දියාවේ චෙන්නයි නුවර ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් හමුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පසුගිය සිකුරාදා පැමිණියේ ඩුබායි රටට යෑමේ අපේක්ෂාවෙනි.


ඔවුන් දෙදෙනා සතුව තිබු විදෙස්ගමන් බලපත්‍ර දෙක කෙරෙහි චෙන්නයි ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරින්ගේ සැකයක් මතුවී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව ඒ විදෙස්ගමන් බලපත්‍ර දෙකේ ඔවුන් ඉන්දියාවට පැමිණි ආකාරය ගැන සටහන් වී නොතිබූ නිසාය.


එක් අයකුගේ විදෙස්ගමන් බලපත්‍රයේ ඉලවාලගේ සඳුන් යන නම සඳහන්ව තිබූ අතර ලිපිනය වශයෙන් සඳහන්ව තිබී ඇත්තේ නො. 289/1, පන්සල පාර, මාලබේ යනුවෙනි.


අනෙක් තැනැත්තාගේ විදෙස්ගමන් බලපත්‍රයේ චනුක දහනායක යන නමත් ලිපිනය වශයෙන් 172/2, මීගොඩ පාර, මහරගම යන්නය.


මේ විදෙස් ගමන් බලපත්‍ර දෙකම ව්‍යාජ ඒවා බවට තහවුරු කරමින් ආගමන විගමන නිලධාරින් විසින් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනා ඒ මොහොතේම අත්අඩංගුවටගනු ලැබූහ.


ඉන්දීය ආගමන විගමන නිලධාරින් සැකකාර ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ගැන වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා බවත් අනෙකා දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග බවත්ය. 
ඔවුන් දෙදෙනා ගැන තොරතුරු ඔවුන්ගේ ඡායාරූප ද සහිතව මෙරට බලධාරීන් වෙත දැනුම්දෙනු ලැබීය.


ඔවුන් දෙදෙනා කළුතර බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා හත් දෙනකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු තවත් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අය බව මෙරට බලධාරීන් ඉන්දීය ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම්දෙමින් ඔවුන් මෙරටට බාරදෙන ලෙස ද ඉල්ලීමක් කර තිබෙන බව දැනගැනීමට ඇත.


ඒ අනුව ඔවුන් දෙදෙනා ළඟදීම මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආගමන විගමන නිලධාරීන් පියවරගෙන තිබේ.


මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අංගොඩ ලොක්කා නමින් පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයා වූ ලැඩියා අත්අඩංගුවට ගැනීමට නියමිතය. ඉලවලගේ සඳුන් නමින් පෙනී සිට ඇත්තේ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා වන අතර චනුක දහනායක යන නමින් පෙනී සිට ඇත්තේ දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග හෙවත් ලැඩියා නමැත්තාය.


දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස සැලකෙන කඹුරුපිටියේ මධුෂ් නමැත්තා මෙරටින් ගොස් සැඟව සිටින්නේ ඩුබායි රටේය.


මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධයෙන් හා විදේශයන්හි සිට මෙරට තොග වශයෙන් හෙරොයින් ගෙනවිත් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මධුෂ් ට්‍රෝලර් බෝට්ටුවකින් මුලින්ම ඉන්දියාවට පැනගොස් පසුව එරට සිට පලා යන්නේ ඩුබායි රටටයි. වසර කිහිපයක් තිස්සේ සිට මධුෂ් නමැති පාතාල නායකයා සැඟව සිටින්නේ ඩුබායි රටේය.


සමයං ඇතුළු ඔහුගේ පාතාල ගෝලයන් පස් දෙනා ඝාතනයකිරීම ඩුබායි රටේ සිට සැලසුම්කර අංගොඩ ලොක්කා හා ඔහුගේ ගෝලයන් හා මධුෂ්ගේ ගෝලයන්ගේ මාර්ගයෙන් ඒ සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්තේ මධුෂ් නමැත්තා බව පොලිස් පරීක්ෂණවලින් ද තහවුරු කරගෙන ඇත.


පාතාල මර්දන කටයුතුවල නිරතවී සිටින උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කී ආකාරයට අංගොඩ ලොක්කා හා ලැඩියා උත්සහකර ඇත්තේ ඩුබායි රටේ සැඟව සිටින මධුෂ් ළඟට යාමටය.


එම උසස් පොලිස් නිලධාරීන්ට ලැබී ඇතැයි කියන තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කාට හා ලැඩියාට මෙරටින් පලා යාමට සැලසුම් කර ඇත්තේ ද වෙන කවුරුවත් නොව ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායක කඹුරුපිටියේ මධුෂ් නමැත්තාය.


දකුණේ පාතාල නායකයෙක්ව සිටි මධුෂ් නමැත්තා බහුදින යාත්‍රා (ට්‍රෝලර් යාත්‍රා) දෙක තුනකම අයිතිකරුවකු බව කියති.


අංගොඩ ලොක්කා සහ ලැඩියා මධුෂ්ගේ කීමට අනුව එයින් එක් ට්‍රෝලර් යාත්‍රාවක නැගී ධීවරයන් ලෙස වෙස්වලාගෙන ඉන්දියන් මුහුදු සීමාවට ගොස් එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයන් සමඟ සතියක පමණ කාලයක් ගතකර ඇත.


එපමණ කාලයක් ඔවුන් පරක් තෙරක් නොපෙනෙන මහ මුහුද මැද ට්‍රෝලර් යාත්‍රාවක ගත කළේ ඔවුන්ට අවශ්‍ය ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර දෙක සකස්කර ඒවා මධුෂ්ගේ ගෝලයකු මගින් ඉන්දියාවට රැගෙන එන තෙක්ය.


මසුන් ඇල්ලීමේ නිරතව සිටින ඉන්දීය ධීවරයන්ගේ සහයෙන් කුඩා බෝට්ටුවක නැගී මොවුන් දෙදෙනා එරටට රහසිගතව පැනගෙන තිබෙන බව කියති.


මේ පොලිසියට ලැබී තිබෙන තොරතුරුය.


මේ කාර්යයන් සියල්ලක්ම සැලසුම් කර ක්‍රියාත්මක කර ඇතැයි කියන්නේ ද ඩුබායි රටේ සැඟව සිටින දකුණේ පාතාල කල්ලි නායක මධුෂ් නමැත්තාය. අංගොඩ ලොක්කා සහ ලැඩියා ඩුබායි රටට පැන ගැනීමට උත්සාහ කර ඇත්තේ එරටේ සිටින මධුෂ් සමඟ එකතු වීමටය.


ශ්‍රී ලංකා පොලිසිය මධුෂ් නමැත්තාව ද මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දැන ගැනීමට ඇත.


බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් සකස් කර  ක්‍රියාත්මක කිරීම පමණක් නොව ඔහුගේ ප්‍රතිවාදී පාතාල කල්ලි නායකයන් හා ගෝලබාලයන් ඝාතනය කිරීම හා හෙරොයින් මත් කුඩු තොග පිටින් මෙරටට එවීම ද සිදු කරනු ලබන්නේ ද මධුෂ් නමැත්තා විසින් බවට තොරතුරු මේ වනවිටත් පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබේ.


කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධවූවන් එයට සහය වූ බන්ධනාගාර නිලධාරීන් සිටින්නේ නම් ඔවුන් ගැන පමණක් නොව පසුගිය කාලයේ වරින් වර සිදුවූ අබිරහස් මිනිස් ඝාතන ගණනාවක තොරතුරු මෙන්ම පාතාල ක්‍රියාකාරකම් අංගොඩ ලොක්කා සහ ලැඩියා මෙරටට ගෙන ඒමෙන් පසු අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.


මේ අතර පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීමට ආ පාතාල ප්‍රබලයෙක් හා එය සැලසුම් කළ බවට සැලකෙන පාතාලයෙක් ද පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන නිසා තලෙයිමන්නාරමට ගොස් එතැන් සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.


එසේ ඉන්දියාවට පලා ගිය බවට තොරතුරු අනාවරණවී ඇති පාතාලයන් දෙදෙනා ද ඩුබායි රටේ දැනට සැඟව සිටින මධුෂ් නමැති පාතාලයාගේ ගෝලයෝ දෙදෙනෙක් වෙති.


මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරු ද අල්ලා දියහැකි බවට ඔත්තුවක් ලබාදී මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයට ගෙන්වා වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ද මධුෂ්ගේ සැලැස්මකට අනුව බවට පොලිස් තොරතුරු අනාවරණය කරගෙන ඇත.


මෙම වෙඩි ප්‍රහාරයන් එක් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් පොලිස් පරීක්ෂක රංගජීව මහතා බරපතළ තුවාල ලබා තවමත් සිටිනුයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්ය.


පාතාලයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ගොදුරු වෙමින් කුඩා දැරියක් ද ඉතා අවාසනාවන්ත අයුරින් මිය ගියේ රටක්ම හඬවමිනි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය