පර්පචුවල් සමාගමේ සියලු දේපොළ තහනම්


“එදා වේල කාලා ජීවත් වෙන තරමට පඩියක් තිබ්බහම අැති, ඕනෑවට වඩා පඩියක් ලැබුණහොත්, මිල මුදල් දේපොළ ලැබුණහොත් මුළු ජීවිතේම නැති නාස්ති වෙනවා.”   


“රස්සාවේ පුංචිම තැනින් පටන් ගෙන ඉහළම තැනට එන්න හොරකම, බොරුව, වංචාව වගේම කෙටි ක‍්‍රම (ෂෝට් කට්) පුරුදු වෙන්නම එපා.” දියුණු වෙන්න නම් මේ දේ හිතට ගන්න. “විමලරත්න මහතා වගේ උතුමකුගේ ආශ‍්‍රය ඔවදන් ආදිය පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ඉහළ සිට පහළම නිලධාරීන්ටත් ලැබුණා නම්,   
පසුගිය සතියේ ලංකාදීප පුවත්පත දෙස බලාගෙන මට මෙලෙස හිතුණේ ‘පර්පචුවල්  ට්‍රෙෂරීස් ආයතනයේ දේපොළ තහනම්’ යනුවෙන් පොල්ගෙඩි අකුරින් පළ වී තිබූ ප‍්‍රවෘත්තිය දැකීමත් සමඟිනි.   


පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී 2016 වසරේ බෝනස් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබෙන විට එහි පහළම සේවකයකුට බෝනස් වශයෙන් රුපියල් ලක්‍ෂ 35ක් ලැබුණු බව බැඳුම්කර කොමිසම හමුවේ හෙළි විය.   
   
2015 පෙබරවාරී 27 වැනිදා සිදුකළ බැඳුම්කර ගනුදෙනුවෙන් පසු වසර 30ක් වැනි කාලයක් සඳහා දීර්ඝ කාලීනව බැඳුම්කර වෙළෙඳ පොළේ ආයෝජනය කරමින් සිදු කළ බැඳුම්කර ගනුදෙනුවලින් ලංකාවේ මහා බැංකුවත් නාය ගියේ සාමසර කන්ද නාය ගියා සේය. වුණේ කුමක්ද කියාවත් සිතා ගැනීමට නොහැකි විය. නාය යෑමෙන් සාමසර ගමම අතුරුදන් වුවත් පන්සලේ බෝධීන් වහන්සේ පමණක් නිරුපද්‍රිතව ඉතිරි වුවා සේ බැඳුම්කරයට සම්බන්ධිත බොහෝ අක්මුල් නිරුපද්‍රිතය.   


“බැඳුම්කර ගනුදෙනුවෙන් රටට කිසිම පාඩුවක් නැහැ.” පුවත්පත දෙස බලාගෙන මගේ ප‍්‍රිය මිතුරෙක් පවසද්දී එය අසාගෙන සිටි අයෙකු පැවසුවේ ‘මෙයාට ඔල්මාදේ හැදිලද?’ යනුවෙනි.   


“නැහැ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සියලුම දේපොළ තහනමට අරගෙන තියෙන නිසා බැඳුම්කර ගනුදෙනුවෙන් පාඩුවක් සිදුවුණා නම් එම පාඩුව යළි අය කර ගැනීමට හැකියාව තියෙනවා” කියලා මේ පුවත්පතේ සඳහන් අන්දමට එක්තරා මහත්මයෙකු පවසලා තියෙනවා යැයි මගේ ප‍්‍රිය මිතුරා පවසද්දී අනෙකා ඔලොක්කුවට මෙන් අපෙන් විමසා සිටියේ ‘ඔබට සතුටුයිද දැන්’ යනුවෙනි.   


බැඳුම්කර වංචාව නිසා රටට හෙණ පතයක් ගැහැව්වේ. ආපහු ගොඩ ඒමක් නම් නැහැ. ඒත් එහෙම නෙමේ ඝන අඳුරේම පුංචිම පුංචි එළියටත් විශාල වටිනාකමක් තියෙන්නාසේ මේ වළෙන් ආපසු ගොඩ ඒමට අපිට එකම එක ක‍්‍රමයයි ඉතිරි වෙලා තියෙන්නේ.   


“ඒ කොහොමද?” අතුරු ප‍්‍රශ්නයකි.   


“පර්පචුවල්  ට්‍රෙෂරීස් ආයතනයේ දේපොළ සියල්ල තහනමට ලක් කරලානේ.” හැබැයි මේක කියන්නේ මං නෙමේ පසුගිය කාලයේ පත්තර.   


ඒක තමයි අපිට තියෙන එකම සැනසීම.   


එය කළ හැකිද?   


ඇයි බැරි ”වුවමනාවක් තියෙනවා නම් කරන්න පුළුවන්. දිගින් දිගට ගිය සංවාදයේදී බොහෝ කරුණු කාරණා දිග හැරුණි.   


බැඳුම්කර වංචාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිටිපන කමිටුව පත් කළ අතර ඉන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත් කරන ලදී.   


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලකින් මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම සමන්විත විය.   


ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන ලද්දේ බැඳුම්කර කොමිසමට අනුයුක්ත කරන ලද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.   


එම පරීක්‍ෂණවලදී ඔවුන් බොහෝ කරුණු කාරණා හෙළි කරගත් අතර නීතියට අනුකූලවම ඔවුහු එම තොරතුරු රැස් කර ගත්හ.   


එම පරීක්‍ෂණවලදී රටේ ඉහළම අධිකරණයක විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් දෙනු ලැබූ නියෝගවලට අනුව නිලධාරීහු විවිධාකාරයෙන් තොරතුරු රැස් කළහ.   


නීත්‍යනුකූල අන්දමට ඔවුන් තොරතුරු රැස්කොට දැස් අදහාගත නොහැකි තොරතුරු ගොන්නක් හෙළිකර ගත්හ.   
ඒ තොරතුරු අතරට පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන ඇතුළු පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සේවකයින් සමඟ ‘ඇළ මැද්දේ ගෙදර’ කිරි කොක්කු පැවැත්වූ සම්බන්ධතා හෙළි විය. පැය ගණන් දුරකථනයෙන් කළ කතා මෙන්ම දවසට වැඩි වාර ගණනක් ඇමතුම් ගත් අවස්ථාවන්ද හෙළි විය.   


“ඇළ මැද්දේ ගෙදර” කිරි කොක්කු විතරක් නොවේ, ඔවුන්ගේ බිරින්දෑවරුන්ද පර්පචුවල්  ට්‍රෙෂරීස් ආයතනයේ අය සමඟ දුරකතනවලින් කළ ගනුදෙනුද හෙළි විය. කිරි කොක්කුන්ගේ දෙකොණ පැටළිණි.   


‘කොමිසම අපේ දුරකථනවලට හොරෙන් ඇහුම් කන් දීලා. අපේ දුරකථනවල තොරතුරු අරං. අපේ වරප‍්‍රසාද කඩ කරලා’ කිරි කොක්කු වරප‍්‍රසාදවලට මුවාවී මහා ගාලගෝට්ටියක් ඇති කළහ.   


නමුත් වැඩක් වුණේ නැත   
‘අපි පරීක්‍ෂා කළේ පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීන් ගත් සහ ඔවුන්ගේ දුරකථනවලට ලැබුණු ඇමතුම් පිළිබඳ තොරතුරු පමණයි. ඒ දුරකථන අංකවල හිමිකරුවන් කවුරුන්ද කියා සොයා බැලුවා. එතකොට මේ අය ගැන තොරතුරු හෙළි වුණා හැර මේ ඇමතුම් විස්තර මොනවාද? කවුරු කවුරු මොනවා, මොනවා කතා කළාදැයි අපි සෙව්වේ නැහැ. එම ඇමතුම්වලට අපේ නිලධාරීන් සවන් දීමක් කළේ නැහැ.” කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු අතරතුර දැනුම් දුන්නේය.   


කිරි කොක්කුන්ගේ ශබ්දය පුස්ස බින්දාක් මෙන් විය. තතු නොදැන කතා කිරීම ගැන හෝ අැති කළ ගාලගෝට්ටි නිසා කොමිසමේ කටයුතුවලට සිදුවූ බාධාව ගැන කිසිවකුත් ප‍්‍රශ්න කළේ නැත. කිසිවක් නොවූවා සේ කාලය ඉඟිල ගියේය.   
එසේ තිබියදී තවත් අතුරු ප‍්‍රශ්නයක් පැන නැඟිණි. පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු හේතුවෙන් රජයට සිදුවූ රුපියල් කෝටි 1100 ක තරම් වූ පාඩුව අයකර ගන්නේ කෙසේද? මේ හදන්නේ ප‍්‍රශ්නයට නිසි ලෙස පිළිතුරු නොදී පැන යන්නයි. රජයට සිදුවූ පාඩුව අය කර ගන්න මේ අය කටයුතු කරන්නේ නැහැ”. තවත් පිරිසක් මොර දුන්හ.   
හිතුණු ගමන් එසේ කරන්න හැකියාවක් නැතැයි පවසන නීතී විශාරදයෝ ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව පෙන්වා දුන්හ.   


බැඳුම්කර කොමිසම විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් වාර්තාව මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වන විට නීතිපතිවරයාට බාර දී ඇත. නීතිපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් පත්කොට ඇත.   


නීතිපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ගෙන් සමන්විත එම නීති විශාරද කණ්ඩායම මෙම අපරාධයට සම්බන්ධ අයට අපරාධ නීතිය යටතේ දඬුවම් දෙන්නේ කෙසේද? යන්න පිළිබඳව මෙන්ම මෙම ගනුදෙනුව හේතුවෙන් රජයට සිදුවූ පාඩුව අය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුකොට ඇත.   


යමකුට හෝ ආයතනයකට යම් පාඩුවක් සිදුවුවහොත් සිවිල් නීතීය යටතේ එම අලාභය අය කර ගැනීමට හැකියාව ඇති නිසා මෙම සිදුවීම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව අය කර ගැනීම සඳහා සිවිල් නීතිය යොදා ගනු ලබන්නේ කෙසේද? යන්න පිළිබඳ තක්සේරුවකට පැමිණීම සඳහා එම නීති විශාරදයෝ මේ වනවිට විග‍්‍රහයක නිරත වෙති.   


මෙම ගනුදෙනුවෙන් රජයට සිදුවු පාඩුව අයකර ගැනීමට හැකියාව තියෙනවාද? කිසිවකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුර වූවේ ‘ඔව්. රජයට සිදුවූ පාඩුව යළි අයකර ගන්න පුළුවන්’.   


‘ඒ කොහොමද?’   


යමෙකු කරන අපරාධමය වරදකට දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ දඬුවම් නියම කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම එය කළ යුත්තේ මහාධිකරණයක් විසින්. නමුත් සිදුවූ පාඩුව අය කර දීමට මහාධිකරණයකට හැකියාව නැහැ. පාඩුවක් හෝ අලාභයක් අයකර ගත යුත්තේ දිසා අධිකරණයක් විසින්.   


දිසා අධිකරණයක් හමුවේ පවරන නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් ඒ සඳහා වගකිවයුතු බවට මෙන්ම සිදුව ඇති පාඩුව හෝ අලාභය අයකර ගැනීමට තීන්දුවක් ලැබුණහොත් එම පාඩුව හෝ අලාභය අයකර ගැනීමට හැකියාව ලැබෙනවා.   


වගඋත්තරකරුවන්ට එම පාඩුව හෝ අලාභය ගෙවීමට හැකියාවක් නොමැති බව දැනුම් දෙනු ලැබුවහොත් හෝ එම පාඩුව හෝ අලාභය ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට නිත්‍යානුකූලව හිමිව ඇති වත්කම්, දේපොළ, ඉඩකඩම්, වතුපිටි, සියල්ලක්ම අධිකරණයේ අවසරය මත වෙන්දේසිකොට ලැබිය යුතු මුදල අයකර ගැනීමට හැකියාව ලැබෙනවා.   


වෙන්දේසි කිරීම මඟින් හෝ අයකර ගතයුතු මුළු මුදලම අයකර ගැනීමට නොහැකි වුවහොත් ඔහු ‘බුන් වත්’ තේරෙන භාෂාවෙන් කිවහොත් බංකොළොත් වූ පුද්ගලයකු වශයෙන් නම් කරනු ලබනවා.   


මෙම බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට සිදුවු පාඩුව අයකර ගැනීමට තරම් මෙයට වගකිවයුතු පුද්ගලයින් බුන් වත් වූ අය බව පැවසීමට හෝ ඒ මුදල් අයකර ගැනීමට පරක්කු වු බවට කිසිවකුට පැවසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මක්නිසාදයත් රජයේම බලවතුන්ම පවසන පරිදි මෙයට වගකිවයුතු ආයතනයේ මෙන්ම එයට සම්බන්ධිත පුද්ගලයින්ගේ දේපොළ මේ වනවිට තහනමට ගෙන ඇති හෙයිනි.   


නීතිය නිසි ලෙස අකුරටම ඉටු කරනු ලැබුවහොත්, මහත්වරු නීතියට ගරු කිරීම තුළින් රටක යහපාලනයක් ඇති වන්නාසේම මහත්වරුන්ට නීතියෙන් පනවනු ලබන දණ්ඩන තුළින් රටක් තුළ යහපාලනයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව නම් සිකුරුය.   


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම්, ඔවුන් බැංකුවල තැබූ ආරක්‍ෂිත ඇපකර මෙන්ම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන්ට අයිති වත්කම්ද ඇත. රජයට සිදුවූ අලාභය අයකර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් මේ සියලු දේපළ තහනමට ගැනීමට හැකියාව ඇත.   


දකුණු ආසියාවේ සිදුකළ විශාලතම ‘වැට් බදු වංචාව’ සිදුවුයේද ලංකාවේමය. එම අපරාධයට දේශීය ව්‍යාපාරිකයින් පිරිසක් මෙන්ම එම බදු මුදල් එකතු කිරීමට සම්බන්ධ වූ රාජ්‍ය ආයතනයේ ඉහළම තලයේ නිලධාරීන් පිරිසක්ද වූහ.   
ඔවුන්ට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීම සඳහා හිතා ගැනීමටවත් නොහැකි තරම් වූ කාලයක් ගතවූමුත් නඩුව අවසන් වීමට මත්තෙන් එම විත්තිකරුවන් වශයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විත්තිකරුවෝ එකා දෙන්නා බැගින් වරද පිළිගත්හ.   


ඔවුන්ට දඬුවම් නියම කිරීමේදී සිදුවූ පාඩුව යළි අය කර ගැනීමට අධිකරණයෙන් නියෝග ලැබුණු අතර සමහර විත්තිකරුවන්ගේ දේපොළ රාජසන්තක කෙරුණි.   


එයම පූර්වාදර්ශයට ගනිමින් බැඳුම්කර වංචාවට අදාළ චෝදනාවන්ට වරදකරුවන් වන පුද්ගලයින්ටද දඬුවම් ලබාදිය හැකි අතරම ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් නිසා රජයට සිදුවූ අලාභය යළි අයකර ගැනීමටද හැකියාව ඇත.   


මේ අපරාධය සිදු කිරීම සඳහා සංතෝෂම් වශයෙන් නිලධාරීන්ට, දේශපාලනඥයින්ට ආදී විවිධ පුද්ගලයින්ට මුදල් හෝ දේපොළ දුන්නා නම් සංතෝෂම් ගත් පුද්ගලයින්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පවරා ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසිවන පරිදි දඬුවම් නියම කිරීමට ද නීති ප‍්‍රතිපාදන ඇත.   


එමෙන්ම අල්ලස් වශයෙන් උපයා ගත් දේපළ ද යළි අයකර ගැනීමේ ක‍්‍රමවේදයන්ද පවතී.   


මේ සඳහා මෙන්ම මෙම ක‍්‍රමවේදයන් කල් ගත වීමට බලපාන ඇතැම් නීති සංශෝධනය කොට මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ගත යුතු ක‍්‍රමවේදයන් පිළිබඳව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසමද අවශ්‍ය පියවර ගනිමින් සිටී.   


එහෙත් එක් පැනයක් ඉතිරි වේ. බැඳුම්කර වංචාව නිසා රට නැවතුණු තැනින් යළි පටන්ගෙන ඉදිරියට යෑමට සුදානම්වන විට කාලය බොහෝ දුර ගොස් ඇත. ලෝකයේ අනෙක් රටවල් සමඟ බලද්දී දුප්පතුන් ලෙස ඉපදුණු අපි අන්ත දුප්පතුන් ලෙසම මියගොස් සිටිය හැක නැත්නම් අප වගේම රටත් නාකීවී ඇත.   


රටට හිතැත්තකු පැමිණ මේ රට දියුණුව කරා රැගෙන යන්නේ නම් මේ රට දියුණු කිරීම සඳහා ඔහුට ‘කනේ වැලි ගෑවෙන තරමට’ රටේ ආර්ථීකය නැවීමට සිදුවෙනු ඇත.   


​ෙර්ස් එක ජයග‍්‍රහණය කිරීමට නම් අවදානමක් ගත යුතුමය. අවදානම ගෙන පනින පිම්ම වැරදී කනේ වැලි ගෑවෙන තරමට නවන රටේ ආර්ථිකය නමැති රෝදය වැල්ලට හසුව ලිස්සා ගියහොත් සිදුවන හානිය, තුවාල සිතා ගැනීමටවත් නොහැකි අතරම සදාකාලික අබ්බගාතයකු වීමට ද හැකියාව ඇත. යළි මකා දැමිය නොහැකිවන ආකාරයේ තුවාල කැළැල් ඇති වීමට ද ඉඩ ඇත. සැමදා සැමගෙන් සිඟමන් යැදීමට ද සිදුවිය හැක.   


බැඳුම්කර වංචාව සිදුවුණා යැයි මෙන්ම බැඳුම්කර වංචාව සිදු කළා යැයි පවසන ආකාර පිළිබඳව මධ්‍යස්ථව සිතා බැලුවහොත් පෙනීමට ඇත්තේද කල්‍යාණ මිත‍්‍රයින්සේ ආශ‍්‍රයට පැමිණි ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් ආදී විවිධ තනතුරු දැරූ පාප මිත‍්‍රයින්ගේ ඇසුරින් නරකාදියකට කැඳවාගෙන යන ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ’ ගමන් මඟ නොවේද?   

 

සටහන
 මනෝප‍්‍රිය ගුණසේකර