නාවික සෙබළුන් 60කට කොරෝනා


වැලිසර නාවික කඳවුර වසා දමයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ) 

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් තවත් තිස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 


මේ පිරිස හඳුනාගෙන ඇත්තේ සිකුරාදා (24) කරන ලද පීසීආර් පරීක්ෂණවලදීය.

මේ අනුව එම කඳවුරෙන් මේ වනවිට සොයා ගෙන ඇති මුළු කොරෝනා රෝගීන් සංඛාව 60ක් දක්වා ඉහළ ගොස් ඇත. 


ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයෙන් ඉකුත්දා සොයාගත් කොරෝනා රෝගීන් පිරිසක් රෝහල් ගත කිරීමේ කටයුතුවලට වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් සම්බන්ධ වූ අතර එම කොරෝනා රෝගීන්ගෙන් මෙම සෙබළුනට වයිරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සැක කරති. 
කොරෝනා ආසාදනය වූ නාවික භටයන් හැට දෙනකු සොයා ගැනීමත් සමගම වැලිසර නාවික හමුදා ප්‍රධාන කඳවුරු පරිශ්‍රයේ කඳවුරු තුනක් හුදෙකලා කර, ඒවායේ නාවික නිලධාරීන්, භටයන් හා ඒ අයයේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 4000කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය. 


මෙම නාවික කඳවුරේ පිහිටා ඇති විවාහක නිවාස සංඛ්‍යාව 194කි. 


මේ වනවිට නාවික කඳවුරු පරිශ්‍රයට පිටතින් ඇතුළුවීම හා ඉන් පිටවීමද සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබ  ඇතැයි සුරියබණ්ඩාර මහතා කීය. 


නාවික කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදිත නාවික භටයන් සමග නාවික නිවස්නයේ රැඳී සිටි භටයන්ද රෝගී භටයන් රාජකාරී කළ ස්ථානවල සිටි සෙසු භටයන්ද කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි කී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා නිවාඩු ලබා නිවෙස්වලට​ ගොස් සිටි හා රාජකාරී අවශ්‍යතා මත පිටතට ගොස් සිටි එවැනි භටයන් පිරිසක් මෙම පරීක්ෂණ සඳහා කඳවුරට ගෙන්වා ගෙන ඇතැයි ද ප්‍රකාශ කළේය.


නිවෙස්වලට ගොස් සිටින නාවික භටයන් තවත් පිරිසක් සිය නිවෙස් තුළම නිරෝධායනයට යොමුකර ඇතැයි නාවික හමුදාව පවසයි. 


කොරෝනා ආසාදනයට පළමු නාවික භටයා සොයා ගැනුණේ පොලොන්නරුව පුලස්තිගම  ප්‍රදේශයෙනි. වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ මෙම භටයා නිවාඩු ලබා පුලස්තිගම සිය නිවෙසට ගොස් සිටියදී හදිසියේ අසනීපවී සිටි අතර ඔහු රෝහල් ගත කර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අවස්ථාවේදී වයිරසය ශරීරගතවී  ඇතැයි තහවුරු කරගෙන තිබිණි. 


ඊට පසුව ඒ රෝගී භටයා සමග රාජකාරී කළ භටයන් පිරිසක්ද වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර ඇති අවස්ථාවේදී ඉන් භටයන් 29 දෙනකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි  එහිදී තහවුරු කරගන්නා ලදී. 
කොරෝනා වැළඳුණු මුල්ම නාවික භටයා කොරෝනා රෝගීන් ගෙනයෑමේ කටයුතුවලට සම්බන්ධ වූවකු නොවන නමුත් ඔහුට අනෙක් අයගෙන් වයිරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු සැකපළ කරති. 


වැලිසර නාවික හමුදා කඳවුරේ ආරක්ෂාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.


මේ අතර නිවාඩු ලැබ නිවෙස්වලට ගොස් සිටින නාවික හමුදා භටයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් සඳහා නාවික හමුදාව නිරෝධායන මධස්ථානයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 


නාවික හමුදාවේ සේවය කරන අය පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇතිකර නොගන්නැයි නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 


නිවාඩු මත හෝ කඳවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයකු පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍ය අයකු ඇත්නම් දුරකතන අංක 0112-445368 සහ 0117192251 ඔස්සේ නාවික හමුදා මෙහෙයුම් මැදිරියෙන් විමසා තොරතුරු ලබාගත හැකි බවද එම නාවික හමුදාව නිකුත්  කළ නිවේදනයක සඳහන් වෙයි.