ජල කාන්දුව විදුම් යන්ත්‍රයෙන් විදුම් යන්‍ත්‍රය පසුපසට ගේන්න බෑ


 

(දයාසීලි ලියනගේ)  
උමාඔය ව්‍යාපෘතිය යටතේ හාරා ඇති උම​ෙඟහි ජල කාන්දුවට ප්‍රධාන හේතුවක්වී ඇත්තේ උමඟ හෑරීමට යොදා ගන්නා යන්ත්‍රයේ (ටනල් බෝරිං මැෂිම) ක්‍රියාකාරිත්වය බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.  


මෙම යන්ත්‍රය ඉවත් කර උමඟ හෑරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත. මෙම යන්ත්‍රය ආපස්සට හරවාගෙන ආ හැකි එකක් නොවන අතර ඒ නිසා තවත් මීටර් කීපයක් ඉදිරියටගොස් යන්ත්‍රය ඉවත් කළ හැකි බව විශේෂඥයන්ගේ මතයවී ඇති බව වාර්තා වේ.

උමඟ හාරන අතරතුර මෙම යන්ත්‍රය මගින්ම ස්වයංක්‍රීයව උමඟ වටා සිමෙන්ති බදාම ආලේප කළ යුතු නමුත් මෙම යන්ත්‍රයෙන් සිමෙන්ති බදාම ආලේපවී ඇත්තේ යටි පැත්තේ පමණක් බව දැන ගන්නට ඇත.  


සිමෙන්ති බදාම ආලේප නොවීම ජල කාන්දුවට හේතුව බව ව්‍යාපෘති නිලධාරීන් ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම්දී ඇති බව ද වාර්තා වේ. උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවූ හානිය විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජික ඇමැති මහින්ද අමරවීර මහතා නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ.  


මෙම යන්ත්‍රය කාන්තාරවල කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා එකක් වන අතර ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන්නක් බව ද සඳහන්වේ. උමා ඔය ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් කෝටි 5700ක මුදලක් වියදම් කර ඇති අතර හාරන යන්ත්‍රය ඉරානයෙන් ගෙන්වන ලද්දකි.   


මෙම ජල කාන්දුවට පිළියම් ප්‍රකාශ කළ හැක්කේ දෙසැම්බර් මුලදී වන අතර ඒ සඳහා විදේශ විශේෂඥයන් පිරිසක් පැමිණීමට නියමිතය.