ජනපතිගේ කැබිනට් පත්‍රිකාව තවමත් වැට උඩ


(අජන්ත කුමාර අගලකඩ)  

සියලු පළාත් සභාවල මැතිවරණ පැරැණි මනාප ක්‍රමය යටතේ එකවර පැවැත්වීමට අදාළව තමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය පිළිබඳ නිර්දේශ ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභ්‍යන්තර කටයුතු පළාත් පාලන හා පළාත් සභා සහ ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන මහතාට දැනුම් දී ඇත.  

ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා වජිර අබේවර්ධන ඇමැතිවරයාට මෙම දැනුම්දීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට යෝජනා කරමින් ජනාධිපතිවරයා මීට සති දෙකකට පමණ ඉහත දී කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ ගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමැති වජිර අබේවර්ධන මහතා දැනුම් දී තිබිණි.   


එහෙත් ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට සිය නිර්දේශ ඉදිරිපත් නොකළ වජිර අබේවර්ධන මහතා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත.  
ඒ අනුව සතියක කාලයක් ලබාදී ඇති ජනාධිපතිවරයා ලබන අඟහරුවාදා සිය නිර්දේශ කැබිනට් මණ්ඩලයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නැයි දන්වා ඇත.