අයවැය විවාදය දින දහයකට සීමාවෙයි


 

(අජන්ත කුමාර අගලකඩ)  

මෙවර අයවැය විවාදය දින 10 කට සීමාවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.  


කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් ඇතිව තිබෙන අර්බුදය නිසා මෙසේ අයවැය විවාදය දින කිහිපයකට සීමාවනු ඇත.   

අයවැය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 17 වැනිද‌ා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර අයවැය දෙවැනිවර කියවීමේ විවාදය දින 4 ක්ද අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 6 ක්ද පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ.  


මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) පස්වරුවේ රැස්වෙති.  


අයවැය විවාදයක් සාමාන්‍යයෙන් මාසයක් පුරා පැවැත්වීම සම්ප්‍රද‌ායක් ලෙස පැවතිණි. එහෙත් මෙවර කොරෝනා අර්බුදය නිසා එය දින 10 කට සීමා වනු ඇත.  


මේ අතර මේ වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 12 සහ 13 යන දෙදින පුරා පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණද එය ලබන 12 වැනිද‌ා පමණක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.