අමුද්‍රව්‍ය දෙනවා නම් රටටම පොල්තෙල් දෙන්නම්


පාරම්පරික පොල්තෙල් නිපදවන්නන්ගේ සංගමය  

(නිශාන්ත කුමාර බණ්ඩාර)   
අවශ්‍ය ප්‍රමාණයට අමුද්‍රව්‍ය ලබා දෙන්නේනම් රටට අවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය නිපදවීමට සූදානම් බව පාරම්පරික දේශීය පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමය පවසයි. 

එසේ වුවහොත් ​පොල්තෙල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවත්, ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදු පොල් තෙල් ලබාදීමට තමන්ට හැකියාවක් ඇතැයි එම සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.   


නිසි වෙලාවට අමුද්‍රව්‍ය ලබා දෙන්නේ නම් පැය 24ක කාලයක් තුළ අවශ්‍ය පොල් තෙල් නිෂ්පාදනය කිරීමට තම සංගමයේ මෝල් හිමියන්ට හැකියාවක් ඇතැයි ඔහු සඳහන් කළේය.   
කවුරු කෙසේ පැවසුවත් විස කාරක සහිතව ආනයනික පොල් තෙල් සමාජ ගතවී අවසන් බව බුද්ධික ද සිල්වා මහතා පැවසීය.   
මෙය ආනයනකරුවන් විසින් හිතාමතාම ලාභ ඉපයීමේ අරමුණින් කළ දෙයක් බව ද ඔහු සඳහන් කරයි.   


මේ නිසා එම පොල් තෙල් තොග ආනයනය කළ සමාගම්වලට උපරිම අයුරින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පැවසීය.   
පිළිකා විස කාරක පොල් තෙල් අත්අඩංගුවට ගත්තේ නම් එය ප්‍රති අපනයනය කිරීමෙන් සිදුවන්නේ වෙනත් රටක වෙනත් පිරිසකට පිළිකා කාරකය වැළඳීමයි.   
ඒ නිසා මත්කුඩු හා කහ තොග විනාශ කළ ආකාරයට මෙම පොල් තෙල් තොගයද විනාශ කළ යුතු බවද බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේය.