අපේක්ෂකයන් 7452 කින් පාර්ලිමේන්තු යන්නේ 225යි


(අජන්ත කුමාර අගලකඩ)   

පාර්ලිමේන්තුවට සභිකයන් 225 දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා ලබන බද‌ාද‌ා (05) පැවැත්වෙන ඡන්ද විමසීමට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 7452 දෙනෙක් තරග වැද සිටිති.   

දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 3652 දෙනෙක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයෝ 3800 දෙනෙක් ද, මෙසේ තරග වැද සිටිති.  කොවිඩ් 19 වයිරසය හේතුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සහ පාර්ලිමේන්තුව විසුරවා හැර මාස 5 කට පමණ පසුව මැතිවරණය පැවැත්වීම මෙවර මැතිවරණයේ විශේෂත්වය වේ.   


පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 10 ත් දින 14 ත් අතර කාල සීමාව තුළ නාමයෝජනා කැඳවිය යුතු අතර නාමයෝජනා කැඳවා අවසන් වූ දිනයේ සිට සති 5 ත් සති 7 ත් අතර දිනයක ඡන්දය පැවැත්විය යුතු බව මැතිවරණ පනතේ සඳහන් වේ.   


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් මාර්තු මස 1 වැනිද‌ා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස මුලදී අප්‍රේල් මස 25 වැනිද‌ා නියම කෙරිණි.   


එසේ වුව ද කොවිඩ් 19 වයිරසය හමුවේ මැතිවරණය ජූනි 20 වැනිද‌ා පැවැත්වීමට පසුව දින නියම කෙරුණ ද එය තවදුරටත් කල් දමමින් ලබන බද‌ාද‌ා (05) මැතිවරණය පැවැත්වීමට පසුව දින නියම කරනු ලැබීය.   


ලබන බද‌ාද‌ා ඡන්දය විමසීම පමණක් සිදුකෙරෙන අතර ඡන්දය ගණන් කිරීම ලබන බ්‍රහස්පතින්ද‌ා (06) දිනයේ සිදුකෙරේ. ඒ අනුව ලබන බ්‍රහස්පතින්ද‌ා පස්වරුවේ ආසන මට්ටමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.   
අපේක්ෂකයන්ගේ මනාප ගණන් කිරීම ලබන සිකුරාද‌ා (07) දිනයේ සිදුකිරීමට නියමිතය.