අපනයන ආදායම සියයට 7.5කින් නගී


(උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ ජනවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ (2018) ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 7.5කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.  

2018 වසරේ ජනවාරි මස වාර්තාවී ඇති අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 965ක් වූ අතර එය මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 1038 ක් දක්වා වර්ධනය වී ඇත. අපනයන ආදායම් ඉහළ යෑමට සාපේක්ෂව ආනයන වියදම් පහළ ගොස් ඇති අතර එම නිවේදනය හෙළි කරන දත්තවලට අනුව 2018 වසරේ ජනවාරි මාසයේදී ආනයන සඳහා ඇ​මෙරිකානු ඩොලර් මිලියන 2014ක් වැයවී ඇති අතර 2019 වසරේ ජනවාරි මාසය සඳහා වූ ආනයන වියදම ඩොලර් මිලියන 1655කි. එය සියයට 17.8ක පහළ යෑමකි.  
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට අදාළව එම නිවේදනයෙහි සඳහන් වෙන්නේ 2018 වසරේ ජනවාරි මාසය සමග සැසඳීමේදී මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 545 දක්වා අඩුවී ඇති බවය.  


පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 2.2න් වර්ධනය වී ඇතැයි පෙන්වා දෙන එම මහ බැංකු නිවේදනය ජනවාරි මාසයේදී පමණක් උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 458ක් වන බවද දක්වයි.  


එසේම 2019 වසරේ මාර්තු මස අවසානය වෙන විට දළ නිල සංචිත ප්‍රමාණ ඩොලර් බිලියන 7.6ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එම නිවේදනය හෙළි කරයි.