‘රුහුණු කුමාරි’ පෙට්ටි පුරවා ජවිපෙ රතු රැලියට සෙනඟ එයි


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේ.ජී.ටී. වීරරත්නගේසභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇස්. ශර්වානන්ද හා කොළඹ දිස්ත්‍රික් විනිසුරු කේ.සී ද අල්විස්ගේ සාමාජිකත්වයෙන් ජේ.ආර්. ජයවර්ධන විසින් විශේෂ ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ 1978 අගෝස්තුවේදී, කොමිසම නොතීසි යවන ලද පුද්ගලයන් අතර හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියද වූවාය. 1972 පිහිටු වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නීති රෙගුලාසිවලට අනුව එක් පුද්ගලයකු සතුවිය යුතු ඉඩම් ප්‍රමාණය අක්කර 50 ක සීමාවකට යටත් කෙරිණි. ඒ සීමාවෙන් මෙපිට සියලු ඉඩම් රජයට පවරා ගනු ලැබීය. අගමැතිනියට එකල එල්ල වූ චෝදනාව වූයේ නීතිය ක්‍රියාත්මක වීමට දින දෙන තුනකට පෙර ඇය ඉඩම්වලින් කොටසක් විකුණා දැමූ බවය. ජනාධිපති කොමිසම හිටපු අගමැතිනිය සම්බන්ධයෙන් විභාග කළ මූලික සිද්ධිය මෙය වුවද ජනාධිපති ජයවර්ධනගේ ඇත්ත අරමුණ වූයේ අනාගතයේදී ඇයගෙන් එල්ලවිය හැකි අභියෝගය මඟහැරයාමය.  

 

1971 කැරැල්ල අවස්ථාවේ චෝදනා රහිතව සිය එකම පුත්‍රයා වන රවි ජයවර්ධන අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් හටගත් පළිගැනීමේ චේතනාවද ඔහු තුළ තිබුණා විය හැකිය. කෙසේ වුවද විශේෂ ජනාධිපති කොමිසමේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් බණ්ඩාරනායක මහත්මිය අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. 1970 සිට 1977 ආණ්ඩු සමයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පරීක්්ෂණ කිරීමට බලයක් නැති බව ප්‍රකාශ කරමින් කොමිසමට එරෙහිව අභියාචනාධිකරණය තහනම් නියෝගයක් පැනවීය. පරීක්ෂා කිරීමට යන්නේ ජනාධිපති කොමිසම් නීතිය පැනවීමට පෙර කාලයේ සිද්ධි සම්බන්ධයෙන් වීම නිසා එය නීතියට පටහැනි බව අභියාචනාධිකරණයේ මතය වූයේය  


ජනාධිපති ජයවර්ධන වහාම ඊට ප්‍රතිචාර දැක් වූ අතර, පාර්ලිමේන්තුවට කෙටුම්පත් දෙකක් කඩිනමින් ඉදිරිපත් කෙරිණි. අගමැති ආර්.ප්‍රේමදාස මේ කෙටුම්පත් පාර්ලිමේන්තුව හමුවේ තැබීය. විශේෂ ජනාධිපති කොමිසම අතීතයට බලපාන ආකාරයට කරුණු විභාග කිරීමට බලය ලබාදීම එක් කෙටුම්පතක අරමුණ විය. අනෙක් කෙටුම්පතේ අරමුණ වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමය. එය 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද පළමු සංශෝධනය විය. ඒ මඟින් ඕනෑම නඩුකරයක අධිකරණ බලය (රිට් ආඥා නිකුත් කිරීමේ බලය) අභියාචනාධිකරණයෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරීමට පාර්ලිමේන්තුවට බලය ලැබිණි.  


කෙසේ නමුත් බණ්ඩාරනායක මහත්මිය කොමිසම ඉදිරියට පැමිණීම ප්‍රතික්ෂේප කලාය. අවසානයේදී කොමිසම 1980 මැයි පළමු සතියේ ඒක පාර්ශ්විකව රැස්විය.  


මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීමට සුපුරුදු පරිදි පෙළපාළියක් හා රැලියක් පැවැත්වීමට ජවිපෙ තීරණය කෙළේය. රැලියට නගර සභා පිටිය වෙන් කර ගැනීමට ඉල්ලුම් පත පොලීසියට ලබාදී තිබුණේ 1979 මැයි අවුරුද්දකට පෙරය. ඒ 1979 මැයි දින දාය. මැයි රැලියට සහභාගිවීමට දුර බැහැර සිට කොළඹට පැමිණෙන ජවිපෙ සාමාජිකයන් හා පාක්ෂිකයන් බොහෝ විට තෝරාගත්තේ දුම්රියයි. මැයි පළමුවැනිදා උදෑසන දිවයිනේ සිවුදෙසින් කොළඹට පැමිණෙන දුම්රිය ජවිපෙ සාමාජිකයන්, පාක්ෂිකයන්ගෙන් පිරී යයි.  


විශේෂයෙන් ජවිපෙ බලවත් දකුණේ මාතර සිට කොළඹ පැමිණෙන ‘රුහුණු කුමාරි’ දුම්රියේ පෙට්ටි රැසක් ජවිපෙට වෙන් කළා මෙනි. ‘ජනතා විමුක්ති පෙරමුණ දිනේවා’ යෝධ බැනරය එක ළඟ පිහිටි දුම්රිය පෙට්ටි දිගට ලෙළ දෙන්නේ රුහුණු කුමාරියම ජවිපෙ වෙනුවෙන් කොළඹ පැමිණෙන අයුරින්ය. රටේ සෑම ප්‍රධාන බස් හා දුම්රිය මාර්ග දෙපසම ජවිපෙ මැයි දින සැරසිලිවලින් හැඩවෙයි. ගංගා ඇළ මාර්ගවල රැඳවූ බෝට්ටු ආකෘතිවල ලෙළ දෙන දෑකැත්ත - මිටිය ලාංඡනය සටහන් කළ රතු කොඩිය මැයි දිනයට එක්කරන්නේ අභිමානයකි.  


ජවිපෙ පිරිස් මැයි දිනයට දුම්රියෙන් කොළඹ එන ගමනේ විශේෂත්වය වූයේ එසේ පැමි​ෙණන අතිබහුතරය ප්‍රවේශපත් නොගැනීමයි. පිරිස විශාලවීම නිසා ප්‍රවේශපත් පරීක්ෂකවරුන්ද රාජකාරියට පැමිණීමෙන් වැළකෙති. කොළඹට පැමිණි පසු දුම්රියපොළෙන් පිටවීමට ප්‍රවේශපත අවශ්‍ය වේ. ඊට යොදාගත් උපක්‍රමය වන​්නේ වේදිකා ප්‍රවේශපත් කිහිපයක් මිලදී ගන්නා ජවිපෙ ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් දුම්රියපොළේ රැඳී සිට පිරිස කැටුව එළියට යෑමයි.  


1980 මැයි පෙළපාළියට අලුත් අංග රැසක් එකතු කිරීමට ජවිපෙ සැලැසුම විය. පසුගිය වසරට වඩා ආකර්ෂණීය පෙළපාළියක් පැවැත්වීම ඔවුන්ගේ අරමුණ වූවේය. උපතිස්ස ගමනායක නායකත්වය දුන් සමාජවාදී කම්කරු සංගමය රැලියට එක්කර තිබුණු එක් විශේෂාංගයක් කාගෙත් සිත් ඇද බැඳ ගත්තේය.  

 

 

 


රඛිත හේමවර්ධන