​ෙකාටි 10 ක් නිදහස් කර ගත් දෙමළ දේශපාලනඥයා


රට හෙල්ලූ සිදුවීමක 
අඩි සලකුණු දිගේ...

චන්ද්‍රිකා සහ රත්වත්තේ ඝාතනයට ආ 
සිංහල​ කොටි නායකයා කියන කතාව-2

සිංහල ජාතිකයකුට දාව දමිළ ජාතික මවකට උපන් පුතෙක් අවුරුදු 11 ක තරම් වයසේදී එල්ටීටී.ඊයට බැඳීමට බලපෑ හේතු සාධක මෙන්ම පසුව ඒ සංවිධානයේ බුද්ධි අංශයේ නායකයෙක් බවට පත් වූ ආකාරය අපි ඔබ හමුවේ තැබුවෙමු.   


අද කියන්නට යන්නේ ඒ කතාවේ ඉතිරියයි.
   
සුරේෂ් කුමාර්ගේ සැලසුම් කරමින් සිට ඇත්තේ එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ඝාතනය කිරීම, නුවරඑළියේදී පොලිස් භූමියේ දී එකවර පොලිස් නිලධාරීන් සමූහයක් ඝාතනය කිරීමටය.   


මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඒවා සියල්ල වැළකී ගියේ පොලිස් පරීක්ෂක සුදත්​ ​ෙෆාන්සේකා මහතා නිසාය.   


පොලිස් පරීක්ෂක ​ෙෆාන්සේකා මහතාට සුරේෂ් කුමාර් ගැන ඔත්තුවක් නොලැබී ඔහු අත්අඩංගුවට නොගත්තා නම් මේ කතාවේ ලියන්නට වෙන්නේ මහා ඛේදවාචකයක් ගැන වෙන්නට බොහෝ සෙයින්ම ඉඩ තිබිණි.   


තරුණයෙක් දුවගෙන යද්දි ඔහු බිම ඇද වැටී තිබෙනවා. ඒ වෙලාවේ ඔහුගේ සාක්කුවේ තිබිලා අයිඩෙන්ටි කාඩ් දෙකක් විසිවෙලා බිමට වැටී තියෙනවා. තරුණයා එම අයිඩෙන්ටී කාඩ් දෙක අහුලාගෙන සාක්කුවේ දමාගෙන තිබෙනවා. මේ බව දුටු සුදත් ෆොන්සේකා මහත්තයාගේ යහළුවෙක් ඒ බව ඔහුට දැනුම් දී තිබෙනවා. ෆොන්සේකා කරුණාසේනත් එක්ක ගිහින් ඒ තරුණයාව අත්අඩංගුවට අර ගත්තා. ඔහු තමා අද මේ අපිත් එක්ක ඉන්න සුරේෂ් කුමාර් යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා පවසද්දී සුරේෂ් කුමාර් සිනාසුණේය.   


​ෙහාඳයි දැන් අපි ආයෙත් සුරේෂ් කුමාර් කියන කතාවට සවන් දෙමු. 

 
යාපනයේ පොට්ටු අම්මාන්ගේ කාර්යාලයට ගියාට පස්සේ ඒ කාලයේ හිටිය පොට්ටු අම්මාන් හා කපිල් අම්මාන් හිටියා. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහත්තයා ඝාතනය කරන්න අවශ්‍ය ඔත්තු බලන්න උපදෙස් දුන්නා. නුවරඑළියේ ජනාධිපති මන්දිරය ඇතුළේ දී හෝ චොපර් එකෙන් බැහැලා ජනාධිපති මන්දිරයට එන අතරවාරයේ ඇය මරන්න තමා මට සැලසුම් හදන්න කියා බාර දෙන්නේ. මරාගෙන මැරෙන කළු කොටි කණ්ඩායමක් යොදවා හෝ ක්ලේමෝ බෝම්බ පුපුරුවා හැර ඝාතනය කරන්න තමා සූදානම්ව තිබුණේ. හැබැයි මට තිබුණේ ඔත්තු බලා සැලසුම් කරන එක විතරයි.   


මේ වගකීම පැවරුවාට පස්සේ පොට්ටු අම්මාන් මාව වේදනායගී කියන කාන්තාවකට බාර දුන්නා. ඇය බැංකුවේ මහත්තයාගේ ඥාතිවරියක් ද වෙනවා. වේදනායගී මාව එයාගේ සහෝදරයෙක් විදියට නුවරඑළියට එක්කගෙන ආවා. වේදනායගීගෙ ගෙවල් තිබුණේ නුවරඑළිය පොලිසිය ළඟමයි. ඇයට හා ඇයගේ සැමියාට නුවරඑළියේ පොදු වෙළෙඳ පොළේ ඒ කාලයේ කරවල කඩයක් තිබුණා. මම ඒ කරවල කඩයේ වැඩ කළා. ඒ වැඩ කරන අතරවාරයේ මට පවරා තිබුණ වැඩවලට ඔත්තු බලන්නත් වරින්වර ගියා.   


ජනාධිපතිනිය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රත්වත්ත මහතා ඝාතනය කිරීමට ඔත්තු බලා සැලැසුම් සකස් කළ ආකාරය ගැන සුරේෂ් කුමාර් කිව්වේ මෙහෙමය.   


​ෙව්දනායගීගේ කරවල කඩයේ වැඩ කරන අතරවාරයේ මම ජනාධිපතිනිය රත්වත්තේ මහත්තයා ඝාතනය කරන්න විතරක් නෙවේ නුවරඑළිය පොලිසියට උත්සව කාලයට පිට පළාත්වලින් ස්පෙෂල් ඩියුටි එන පොලිස් නිලධාරීන් මරන්න අවශ්‍ය ඔත්තු බැලීම් කළා. නුවරඑළිය පොලිසිය ළඟ කානේෂන් ෆාම් එකක් තිබුණා. ඔන්න එතැනට ගිහින් තමා අවශ්‍ය තොරතුරු සොයා බැලුවේ.   


කපිල් අම්මාන් මට යාපනයෙන් පිටවෙලා නුවරඑළියට එන්න කලින් කිව්වා. අපේ පුහුණුව ලබා ගත්ත තුන්දෙනෙක් නුවරඑළිය පොලිසියේ කොස්තාපල්වරුන් විදියට රාජකාරි කරනවා. ඒ ගොල්ලන්ගෙන් ද සපෝර්ට් එක මේ වැඩේට ලැබෙයි කියා මට මුලින්ම කියා තිබුණා. ඒ පොලිස් නිලධාරීන් තුන් දෙනාම එල්.ටී.ටී.ඊ. එකෙන් පුහුණුව ලබාගෙන පොට්ටු අම්මාගේ කීමට පොලිසියට බැඳුනු අය. නුවරඑළියට මම ආපු දවසේ ඉඳලාම ඒ නිලධාරීන් තුන් දෙනාම හම්බ වුණා. පොලිසිය ඇතුළට ඇවිත් හම්බෙන්න එපා කියා උපදෙස් දීලා තිබුණ නිසා ටවුන් එකෙන් හම්බ වෙලා තමා අපි හැම දෙයක් ගැනම කතා බහ කර ගත්තේ.   


ඒ තරමට අපි පරෙස්සම් වෙලා හිටියේ. මට දුන්නු ටා​ගට් ටික හරියට කළේ නැත්නම් මගේ සහෝදරයන් සේරම මරා දානවා කියා පොට්ටු අම්මාන් යාපනයෙන් පිට වෙලා එන්න කළින් කිව්වා. එල්.ටී.ටී.ඊ. එක කිව්වොත් කිව්වාම තමයි. පොලිසියෙන් තුන් දෙනා විතරක් නොවේ මට උදව්කරන්න තව 08 දෙනෙක් හිටියා. ඒ 08 දෙනත් එල්.ටී.ටී.ඊ.ය. එක්ක කිට්ටු සම්බන්ධකම් තිබුණ අය. ඒ 08 දෙනාම මගේ වැඩවලට හරියට උපකාර කළා.   


එල්.ටී.ටී.ඊයෙන් පුහුණුවෙලා පස්සේ පොලිසියට බැඳුණු තුන් දෙනාගෙන් එක් අයෙක් නුවරඑළිය ජනාධිපති මන්දිරයෙ ඩියුටි දාලා තිබුණා. ජනාධිපති මන්දිරයෙ ඇතුළට ගිහින් එහි පිහිටීම ගැන තොරතුරු සොයා බැලුවේ ඒ පොලිස් නිලධාරියාගේ උදව් ඇතිවයි. ඒ පොලිස් නිලධාරියා ඩියුටි ඉන්න දවස මට කල්ඇතිව දැනුම් දෙනවා. අන්න එදාට මම ඔහු හම්බ වෙන්න ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව ළඟට යනවා. එහෙම ගියාම එල්.ටී.ටී.ඊ. එකට හිතවත් ඒ පොලිස් නිලධාරියා ඇවිත් ප්‍රධාන ගේට්ටුවෙන්ම මාව ඇතුළට එක්කරගෙන යනවා. ඔහු මාව අවශ්‍ය තැන්වලට එක්ක ගෙන ගිහින් නිදහසේ අවශ්‍ය තොරතුරු ලබාගන්න ඉඩ ලබාදෙනවා. මමත් මගේ වැඩේ කරදරයක් නැතිව කර ගන්නවා. මට අවශ්‍ය අනෙක් තැන් ගැන තොරතුරු සොයා බලන්න යන කොට අනිත් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ද උදව් ද මට ලැබුණු නිසා වැඩේ කරදරයක් නැතිව කර ගන්න ලැබුණා.   


උදේ තොරතුරු එක් රැස් කර ගන්නා මම රෑට නවාතැන්පොළට ඇවිත් සිතියම් අඳිනවා. යම් තැනක රහසිගතව තොරතුරු සොයා බලා ඒවා ගැන මතකයේ තබාගෙන සිතියම් ගත කරන්න මම බුද්ධි අංශ සාමාජිකයෙක් විදියට විශේෂ පුහුණුවක් ලබාගෙන තිබෙනවා. ඒ නිසා ඒ වැඩ මට පහසුවෙන් වැරදීමක් නැතිව කරන්න පුළුවනි. මෙකත් හරිම දුෂ්කර පුහුණුවක් සටන් පුහුණුවීම් ලබනවාට වඩා අමාරු දෙයක්. සිතියම් ඇඳලා මම ඒවා පොට්ටු අම්මාන්ට යවනවා. ඒවා අරගෙන යන්නේ බැංකුවේ මහත්තයා.   


මම යවන සිතියම්වලට අනුව වන්නියේ කොහෝ හරි තැනක ගහන්න ඕනෑ කරන තැන අනුරූ හදනවා. ඊට පස්සේ ඒවා යොදාගෙන ඇවිදින් කරන ආකාරය ගැන පෙර පුහුණුවීම් කිහිපයක්ම කරනවා. එහෙම කරන්නේ ඇටෑක් එක සියයට සියයක්ම සාර්ථකව කර ගන්න ඕන නිසයි. සමහර අවස්ථාවලදී මේ පෙර පුහුණුවීම් බලන්න ප්‍රභාරකරන් ද එන අවස්ථා තිබෙනවා. මම යවපු සිතියම්වලට අනුව නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ලොකු අනුරුවක් හදලා පෙර පුහුණුවීම් කරලා තිබුණා.   


ජනාධිපතිතුමියයි ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයයි නුවරඑළිය ජනාධිපති මන්දිරයේ ඉන්න වෙලාවක හෝ ඔවුන් චොපර් එකෙන් නුවරඑළිය තුරඟ තරග පිට්ටනියක ඇවිත් එතන ඉඳන් වාහනවලින් එද්දි ඇටෑක් කරන්න තමා සැලසුම් සකස් කළේ ඇටෑක් එකට එන්න හිටිය අයගේ නම් කියන්න මම දන්නේ නැහැ. ඒ අය ගැන හෝ අැටෑක් එක කරන දවස ගැන මටවත් කියන්නේ නැහැ. අැටෑක් එකට මාසයකට විතර කලින් මාව වන්නියට ගෙන්වා ගන්න බවට පමණක් දන්නවා යැයි ද සුරේෂ් කුමාර් අප සමග පැවසුවේ එහෙම කරන්නේ ආරක්ෂාකාරී පියවරක් වශයෙන් බවද පවසමිනි.   


සුරේෂ් කුමාර් පවසන ආකාරයට නුවරඑළිය නගරයේ සෑම පාරක්ම සිතියම් ගත කර එම සිතියම් පොට්ටු අම්මාන්ට යවා ඇත.   


ජනාධිපතිනිය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය ටවුන් එකේ ගෙදරක සාකච්ඡාව පැවැත්තුවා. මේ සාකච්ඡාව පැවැත්තුවේ නුවරඑළිය ටවුන් එකේ හිටිය ප්‍රසිද්ධ දෙමළ ව්‍යාපරිකයෙක්ගේ ගෙදර. ඔහුත් එල්ටීටී එකට හුඟක් උදවු කළ කෙනෙක්. පොලිසිය අත්අඩංගුවට ගත් 10 දෙනා අතර ඒ ව්‍යාපාරිකයත් හිටියා. මේ සාකච්ඡාවට මරාගෙන මැරෙන කොටි කෙල්ලක් හා මරාගෙන මැරෙන කොටි කොල්ලෝ තුන් දෙනෙක් ද ඇවිත් හිටියා. ඒ අයගේ නම් මම දැන ගෙන හිටියේ නැහැ. කවරදා ද මේ ප්‍රහාරය එල්ල කරන්නේ කියන එක ගැන සාකච්ඡා වුණේ නැහැ. නුවරඑළියේ දි අල්ලා ගත් එක් කෙනෙක් හොර නෝට්ටු තොග වශයෙන් මුද්‍රණය කරලා වරින් වර වන්නියේ එල්.ටී.ටී.ඊ. නායකයන්ට ඒ කාලයේ යැව්වා කියා මට දැන ගැනීමට ලැබුණා.   


​ෙම් සාකච්ඡාව කරලා වැඩි දවසක් යන්න ලැබුණේ නැහැ මාව ෆොන්සේකා සර් එක්ක ආපු පොලිස් කණ්ඩායමක් අත්අඩගුවට ගත්තා. මාස 3 1/2 ක් විතර රැඳවුම් නියෝග යටතේ පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කළා. මම අන්තිමේ දී ඇත්ත කියන්න තීරණය කළා. එහෙම තීරණයක් ගත්තේ ෆොන්සේකා සර් මගේ ඕනෑ එපාකම් නිතර සොයා බලා මට හොඳට සැලකුව නිසා යැයිද ඔහු කීය. 

 
මම අවස්ථා දෙකකදී ප්‍රභාකරන් හමුවෙන්න ගිහින් තියනවා ඔහුත් එක්ක එකට වාඩි වෙලා කෑම පවා අරගෙන තියෙනවා. පොට්ටු අම්මාන් හා කපිල් අම්මාන් එක්ක තමා ගියේ. චාවකච්චේරියේදී තමා මේ හමුව සිද්ධ වුණේ. මුලින්ම හම්බ වුණේ 1994 වසරේ ඊට පස්සේ ආයෙත් වතාවක් 1998 වසරේදීයි. හම්බ වෙච්ච ඒ අවස්ථා දෙකේදීම කිව්වේ අපි ඊළම දිනනවා. ඒ නිසා කැප වෙලා ජීවිතය පරදුවට තියලා වැඩ කරන්න ඕනෑ කියා තමා. එක් අවස්ථාවක ප්‍රභාකරන් එයාට ඇමරිකාවෙන් ලැබී තිබුණ ඔර​ලෝසුවක් මට තෑගි කළා. එ්ක ගොඩක් වටිනා එකක්. ඒක දැන් මගේ ළඟ නැහැ.   


පොලිසියේ හරි වෙන ඕනෑම කෙනෙකුගෙන් උදවුවක් ගන්න තියනවා නම් සල්ලි දීලා ඒ උදව්ව ගන්නා කියා ප්‍රභාකරන් කිව්වා. ගාණ කෝටියක් වුණත් කමක් නැහැ. මුදල් ප්‍රශ්නයක් කරගන්න එපා කියා ඔහු කිව්වා මට තාම මතකයි.   


මගෙන් ප්‍රශ්න කරලා හෙළි කර ගත්ත තොරතුරුවලින් පස්සෙ​් තවත් 11 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ 11 දෙනා අතර බැංකුවේ මහත්තයා, පොලිසියෙ කොස්තාපල්වරුන් තුන් දෙනා ද සිටියා. මම උසාවියේදී වරද පිළිගත්තා. අවුරුදු පහකට හිරේට ගියා. නිදහස් වෙලා ඇවිත් 2003 අවුරුද්දේ කසාද බැන්දා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. කරපු වැරදි ගැන කනගාටුවෙනවා. පසුතැවෙනවා. මගේ ප්‍රශ්න කිරීම් වලින් පස්සේ අල්ලා ගත් 11 දෙනා නඩු විභාගයෙන් පස්සේ නිදහස් වුණා.   
ඔවුන් නිදහස් වීමට හේතු වූ කරුණු කාරණා ගැන තොරතුරු හෙළි කරමින් සුරේෂ් කුමාර් කිව්වේ මෙවැනි කතාවකි.   


මේ සිද්ධිය වෙන කොට මම හිර දඬුවම් ලබා දීලා තිබුණේ නැහැ. කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටියේ. නඩුව විභාග වෙනවා. නීතිඥ කුමාර් පොන්නම්බලම් මහත්තයා දවසක් බන්ධනාගාරයට ආවා. කොටි සැකකරුවන් බලන්නයි ඔහු ආවේ. ඒ ආපු ගමන් මාව බලන්නත් ආවා. උඹ අපිට පාවා දුන්නා කියා මට හොඳටම බැන්නා. මාව බන්ධනාගාරය ඇතුළේ දීම මරා දමන්න වුණත් පුළුවන් කියා ඔහු මම තර්ජනය කළා. මම හොඳටම බය වුණා. පොලිසියේ තුන් දෙනා හා අනිත් 8 දෙනා ගැන කිව්වේ බොරුවට පොලිසියට කියන බයට කියා දිවුරුම් ප්‍රකාශයක් දෙන්නා කීවා. මම බයටම ඔහුගේ කීමට අනුව දිවුරුම් ප්‍රකාශයක් දුන්නා. අන්න ඒ නිසා තමා අනිත් කට්ටිය උසාවියේදී නිදහස් වුණේ. මම අවුරුදු පහකට හිරේ ගියා. මටත් ඕනෑ තරම් බොරු කියා බේරෙන්න තිබුණා. ඒත් මම අැත්ත කියා උසාවියේදී වරද පිළිගත්තා. අද වුණත් මම මේ කතාව පත්තරේකට කියන්න තීරණය කළේ බෝවල මහත්තයා ෆොන්සේකා මහත්තයා මට මගේ ඕනෑ එපා කම් ගැන හොයා බලා හොඳටම සලකපු නිසා බවද සුරේෂ් කුමාර් කතා බහ නිමා කිරීමට මත්තෙන් අප සමග පවසා සිටියේ සිනාසෙමිනි.   


සුරේෂ් කුමාර්ගෙන් හෙළි කර ගත්ත තොරතුරු මත අපි එදා දමිළ ජාතික පොලිස් උප සේවා කොස්තාපල්වරුන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් නුවරඑළිය පොලිසියේ සේවය කළ අය. මේ තුන් දෙනාගෙන් එක් කොස්තාපල් කෙනෙක් නුවරඑළිය ජනාධිපති මන්දිරයේ ආරක්ෂක රාජකාරියේ යොදවා තිබුණා. මේ කොස්තාපල්වරයා ගරිල්ලා සටන් ක්‍රමය අවි ආයුද පරිහරණය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තිබෙනවා. 1985 වසරේ සිට 1988 වසර දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු කර ඇති මෙම කොස්තාපල් පසුව එල්.ටී.ටී.ඊ. ග්‍රාම නිලධාරියෙක් ලෙස මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ කටයුතු කර තිබෙන අයෙක්. එල්.ටී.ටී.ඊ. නායකයකුව සිව් බාල්රාජ්ගේ උපදෙස් මත ඔහු අපේ පොලිසියට බැඳුණු අයෙක් බව පරීක්ෂණවලින් අනාවරණය විණි යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි ​ෙක්.එම්.එච්.බෝවල මහතා පැවසීය.   


අපි අල්ලා ගත්තු අනෙක් දමිළ කොස්තාපල් 1986 වසරේදී කොටි සංවිධානය යටතේ අවි ආයුධ හා ගරිල්ලා සටන් පුහුණුව ලැබූ අයෙක්. මොහු තිරුක්කෝවිල් කොටි කඳවුරේදී පුහුණුවීම් ලබාගෙන තිබුණා. ඉන්දියන් සාමසාධක හමුදාව අපේ රටට ආවාට පස්සේ මොහු ශ්‍රී ලංකා පොලිසියට බැඳුණු කෙනෙක්. අනෙක් කොස්තාපල්වරයා ද එල්.ටී.ටී.ඊයෙන් පුහුණුව ලබා ඇති බව අප පරීක්ෂණවලින් හෙළි කර ගත්තා. 

 
මේ සැකකාර පොලිස​් කොස්තාපල්වරුන් තුන් දෙනා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන කාලයේ ඔවුන් සමග පුහුණුව ලැබූ අනෙක් කොස්තාපල්වරුන්ට වඩා දස්කම් පෙන්වා තිබෙනවා පොලිස් පුහුණු උපදේශකයන් පවා මොවුන් තිදෙනාගේ දස්කම් අගයා නිතරම කතා කර තිබෙනවා. පුහුණු වෙන සමහර නිලධාරීන්ට මේ දෙමළ පොලිස් කොස්තාපල්වරුන් ආදර්ශයට ගන්නා ලෙස පවසා තිබෙනවා. මේ තුන් දෙනා එල්.ටී.ටී.ඊ.ය යටතේ ගරිල්ලා හා අවි ආයුධ පුහුණුවීම ලබා තිබූ නිසා අනෙක් පුහුණු වන නිලධාරීන්ට වඩා සෑම අවස්ථාවකම ඉදිරියෙන් ඉඳලා. නමුත් මේ බවක් පුහුණු උපදේශකයන් තියා පොලිසියේ වෙන කිසිම කෙනෙක් දැන ගෙන ඉඳලා නැතැයි ද විශ්‍රාමික සහකාර බෝවල මහතා පවසයි.   


මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන සහ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සෑම් සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත නුවරඑළිය කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි ජය ශ්‍රී උඩවත්ත යන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම පරීක්ෂණ සිදුකෙරී ඇත. ​  


මෙම පරීක්ෂණවලට පොලිස් පරීක්ෂක සුනිල් යටවර, පොලිස් පරීක්ෂක විජේරත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක රෆායිවු සහ ​​කොස්තාපල් කමල් (5426) යන මහත්වරුන් ද මුල සිටම මෙම පරීක්ෂණවලට හවුල් වී තිබේ.   

 

 

 

 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූප   
මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රී.