ෆේස්බුක් උපන් හැටි නිර්මාතෘ කතා කරයි


 

  • ෆේස්බුක් ජාලයට එරෙහිව ඇමෙරිකා රජයේ විමර්ශන

 

මාර්ක් සකර්බර්ග් අප කවුරුත් හොඳින් හඳුනන්නේ ෆේස්බුක් නිර්මාතෘවරයා ලෙසය. 1984 මැයි 14 වැනිදා උපන් 36 හැවිරිදි සකර්බර්ග් ඇමෙරිකානු පරිගණක ක්‍රමලේඛකයෙකි. අන්තර්ජාල ව්‍යවසායකයෙකි. ෆේස්බුක් පමණක් නොවෙයි, වර්තමානයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ලෙස සැලකෙන ඉන්ස්ටග්‍රෑම්, වොට්ස්ඇප් පමණක් නොව අපට වැඩිය හුරුපුරුදු නැති ඔකලස් සමාගමේ ද හිමිකාරීත්වය ඇත්තේ ෆේස්බුක් සතුවය. පසුගිය වසරේ, එනම් 2019 මාර්තු 6 වැනිදා සකර්බර්ග් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. 


ඒ, තමන් යටතේ ඇති ෆේස්බුක් පමණක් නොව, ඉන්ස්ටග්‍රෑම් සහ වොට්ස්අප් ඇතුළු සියලු‍ සමාජ මාධ්‍ය නව මඟකට යොමු කරමින්, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ (පරිශීලකයන්) පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවය. එකිනෙකා සමඟ සම්බන්ධ වීමට භාවිත කළ යුත්තේ කුමන ආකාරයේ පණිවුඩ හුවමාරු ක්‍රමවේදයක්දැයි තීරණය කළ යුත්තේ ජනතාව. පණිවුඩ හුවමාරු කර ගැනීමේදී ෆෙක්බුක් සඳහා ඇත්තේ මැසෙන්ජර්. ඉන්ස්ටග්‍රෑම් සඳහා ඩිරෙක්ට්, වොට්ස්ඇප් සඳහා වොට්ස්ඇප්. මේ ඕනෑම එකක්, ඕනෑම කෙනකුට පණිවුඩ හුවමාරු කර ගනිමින් එකිනෙකා සමඟ සම්බන්ධ වෙන්න භාවිතා කරන්න පුළුවන්. ඒ සේරම එක තැනකට ගෙන ඒමයි මගේ බලාපාරොත්තුව වුණේ’ යැයි සකර්බර්ග් පැහැදිලි කළේය. සකර්බර්ග්ට මෙසේ පැහැදිලි කිරීමක් කරන්න සිදුවූයේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ විශ්වාසය කඩ කළේ යැයි ඔහු ප්‍රමුඛ ෆේස්බුක් සමාගමට චෝදනා එල්ල වූ බැවිනි. ඒ සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය විශේෂ විමර්ශනයක් ද සිදු කළේය.


ඉන්ස්ටග්‍රෑම්, වොට්ස්ඇප් සහ ඔකලස් යන සමාගම් ආරම්භ වූයේ ස්වාධීනව, තනි තනියෙනි. ඒවා ෆේස්බුක් ජාලයට සම්බන්ධ වූයේ තක්ෂණික යටතල පහසුකම් අවශ්‍ය වූ බැවිනි. එහෙත් පසුව, එම සමාගම් මිලදී ගැනීමට සකර්බර්ග් පියවර ගත්තේ ය. සකර්බර්ග් සිය අභිමතය පරිදි ලාභ අපේක්ෂාවෙන් තීන්දු තීරණ ගනිද්දී, එම සමාගම් පිහිටුවීමේ පුරෝගාමීහු ඔවුන්ගේ සමාගම් හැර ගියහ. ඉන්ස්ටග්‍රෑම් සහ වොට්ස්ඇප් හරහා සකර්බර්ග්ට ලාභයක් මිසක් පාඩුවක් වූයේ නැත. සකර්බර්ග් තමන්ට රිසි ලෙස ඉන්ස්ටග්‍රෑම් සහ වොට්ස්ඇප් මාධ්‍ය පාලනය කරගෙන යයි. ඔකලස් සම්බන්ධයෙන් සකර්බර්ග් ට ඇත්තේ ලොකු බලාපොරොත්තුවකි. ඔකලස් තවමත් බොහෝ දෙනාට ආගන්තුකය. ඔකලස් යනු වර්චුවල් රියැලටි (පරිගණක හරහා නිර්මණය කෙරෙන කෘත්‍රිම යථාර්ථයක්) සේවාවකි.


ඉන්ස්ටග්‍රෑම් ජනප්‍රියත්වය ෆෙස්බුක් අභිබවා ගියේය. දැන්වීම්කරණය සඳහා විශාල වශයෙන් අවස්ථා ඒ අනුව උදා විය. ආයෝජන වැඩි කර ගැනීමට හැකියාව ලැබුණි. ඉන්ස්ටග්‍රෑම් ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා කෙවින් සිස්ට්‍රෝම් ය. කෙවින් සිස්ට්‍රෝම් ද සකර්බර්ග් සේම දක්ෂයෙකි. එසේ වුවත් ඔහු නිහතමානී, අවංක, කාරුණික තැනැත්තෙකි. 2017 දී, එනම්, ඉන්ස්ටග්‍රෑම් සමාගම ෆෙස්බුක් සමාගමට විකුණා වසර 5 ක් ගතවෙද්දී පවා සිස්ට්‍රෝම්ගේ ස්ථාවරයේ වෙනසක් නොවිණි. තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමට ඔහුට බලය සහ හැකියාව තිබුණි. ‘‘අප ෆේස්බුක් සමඟ එක් වෙද්දී තිබුණු ලොකුම ගැටලු‍ව අපට ස්වාධීනව කටයුතු කරන්න හැකිවේවිද යන්නයි. ඉන්ස්ටග්‍රෑම් ඔබේ දරුවා. ඒ දරුවා හොඳින් බලා ගන්න ඕනෑ. හොඳින් ලොකු මහත් වෙනවා දැකීමයි ලොකුම සතුට. ඉන්ස්ටග්‍රෑම් විශේෂයි. ඉන්ස්ටග්‍රෑම් ගැන විශ්වාසය තැබූ වෙනම පරිශීලකයන් පිරිසක් ඒ වටා එක් රොක් වී සිටිනවා. ඒ නිසා ඉන්ස්ටග්‍රෑම් ලොකු වෙනසකට ලක් කිරීමේ අදහසක් මට කොහෙත්ම තිබුණේ නැහැ’ යැයි සිස්ට්‍රෝම් වරක් පවසා තිබුණි.
සිස්ට්‍රෝම් සහ ඔහුගේ සගයා මයික් ක්‍රීගර්, ඉන්ස්ටග්‍රෑම් නිර්මාණය කළේ වෙනම සමාජ මාධ්‍යයක් ලෙස වුවත්, ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට, ෆේස්බුක් සමාගමේ යටිතල පහසුකම් අවශ්‍ය විය. සකර්බර්ග් මැදිහත් වී, වටිනාකමටත් වඩා වැඩි මුදලක් ගෙවා ඉන්ස්ටග්‍රෑම් මිලදී ගත්තේ ලොකු අරමුණක් ඇතිවය. ෆේස්බුක් ප්‍රධාන තාක්ෂණික නිලධාරී මයික් ස්ක්‍රෝපර් (පසුව මෙම තනතුරට පත් වූයේ ක්‍රිස් කොක්ස්) යටතේ සිස්ට්‍රෝම්, සේවය කළත් ඔහු සකර්බර්ග් සමඟ සෘජුව සම්බන්ධකම් පැවැත්වීය. මාසයකට වරක් හෝ දෙදෙනා එක් වී රෑ කෑම ගත්හ. එය ආයතන ප්‍රධානීන් දෙදෙනකු අතරේ පැවැති හමුවක් නොව, එකම ක්ෂේත්‍රයක සම්බන්ධ බුද්ධිමතුන් දෙදෙනකුගේ සුහද හමුවක් විය.
ඒ සෑම අවස්ථාවකදී ම සකර්බර්ග්, සිස්ට්‍රෝම් ට එක් දෙයක් සහතික විය. ඉන්ස්ටග්‍රෑම් සමාගමේ කටයුතුවලට ඔහු කිසිදු ආකාරයකින් අතපෙවීමක් හෝ මැදිහත් වීමක් හෝ නොකරන බවටය. කෙසේ නමුත්, ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරණය දිගටම සිදුවිය. ෆේස්බුක් ඕනෑවට වඩා දැන්වීම්වලින් පිරී ඇති බවත්, එය පරිශීලකයන්ට බාධාවක් බවත් සිස්ට්‍රෝම්ගේ අදහස විය. ඉන්ස්ටග්‍රෑම් දැන්වීම්වලින් පිරවීමට සිස්ට්‍රෝම් කැමැති වූයේ නැත. ඒ නිසා සීමාවක් යටතේ දැන්වීම් පළ කිරීමට සිස්ට්‍රෝම් කැමැත්ත පළ කර තිබුණි. ෆේස්බුක් දැන්වීම් ප්‍රචාරණය සිදුවූයේ ඇල්ගෝරිදම් හරහා වුවත් ඉන්ස්ට්‍රගෑම් දැන්වීම් පළ වූයේ සිස්ට්‍රෝම් මැදිහත් වී, පළ කිරීමට උචිත යැයි ඔහු විසින් තීරණය කරනු ලැබීමෙන් පසුවය. ඒ අනුව, සුදුසු දැන්වීම් මොනවාදැයි සිස්ට්‍රෝම් තෝරා ඒවාට අත්සන් කළේය. සකර්බර්ක් සහ මාගේ අරමුණ එකයි. ඒත් අප ගමන් කළේ වෙනස් මාර්ග දෙකක.’ යැයි සිස්ට්‍රෝම් පැහැදිලි කර තිබේ. කෙසේ නමුත් 2017 වසර ආරම්භයේ දී අනපේක්ෂිත ආකාරයේ පරිවර්තනයකට මුහුණ දීමට සිදුවේවි, සිස්ට්‍රෝම් හෝ මයික් ක්‍රීගර් හෝ දැන සිටියේ නැත. ඉන්ස්ටග්‍රෑම් වෙනුවෙන් පැවැති නිදහස’ ඔවුන් දෙදෙනාට අහිමි විය. සියල්ල සිදුවූයේ සකර්බර්ග්ගේ අභිමතය පරිදිය. 2018 වනවිට සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රීගර්, ඔවුන් විසින් පිහිටුවූ ඉන්ස්ටග්‍රෑම් සමාගමෙන් ඉවත් වූහ.

 

 


ඔකලස් සහ ෆේස්බුක් එක්වීම අභියෝගාත්මක එකකි. ඔකලස් වර්චුවල් රියැලටි සමාගම එළිදැක්වීම සිදුවූයේ 2012 දීය. සමාගම පිහිටුවීමේ පුරෝගාමීන් වන්නේ බ්‍රෙන්ඩන් ඉරිබේ සහ පාමර් ලකී දෙදෙනාය. ෆේස්බුක් සමාගම ඔකලස් මිලදී ගැනීම සිදුවූයේ 2014 වසරේ දී, ඇමෙරිකන් ඩොලර් බිලියන 2.3 කට ය. ඉන්පසු පාමර් ලකී 2016 දීත්, බ්‍රෙන්ඩන් ඉරිබේ 2018 දීත් ඔකලස් සමාගමෙන් ඉවත් විය. තවත් දශකයකින්, විද්‍යුත් සන්නිවේදන තාක්ෂණයේ පෙරළියක් කළ හැකි බව සකර්බර්ග් අවබෝධකරගෙන සිටින්නේ 2017 වසරේ සිටය. ඔකලස් සමාගම සහ ඔවුන් හඳුන්වා දෙන වර්චුවල් රියැලටි තාක්ෂණය මේ වනවිට ප්‍රචලිතව ඇත්තේ පරිගණක ක්‍රීඩකයන් අතරේ පමණි. එහෙයින් ඔකලස් සමාගම පරිගණක ක්‍රීඩකයන් වෙනුවෙන් දෘඪාංග එළිදක්වන සමාගමකි. ඔකලස් ෆේස්බුක් ට ආගන්තුකය. 2017 වසරේ දී, ඔකලස් සමාගමේ සමුළුවකට එක් වී, මුඛ්‍ය දේශනය කළේ සකර්බර්ග්ය. එහිදී ඔකලස් සමාගම හරහා තමන් දකින අනාගතය සකර්බර්ග් රැස්ව සිටි සැමට පැහැදිලි කළේය. අනාගතයේ ලොව බිලියන අටකට වැඩි පිරිසක් වර්චුවල් රියැලටි තාක්ෂණය භාවිතයට ගනු ඇති බවත් එය ද සාමාර්ට් ෆෝන් මෙන් එදිනෙදා ජීවිතයේ කොටසක් වනු ඇති බවත් සකර්බර්ග් පෙන්වා දුන්නේය. ඔකලස් සමාගමේ ප්‍රධානීන්ට මෙය අලු‍ත් ආරංචියක් වූ බව රහසක් නොවෙයි. ඔකලස් සමාගම සහ සකර්බර්ග්ගේ අනාගත බලාපොරොත්තු සියැටල් හි පිහිටි ඔකලස් සමාගමේ පර් යේෂණ ආයතනය තුළ රැදී පවතී.


වර්චුවල් රියැලටි තාක්ෂණයේ දී, විශේෂිත කණ්ණාඩියක් පැලැඳීම සිදු වෙයි. මෙය සාමාන්‍ය ඇස් කණ්ණාඩි කුට්ටමක් නොව, සම්පූර්ණයෙන් ඇස් ආවරණය වන උපාංගයකි. මෙය කේබලයකින් හෝ වයිෆයි තාක්ෂණයෙන් හෝ බ්ලූටූත් හරහා හෝ ජංගම දුරකතනයකට, පරිගණකයකට සම්බන්ධ වෙයි. ඔකලස් සමාගම අති දක්ෂ විද්‍යාඥයන්ගේ සේවය ලබා ගෙන ඇත්තේ, වර්චුවල් රියැලිටි තාක්ෂණයේ දී මුහුණ දෙන සියලු‍ තාක්ෂණික ගැටලු‍ විසඳමින්, අඩු මුදලට වර්චුවල් රියැලිටි කණ්ණාඩි කුට්ටම් නිර්මාණය කිරීමටය. ඒ අනුව, ඉදිරියේ දී පරිගණක ක්‍රීඩකයන්ට පමණක් නොව, ග්‍රැෆික් නිර්මාණකරුවන්ට ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් සහ ඉක්මණින් කිරීමට ද වර්චුවල් රියැලටි තාක්ෂණය උපකාරී වනු ඇත.ඔකලස් පර් යේෂණ අංශ ප්‍රධානී මයිකල් ඇබ්‍රෑෂ් ට සකර්බර්ග් සිය අනාගත අරමුණ පැහැදිලි කළ අතර, ඇබ්‍රෑෂ් අති දක්ෂ විද්‍යාඥයන් සමාගමට බඳවා ගැනීමට පටන් ගත්තේය. ඇපල් සහ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම්වලින් වර්චුවල් රියැලිටි සම්බන්ධයෙන් තරගයක් පැවැතීම ඊට හේතුවය. ඒ වනවිට ඔකලස් සමාගමේ නිර්මාතෘ පාමර් ලකී, ෆෙස්බුක් සමාගමේ වර්චුවල් රියැලිටි තාක්ෂණය සම්බන්ධ තානාපති ලෙස කටයුතු කරන්න විය. තමන්ට රිසි පරිදි තීන්දු තීරණ ගැනීමේදී සකර්බර්ග්ට ලකී බාධකයක් විය.
පාමර් ලකී, දේශපාලනයට නැඹුරු තැනැත්තෙකි. දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට සහාය දැක්වූ අයකු සේම, කා බී විනෝද වෙමින් පෙම්වතිය සමඟ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට ද හෙතෙම ප්‍රිය කළේය. ලකී දේශප්‍රේමියෙකි. ඔහු ඇමෙරිකන් හමුදාවට ගරු කළේය. ආදරේ කළේය. ඇමෙරිකන් හමුදාව අගය කළේය. ඔකලස් සහ ෆේස්බුක් සමාගම් අතරේ හවුල සිදුවී ටික දිනකට පසු, ඔකලස් සමාගමේ අනෙක් නිර්මාතෘ ඉරිබේට ෆෙස්බුක් කාර්ය මණ්ඩලයෙන් ඇමතුමක් ලැබුණි. ඒ, පාමර් ලකී යුද ටැංකියකින් ෆේස්බුක් කාර්යාලය පිහිටි සරසවි භූමියට ආ බව පවසමිණි. කලබල වූ පිරිස පොලිසියත් කැඳවා තිබුණි. පාමර් ලකී එදා සරසවියට පැමිණ ඇත්තේ ඔහුට අයත් හම්වී වර්ගයේ දැවැන්ත ජිප් රියකිනි. මෙම හම්වී ජිප් ඇමෙරිකන් හමුදාව භාවිතයට ගන්නා ඒවාය. පාමර් ලකීගේ එම හම්වී ජිප් රිය හමුදා සේවයෙන් ඉවත් කළ එකකි. එහි සැබෑ තුවක්කු වෙනුවට සවි කර තිබුණේ ​ෙසල්ලම් තුවක්කුය. ෆෙස්බුක් කාර්ය මණ්ඩලයට හම්වී ජිප් රිය පෙනුනේ යුද ටැංකියක් ලෙසය. ඒ ගැන ඔවුන්ට දොසක් කිව නොහැකිය. ලකී, එහි පැමිණි පොලිස් නිලධාරීන්ට කරුණු කාරණා පැහැදිලි කර දී තත්ත්වය සමථයකට පත් කළා පමණක් නොව, පොලිස් නිලධාරීන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටියේය. කෙසේ නමුත්, මෙම සිදුවීම, පාමර් ලකීට කළු පැල්ලමක් විය.


ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වේවි යැයි රිපබ්ලිකන් පාක්ෂිකයන්ටවත් විශ්වාසයක් තිබුණේ නැත. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව හිලරි ක්ලින්ටන්ය. ඔබාමා ජනපති ධුරය හොබවද්දී, හිලරි ක්ලින්ටන් ඔහුගේ රාජ්‍ය ලේකම්වරිය (ඇමෙරිකාවේ විදෙස් ඇමැති ධුරය) වූවාය. රාජකාරි ඊ මේල් තම පෞද්ගලික ඊ මේල් ගිණුමට ගෙන්වා ගැනීම යන චෝදනා හිලරි ක්ලින්ටන්ට එල්ල විය. ඇගේ පරාජයට හේතුවක් වූයේ එම ඊ මේල් හුටපටයයි. 2016 මැතිවරණයට පෙර, ට්‍රම්ප් ආධාරකරුවන් පිරිසක්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට පාල්මර් ලකී සම්බන්ධ විය. ලකී ඇමෙරිකන් ඩොලර් 10,000 ක මුදලක් ඒ වෙනුවෙන් ලබා දුන්නේ, නිර්ණාමිකවය. ලකීගේ එම මුදල යොදා ගැණුනේ හිලරි ක්ලින්ටන්ට මඩ ගසමින්, පිට්ස්බර්ග් නුවර දැවැන්ත දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමටය. තමන් ඇමෙරිකන් ඩොලර් 10,000 ක මුදලක් එසේ ලබා දුන් බව පසුව අනාවරණය කළේ ද ලකී ය. ඒ, ඩේලි බීස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වූ අවස්ථාවේදීය. කෙසේ හෝ ෆේස්බුක් වත්කම් බිලියන ගණනින් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගත්තැයි 2016 සැප්තැම්බර් 22 වැනිදා වනවිට ලකීට චෝදනා එල්ල වන්න විය.


ෆෙස්බුක් සමාගමේ අප්‍රසාදයට පාමර් ලකී දිනෙන් දින ලක් විය. ඔහු සිය සගයන්ට සිදුවුණේ කුමක්දැයි කරුණු පහදන්න උත්සහ ගත්තත් එය ඵලක් නොවිණි. ඒ වනවිට තෙවැනි පාර්ශ්ව අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ගැරී ජොන්සන්ගේ නම යෝජනා වී තිබුණු අතර, ලකී ෆේස්බුක් ජාලය යොදා ගනිමින් ඔහුට සහාය දෙන බවට ද චෝදනා නැගෙන්න විය. කෙසේ නමුත් ෆේස්බුක් සමාගම, ලකී සේවයෙන් නෙරපා දැමීමක් කළේ නැත. ජනාධිපතිවරණය අවසන් වෙනකල් සහෝදර සේවකයන් සමඟ කතාබහ නොකරන ලෙසත්, සමාජ මාධ්‍ය භාවිතයට නොගන්නා ලෙසත් ෆේස්බුක් සමාගම ලකී ට උපදෙස් දුන්නේය. වාර්ෂිකව පැවැත්වෙන ඔකලස් සමාගමේ ප්‍රධාන සමුළුවට ද පළමු වරට ලකී ට සහභාගීවීමට අවස්ථාවක් ලැබුණේ නැත. ජනාධිපතිවරණය අවසන් වූ පසු තමන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය අවසන් වේවි යැයි ලකී විශ්වාස කළේය. කෙසේ නමුත් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කරද්දී, පාමර් ලකී ට සේවය හැර යෑම හැර වෙන කළ හැකි දෙයක් නොතිබුණි. ඔකලස් සමාගමේ ප්‍රධානියා ලෙස පිටස්තරයෙකු බඳවා ගැනීමට ෆෙස්බුක් සමාගම කටයුතු කළේය.
මේ අතරේ ඔකලස් පර් යේෂකයන්, වර්චුවල් රියැලටි කණ්ණාඩි කුට්ටම් නිර්මාණය කර තිබුණි. මොළයෙන් එන සිතුවිලි (පණිවුඩ) කෙළින්ම පරිගණකයට යොමු කිරීමෙට ස්නායු විද්‍යාඥ කණ්ඩායමක් ද සම්බන්ධ කරවා ගෙන තිබුණි. කී බෝඩයක් හෝ මවුසක් නැතිව, සිතුවිලි හරහා තමන්ට අවශ්‍ය දේ පරිගණකයට උපදෙස් දී කර ගැනීම අරමුණ විය. මේ ගැන මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලැබුණු සෑම අවස්ථාවකම බොහෝ දෙනා කියන්න වූයේ ඔන්න දැන් ඒ ගමන ෆේස්බුක් අපේ මොළයටත් රිංගන්නත් හදනවා’ කියාය. එක්තරා ආකාරයකට එය සත්‍යයකි.


තම සන්තකයට ගත් සියලු‍ සමාගම් එක පාලනයක් යටතට ගැනීමේ දී, වොට්ස්ඇප් ලොකු අභියෝගයක් විය. වොට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය ඔවුන්ගේ සේවාව පරිශීලකයන්ට ලබා දුන්නේ ෆේස්බුක් සමාගම අපේක්ෂා කළ ආකාරයට වඩා වෙනස් අයුරිනි. වොට්ස්ඇප්, ඔවුන්ගේ පරිශීලකයන්ට නිදහසේ එකිනෙකා සමඟ සදම්බන්ධ වීමට අවස්ථාව උදා කර දී තිබුණේ තහංචි කිසිවක් පනවන්නේ නැතිවය. වොට්ස්ඇප් පරිශීලකයන්ට මොබයිල් සේවා සැපැයුම්කරුවන්ගෙන් පමණක් නොව රජයෙන් පවා තහංචි සහ බාධා එල්ල වූයේ නැත. වොට්ස්ඇප් ඔවුන්ගේ පරිශීලකයන්ගේ සියලු‍ පණිවුඩ (මැසේජස්) ඔවුනොවුන්ට පමණක් පෙනෙන සහ කියවිය හැකි අයුරින් නිර්මාණය කර දී තිබුණි. පවුලේ නෑ හිතවතුන් අතරේ, යහළු යෙහෙළියන් අතරේ, ව්‍යාපාරික සගයන් අතරේ පෞද්ගලික මට්ටමින් එකිනෙකා ගැන විශ්වාසය තබා හුවමාරු වුණු පණිවුඩ රජයට පවා කියවිය හැකි වූයේ නැත. තම තමන්ගේ පණිවුවලට රජය කන් දීම වැලැක්වීම වොට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවයේ ප්‍රධාන අරමුණ වූයේ යැයි එය ඒ ආකාරයට නිර්මාණය කළ වොට්ස්ඇප් පිහිටුවීමෙහිලා පුරෝගාමියකු වන බ්‍රයන් ඇක්ෂන් පැහැදිලි කර දී ඇත. වොට්ස්ඇප් එළිදැක්වීම සිදුවූයේ 2009 දීය. ඒ, බ්‍රයන් ඇක්ෂන් සහ ජැන්කෝම්ගේ එකමුතුවෙනි.
ඇක්ෂන්, 2013 දී වොට්ස්ඇප් පණිවුඩ හුවමාරු සඳහා මුල සිට අග දක්වා දත්ත කේතවලට හරවා සැඟවීමේ ක්‍රමයක් නිර්මාණය කෙරුණි. ඩිජිටල් යුගයේ සමාජ මාධ්‍යවලට සම්බන්ධ අප කාගේත් පෞද්ගලිකත්වය ආරක්ෂා විය යුතු බව තරයේ විශ්වාස කරන ප්‍රකට මානව ක්‍රියාකාරිකයකු මෙන්ම දත්ත සැගවීම සහ කේත නිර්මාණයේ දක්ෂයකු ද වන මොක්සි මර්ලින්ස්පයික්ගේ සහාය ඇක්ෂන්ට හිමිවිය. මර්ලින්ස්පයික්ට අනුග්‍රාහකයන් බොහෝ දෙනකු සිටි අතර, වොට්ස්ඇප් වෙනුවෙන් ටෙක්ස්ට්සෝස් නිර්මාණයට සහාය ලැබා ගැණුනේ මර්ලින්ස්පයික්ගෙනි. මෙම ක්‍රමය හරහා දෙදෙනකු අතරේ පණිවුඩ හුවමාරුවක් සිදුවන්නේ නම්, එම පණිවුඩ ඔවුන් දෙදෙනාට හැර වෙන කිසිවකුට දකින්න ලැබෙන්නේ නැත. දකින්න ලැබෙන්නේ අපැහැදිලි සංකේත කීපයක් පමණි. මෙහි ඇති වාසිය වන්නේ, රහසේ ඔත්තු බලන්නන්ට, දික්කසාද නීතීඥවරුන්ට, පරිගණක දත්ත සොරුන් නැතහොත් හැකර්වරුන්ට මෙම පණිවුඩ කියවන්න නොලැබීමය. එපමණක් නොවෙයි, ෆෙස්බුක්ට පවා මෙම පණිවුඩ කියවිය නොහැකිය.


ෆෙස්බුක්, වොට්ස්ඇප් මිලදී ගැනීම සිදුවූයේ 2014 දීය. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක මුදලකටය. තමන් වොට්ස්ඇප් පණිවුඩ හුවමාරු සඳහා මුල සිට අග දක්වා දත්ත කේතවලට හරවා සැඟවීමේ ක්‍රමයක් සකස් කර ඇති බව ඇක්ෂන්, සකර්බර්ග්ට පැහැදිලි කළේය. හරි, ඔයාලා ඔයාලට කැමැති දෙයක් කරන්න. මට කමක් නැහැ’ සකර්බර්ග්ගේ පිළිතුර විය. 2017 වෙද්දී, සකර්බර්ගේ අදහස වෙනස් විය. ඒ, ෆෙස්බුක් හා සම්බන්ධ වොට්ස්ඇප් ඇතුළු සෙසු සමාජ මාධ්‍ය, මුදල් ඉපැයීමට මුල් තැන දී, පුද්ගලයන් පුද්ගලයන් අතරේ පමණක් නොව, ව්‍යාපාරිකයන් සහ සේවාදායකයන් අතරේ සම්බන්ධ කරමින් වෙනස් කිරීමය. මේ වනවිට ෆේස්බුක් මැසෙන්ජර් මෙම නව මඟට යොමු කර තිබුණි. මාර්ක් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කරන්න වුණා. මුල සිට අග දක්වා දත්ත කේතවලට හරවා සැඟවීමේ ක්‍රමයක් තිබුණොත් අපට මුදල් හම්බ කරන්න වෙන්නේ නැහැ නේද ඔහු අපෙන් විමසන්න වුණා’ ඇක්ෂන් අතීත සිදුවීම් සිහිපත් කරමින් පවසා තිබේ. ගැටලු‍ව ව්‍යාපාර සහ සේවාදායකයන් අත​රේ ගැටලු‍වක් නොවිණි. සැබෑ හේතුව මෙයයි. හුවමාරු වන පණිවුඩ ස්කෑන් කිරීම ෆේස්බුක්ට නොහැකි වීම එම හේතුවය. හුවමාරු වන පණිවුඩවල ඇත්තේ මොනවාදැයි බලා, පරිශීලකයන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම ෆේස්බුක් අරමුණ විය. එපමණක් නොවෙයි, දැන්වීම් සහ දැන්වීම් සඳහා ඇඩ්ඔන් සේවා සඳහා පරිශීලකයන් තෝරා ගැනීමට ෆෙස්බුක් උනන්දු විය. දැන්වීම් වැඩිවීම, වැඩි ලාභයකි.


වොට්ස්ඇප් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු සේවා සඳහා දිගටම කේත ක්‍රමය යොදා කටයුතු කිරීම, මුදල් ඉපැයීමට බාධාවක් විය. ඇක්ෂන් සහ කෝම් දෛනා එක් වී, වොට්ස්ඇප් නිර්මාණය කළේ එය හාත්පසින්ම ෆේස්බුක් ජාලයෙන් වෙනස් වන ආකාරයටය. ෆේස්බුක් සිය පරිශීලකයන්ගේ දත්ත රැස් කළත්, වොට්ස්ඇප් එසේ දත්ත රැස් කිරීමක් කළේ නැත. වොට්ස්ඇප් සිය පරිශීලකයන් හඳුනා ගැනීම සිදු කළේ ඔවුන්ගේ දුරකතන අංකය හරහා පමණි. වොට්ස්ඇප් සමාගම ෆේස්බුක් සමාගමට විකිණීම සිදු කළ අවස්ථාවේදී ඇක්ෂන් සහ කෝම් දෙදෙනා වොට්ස්ඇප් පරිශීලකයන්ට සහතිකයක් දුන්නේය. ඒ, වොට්ස්ඇප් ක්‍රියාත්මක වන ආකාරය කිසිසේත් වෙනස් නොකරන බවටය. ‘ඔබේ පෞද්ගලිකත්වය සුරැකීම අපේ ඩීඑන්ඒවලට කා වැදී තිබෙනවා. වොට්ස්ඇප් හා සම්බන්ධ වන ඔබට ඔබේ නම අපට කියන්න ඕනෑ නැහැ. අප ඔබේ ඊ මේල් ලිපිනය ඉල්ලන්නේ නැහැ. ඔබේ උපන් දිනය අහන්නේ නැහැ. ඔබේ නිවසේ ලිපිනය අප දන්නේ නැහැ. ඔබ වැඩ කරන්නේ කොහෙදැයි අපට දැනගන්න ඕනෑ වෙන්නේ නැහැ. ඔබ අන්තර් ජාලයට පිවිසී නරඹන්නේ මොනවාදැයි අප සොයන්නේ නැහැ. මේ කිසිදු තොරතුරක් වොට්ස්ඇප් එක්රැස් කර ගබඩා කර ගන්නේ නැහැ. මෙයයි අපේ ප්‍රතිපත්තිය. ඉදිරියටත් අප අපේ මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ’ යැයි ඇක්ෂන් සහ කෝම් දුන් සහතිකය මෙයයි.


මුලදී මොනවා කීවත්, ඩොලර් බිලියන 20 ක මුදලකට වොට්ස්ඇප් මිලදී ගැනීමෙන් පසු, සකර්බර්ග් එයින් ලාභයක් අපේක්ෂා කළේය. 2016 දී හිමිකාරීත්ව බලය සහ අභිමතය අනුව ක්‍රියා කරමින්, වොට්ස්ඇප් හි දත්ත අනෙකුත් සේවාවන් සඳහා භාවිත කිරිමට අවසානයේ දී සකර්බර්ග් තීරණය කළේය. ඒ අනුව, පළමුවෙන්ම සිදුවූයේ වොට්ස්ඇප් සඳහා වොට්ස්ඇප් පරිශීලකයන් ලබා දී ඇති ඔවුන්ගේ දුරකතන අංක ෆේස්බුක් දත්ත ගබඩාවට ඇතුළත් කිරීමය. ඒ හරහා පරිශීලකයන්ගේ සෙසු දත්ත රැස් කිරීම ඇරැඹිණි. මෙසේ කිරීමට වොට්ස්ඇප් පරිශීලකයන්ගේ කැමැත්ත ලබා ගැනීම කළ යුතු විය. වොට්ස්ඇප් හරහා දීර්ඝ, කියවීමට වෙහෙසකර ලියවිල්ලක් ඉදිරිපත් කෙරුණි. එය කියවීමට කම්මැලි බොහෝ දෙනා ‘මම එකඟයි’ යනුවෙන් බොතත්ම තද කළේ සිදුවන්නේ කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොමැතිවය. 2016 අගෝස්තු 25 වැනිදා ඇක්ෂන් සහ කෝම් දෙදෙනාගේ අත්සනින් යුත් ලියවිල්ලක් වොට්ස්ඇප් බ්ලොගයේ ප්‍රසිද්ධියට පත් කෙරුණි. එය, තමන්ගේ පාලනයෙන් තොරව සිදුවුණු එම ‘තොරතුරු හා දත්ත රැස් කිරීම’ සම්බන්ධයෙන් කාගේවත් හිත් නොරිදෙන අයුරින් කළ පැහැදිලි කිරීමක් විය. ‘ඔබේ දුරකතන අංකය ෆේස්බුක් හරහා සම්බන්ධ කිරීමෙන් ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීම අපේ අරමුණයි. ෆේස්බුක් ඔබට ගැලපෙන මිතුරු මිතුරියන් සොයා දීම සිදු කරාවි. ඔබට අවශ්‍ය දැන්වීම් මොනවාදැයි පෙන්වා දේවි’ යනුවෙන් එහි සඳහන් විය.


2017 ආරම්භයේ දී, වොට්ස්ඇප් කාර්යාලය ෆේස්බුක් කාර්යාලය පිහිටි මෙන්ලෝ සරසවි භූමියට ගෙන ඒමට පියවර ගත්තේ බලෙනි. වොට්ස්ඇප් කාර්යාලය පවත්වාගෙන යනු ලැබූ ස්ථානය වෙනුවෙන් ඒවනවිට ඇක්ෂන් සහ කෝම් තවත් වසර දෙකක කුලිය ලබා දී තිබුණි. ඔවුන් ඒ බව සකර්බර්ග්ට පැහැදිලි කළ නමුත් සකර්බර්ග්ට ඒ ගැන තැකීමක් නොතිබුණි. ඇක්ෂන් සහ කෝම් අකමැති වුවත්, වොට්ස්ඇප් කාර්යාලය මෙන්ලෝ සරසවි භූමියට මාරු කෙරුණි. ඇක්ෂන් සහ සකර්බර්ග් අතරේ ලොකු හිතවත්කමක් තිබුණේ නැත. ‘සකර්බර්ග්ගේ නිවස ඇත්තේ මගේ නිවස ළඟ. ඒත් සකර්බර්ග් සුහදව කතාබහ කරන්න කැමැති කෙනෙක් නොවෙයි. මිනිසුන් ඈතින් ආශ්‍රය කරන්නයි එයා කැමැති’ ඇක්ෂන්, සකර්බර්ග් ගැන මෙසේ පවසා තිබේ.


2017 වසර මැද වනවිට ඇක්ෂන්, අවස්ථා ගණනාවකදී කෝම් හමුවීමට ගියේය. සකර්බර් ගන්නා තීන්දු තීරණ හේතුවෙන් කෝම් ද සිටියේ කලකිරීමෙනි. ‘මට මේක තවත් ඉවසන් ඉන්න බැහැ. මං අස්වෙනවා.’ යැයි ඇක්ෂන් එම අවස්ථාවේදී කෝම් ට පැවැසීය. ඇක්ෂන් යෝජනා කළේ ඔහු සහ කෝම් දෙදෙනා එකට ඉල්ලා අස්විය යුතු බවය. එහෙත්, දැන්ම ඉල්ලා අස්වීමට කැමැත්තක් කොම් තුළ නොතිබුණි. දිගටම සාකච්ඡා පවත්වා, අවසානයේ වොට්ස්ඇප් වෙනුවෙන් ලබා ගත හැකි වැඩිම මුදල ලබා ගෙන ඉවත් වීම කොම්ගේ අරමුණ වී තිබුණි. ඒ වනවිට කොම්ට පමණක් ඇමෙරිකන් ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් හිමිවිය යුතුව තිබුණි. ඇක්ෂන්ට තවත් බලා සිටිය නොහැකි විය. තමන් සමාගමෙන් ඉවත් වෙනවා යැයි ඇක්ෂන්, සකර්බර්ග්ට පැවැසුවේය. ඒ වනවිට ඇක්ෂන්ට ද ඩොලර් බිලියන ගණනක මුදලක් හිමිවිය යුතුව තිබුණි.

 


මතු සම්බන්ධයි....

 

ලුසිත ජයමාන්න
‘ද ග්‍රෑන්ඩ් මාස්ටර්’ සිරස්තරලය යටතේ
‘ද සන්ඩේ ටයිම්ස් මැගසින්’ සඟරාවේ
පළවුණු විශේෂාංගයක් ඇසුරිනි