හිටිහැටියේ අතුරුදන් වෙන ඔරෙගන් විල



ඇමෙරිකාවේ ඔරෙගන් ජනපදයේ අංක 20 අධිවේගී මාර්ගය වැටී ඇත්තේ සුන්දර විලක් අසලිනි.  මේ විල සුන්දර මෙන්ම ඉතා සාමකාමීය. ගිම්හානයට උණුසුම් ජලයෙන් පිරි මේ විල මුළු ඔරෙගන් ජනපදයම ප්‍රබෝධමත් කරන බව ජනපද වැසියෝ පවසති. එහෙත් ශීත සෘතුව උදා වෙද්දී මේ විල අතුරුදන් වෙයි. විලේ වතුර හිටිහැටියේ අබිරහස් ලෙස අතුරුදන් වී මඩ පිරුණු කර්කෂ විල් පතුල පමණක් දකින්න ලැබේ. 

 

 

හිටිහැටියේ අතුරුදන් වන මෙම විල ඔරෙගන් වැසියන් හඳුන්වන්නේ ‘අහිමි විල’ (ලොස්ට් ලේක්) යනුවෙනි. විල එකවර සිඳී යන්නේ කොසේදැයි යන්න ශතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වී ඇත. 

විල පිහිටා ඇත්තේ විලාමේට් ජාතික වනාන්තරය කේන්ද්‍ර කර ගනිමිනි. විලාමේට් වනාන්තරයේ වන අඩවි නිලධාරිනියක වන ජූඩි මැක්හියු පවසන්නේ විලේ එක් කොනක සිදුරක් ඇති බවත්, වතුර හිස් වෙන්නේ මේ සිදුර නිසා බවත්ය. මේ සිදුර විල ආරම්භයේ පටන් තිබෙන්න ඇතැයි ද ඇය පැහැදිලි කරයි. වතුර හිටිහැටියේ අතුරුදන් වී විල සිඳී යන්නේ එහෙයින් යැයි බොහෝ දෙනා පවසති.


ඇමෙරිකන් භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ විල පිහිටි භූමිය යමහල් ස්ථරයකට ඉහළින් පිහිටා ඇති බවත්, විලේ ඇති සිදුර ලාවා ඉහළට මතුවීම නිසා නිර්මාණය වූවක් බවත්ය. විල එක රැයින් හිස් වන්නේ ජලය ඉක්මනින් උරා ගන්නා නිසා බවත් පැවැසෙයි. එසේ උරා ගන්නා මහා ජල කඳ යන්නේ කොහෙටදැයි යන්න පැහැදිලි කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී නැත.


විල සිඳී යෑමෙන් පසු පතුලේ නොයෙක් නොයෙක් අපූරු දේවල් දකින්න ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති. ඒවා අතර වාහන කොටස්, ඇන්ජින් ද තිබෙන බව ඔවුහු කියති. විලේ ඇති මෙම සිදුර වසා දැමීමට සූදානම් වුවත්, එසේ කිරීමෙන් ඔරෙගන් ප්‍රාන්තය ජලයෙන් යටවීමේ අවදානමක් හටගනීවි යැයි බියක් පළ වී තිබේ. ‘සිදුර සාර්ථකව වසා දමන්න පුළුවන් වේවි යැයි මං හිතන්නේ නැහැ. පුළුවන් වුණොත්, පළාත යටවීමේ අවදානමක් තියෙනවා. අවට මාර්ග සියල්ල යට වෙන්න පුළුවන්.’ යැයි ජූඩි මැක්හියු පැහැදිලි කරන්නීය.


 

 

 

 

ලු‍සිත ජයමාන්න
ෙඩ්ලිමේල් ඇසුරිනි.