හඳේ ගෙවල් හදන්න සූදානම්


 

 

  • මාසික කුලිය රුපියල් ලක්ෂ 65ක්!  

 

සඳ මත වාසයට ඇමෙරිකාව සූදානම්. ඒ සඳහා මඟ පෙන්වන විස්තර පත්‍රිකා පවා මේ වනවිටත් මුද්‍රණය කර බෙදාහැරීම් ආරම්භ කර අවසන්. මාසයක් නවතින්න යනවා නම් ඔබට නිවාස කුලිය වශයෙන් මසකට ඇමෙරිකන් ඩොලර් 3,25,067ක් එනම් රුපියල් 65 ලක්ෂයක් වැය කරන්න වේවි. අතමිට සරු නම් ඒක සැබැවින්ම අපූරු අත්දැකීමක් වේවි‍. වායුගෝලයක් නැති සඳට ඇති ලොකු අනතුරක් වන්නේ උල්කාශ්මය. එහෙයින් උල්කාශ්මවලින් ආරක්ෂා වීමට චන්ද්‍ර නිවාස විශේෂ ක්‍රමවේදයකට, ශක්තිමත්ව ඉදිකෙරේවි. 


සැලසුම් කර ඇති පරිදි පළමු නිවාසය ඉදිකිරීමට, ඇමෙරිකන් ඩොලර් මිලියන 40කටත් (රුපියල් කෝටි 800ක්) වඩා වැය වනු ඇති බව පැවැසෙයි. ඉන්පසු කරන ඉදිකිරීම්වලට එතරම් මුදලක් වැය නොවනු ඇත‍. ඊට හේතුව ඒ වනවිට, ඉදිකිරීම්වලට අවශ්‍ය සියලු‍ අමුද්‍රව්‍ය සඳට ගෙන ගොස් තිබෙනු ඇත. සඳේ මේ අයුරින් නිවාස ඉදිවී ජනාවාස බිහිවනු ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ මීළඟ චන්ද්‍ර මෙහෙයුමෙන් පසුවය. නාසා ආයතනය යළි මිනිසුන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ ආටිමීස් මෙහෙයුම යටතේය. විශේෂත්වය වන්නේ පිරිමියකු මෙන්ම ගැහැනියක ද සඳට යැවීමට නාසා සැලැසුම් කර තිබීය. ඒ අනුව, සඳට පය තබන ලොව පළමු කාන්තාව වනු ඇත්තේ ඇයයි. 


නාසා ආයතනය ආටිමීස් මෙහෙයුම සැලැසුම් කර ඇත්තේ 2024 දීය. එම මෙහෙයුම යටතේ සඳට යන ගඟනගාමීන් එසේත් නැති නම් චන්ද්‍රගාමීන් පිරිස සඳේ ජනාවාස පිහිටුවීමට සුදුසු තැන් සොයා බලනු ඇත. සඳ සැලකෙන්නේ පෘථිවියේ ස්වභාවික චන්ද්‍රිකාව ලෙසය‍. ස්වභාවික චන්ද්‍රිකාව මත මිනිසා ජනාවාස පිහිටුවීම සහ ඉන්පසු සඳ මතුපිට ජීවිත සම්බන්ධයෙන් ඇමෙරිකාවේත් ලෝකයේත් ප්‍රධාන පෙළේ සමාගම් රැසක් උනන්දු වන බව පැහැදිලිය. එක්සත් රාජධානියේ මනී.කෝ.යූ.කේ. වෙබ් අඩවිය පිහිටුවා ඇත්තේ සඳ මත ජීවිතය සඳහා යන වියදම් තක්සේරු කිරීමටය. සඳේ පදිංචිය තෝරා ගන්නා පිරිස් මෙම වෙබ් අඩවිය මගින් දැනුවත් කෙරේ. 


මෙම වෙබ් අඩවිය හරහා පළමුවෙන් සිදුවූයේ සඳෙහි නිවාස ඉදිකිරීමේ දී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් විමසා බැලීමකි. නිවාස ඉදිකිරීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය, අවශ්‍ය ඉදිකිරීම් සේවකයන් සඳට රැ‌ගෙන යෑම ආදිය විමසා බැලීම් සිදුවිය. ඉදිකිරීම් සඳහා අවශ්‍ය විශේෂ අමුද්‍රව්‍ය මොනවාදැයි තීරණය කෙරුණි. 


සඳ මතුපිට ඉදිකිරීම් සඳහා, පෘථිවියේ සිට හඳට භාණ්ඩ ප්‍රවාහනයට වන වැය ගැන තොරතුරු මෙම වෙබ් අඩවිය ලබාගෙන ඇත්තේ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනයෙනි. අභ්‍යවකාශ ගමන් බිමන් පෞද්ගලීකරණය කර ඇත්තේ මෙම ස්පේස් එක්ස් ආයතනයයි. මනී.කෝ.යූ.කේ. වෙබ් අඩවිය පිරිවැය දී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනයට රාත්තල් බර අනුවය. ඒ අනුව බලන විට සඳ මත තැනෙන මුල්ම අංගසම්පූර්ණ නිවස ඉදිකරන්නට ඩොලර් 48,454,063ක මුදලක් (රුපියල්වලින් නම් කෝටි 96ක් පමණ) වැය වෙයි. එම මුදල මිහිමත නිවසක් ඉදිකරන්නට යන මුදල සමඟ සංසන්දනය කරද්දී අතිවිශාල වියදමකි. එහෙත්, ඉන්පසු තනන ගෙවල් සඳහා වැය වන වියදම ඩොලර් 40,662,642ක් දක්වා අඩු වනු ඇත. ඒ වනවිට අමුද්‍රව්‍ය හා ශ්‍රමය එහි ගෙන ගොස් අවසන් නිසා යැයි වෙබ් අඩවිය පැහැදිලි කර තිබේ. 


සඳ මත ජීවත්වීමේ දී ඊට ආවේණික ජීවන රටාවක්, ශෛලියක් ද ඇත. එහි ජීවත්වීමේ දී එහි ඇති ආන්තික තත්ත්වයන් නිසා වැඩිපුර අවශ්‍ය වන්නේ බලශක්තියයි. ඒ නිසා විකල්ප භාවිතයන් කිහිපයක් යෝජනා කෙරේ. එයින් වඩාත්ම කාර්යක්ෂම බලශක්ති සැපැයුම වන්නේ න්‍යෂ්ටික බලශක්තියයි. ඒ සඳහා කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අවශ්‍ය වෙයි. එවැන්නක මිල ඩොලර් බිලියන 1.3ක් පමණය. මෙය නිවාස කිහිපයක් සඳහා යොදාගත හැකිය. විකල්පයක් වශයෙන් සූර්ය බලය භාවිතයට ගත හැකි වන අතර, එක නිවසකට සූර්ය පැනල 34ක් අවශ්‍ය වෙයි. ඒ අනුව නිවසකට යන වියදම ඩොලර් 23,616කි. 

 


සඳට ගියාට පස්සේ එහි නිවැසියන්ට එහි ජීවත්වීමේ දී තමනට අවශ්‍ය ආහාර වවාගැනීම කළ යුතු වෙයි. සාමාන්‍යයෙන් හතරදෙනකු ඉන්නා නිවසකට නම් හරිතාගාර හතක් අවශ්‍ය වෙයි. එවිට ආහාර ටොන් 1.1ක් නිපදවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. වගා කිරීම් සඳහා විශාල ජලය ප්‍රමාණයක් ද අවශ්‍ය වෙයි. 


සඳ මතුපිට හිරු එළිය වැටෙන පැත්තේ ජල අංශු ඇති බව නාසා ආයතනය පසුගිය වසරේ තහවුරු කළේය‍. 


එහෙත් එම අංශු චන්ද්‍රගාමීන්ට ප්‍රයෝජනයක් නොවනු ඇත. එක් නිවසක් සඳහා වසරකට ජලය ටොන් 5.9ක් අවශ්‍ය වෙයි. වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට, ජල අවශ්‍යතා සපුරා ගැනීමට නම් සියලු‍ම අපජලය (මුත්‍ර පවා) නැවත ප්‍රතිචක්‍රීකරණය කරගන්නට සිදුවේවි. 


සඳෙහි හීලියම් 3 මූලද්‍රව්‍ය ඇති බව චීනයේ ගවේෂණවලින් හෙළි වී ඇති බැවින් එය නිවාසවලට විදුලිය ලබාදීමට මේ හීලියම් 3 භාවිත කළ හැකි බව පැවැසෙයි. සඳෙහි ජීවත්වීමට යන පිරිවැය ගණනය කළාට පසු ඊළඟට සිදු කෙරෙන්නේ ජනාවාස පිහිටුවීමට සුදුසු බිම් ප්‍රදේශ තෝරා ගැනීමය. අපේක්ෂා කර ඇති පරිදි ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සී ඔෆ් රේන්ස් හා මාරේ ඉම්බ්‍රියම් යන සඳ මතුපිට ඇති ප්‍රදේශ යැයි ද පැවැසෙයි.

 

 

ලු‍සිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි