සුදු ආණ්ඩුවෙන් රාජ පහිංඩ ලද අවසාන වෙල් මුලාදෑනියා


 

බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයෙහි පැවැති යම් යම්  “රාජ පහිංඩයන්” පිළිබඳව අපට ඇත්තේ කිසියම් මතකයක් පමණි. බොහෝ විට වත්මන්  තරුණ පරපුර ඒ පිළිබඳව කරුණු කාරණා දන්නේම නැති තරම්ය. එම යුගයෙහි රාජ්‍ය පහිංඩයන් සේ ගරු ගාම්භීරව   පැවැති  තනතුරු උනේ. “ආරච්චිල”  හෙවත්   ගම් මුළාදැනි, “කෝරළේ” හෙවත් කෝරාළ මහත්මයා ‘රටේ උන්නැහේ’ හෙවත් රටේ මහත්මයා ආදී චරිතය.


බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයෙහි සුදු ජාතී පාලකයින් හා ගැටෙමින් රාජ පහිංඩයක් කරමින් අද වන විට “එකසිය එක්වන” (101) වියෙහි පසුවන එදා ගරු ගාම්භීර වු “වෙල් මුලාදෑනි” තනතුරක් හෙබවු අපුරු යුග පුරුෂයෙකු පිළිබඳව ලද හෝඩුවාවකින් අපි ඔහු සොයා ගියෙමු. යටගිය යුගයෙහි ‘ගම් මුලාදෑනි’ තනතුරට පහළින් වු එම පහිංඩය ග්‍රාමීය ගොවිතැන හා ආශ්‍රිත කටයුතු වෙනුවෙන් නිර්මාණය  වුවකි. මෙම රාජ පහිංඩයෙහි සේවය කරමින් තවමත් නිදුක් නිරෝගිව ජීවත්වන ඔහු නමින් “වාසල මුදියන්සේලාගේ මුදියන්සේය.” නැතහොත් “ඩබ්ලිව්.එම්. මුදියන්සේ වෙල් මුලාදැනි මහතාය.” නිකවැරටිය මැතිවරණ බල ප්‍රදේශයට අයත් කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි “මහගිරිල්ල” නම් සුන්දර ගම් පියස ඔහුගේ නිජබිමයි. 


මහගිරිල්ලේ මුදියන්සේ වෙල් මුලාදෑනි මහතා ඉපදී ඇත්තේ වර්‍ෂ 1917 ජනාවරි 07 වැනි දිනයේ බව ඔහුගේ ජාතික හැඳුනුම්පතෙහි දැක්වෙයි. ඒ අනුව මෙම 2017 ජනවාරි 07 වැනි දිනට ඔහු සිය 100 වැනි උපන් දිනය සම්පූර්ණ කළේය. දැනට පෙනීමේ සහ ඇසීමේ පුංචි අපහසුවක් ඇතත් ඔහුට ඇත්තේ පුදුම මතක ශක්තියකි. ගතින් දුබල වුවද ඔහුගේ හිත නම් තවමත් තරුණය. නිරෝගීය. යෑම් ඊම්  කළ නොහැකි වුව කතා බහට නම් ඔහු චතුරය. අසා සිටින්නට ප්‍රියය.


 “පුතේ...? අපි පුංචි සන්දියේ අපේ ගම් පළාත එකම වනාන්තරයක්...? ගමකින් ගමකට යන්න තිබුණේ පුංචි අඩිපාරක් විතරමයි. තිබුණ එකම වාහනේ ගොන් කරත්ත විතරයි. රාජ පහිංඩ කරපු අයට ගමන් කරන්න බක්කි කරත්ත තිබුණා. ගම් වල තිබුණේ බර කරත්ත බරබාග කරත්ත විතරමයි. ඒකත් ඇති හැකි උදවියටනේ. කෝකටත් ඒ කාලේ කරත්තයක් තියනවා කියන්නේ අද කාලේ නම් බස් එකක් තියනවා වගේ එහෙම වුණත් බොහෝ අය ආවේ ගියේ පයින්මයි... පාරවල් තිබුණෙත් බඩවැටි, වෙල් ඇළවල් හරහා අමාරු ගමනක්...?


එතකොට ඒ කාළේ ඉගෙන ගත්තේ කොහොමද..?
මම ඉස්කෝලේ ගියේ දැන් ඔය මධ්‍ය මහා විද්‍යාලයක් වෙලා තියන “ගිරිඋල්ල” මිශ්‍ර පාඨශාලාවට. පිරිමි ළමයි ටිකයි. ගෑණු ළමයි දෙතුන් දෙනායි හිටියේ. ඒ කාලේ ගෑණු ළමයි ඉස්කෝලේ ගියේ නෑ. හුඟාක්ම ඇඳගෙන යන්න ඇඳුම් නෑ. අපි ඉස්කෝලෙට ගියෙත් පුංචි සරම් කොටයක් ඇඳගෙන. උඩුකයට මුකුත්ම නෑ. ගෙදරදි අපි ඇන්දේ අමුඩ කෑල්ලක් විතරමයි ඒ තරම් අහේනිය. ඒ සරම් කෑල්ලටත් සිළිමක් දෙකක් වියදම් වෙනවා ඒ කීවේ ශත 50ක්. රුපියලක්.? ඒකවත් අපට නැ. හරිම හිගයි. ඒ නිසාම හුගාක් අයගේ ඉස්කෝලෙ ගමන නතර වෙනවා. ඉස්කෝලෙ ගියත් උගන්වන්න ගුරුවරු නෑ. ඉන්න ගුරුවරු පාඩම් කියලා දෙන්න දන්නෙත් නෑ. බොහොමයක් ප්‍රධාන ගුරුවරයා තමා කියලා දෙන්නේ. මොන අඩුපාඩු තිබුණත් මම බඩගින්නේ හරි පාඨශාලාව හැරයාමේ පන්තියට යනකම්ම ගියා. ඒ, 8 පන්තියට


“ඒ කාළේ ඉස්කෝලවල ජාතික ගී එහෙම තිබුණද.?
මොන පිස්සුද.? ඒ කාලේ තිබුණා එක ගීතයක්. ඉස්කෝලේ පටන් ගන්න ඉස්සර ඒක කියනව මෙහෙම. ඒකෙන් කියවුණේ

එංගලන්තයේ ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගේ ගුණ.?
“අපේ ඒ නරනා - ලන්ඩන් නුවර වැජඹෙනා...


...පස්වන ජෝර්ජ් මහරජ - මේරි මෙහෙසිය හා යෙහෙන් සැරදේ... 
“මම ඉගෙන ගන්න කාලේ හරිම දස්සයා? ඒ වුණාට දිගින් දිගටම යන්න බැරි වුණානේ. ඊට පස්සේ ඔන්න ඔහේ හේනක් කොටාගෙන කුඹුරක් කරගෙන ගමේ පොදු වැඩවලටත් උදව් පදව් වෙලා සංවිධානය කරලා කටයුතු කරපු නිසාම ගමේ උදවිය අතර ජනප්‍රිය වුණා. කව්රුත් මට ආදරේ කළා. මම කවදාවත් වැරදිවලට එහෙම පෙළඹුණේ නැහැ. එදා ඉඳලාම ‘පින් වැඩ’ වලටයි මුල්තැන.” 


“ඔන්න ඔහොම ඉන්න අතරේ මට වයස අවුරුදු 16ක් 17ක් ඇති. කොහොමටත් 1932 අවුරුද්දේ.? කුරුණෑගල කච්චේරියේ වැඩකරපු ලොකු මුලාදැනි මහත්මයෙකු හිටියා “මොන්නෑකුලම උන්නැහේ” කියලා එතුමා දවසක් අපේ ගමට (මහ ගිරිල්ලට)  ඇවිත් අබලන් වැව්, ඇළ, වේලි අලුත් වැඩියා කරන්න පරීක්ෂාවකට ඇවිත් යනගමන් ගමේ උදවියගෙන් ඇහුවා මේ වැඩ පළවල් බලාගන්න දක්ස කෙනෙක් මේ ගමේ ඉන්නවද කියලා.? ගමේ උදවිය ඇඟිල්ල දික්කරල කීවේ... ඒකට අපේ මේ මුදියන්සේ හොඳයි කියල පෙන්නුවේ මම... ඒ මහත්තයා මගෙන් ඇහුවා ‘ඉලන්දාරියා’ උඹ කැමතිද කියලා... ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න කවදත් සුදානම් මමත් කීවා “එහෙමයි මම කැමතියි කියලා”. ඊට පස්සේ ඒ වැඩ පොළවල් සේරම බැලුවේ මම. වැඩ ටික පිළිවෙලට කරල ගම නඟා හිටුවන්න පුළුවන් තරම් වීරිය ගත්තා... මේක ඒ ලොකු මුළාදෑනින් හොඳට බලාගෙන ඉඳල “මේවගේ වැඩවලට මිනිහා උඹ තමා” කියලා අපේ වැයික්කියේ වෙල් විදානේ තනතුර මට පිරිනැමුවා. එතකොට මට වයස අවුරුදු 18 යි. නියමිත දිනේට කුඹුරු ඇළ වේලි සුද්ධ කරවීම, වතුර බෙදා හැරීම, නියමිත වැඩ නොකරන ගොවීන්ට දඩ ගැහීම, ඇළ වේලි හානි කරන්නන්ට වගේම නියමිත වැඩ නොකරන්නන්ට නඩු දැමීම වගේ දේවල් තමා ඒ ‘විදානේ’ තනතුරේ රාජකාරි... මේ රාජකාරි පහිංඩය ලැබුණු ගමන්  ගමේ අය වගේම අහළ පහළ අයත් මට කීවේ මුදියන්සේ විදානේ මහත්තයා කියලා... මට හොඳින් ලියන්න කියන්න පුළුවන් දැනුම හින්දා අවට ගම්වැයික්කි වල ‘විදානේ පහිංඩෙ’ කරපු අයත් මට කියලා තමා ලියන කියන වැඩ කරවා ගත්තේ... ඔය රාජකාරි රපෝර්තු එහෙම පිළිවෙලටම කෙරුවනේ... මේ නිසා ගමේ අය අතර වගේම ලොකු මුළාදෑනින් අතරක් මගේ නම    ප්‍රසිද්ධ   වුණා.

 මේක  දැනගත්තු  අර  කච්චේරියේ “මොන්නෑකුලම උන්නැහේ” ඒ කාළේ වන්නි හත්පත්තුව කරවපු මුණමලේ රටේ මහත්තයාට රපෝර්තු කළා මං ගැන. ඊට පස්සේ මොන්නෑකුලම උන්නැහැගේ රෙකමදාරුව නිසා මුණමලේ රටේ මහත්මයා මගේ විස්තර වතගොත අහලා දැනගෙන ඒ බව කුරුණෑගල හිටපු සුදු ඒජන්ත උන්නාන්සේට රපෝර්තු කරලා 1939 දී මට වෙල් මුලාදැනි පහිංඩය භාර දුන්නා. රටේ මහත්මයා තනතුර හරීයට දැන් ඉන්න ප්‍රාදේශීය ලේකම් තනතුර වගේ බලවත්...  මුණමලේ රටේ මහත්මයා හිටියේ නිකවැරටිය නගරේ... එයාගේ වලව්වේ තමා අද ඔය නිකවැරටිය පොලිසීය තියෙන්නේ...?


“ඉතින්... ඔය වෙල් මුලාදෑනි පහිංඩයත් හරි බලවත්... ආණ්ඩුවේ නිළමක්කාර කමක්නේ... හැබැයි මම ඒක කටු ඔටුන්නක් කරගත්තේ නැහැ... ගමට වැයික්කියට මට පුළුවන් හැටියට සේවය ලබා දුන්නා... වැව්, ඇළ, අමුණු වේලි ගණනාවක්ම මම හැදෙව්වා. මගේ මතකයේ හැටියට නම් වශයෙන් කීවොත් මහගිරිල්ල කුඩා වැව,  ඔයිලගහ වැව,  දික්වැව,  කරව්දෙණිය කුඩා වැව,  වල්පාලුව වැව,  උඩගිරිල්ල ඔහ් අමුණ, ඒවායින් කීපයක් විතරයි මේ රාජකාරි කළාට ඒ කාලේ මට නියමිත පඩියක් නං නෑ. ලැබුණේ. සළාරිස් විතරයි සළාරිස් කියන්නේ ගොවීන්ගේ අස්වැන්නෙන් ප්‍රමාණයක්. අනේ ඒකත් හරියට සමහරුන් දුන්නෙත් නෑ... ඉල්ලුවෙත් නෑ... බොහොමයක් දුප්පත් අයගෙන් මම ගත්තේත් නෑ...”


“මම කීපවාරයක්ම ගම් මුළාදෑනි පහිංඩෙන් වැඩ බලලා තියනවා. ඒ ගම්මුළාදෑනියා ලෙඩ වුණම. නිවාඩු ගත්තාම හෙම ඒ වගේම රටේ මහත්වරුන් ගණනාවක් යටතේම මම රාජකාරී කරලා තියනවා. මුණමලේ රටේ මහත්මයා  ඉලංගන්තිලක රටේ මහත්මයා,  නුගවෙල රටේ මහත්මයා මඩවල රටේ මහත්මයා එළගම්මිල්ලව කෝරළේ මහත්මයා ඉන් කීප දෙනෙක් ඉතින්... මම කවදාවත්  හොර බොරු වංචා කරලා නෑ. කරන රාජකාරිය හරියටම කළා. මේ නිසාම ඒ ගැන පරීක්ෂා කරලා බලපු කුරුණෑගල කච්චේරියේ සුදු ඒජන්ත උන්නාන්සේ මට 1948 දී සත්කෝරළේ හොඳම වෙල් මුළාදැනියා හැටියට තෝරාගෙන රන් පදක්කමක් පිරිනැමුවා.”?
ඉතිං... කෝ ... ඒ රන් පදක්කම.? මම ඇසුවෙමි.


“පසු කාලෙක මම ඒ පදක්කම බුදු පිළිමයට තියලා අඹවලා කඩවලගෙදර පුරාණ සුළුගලු රාජ මහා විහාරයට පූජා කළා... අදත් ඒ බුදු පිළිමය මමම මූලික වෙලා හදපු විහාර ගෙයක තැන්පත් කරලා තියනවා.” 


ඒ ටික කියා නිමවෙන විට ඔහුගේ දෙනෙතින් කදුළු  බිඳු කීපයක් දෙකම්මුල දිගේ පහළට ගලා වැටුණේ දුකට හෝ සතුටට දැයි මම නොදනිමි. තවත් මම ඒ අතීත හ`ඬට ඉඩකඩ දුනිමි.


“මගේ රාජකාරි කාළෙදිම රටේ මහත්වරුන්ගේ නිළ බල නැතිවෙලා ඩි.ආර්.ඕ. මහතුන්ලා පත්වෙලා ආවා ඒ පහිංඩෙත් එක්කම මට ඉස්සරාට රාජකාරී කරන්න ලැබුණේ “විමලරත්න කුමාරගම” කියන ඩි.ආර්.ඕ උන්නාන්සේ යටතේ. ආණමඩුව ඩී.ආර්.ඕ කන්තෝරුවේ තමා උන්නාන්සේ හිටියේ ඒ දවස්වල නිකවැරටියේ ඩි ආර් ඕ කන්තෝරුවක් තිබුණේ නැති නිසා උන්නාන්සේ බොහොම දස්සයා. හොඳ කවියා. ඒ දවස්වල උන්නාන්සේ වන්නිය ගැන හුඟාක් කවි ලීවා  “අයියනායක”  “මුව දඩයම” වගේ කවි. ඒ කවිවල හිටපු අලියා වැටුණ වැව ආරච්චි මහත්මයත් අපේ කාලයේ හිටපු හිතවතෙක්. පසු කාලයේ එතුමා අකාලයේම මැරිල ගියා. තනිකඩවමයි හිටියේ...?


මුදියන්සේ වෙල් මුලාදෑනි මහතාගේ දිගු අතීත ආවර්ජනයට බාධා කරන්න මම අතුරු ප්‍රශ්නයක් නැගීමි.


“මේ රාජකාරි වලට අමතරව ඔබ කරපු සමාජයීය, ආගමික මෙහෙවරවල් එහෙමත් ඇති නේද...?
“ඔව්... ඔව්... අපේ ගමට (මහගිරිඋල්ලට) තැපැල් කාර්යාලයක් තිබුණේ නෑ. ලියුම් ගණුදෙනු කෙරුණේ නිකවැරටිය තැපැල් කන්තෝරුවෙන්. ඒත් සතියකට සැරයක් විතර... මේ ගැන මම ඉහළ මුළාදෑනින් එක්ක සාකච්ඡා කරලා වැඳ වැටිලා ඉල්ලීම් කළා. ඒ ගැන සලකා බලපු උසස් මුලාදෑනින් ‘මහගිරිල්ලට’ තැපැල්  කන්තෝරුවක් ලබා දුන්නා. මගේ රෙකමදාරුවට මහගිරිල්ල තැපැල් කන්තෝරුවක් ලබා දුන්නා. මගේම !රෙකමදාරුවට මහගිරිල්ල තැපැල් කන්තෝරුවට තැපැල් මහත්මයා හැටියට තෝරා ගත්තේ ඔළු පැලියාව ගමේ හිටපු ’හීන්බණ්ඩා නවරත්න” කියන උගත් තරුණයා ඔන්න අදටත් තියෙන්නේ ඒ තැපැල් කන්තෝරුවමයි මහගිරිඋල්ලට. දැන් ඒකටත් වයස අවුරුදු 50ට වැඩියිනේ. ඉතිං ඊට අමතරව මා ඉගෙනගත් ‘ගිරිඋල්ල’ විදුහලට අවශ්‍ය ළිං, පාසල් ගොඩනැගිලි, වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා ගන්න හුඟාක් මහන්සි වුණා. අපේ පන්සල කඩවලගෙදර පුරාණ සුළුගලු රාජ මහා විහාරය ඒ විහාරය දියුණු කරන්න මට පුළුවන් උපරිම ශක්තිය දුන්නා. විහාරයට අවශ්‍ය වෙලා තිබුණ පොත්ගුල වෙනුවෙන් විශාල කැටයම් අල්මාරියක් මගේ මූලිකත්වයෙන් හදලා පූජා කළා. ඒත් නිකම්ම නෙමේ. සූත්‍ර පිටකයේ පොත් කාණ්ඩ 05 ක් විනය පිටකයේ පොත් කාණ්ඩ 05ක් අභිධර්ම පිටකයේ පොත් කාණ්ඩ 07 ක් වශයෙන් කාණ්ඩ 17ක් ම හම්බැමි බන්දලාම...?” කියා ඔහු හයියෙන් සිනා සෙන්නට විය.


“ඇයි එක පාරටම හිනාවෙන්න ගත්තේ...? තවත් අතීත රස කතාවක් මතක් කළාද..? මම ඇසිමි.
“ඔව්.. ඔව්... අපේ පන්සල ගැන කියන කොටයි ඒකත් මතක් වුණේ...? ඒ කාලේ අපේ පන්සලේ හිටියා “යකඩ පොත” හාමුදුරුවෝ කියලා  හිමිනමක්. අනේ කීවට මොකද බණ දහම් මුකුත් දන්නේ නෑ. හැබැයි පන්සල හරියට දියුණු කළා. රෑට ඒ හාමුදුරුවෝ පන්සලේ කුඹුරුවල නියර බදිනවා. හරකුන්ගෙන් හානවා. අස්වනු නෙළාගෙන පන්සල දියුණු කරනවා. අනේ.. ඒත් සසරින් එතර වෙන්නනේ...?


මේ අපුරු යුග පුරුෂයා තම වෙල් මුළාදැනි තනතුරෙන් සමුගන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ආගමනයක් සමගය. තම දිවියෙන් වසර 35 ක කාලයක් උපන් ගම් ප්‍රදේශයේ ගොවිතැන බත බුලත වෙනුවෙන් වටිනා කාලය මිඩංගු කළ මේ ප්‍රාඥයාගේ අපුරු ස්වර්ණ ශක්තිය තුළින් එදා එම පෙදෙසෙහි සමාජයීය සිරිත් විරිත් හා විත්ති ආදියද දැනගත හැකි විය.


එදා අපි කෑවෙ බීවේ වස විෂ නැති කෑම බීම. දඩමස්, වැව්මාලු, හේන් එළවලු කුරහන් පිට්ටු අල බතල ඕන තරම්. බීවේ නෑවේ වැවේ වතුර කුඹරු වැඩ කරද්දි වතුර බිව්වේ කුඹුරේ වක්කඩින්මයි. තනි මඩවතුර. අපට ළිං තිබුණෙ නැහැ. වැසිකිළි නැහැ. වැසිකිළි ගියේ වැව් පිට්ටනියට. වැස්සට ඒ ජරාව හෝදාගෙන ආවෙත් වැවටම ඉතිං... මොකද..? අපි නෑවේ .. බීවේ.. ඒ වතුරමනේ...? කෝ... ලෙඩක්...? ඒ කාලේ අපි කුඹුරුවලට පොහොර විදියට යෙදුවේ ගොම පෝර, එළු බෙටි, කොළ අතු ආදිය. දැන් ඔය තියන පෝර වර්‍ග අපි දැකලවත් නෑ. කෘමිනාශක වෙනුවට අපි යොදා ගත්තේ කොහොඹ ඇට තලලා පල් කරපු වතුර.  දළුක් ගහේ කිරි... අනික් ඒවා කෙම් ක්‍රම... ඔන්න කිසිම ලෙඩක් තිබුණයැ... මේ මං වගේම හැම කෙනෙක්ම මැරුණේ වයස 100 ගත කරලා. නාකි වෙලාමයි. අනියම් මරණයක් වුණා නම් එක්කෝ කිඹුලෙක් කාලා හරකෙක්, මුවෙක්, ගෝනෙක් ඇනලා. කොටියා කාලා. නැත්නම් ගහකින් දෙරිගහලා (වැටිලා) එහෙම නැත්නං සර්පයෝ දෂ්ඨ කරලා තමා.


“එතකොට ඒ කාලේ තිබුණ ලෙඩ රෝග මොනවාද...?”
“තුන්දා උණ, හත්දා උණ.. ඒවා බහුල වුණාම” කෝලේගාය... බඩ පාචනය, වලිප්පුව, කණ්ඩමාල සෙංගමාල ඔන්න ඕවා තමා... හැබැයි ඔය ලෙඩ රෝග වලට බේත් දෙන දස්ස වෙද මහත්වරු එදා හිටියා. ඉස්පිරිතාල නැහැනේ... හැබැයි.. ඒ වෙද මහත්වරු මිල මුදලට වහල් වුණේ නෑ. අපේ වෙදකම රැකගෙන වෙදකම් කළා. ඒ බුලත් අතක් විතරක් අරං... ඒකත් ඇතත් නැතත් වෙදාගේ යුතුකම වෙදා කළා...? ලෙඩා මැරුණ නම් ඒ කලාතුරකින් තමා වෙදාගේ වරදකින් නෙවේ...”


“යමෙක් මැරුණාම අද වාගේ විච්චූර්ණ නෑ... ඔය එම්බාම් ද මොනවද කියන ඒවා ඇත්තේම නෑ... මළමිනිය හොඳට නාවලා පරණ රෙදි කඩකින් ඔතලා පැදුරක තියල ඒක තුන්පලකින් බඳිනවා. ඊට පස්සේ ‘දරහැව’ කියන ලී මැස්සක තියාගෙන ගිහින් කැලේගහනවා ඒ කියන්නේ කැලේක වළදානව. පස්සේ කාලෙක නම් දර සෑයවල් ගහලා පුච්චන්න වුණා වියපත් අය තරුණ අය කැළේ ගැහුවා.”


මීට සියවසකට පෙරාතුව සත්කෝරලේම ඈත ගම් දනව්වල දිවිගෙවු ගැමි ජනතාව මොන දුකක් විඳින්නට ඇත්දැයි ඔම මොහොතකට කල්පනා කළෙමි. අද ඉතා දියුණු තත්ත්වයක තිබෙන නිකවැරටිය ආදී නගර මහාමාර්ග වෙළඳසැල්  කෙහොම තිබෙන්නට ඇත්දැයි සිතා ගන්නටත් බැරි තරම්ය.


“ඒ කාළේ නිකවැරටිය නගරෙට ලොකු කඩපොළක් නෑ. කඩවල් දෙකයි තිබුණේ. ඒවත් පොල් අතු හෙවිලි කරපු ඒවා. නැතිනම් වීදුරු අතුරලා පුත්තලමට ලුණු ගේන්න යන කරත්ත කාරයෝ ඒවායින් කඩයාප්පන් වලින් සප්පායම් වෙනවා. තාර පාරවල් නෑ. ඒවා ගල් දාලා අලින් ලවා පාගල තද කරලයි තිබුණේ. ඒකෙ අශ්ව කරත්ත වලින් සුද්දෝ එහෙ මෙහෙ ගියා. ඒකට කීවේ අශ්ව කෝච්චිය කියලා. නුවර ඉදලා පුත්තලමට ලියුම් මලු අරගෙන  ගියේත් අශ්ව කොච්චියේම තමයි.”?


“එතකොට ඒ කාලේ ඇඳුම් පැළඳුම් එහෙම...? මම ඇසීමි. මද සිනාවක් නඟා ගත් ඔහු මහත් දුකකින් ඒ අතීතයද කියන්නට පටන් ගත්තේය.


“මොන රෙදිද පුතේ...? යාන්තම් විළි වහගත්තා මිසක හැම එක්කෙනෙකුටම තිබුණේ එක ඇඳුමයි. නැත්නං දෙකයි... පිරිමි අයට නං අමුඬේ තමා.. ගෑණු උදවිය උඩු කය වැහුවේ නෑ. ඒ නැති කමමයි. පස් රියනකින් විළි වහගෙන තව රෙදි පටකින් ලැම වහ ගත්තා. අපි කුඩා කාලේ පස් රියනක මිල රුපියලයි. ඒ රුපියල හොයාගන්න හාල් සේරු 16ක් විකුණා ගන්න ඕන. හාල් සේරුවක් පණමයි. ඒ කියන්නේ ශත 6 යි. පණං හතරයි කියන්නේ ශත 25 ට. පණං අටයි කියන්නේ ශත 50 ට ශත 50 ට සිලිං එකයි කියලත් කීිවා. සිලිං හත අටක් තිබුණා නම් හරි පෝසත්. අලුක්කාල කිවේ ශත බාගයට. ඒ දවස්වල සීනි රාත්තල ශත 8 යි. සුරුට්ටුවක් ශතයයි. සිගරැට්ටුවක් ශත 02 යි. එක සතේකට ලොසින්ජර් අහුරයි. ඉතින් සිලිමක අගේ තේරෙනවනේ. නේද..?


අපි පුංචි සන්දියේ අපට ඔය ලයිට් නෑ. ලාම්පු තෙල් නෑ. ගෙවල් එළිය කරගන්නේ මීතෙල්, පොල්තෙල්, කැකුණ තෙල් ලාම්පු වලින්. ගමේ ගෙවල් තිබුණේ එක පොකුරට. ඒකට කීවේ ගම්මැදිගොඩ කියලා ගම්මැදිගොඩක ගිනිමැල දෙක තුනක් පත්තු වෙනවා. ඒක සාදාකාලිකයි. මොකද මහ කඳන් එකතු කරලයි ඒක පත්තු කරන්නේ. වන සතුන්ගෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නයි ගෙදර කුස්සියට ගිණි අඟුරු ටික ගන්නයි සීත තපින්නයි තමා ඒ ගිනිමැලේ මොකද ඒ දවස්වල ගිනිපෙට්ටි නැති නිසා ගින්දර වඳ වෙනවටත් ගිනිමැලේ පොරොජන් වුණා.?


“ගමක ගම්මැද ගොඩවල් දෙකයි. ඒ වැව පාමුල වෙල දෙපැත්තේ ගෙවල් එහෙම පිදුරු හෙවිලි කරපු උස්පිල සහිත ඒවා. ගෙවල්වලට ජනෙල් නෑ. අන්ධකාරයි. ඇඳ පුටු මේස තිබුණෙම නෑ. ඉඳගන්න නිදාගන්න තිබුණේ පැදුර විතරමයි. ඒත් කොට්ට නෑ ලී කොටයක් තමා හිසට තියාගන්නේ. පිරිමි අයගේ ජීවිතේ වැඩි කොටසක් හේනේ පැලේ තමා.”


“කෑම බීම හැටියට අද වාගේ කඩවල් වලින් ගන්න තරම් දේවල් තිබුණේ නෑනේ. ගත්තෝනින් ඉතිං ලුණූ ටිකක් තමා රොටී, පිට්ටු, අල, බතල ඕන තරම්. මී කිරි, එළකිරි කන්න බොන්න පිරිස නැති නිසා වීසි කරනවා. වැවට ගියාම පලා ටිකයි, ඕලු ඇට, ඕලු අල, කෙකටිය අල, සේරල අල එකතු කර ගන්නවා. වැවෙන් වෙලෙන්  ගෙදරට ඕන කරන මාළු ටික කැළෙන් දඩමස් ටික යහමින් සපයා ගත්තා. එක ගෙදරක දරුවෝ දහයයි පහළවයි ඒ අවුරුද්දට එකා ගානේ එක බිරිඳට සැමියෝ දෙන්නයි. අයියයි මල්ලියි දෙන්නම දෙන්නාටම අවුලක් නැතුව දරුවෝ ඉන්නවා. හරිම නිරෝගියි උන්...? කෙල්ලක් අවුරුදු 12 ක් 13 ක් වෙන කොට 16 ක 17ක ගැටයෙකුට බන්දලා දෙනවා. ඔන්න ඕකයි ජීවිතේ.


“ඒ දවස්වල පිරිමි ළමයිනුත් කොන්ඬේ බැන්දා...? කොණ්ඬේ කපන්නේ හිර බත් කන අයගේ විතරයි. මටත් ඒ දවස්වල ලොකු කොණ්ඩයක් තිබුණේ. අනේ දැන් ඒවා නැහැ. මට හරිම දුකයි.”


“ඒ යුගේ හැටියට කුල මල බේද හරියට තිබුණා. ගොවිගම අයට ඉහළ තැනක් තිබුණේ. ඊට පහළයි කියලා සම්මත වේච්ච කුල වල අයට මිල මුදල් යහමින් තිබුණත් ගොවිගමට යටත් වෙන්න වුණා. උගතාට දැනමුත්තාට වැඩිහිටියාට ගරු සැළකිල්ල අදවගේ නෙවේ. හරි ඉහළයි. හාමුදුරුවන්ට වෙද මහත්මයාට කට්ටඩියාට හරියට සැලකුවා. ලියන්න බැරි වුණත් අහගෙන ධාරණය කරගත්තු උගත්තු ගම්වල හිටියා. බණ පොත් කට පාඩමින් කියෙව්වා. ඒවා මතක් වෙනකොට හරිම දුකයි.


ඇත්ත වශයෙන්ම ඔහුගේ හදවතෙහි මහත් දුකක් හෝ සාංකාවක් ඇතැයි මමද සිතුවෙමි. ඈත අනන්තයට යොමා ගත් දෑස තුළින් මම ඒ බව හොඳින්ම දුටිමි. ඒ එදා සහ අද අතර වෙනස ඔහුගේ මතකයට ආ නිසාදැයි මම නොදනිමි. එසේ විය හැකිය.

සටහන සහ සේයා රූ
- නාලගමුවේ -
උබේසේකර කුමාරසිංහ