සිංහල දෙමළ මිශ්‍ර වූ අපූර්ව ජන කොටසක්


නළලේ තිලක තියන රංජනී කුමාරිහාමි

දෙමළ ගුරුවරු නම් තිබිබ නිසා මම පාර්වතී වුණා

සින්නතම්බි පාර්වතී පුල්ලෙයි

 

 

 

  • සිංහල-දෙමළ භාෂා දෙකෙන්ම කතා කරනවා
  • ජාතිය සිංහල වුවත් තියෙන්නෙ දෙමළ නම්
  • ජීවත්වෙන්නේ දිඹුලාගල-සෝරුවිල ගමේ

 

ඔවුහු විටෙක පන්සලට යති. තවත් විටෙක කෝවිලට යති. සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද මහ ඉහළින් සමරන ඔවුහු වෙසක් පොසොන් ආදී බෞද්ධ ආගමික උත්සව මෙන්ම තෛපොංගල් දිනය, මහා ශිවරාත්‍රිය වැනි හින්දු ආගමික දිනයන් ද සමරන්නේ බැතියෙනි.  


මේ ගම්මානයේ සිටින මිනිසුන් තම ජාතියක් ගැන හෝ විශේෂ ආගමක් ගැන හෝ දන්නේ නැත. ඔවුන් විටෙක පවසන්නේ තමන් සිංහලයන් බවයි. නමුත් ඇත්තේ දෙමළ නම්ය. සිංහල නම් ඇති අය තම නළලේ ඉරි තුනක් සටහන් කරගෙන සිටින්නේ හින්දු පුද්ගලයන් මෙනි. ඔවුන් කියන්නේ තමන් දෙමළ බවයි. මේ දෙකටම නැති අමුතු නම් සහිත පුද්ගලයෝ තමන් පැවතඑන්නේ වැදි ජනතාවගෙන් බව ද කියති.  


මේ  සියල්ලෝම සතුටින් සහ අසාමන්‍ය වූ සමගියකින් දිවි ගෙවති. සිංහල දෙමළ භාෂා දෙකෙන්ම වරින් වර කතා කරන මේ මිනිසුන් සමග ගත කරන කාලය අතිශය සුන්දරය.  
“මගේ අම්මා තාත්තා සිංහල, මම හොඳ සිංහල. ඒත් මම කසාද බැන්දේ දෙමළ ජාතිකයෙක්. දරුවන්ට දෙමළ නම් තිව්වා. දරුවෝ 10 දෙනාගෙන් කීප දෙනෙක් සිංහල අය බැන්දා තවත් කීපදෙනෙක් දෙමළ අය බැන්දා. දැන් අපේ පවුලේ සිංහල දෙමළ හැමෝම ඉන්නවා. මිණිපිරියෝ සිංහල කොල්ලන්ව කසාද බැඳලා. කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට ඔය ජාතිය වැඩක් නෑ. අපි ඔක්කොම මිනිස්සු.”‍  


මෙසේ පවසන්නේ දැන් 86 වැනි වියේ පසුවන සින්නතම්බී පාර්වතීපුල්ලේ මහත්මියයි. ඇය පදිංචිව සිටින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආසන්නයේ පිහිටා ඇති “සෝරුවිල”‍ නම් ගම්මානයේය.  


“සෝරු”‍ යනු දෙමළ බසින් “බත්”‍ ය. අතීතයේ බත් නොකා ඕලු‍ ඇට ප්‍රධාන ආහාරයක් කරගත් ඔවුන්ට මේ ගමේදී ඕලු‍ ඇට සපයාගත හැකිවූ විල හේතුවෙන් “ බත්විල ”‍ නමැති අර්ථය සහිතව “සෝරුවිල”‍ යන නම ගමට පටබැන්දා දැයි කිසිවෙකුත් දන්නේ නැත.  


මේ ගම්මානය ඉතා පැරණි ගම්මානයකි. ගමේ තැන තැන පැරණි යුගයේ වළං කැබලි රැසක් මතුවීමෙන් ම පෙනී යන්නේ මෙහි අතීත ජනාවාසයක් පැවත ඇති බවයි. නමුත් කාලයක් මහ වනයෙන් වැසී තිබූ මෙහි විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් පදිංචිවී යළි ජනාවාසයක් බිහිකර ඇත්තේ අදින් සියවස් එකහමාරකට පමණ පෙරාතුවය. අද මේ ගම අතීතයේ ලාංකික ජන කොටස් එකිනෙකා හා සම්මිශ්‍රණය වෙමින් ඉතා සමගි සම්පන්නව එකම ජාතියක් ලෙස ජීවත්වූ බවට ඇති ජීවමාන සාක්ෂියකි.  


1960 දශකය පමණ වනවිට පවුල් 29ක් මෙහි පදිංචිව සිට ඇති අතර මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉඩම් ලබාදෙද්දී එම පවුල්වලින් බිහිවූ අනුපවුල් ද සමග පවුල් 250කට පමණ ගොඩ මඩ ඉඩම් ලැබී තිබේ. දැන් ගමේ පදිංචි කරුවෝ එක්ව කුඹුරු අක්කර 1500ක් පමණ අස්වද්දන්නේ මහවැලියේ සහ ගමේ වැවේ ජලයෙනි.  


“මේ ප්‍රදේශයේ ත්‍රස්තවාදී කලබල ගොඩක් ලොකුවට තිබුණා. ඒ කාලේ අපිව බලා කියා ගත්තේ දිඹුලාගල පන්සලේ ලොකු හාමුදුරුවෝ. අපි සිංහල ද දෙමළ ද කියලා හාමුදුරුවන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කොටි මේ පැත්තට එනකොට අපි දෙමළෙන් කතා කරනවා. හමුදාවේ සිංහල අය එනකොට අපි සිංහලෙන් කතා කරනවා. ඒ නිසා අපිට කිසිම ගැටලු‍වක් වුණේ නැහැ. කිහිප වතාවක් කොටි ඇවිත් තරුණයන් කිහිප දෙනෙක් එයාලගේ හමුදාවට බඳවගන්න කියලා අරන් ගියා. හමුදාවෙනුත් ඇවිත් අපේ අය කිහිප දෙනෙක්ව අරන් ගියා. සමහරු නැවත ආවා. සමහරු ආවේ නැහැ. ”‍ 

 

 


මේ ගමේ ඉතිහාසයය දන්නා පාර්වතීපුල්ලේ මහත්මිය පවසන්නේ ‘සෝරුවිල‘ ගම්මානය ජනාවාස වී ඇත්තේ 1900 - 1920 පමණ කාලයේ දිඹුලාගල ආසන්නයේ ම පිහිටි නුවරගල හා යක්කුරේ සිට පැමිණි පිරිසකගෙන් බවයි. ගම ආසන්නයේ පිහිටි නෙළුම් වැවේ යහමින් ඕලු‍ වැවී තිබීමත් එම වැවේ සහ අසළ මහවැලි ගඟේ මාලු‍ ඇල්ලීමට හැකිවීමත් කුරක්කන් ආදී වගාවන් කිරිමට සරු පොළොවක් තිබීමත් ඔවුන් ‘සෝරුවිල‘ පදිංචිවීමට හේතුවක් වී ඇත.  


“මගේ අම්මාගේ අම්මා යක්කුරේ. එයා කාලි අම්මා. අම්මා කිරිඑතනා. තාත්තා කදිරා. අම්මයි තාත්තයි තමයි මෙහේ ඇවිත් පදිංචි වුණේ. මම පුංචි කාලේ නම් තාත්තලා කුඹුරු හදාගෙන ඒවායේ වැඩ කළා. නමුත් ඊට ඉස්සෙල්ලා කුඹුරු කරලා නැහැ. මම ඉස්කෝලෙට ගියා. ඒ ගියේ මේ කිට්ටුව ඉස්කෝලෙට. යාපනේ ඉඳලා ආපු දෙමළ මහත්වරු තමයි ඉගැන්නුවේ. අපිට දැන් කාලේ වගේ පොත්, පෑන්, පැන්සල් තිබුණේ නැහැ. අඩුම ගානේ ගල් ලෑල්ලක්වත් නෑ. අපි අකුරු ලිව්වේ වැලි පොළොවේ. දෙමළ ගුරු මහත්වරු අපිට ඉගැන්නුවේ දෙමළ අකුරු. ඉතින් අපි ඉස්කෝලෙදී දෙමළ ඉගෙනගෙන ගෙදර ගිහින් සිංහල කතා කළා. පස්සේ අපි දෙමළු වුණා. ”‍ ඇය තමන් දෙමළු වූයේ යැයි කියන්නේ මහත් අභිමානයකිනි.  


“ඒ කාලේ අපිට ඉතින් උප්පැන්න තිබුණෙත් නැහැනේ. මට ගෙදරට මොන නමක් කිව්වද කියලා මතක නැහැ. අපිට දෙමළ ගුරුවරු තමයි නම් තිබ්බේ. ඒ නිසා මම පාර්වතීපුල්ලේ වුණා. මම ජීවත් වුණේ කාලිඅප්පන් කදිරාමතම්බි කියන දෙමළ කෙනෙක් එක්ක. අපි එකට ජීවත්වෙලා ළමයි හැදුවට ඔය කොල කෑලිවල අත්සන් කරලා කසාද බැන්දේ නැහැ.”‍ 
පාර්වතී පවසන්නේ තමන් පොඩි කාලේ බත් ආහාරයට නොගත් බවයි. ඉරිඟු‍, කුරක්කන්, ඕලු‍ ඇට සහ විවිධ ආකාරයේ අල වර්ග සහ ගොඩ මස් මෙන්ම දිය මස් ද සිය ආහාරවේලේ ප්‍රධාන අංග වූ බව ඇය සිහිපත් කරයි. එමෙන්ම කිරි සහ මුදවපු මී කිරි ද ඔවුන් නිතිපතා ආහාරයට ගෙන ඇත. ආහාර කල් තබාගෙන ඇත්තේ මී පැණි හා බඹර පැණි යොදා ගනිමිනි. 


“අපේ කට්ටිය දැන් වගේ නෙවෙයි. ඒ කාලේ හොඳට දඩයම් කළා. තලගොයි පවා මැරුවා. තුවක්කු තිබුණේ නැහැ. උගුල් අටවලා මන්ද දාලා තමයි දඩයම් කරන්නේ. මස්වලින් නම් අඩුවක් නැහැ.”‍ 


ඇය පවසන්නේ ගොවිතැන සහ ඉංග්‍රීසි එළවලු‍ වර්ග කන්න පටන් ගත්තේ බොහෝ මෑත කාලයේ දී බවයි. එකල කැලෙන් පහසුවෙන් සොයාගත හැකි හෝ ගමේ පහසුවෙන් වැවිය හැකි වට්ටක්කා, මෑ කරල්, පලා වර්ග සහ කරිවිල වැනි දෑ ආහාරයට ගෙන ඇත.  


ඇය අපට හමුවූයේ ඇගේ දියණියගේ නිවසේ සිටිය දී ය. දියණිය කාලිඅම්මා ය. උප්පැන්න සහතිකයේ ජාතිය දෙමළය. මේ කාලිඅම්මා විවාහ වි සිටින්නේ රත්නතිලකගේ පියතිස්ස සමගිනි. මහනුවර පූජාපිටියේ පදිංචිව සිටි ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ ජාතිය සිංහල යනුවෙනි. මේ සිංහල පුරුෂයාටත් දෙමළ කාන්තාවටත් උපන් දරුවන් සියලු‍ දෙනාගේ උප්පැන්න සහතිකයේ ජාතිය යන්න සඳහන් කර ඇත්තේ සිංහල යනුවෙනි. ඉන් එක් දියණියක් මඩකලපුවේ දෙමළ තරුණයකු හා විවාහ වී සිටියි. තවත් දියණියක් රංජනී කුමාරිහාමි රත්නතිලක ය. ඇය පවසන්නේ තම පියා සිංහල වුව ද තමන් දෙමළ සංස්කෘතිය අනුව හැදුණු වැඩුනු බවයි. ඇය දැන් විවාහ වී මවක වී සිටින්නීය. ඇගේ සැමියා එල්ලාවලගේ වසන්ත කුමාරතුංගය. මේ දෙපළගේ දරුවෝ සිංහල බෞද්ධ ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වතත් හින්දු කෝවිලට ද නිතර යන එන බව ඇය පවසන්නීය.  
රංජනී කුමාරිහාමි රත්නතිලක මහත්මිය මෙසේ පවසන්නීය. (34)  


“මම පොඩි කාලේ ඉඳලාම හැදුනේ වැඩුණේ දෙමළ සංස්කෘතියට අනුව. නමුත් අපිට සිංහල දෙමළ කියා කිසිම වෙනසක් තිබුණේ නැහැ. අපේ පවුල්වල මේ දෙගොල්ලොම ඉන්නවා. මම විවාහ වුණේ සිංහල කෙනෙක් එක්ක. අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ අය දිඹුලාගල කාශ්‍යප විද්‍යාලයේ සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නවා. අපි දරුවන් එක්ක පන්සලටයි කෝවිලටයි දෙකටම යනවා. පෝයදාට පන්සල් ගිහින් බෝධි පූජා කරනවා. දාන දෙනවා. කෝවිලට ගිහින් පූජාවත් තියනවා. අපි හින්දු ආගමේ බුද්ධාගමේ, සිංහල, දෙමල සියලු‍ම උත්සව සමරනවා. කිසිම බේදයක් නැතිව අපි සමගියෙන් ජීවත් වෙනවා.”‍ 


සින්නතම්බි කනකලිංගම් (81) මෙසේ පවසයි.  


“අපේ ජාතිය මොකක් ද කියලා කියන්න අමාරුයි. මම විවාහ වුණේ සිංහල කාන්තාවක් එක්ක. එයා පුංචිරාල ලිලාවතී හැමෝම කලවම් වෙලා ඉන්නේන. දෙමළ සිංහල එකම ලේ නේ. ඉතින් මේකේ වෙනසක් නැහැ. ජාති ආගම් බේද මොනවත් මේ ගමේ නැහැ. අපිප දේව පූජාවත් කරනවා. බෙර ගහලා නලාව පිඹලා ජයට කරනවා. පන්සලේ උත්සවත් ඒ වගේ. දිඹුලාගල හාමුදුරුවෝ අපිව බලාකියා ගත්තේ දරුවන් වගේ. සිංහල කෙල්ලෝ අපි ගන්නවා. අපේ කෙල්ලෝ සිංහල අය ගන්නවා. අපි හැමෝම මිනිස්සුනේ මොන ජාතියක් ආගමක් ද ? රටේ පිට තැන්වල තමයි මේ ඔක්කොම ප්‍රශ්න අපි සතුටෙන් ඉන්නවා. ඉඳලා හිටලා ඔය බීගත්තු කෙනෙක් පොඩි රංඩුවක් දා ගත්තොත් ඇරෙන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.”‍ 


පැරණි තතු දන්නා ගැමියන් පවසන්නේ අතීතයේ පොලොන්නරුවේ පොලිසියක් නොතිබූ බැවින් අනුරාධපුරයේ පොලිසියෙන් රාජකාරී කටයුතු කළ බවයි. මේ හේතුවෙන් යම් ගැටලු‍වක් ඇතිවුවහොත් එය වෙල් විදානේ විසින් නඩු අසා තීන්දු දී ඇත. විශාල ගැටලු‍වක් ඇතිවුවහොත් පමණක් අනුරාධපුරයේ උසාවියට යාමට ඔවුන්ට සිදුව තිබේ. පැරණි කාලයේ ආරච්චි මහතාත් පසුව ග්‍රාම සේවකත් ගමේ සියලු‍ තීන්දු තීරණ ගන්නා පුද්ගලයා බවට පත්ව ඇත. ඔවුන් පවසන්නේ මේ ගමේ ගැහනුන්ට දරුවන් ලැබුණේ ගමේ ම නිවෙස්වල දී වින්නබු අම්මාගේ උපකාරයෙනි. ඉන් පසු උප්පැන්න සහතිකය ලියන්නේ ග්‍රාම සේවකට විස්තර දී මනම්පිටියේ පිහිටි කච්චේරියෙනි.  


ඉලයතම්බි කන්දයියා (69)  


“ අපි ළමයෙක් ලැබුණාම ඒ ගැන ග්‍රාම නිලදාරීට කියනවා. එයා තමයි විස්තර අරගෙන ගිහින් මනම්පිටිය රෙජිස්ට්‍රාර් හමුවෙලා උප්පැන්නය ලියවාගෙන එන්නේ. සමහරවෙලාවට මේ තොරතුරු ග්‍රාම සේවක අතින් නැති වෙනවා. ඉතින් උප්පැන්නෙත් නැහැ. ගෙදරට කියන නමක් තමයි තියෙන්නේ. මේ මෑතක් වෙනකන්ම උප්පැන්න සහතික නැති අය ගොඩක් මේ ගමේ හිටියා. කසාද නොබැඳ ආච්චිලා සීයලා වුණු අයත් එමටයි.  මහවැලියෙන් අපිට ඉඩම් දුන්නානේ. ඒ ඉඩම් දෙනකොට කසාද බැඳලා තියෙන්න ඕන කිව්වා. ඉතින් ඒ වෙලාවේ තමයි කසාද බඳින්නේ කොහොමද කියලා හොයාගෙන අපේ ගොඩක් අය කසාද බැන්දේ. මේ ළඟදිත් ඒ වගේ පවුල් කිහිපයක අය කසාද බැන්දුවා. අපේ ගම ඉතිං ඔය විදිය තමයි. මේක හරි සරල ජීවිතයක්.”‍ 


මේ ගමේ තොරතුරු ලබා ගැනීමට අප පළමුවෙන් ම ගොඩවූයේ ගමේ තුං මං හන්දියේ පිහිටි නිවසකටය. එහි කාන්තාවෝ ද විශාල පිරිසක් සිටියහ. ටික වේලාවකින් නිවසේ හිමිකරුවා පැමිණියේය. ඔහු උක්කුරාල මුලිහාමිගේ සිරිපාල (63) මහතාය. අප ඉරිදා ලංකාදීප පුවත්පතින් බව දැනගත් ඔහු ගම පුරා නිවෙස්වලට අප කැටුව යමින් තොරතුරු ලබා දීමට මහත් වෙහෙස වූයේය. 


සිරිපාල මහතා විවාහ වී සිටින්නේ දෙමළ ජාතික කාන්තාවක් සමගිනි. ඔහුගේ පියා යක්කුරේ පදිංචිව සිටි අයෙකි. පියාගේ මව හෙවත් ඔහුගේ අත්තම්මා දකුණේ කාන්තාවක බව ද ඇගේ නම ජෝන් සිංඤෝ ජෝන් පෙරේරා එමිල් නෝනා බව ද ඔහු පවසයි.  


“මම කසාද බැන්දේ දෙමළ කෙනෙක්. මම පොඩි කාලේ මේ ගමේ හිටිය අයගෙන් සිංහල කතා කළේ අපේ පවුලේ අයයි. මාතලේ ගෙදර, බත්කුඹුරේ ගෙදර, පීටර් පවුල සහ තවත් එක පවුලක අය විතරයි. අනිත් හැමෝම දෙමළ භාෂාව කතා කළේ. ඒ ඇතැම් පවුල් සිංහල අය. ඒත් දෙමළ කතා කළා. මේකට හේතුවක් තිබුණා. ඉස්කෝලේ ගියාම ඉගෙන ගන්න වුණේ යාපනයෙන් ආපු දෙමළ ගුරුවරුන්ගෙන්. ඒ වගේම දෙමළ හෝඩිය ඉගෙන ගන්න ලේසියි. සිංහල වගේ අමාරු නැහැ. සිංහල වගේ වචන ගොඩක් ඇත්තෙත් නැති නිසා දෙමළ භාෂාව කතා කරන්නත් ලේසියි. ඒ නිසා අපි හැමෝටම දෙමළ භාෂාව පුරුදු වුණා. දැන් ඉතින් අපේ ගම මුළු රටටම ආදර්ශයක්. හැමෝම මිශ්‍ර වෙලා සමගියෙන් සමාදානයෙන් ඉතා සතුටින් ජීවත් වෙනවා. ගමේ කුඹුරු කරන්නේන අපි හැමෝම එකතුවෙලා. මඟු‍ලත් අවමගුලත් හමෝගෙම දෙයක්. පන්සල කෝවිල කියලා අපිට කිසිම වෙනසක් නැහැ. හැමෝම මිනිස්සු.”‍ 


ඔවුන් කියන කතා සත්‍යයකි. නමුත් කොටි ත්‍රස්තවාදීන්ගේ කාලයේ දී මේ ගමට විශාල බලපෑම් එල්ල වී තිබේ. දෙමළ කතාකරන ජනතාවක් වාසය කළ ද ඔවුන් කොටි ත්‍රස්තයන්ට භියෙන් ජීවත් වී ඇත. එමෙන්ම හමුදාවෙන් කිසියම් මොහොතක බලපෑම් එල්ලවනු ඇතැයි ද ඔවුන්ට භියක් තිබී ඇත.  


“අපිට තිබුණු එකම ප්‍රශ්නය දෙමළ කතා කරන අපි කොටින්ගේ හමුදාවට බඳව ගනීවි කියන එක. ඒ නිසා මේ ගමේ ගොඩක් තරුණ ගැහැනු ළමයි සහ තරුණ පිරිමි ළමයි අඩු වයසින් කසාද බැන්දුවා. පිරිමි ළමයි ඈත පළාත්වල ඉන්න නෑයන්ගේ ගෙවල්වලට යැව්වා. අපේ වයසේ ගොඩක් අයට ඉක්මණින් කසාද බඳින්න සිදුවුණා.”‍ එසේ පවසන්නේ පුවාලපුල්ලේ වානසිරි (29) නමැති තරුණියකි. පාසලේ දෙමළ ඉගෙන ගත් ඇය ද දැන්  තම දරුවන්ට කාශ්‍යප මහා විද්‍යාලයේ සිංහල උගන්වයි. දරුවන් සිංහල භාෂාවත් දෙමළ භාෂාවත් එකසේ භාවිතා කරන බව ඇය පවසන්නේ සතුටිනි. දැන් ඔවුන්ට ත්‍රස්වාදී බියක් නැත.  


“අපි හැමෝම එකතුවෙලා කුඹුරු කරනවා. වෙනත් වගාවන් ටිකකුත් කරනවා. පිරිසක් ධීවර කර්මාන්තයෙත් යෙදෙනවා. අපි සතුටින් සන්තෝෂයෙන් ඉන්නවා. ගමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝම හැමෝටම උදව් කරගෙන ඉන්නවා. මේ ගමට ජාතිවාදයේ සහ ආගම්වාදයේ විෂබීජ පිටතින් ගේන්න එපා කියලා තමයි අපි හැමෝටම කියන්නේ. අපි ඉල්ලා සිටිනවා පුළුවන්නම් අපි වගේ ජීවත් වෙන්න මේ රටේ හැම මිනිසෙක් ම උත්සාහ ගන්න කියලා.”‍ සිරිපාල මහතා අප සමුගනිද්දී එසේ පැවසුවේය. 


(මෙම ගමට අප රැගෙන ගිය ඉන්දුමතී ජයසේන ලේඛිකාවට විශේෂ ස්තූතිය පිරිනැමේ)

 


සටහන සහ ඡායාරූප
සජීව විජේවීර