සතරවරම් දෙවිවරුන්ට නිගා නොකරන්න


ප්‍රතිචාර

 

විරූපාක්ෂ, වෛශ්‍රවණ, විභීෂණ දෙවිවරුන්ද ද්‍රෝහින්ද?   
ධෘතරාෂ්ඨ, විරූඨක, විරූපාක්ෂ, වෛශ්‍රවණ (කුවේර) සතර වරම් දෙවියන්මය.   


‘‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’’   
‘‘විසාරූං වාද පථාති වත්තිනං   
තිලෝක පජ්ජොත මසයිහ සාහිනං   
අසේස ඤෙය්‍ය වරණප්පකාඨිනං   
නමාමි සත්ථාර මනන්ත ගොචරං’’   
* යදා ආනන්ද, බෝධි සත්තෝ මාතු කුච්ජිමහා නික්ඛමති   
අප්පත්තෝච බෝධි සත්තෝ පඨවිං හෝති   
චත්තාරෝ නං දේව අත්තා පටිග්ගහෙත්වා   
මාතු පුරතො ඨපෙන්ති’’   


ආනන්දය, යම් කලෙක ​බෝසත් මව් කුසින් බිහිවේද, ඒ බෝසත් පොළොවට නොපැමිණියේ මැ වෙයි. සිව් දෙව් පුත්තු ඔහු පිළිගෙන මව පෙරට තබති)   


ම:නි:උ:ප සුඤ්ඤත වර්ගය   


අච්ජරියවේභූත සූත්‍රය (293-289 පිටු)   


ඉහතින් සඳහන් කරන ලද ගාථා පාඨය බෝසතාණන් වහන්සේලාගේ උත්පත්තිය සඳහන් වන ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයේ ඇතුළත් ගාථා පාඨයකි. යමෙක් සතර වරම් රජවරු ගැන නොදැන යම් සඳහනක් කරන්නේ නම් ඉහත ග්‍රන්ථය පරිශීලනය කොට අවබෝධයක් ලබාගත හැක. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් ලිවිය හැකි මුත් ලිපිය දීර්ඝ වන බැවින් එසේ කළ නොහැක.   


එමෙන්ම බෝසත් උප්පත්තියට පෙර සිටම සතර වරම් දෙව් රජවරු පිළිබඳව සඳහන් වන කතා පුවත් බෞද්ධ ග්‍රන්ථවල සුලභවශයෙන් දැක ගත හැක. විශේෂයෙන් දහම් පාසල් සඳහා භාවිතා කරන පෙළ පොත්වලද ඒ පිළිබඳව සඳහන්ව ඇත. බෞද්ධ අධ්‍යාපනයේ ආරම්භක අවස්ථාවේ සිටම බොදු දරුවන්ට සතරවරම් දෙවිරජවරුන් පිළිබඳ හදුන්වාදීම සිදුකර ඇත. ඔවුන් සිව් දෙනාම සෝවාන් ආර්ය තත්ත්වයට පත් දෙවිවරුන්ය, ආර්යය ශ්‍රාවකයන්ය. 

 
චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරිනිම්මිත වසවර්තිය නම් සදෙව් ලොවින්, තුසිත දිව්‍ය තලයේ වැඩ වාසය කරන සන්තුසිත දිව්‍ය පුත්‍රයා දස පාරමිතාවන්, දස උපපාරමිතාවන්, දස පරමත්ථ පාරමිතා නම් වූ සමතිස් පාරමිතා සම්පූර්ණ කර, දිව්‍ය, බ්‍රහ්මයන්ගේ ආරාධනයෙන් මනුෂ්‍ය ලොව ඉපදීමට පංචවිලෝකනය (පස් මහ බැලුම්) බලන සේක.   


එදිනම මනුෂ්‍ය ලොව දඹදිව කිඹුල්වත්පුර අග රජුන්ගේ (සුද්ධෝදන රජු) බිරිඳ මහමයා දේවිය විසින් සිහිනයක් දුටුවාය (ස්වප්න කතා සද්ධර්මරත්නාකරය- 33 පරිච්ඡේදය- 406- 407 පිටු) බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීමෙන් අනතුරුව සතර වරම් දෙවිරජවරු බෝසතාණන් වහන්සේගේ රැකවරණය පිණිස මහමායා ​දේවින් වහන්සේගේ කුටිය ආරක්‍ෂා කරන ලදී. දස මාසය ගෙවීමෙන් අනතුරුව බෝසතාණන් වහන්සේ මවුකුසින් නික්මෙන අවස්ථාවේ සතර වරම් දෙවි රජවරුන් පළමුව පිළිගෙන, දෙවනුව මනුෂ්‍යන් අතට පත් කරන ලදි. ඒ පිළිබඳව අච්ඡරියබ්භූත සූත්‍රයේ සඳහන්ව ඇත.   


එසේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවීම් පිළිබඳව සඳහන් තැන කිසිදු මූලාශයක් පිළිබඳව නොමැත. නිර්මල ත්‍රිපිටක රත්නයේ ඛුද්දක නිකායට අයත් බුද්ධවංශ පාලියේ ‘‘කස්සප බුද්ධවංශය’’ සඳහන් තැන, පුලස්ථි සෘෂිවරයෙකු ගැන සඳහන්ව නොමැත. ඝටීකාර නමැති අනගාමි පුද්ගලයකු (දැනට බඹලොව වසන ඝටීකාර බ්‍රහ්ම රාජයා) පිළිබඳව සඳහන්ව ඇත.   


කාලයාගේ ඇවෑමෙන් ගිහිගෙයින් නික්මයන බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේද උන්වහන්සේට රැකවරණයට සිටි අය අතර සතර වරම් දෙවිවරුන් පිළිබඳව ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. (ද්‍රාඨාවංස 58 ගාථව) සත්සතිය තුළ සත්වැනි සතියේ තපස්සු භල්ලුක වෙළඳුන් දුන් දානය පිළිගැනීමට සතර වරම් දෙවිවරුන් සෛලමය පාත්‍රා 4ක් පිදීම, (සමන්තකූට වර්ණනා 109-110), බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ පළමුවන මහ සංඝ සම්මේලනය, ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුර අසල මහවනයේදී ‘මහ සමය සූත්‍රය’ දේශනය පැවැත්වූ සේක. එම දේශනාවට සම්බන්ධ දෙවිවරු ප්‍රමාණය පිළිබඳවද එහි සඳහන්ව ඇත. විශාල ප්‍රමාණයක් දෙවිවරු මාර්ගඵලලාභි විය.   
අභිධර්මයට අනුවද කාම සුගති භූමි 7ක් පිළිබඳව සඳහන් වේ. එහිදි චාතුර් මහා රාජිකය පිළිබඳව සඳහන් වේ. එය පාලනය කරනුයේ සතර වරම් දෙවි රජවරුන්ය. දෙදෙව් ලොවට අධිපති සක්‍ර දෙවියන් ඒ සිව්දෙනාගේත් ප්‍රධානියා වේ. එහි ආයුෂය මිනිස් ආයුෂයෙන් අවු. 90,00000 (අනූ ලක්‍ෂයකි).   


(අභිධර්ම මාර්ගය රේරුකානේ චන්දවිමල මහනාහිමි 156 පිටු)   


1. පුරිමං ච දිසං රාජා- ධතරට්ඨො තං පසාසති   
ගන්ධබ්බානං ආධිපති- මහරාජා යසස්සිසො...   
2. දක්ඛිණං ච දිසං රාජා- විරූල්හො තං පසාසති   
කුම්භණ්ඩානං ආධිපති- මහරාජා යසස්සිසො...   
3. පච්චිමං ච දිසං රාජා- විරුපක්ඛො තං පසාසති..   
නාගානං අාධිපති- මහ රාජා යසස්සිසෝ...   
4. උත්තරංච දිසං රාජා- කුවෙරො තං පසාසති.   
යක්ඛානං ආධිපති මහ රාජා යසස්සිසො...   


(මහ සමය සූත්‍රය- දි:නි: (2) 382 පිටු සුමංගල විලාසිනි-දි:අට්ඨකථා- 60 පිටු)   


තවද රාමා, සීතා, ලක්‍ෂමණ යන තිදෙනා පිළිබඳව ලස්සන කතාවක් ගොතා තිබුණද, ඒ අය පිළිබඳව බුද්ධදේශනාවේ සඳහන්ව ඇති ආකාරය වෙනම විස්තර කළ හැක. (පන්සිය පනස් ජාතක පොත- 454 ජාතකය දසරථ ජාතකය (916- 919 පිටු) පරිශීලනය කළ මැනවි. රාවණ රජුන් පිළිබඳ ලිඛිතව එහි සඳහන් කර නොමැත.   


සිංහලයාගේ උපත පිළිබඳව සඳහන් වන මහවංශය ග්‍රන්ථයේ විස්තරාත්මකව විජය රජුගේ පැමිණීම, 38 වසරක රාජසමය පිළිබඳව සඳහන් වේ. විජය රජුට පසුව බෑනා කෙනෙකු වන පඬුවස්දෙව් රජු 30 අවුරුද්දක් රජවිය. එ් රජුගේ අගබිසව සිදුහත් කුමරුගේ බාප්පා වන (සුළුපියා) අමි​තෝදන රජුගේ පුත් පාණ්ඩු ශාක්‍යයන්ගේ දියණිය වන කච්චායනා දේවිය නම් විය.  ඒ අනුව සිංහල රාජවංශය- ශාක්‍ය රාජ්‍ය වංශයටද ඥාති සබඳකම් ඇත. (මහ වංශය/ පූජාවලිය- අනුරාධපුර උප්පත්ති කථා 756 පිටු) ඒ අනුව සිංහල අපි සූර්ය වංශයට නොව ශාක්‍ය වංශිකයෝ වන්නෙමු.   


‘‘නූතන විද්‍යාව නමැති මුලාවට හසුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයටත්, ආර්ය මහ සංඝරත්නයටත්, සතර මහ සතර ඵලලාභී ආර්යයන් වහන්සේලාට නිගාකර සතර අපාගත නොවේවා!   


සටහන - දඹුල්ලේ සරණතිස්ස හිමි.