වීර කැප්පෙටිපොළගේ කඳවුරු බිමක ඉංග්‍රීසීන් ගොඩනැගූ නුවරඑළිය


 

සර් එඩ්වඩ් බාන්ස්ගේ නිල නිවස පසු කාලය නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය   

 

 

 

1818 උඩරට නිදහස් අරගලය වෙනුවෙන් නායකත්වය දුන් වීර කැප්පෙටිපොළ රණවිරුවන් ඉංග්‍රීසීන්ට විරුද්ධ කඳවුරු ගැසූ බිමක ඉංශ්‍රීසි ජාතික සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් නිර්මාණය කළ නුවරඑළිය නගරයට 2018 අගෝස්තු 11 දිනට පුරා අවුරුදු 190ක් සපිරේ. 


  
1815 මාර්තු 02 දින මහනුවර මහමලුවේදී සිංහල උඩරට නිලමේවරු හා ඉංග්‍රීසීන් විසින් අත්සන් තැබූ ඓතිහාසික උඩරට ගිවිසුමේ අඩංගු කොන්දේසි ඉංග්‍රීසීන් විසින් දැඩි ලෙස උල්ලංඝනය කිරීම නිසා දෑ හිතකාමීන් විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඌව ප්‍රධාන කරගත් 1818 උඩරට මහ නිදහස් අරගලය ආරම්භ කරනු ලැබ ඇත.   


 මෙම නිදහස් අරගලය හමුවේ ඉංග්‍රීසීන්ට විරුද්ධව ඌවේ මහ කැරැල්ල කැප්පෙටිපොළ විරුවාණන් නායකත්වය ලබා දීම නිසා ඉංග්‍රීසීහු දැඩි කනස්සල්ලකට ලක්ව ඇත. ඔවුහු සිංහලයින්ගේ නිදහස් අරගල අකාමකා දැමීමට පියවර ගනු ලැබූහ.   


කැප්පෙටිපොළ මහ විරුවාණන් මෙහෙයවූ මෙම නිදහස් අරගලය හමුවේ කඳුකරයේ විවිධ ස්ථානවල කඳවුරු ගැසූ බව ඉතිහාසය සඳහන් කරයි. එහි ප්‍රධාන ස්ථානයක් ලෙස නුවරඑළිය තැන්න භාවිත කර ඇති බවත් ඒ හැර කිකිළියාමාන, කඳපොළ, අඹේවෙල ආදී තැන්වල කඳවුරු පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වේ. මහනුවර හා ඌව ප්‍රදේශය ආශ්‍රිතව කඳුකරයේ ක්‍රියාත්මක වූ නිදහස් අරගලය මැඩපැවැත්වීම සඳහා ඉංග්‍රීසි භට හමුදාවක් සමග පැමිණි වෛද්‍යවරයෙකු මෙන්ම ගවේෂකයෙකු වූ ජෝන් ඩේවි නමැති ඉංග්‍රීසි ජාතිකයා 1819 දී මුල් වරට එංගලන්තයට සමාන වූ දේශගුණික වටපිටාවකින් යුතු නුවරඑළිය නමැති තැන්න හඳුනාගත් පුද්ගලයෙකු වේ.   


එහෙත් ඉංග්‍රීසීන්ට යුද්ධයක් වූ සිංහලයන්ගේ නිදහස් අරගල හමුවේ දොස්තර ජෝන් ඩේවිගේ සොයා ගැනීම ඉංග්‍රීසි පාලකයින්ගේ අවධානය යොමුවී නැත.   


කෙසේ වුවත් ඉංග්‍රීසීන් විසින් ඉතා උපක්‍රම භාවිත කර සිංහලයින්ගේ නිදහස් අරගල පරාජය කිරීමත් සමග ලැබූ ඇසිල්ල හමුවේ 1827 දී ඌව ප්‍රදේශයේ සිට අලි දඩයමේ පැමිණි ඉංග්‍රීසි යුද නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් නුවරඑළිය තැන්න ආශ්‍රිත තැන්න හඳුනාගෙන ඇත.   


තමන් හඳුනාගත් සොඳුරු ඉසව්ව පිළිබඳව 1824-1831 දක්වා මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට වාර්තා කිරීමෙන් පසු සර් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් 1828 අගෝස්තු 11 දින යුදහමුදා භටයින්ගේ විවේකී ස්ථානයක් නුවරඑළියේ ස්ථාපිත කරමින් නුවරඑළිය නගරයේ ආරම්භය සනිටුහන් කර ඇත.   


2018.08.11 දිනට අවුරුදු 190ක් සපිරි නුවරඑළිය දවස මෙරට පියස්ස ලෙස සැලකූ බව කරුණු අනාවරණය කෙරේ. අවුරුදු 2500ක ඉතිහාසයකට උරුමකම් කියන අප මාතෘභූමියේ මහ රජවරු වැව් දහස් ගණනක් බඳවා මෙරට වැව් බැඳි රාජ්‍යයක් කරනු ලැබීය. ඒත් සමග මහා කෙත්වතු සකසා මෙරට ධාන්‍යාගාරයක් කළා සේම උදාරතර මහ බෞද්ධ සංස්කෘතිය නිසා මෙරට ධර්මද්වීපයක් බවට නම් කරනු ලැබීය.   


එම සියලු ඇගයීම් හමුවේ මුහුදු මට්ටමෙන් අඩි 8281 කින් යුතු මහකන්ද වූ පිදුරුතලාගල ආශ්‍රිත ඉහළ කඳුකර ප්‍රදේශය රාජ්‍ය අණපනත්වලින් තොරව ජල පෝෂිත ප්‍රදේශයක් බවට නම් කර හෙළ රජපුර දැඩි ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් අනුගමනය කර ඇත.   


කොත්මලේ පුරවරය, වලපනේ ප්‍රදේශය, කැප්පෙටිපොළ ආදී ප්‍රදේශයන් සිංහල ඉතිහාසයට මහ ඉඩකඩ විවර කරවූ බවට ඓතිහාසික තොරතුරු අපට කියා දේ. 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම අත්සන් තබන විටද නුවරඑළිය ප්‍රදේශය වලපනේ දිසාවේ ලෙස දූල්ලෑවේ නිලමේ උඩරට ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයා වේ. එයින් කියැවෙන්නේ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශය ජල පෝෂිත පෙදෙසක් ලෙස මෙරට ජනතාව ආරක්ෂා කළ බවය.   


අද දවසේ නුවරඑළිය දිස්ත්‍රික් කොඩිය ලෙස භාවිතා කරනුයේ වලපනේ දිසාවට අයත් මහ කොඩිය වේ. ඒත් ඒ බව දන්නේ කීයෙන් කීදෙනකු ද යන්න පැනයකි.   


ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කඳුපාමුල වර්ග කිලෝමීටර් 13.05ක පුරා විහිදී ඇති නුවරඑළිය නිවාඩු නිකේතනයක් ලෙස ප්‍රකාශයට පත්කළ සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා අද දවසේ අපි දකින නුවරඑළිය මහ හෝටලය ලෙස සලකන ස්ථානයේ තමාගේ නිල නිවෙස ඉදිකරගෙන විසූ බවට තොරතුරු අනාවරණය වේ. 

 

ඒ නිවස ආශ්‍රිතව අද නුවරඑළියට අභිමානයක් ගෙන දෙන විශාල මහ හෝටලය වූ ග්‍රෑන්ඩ් හෝටලය නිර්මාණය වී ඇත. අද ද එම හෝටලයේ ශාලාවක් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නමින් නම්කොට ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාට ගෞරවයක් ලෙසය. ඒ සම්බන්ධව 1941 අප්‍රේල් 26 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සාකච්ඡාවට භාජනය වී ඇති බව ඉතිහාස පොතපත උපුටා දක්වයි.   

 

නුවරඑළිය හැඩකළ සුන්දර ග්‍රෙගරි වැව   

හැඩට පිපිණු මහ රත් මලක්   

 


කෙසේ වුවත් 1828 දී බාන්ස් ආණ්ඩුකාරවරයා ඇරඹූ නුවරඑළිය නගරයක් ලෙස දියුණු කිරීමට ඍජු ලෙස මැදිහත් වූ තවත් පුද්ගලයෙක් වේ. දේශ ගවේෂකයෙකු ලෙස යටත් විජිත රාජ්‍යයන් හි ඇවිද ගිය සර් සැමුවෙල් බේකර් නමැති ඉංග්‍රීසි ජාතිකයාය. පළමු වරට 1846 දී ශ්‍රී ලංකාවට පැමිණ අක්කරයක් සිලින් 20 බැගින් ගෙවා නුවරඑළිය තුළ අක්කර 1000ක ගොවිපොළක් 1848 දී ඔහු ආරම්භ කර ඇත.   


පුංචි එංගලන්තය ලෙස හඳුන්වමින් ඉංග්‍රීසීන් සැලකූ නුවරඑළිය තැන්න ආශ්‍රිත ඇරඹූ ඒ අක්කර 1000ක ගොවිපොළට අවශ්‍ය කාර්ය මණ්ඩලය හා විවිධ වර්ගයේ සතුන්ද සැමුවෙල් බේකර් තම මව් රටින් මෙරටට ගෙන්වාගෙන ඇත. තම ගොවිපළේ කටයුතු සඳහා බේකර් තම සොහොයුරන් වූ ගාලන් හා වැලන්ටයින් ප්‍රධාන ඥාතීන් පිරිසක් ද මෙරටට කැඳවාගෙන පැමිණි බව වාර්තා වේ.   


සර් සැමුවෙල් බේකර් ස්ථාපිත කළ ගොවිපොළ සේවයට පැමිණි අය නුවරඑළිය නගර ආශ්‍රිත තැන තැන තම නිවාස ඉදිකර ගත් බව නුවරඑළිය ගැන විමසීමේදී මනාව පැහැදිලි වේ. ඒත් සමගම ඉංග්‍රීසි කිරීටය මෙරට විවිධ සේවාවන් නියුක්ත වූවෝද නුවරඑළියේ නිවාස ඉදිකර ගැනුමට උත්සාහ දරා ඇත. කෙටි කාලයක් තුළ නුවරඑළිය ගොවීන්ගේ නගරය ලෙස නම්කරනු ලැබ ඇත. 

 
අද නුවරඑළිය ජනතාවගේ වැඩි දෙනකුගේ ආදායම් මාර්ගය වූ උඩරට එළවළු එසේ නැතහොත් ඉංග්‍රීසි එළවළු මෙරට හඳුන්වාදීමේ ගෞරවය සර් සැමුවෙල් බේකර්ට හිමිවේ. ඔහු ඔහුගේ ගොවිපලේ බේකර්ස් ෆාම් ලෙස හඳුන්වා තිබුණු බවට අද ද නුවරඑළිය බදුල්ල මාර්ගයේ පිහිටි බේකස් ෆාම් ප්‍රදේශය සාක්ෂි සපයයි.   


ඉංග්‍රීසීන් විසින් ඇරඹු මේ පුංචි නගරය කෙටි කාලයක් තුළදී ඔවුහු ඔවුන්ගේ මව්රටට මෙන්ම ආදරයක් හා ගෞරවයක් දක්වමින් කටයුතු කළහ. ඒ නිසාම ඔවුන්ගේ හැකියාවන් මත නුවරඑළිය තුළ නිවාස ඉදිකරගැනුමට කටයුතු කළ අතර ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අවශ්‍ය උපාංග නිර්මාණය කර ගන්නට විය. ඒ වෙනුවෙන් පුංචි කුඩා නගරයක් ඉතා සැලසුම් සහගතව ආරම්භ කරනු ලැබ ඇත්තේ ඔවුන්ගේ මව් රටේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමය අනුගමනය කරමින්ය.   

 

එළිසබෙත් මහ රැජින 1954 වසරේදී වික්ටෝරියා උද්‍යානයේ පැළයක් රෝපණය කළ අයුරු 

අපේ කාලයේ කඩා දැමූ ඉංග්‍රීසීන් නුවරඑළියට උරුම කළ දැවවලින් සැකසූ දෙමහල් පුරහල   

 


ඒ අනුව 1873 පළමු වරට නුවරඑළියේ තුරඟ තරගාවලියක් ඇරඹීම, 1874 දී සුන්දර ග්‍රෙගරි වැව නිර්මාණය කිරීම, 1889 ගොල්ෆ් ක්‍රීඩාංගණය ස්ථාපිත කිරීම, 1893 දී රැජින නිවස ඉදිකිරීම, 1894 වසරේ ලෝ ප්‍රසිද්ධ තැපැල් කාර්යාලය ආරම්භ කිරීම, 1897 වික්ටෝරියා උද්‍යානය ආරම්භ කිරීම, 1894 නුවරඑළිය නගරයේ මධ්‍යම වෙ​ෙළඳපොළ ඉදිකිරීම ඉතා දර්ශනීය වූ දෙමහල් පුරහලක් දැව ආශ්‍රිතව ගොඩනැංවීම, (අද එය දක්නට නැත) 1903 දී නානුඔය සිට නුවරඑළිය හරහා රාගල දක්වා දුම්රිය මාර්ගයක් නිර්මාණය කිරීම, නගරයට ගැලපෙන අයුරින් මාර්ග පද්ධතියක් ඇරඹීම හා 1861 දී පරිසරය රැකගැනුමට ආනයනික ශාක වර්ග රෝපණය කිරීමද ඔවුහු සැලකිල්ලට ගත් කාර්යක් වේ.   


ඉංග්‍රීසීන් ගොඩනැගූ නුවරඑළියේ 1881 දී කළ සංගණනයකදී නුවරඑළිය නගරය ආශ්‍රිත නිවාස 262ක් තිබූ අතර ඒ නිවාසවල පවුල් 270ක් ආශ්‍රිත 1791 දෙනකු ජීවත්වූ බව පොත පත කරුණු ගෙනහැර දක්වයි. අද අවුරුදු 190ක් වන නුවරඑළිය නගරය තුළ 36044 දෙනෙක් වෙ​ෙසන බව 2016 සංඛ්‍යා ලේඛන වාර්තා සඳහන් කරයි. අද වන විට නුවරඑළිය නගරය තුළ නිවාස ඒකක හා අනෙකුත් ඉදිකිරීම් පිළිබඳව සැලකිල්ලට ලක්කිරීමේදී ඒවා නුවරඑළිය පුංචි නගරයට ​ෙකතරම් බරක්ද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි.   


ඒ නිසාම මෙරට මෙන්ම විදේශිකයෝ නුවරඑළිය පාරිසරික පාරාදීසයක් ලෙස ලෝභයකින් තොරව නම්කරනු ලැබූහ. පුංචි එංගලන්තය ලෙස නම් කළ නුවරඑළියට වෙ​ෙළඳාම කටයුතු සඳහා දකුණේ ව්‍යාපාරිකයින් පැමිණ ඇති අතර ඉංග්‍රීසීන්ගේ ගොවිපලවල්වල කටයුතු හා අනෙකුත් සේවාවන් සඳහා වලපනේ ප්‍රදේශයෙන් ද කොත්මලේ ප්‍රදේශයෙන් හා ඌවපරණගම ප්‍රදේශයෙන් ග්‍රාමීය ජනතාවද නුවරඑළියට පැමිණි බව අනාවරණය වේ.   


ක්‍රමානුකූලව ජනගහනය නුවරඑළිය නගරය තුළ වර්ධනය වීම මත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් යම් ගැටලු මතුවූ බවටද තොරතුරු කියයි. වරක් නුවරඑළියේ තානායමක නවාතැන් ගත් අග්‍රවිනිශ්චයකාරවරයෙකු ඇතුළු තවත් කීපදෙනකු කොලරාව වැළඳීම නිසා මියගොස් ඇත. ඒ තානායම නුවරඑළිය පැරණි පොලිස් ගොඩනැගිල්ල බව වාර්තා වේ. එම මරණයන් පිළිබඳ 1877 වසරේදී පත්කළ කොමිෂමේ නිර්දේශ මත 1886 දී නගර පාලනය කිරීම සඳහා මණ්ඩලයක් පත්කර ඇත. 1932 වසරේදී නගර සභා තත්ත්වය නුවරඑළියට ලැබී ඇති අතර 1949.01.10 දින මහා නගර සභා තත්ත්වයට ද පත්විය. 1886 සිට අද දක්වා නුවරඑළිය නගරය ව්‍යවස්ථාපිත ආකාරයෙන් නුවරඑළිය නම් වූ ශ්‍රී ලංකා භූමියේ මුහුදු මට්ටමේ සිට අඩි 6181 යුතු භූමිය නිර්මාණය වී ඇති නුවරඑළිය නගරය අද මෙරට මෙන්ම විදේශිකයින්ගේ පවා විවේකීය ස්ථානයක් ලෙස නම් දරා ඇත.   


1828 දී ඇරඹූ නුවරඑළිය නගර තුළ උප සංස්කෘති ගණනාවක් සමග ඉදිරියට විත් අද වන විට වසර 190ක සමරණ අවස්ථාවකි මේ.   


මල් උප සංස්කෘතිය, එළවළු උප සංස්කෘතිය, පෙයාස් උප සංස්කෘතිය, අර්තාපල් උප සංස්කෘතිය හා අද වර්තමානයේ සංචාරක උප සංස්කෘතියකට කේන්ද්‍රගතව නුවරඑළිය නගරය හැසිරෙන අයුරු දිස් වේ.   


යටකී උපසංස්කෘතීන් තුළ ඉදිරියෙන් කටයුතු කළ නුවරඑළියට ඇතැම් දෙනා එදා ඉංග්‍රීසීන් සතුව තිබුණු විශාල මන්දිරවලට උරුම කියන්නට සමත්විය. කෙසේ වුවත් ඉංග්‍රීසීන්ගෙන් මෙරට නිදහස ලැබීමෙන් පසු ඔවුන් ගොඩනැගූ පුංචි එංගලන්තය අද වන විට තර්ක කර පැහැදිලි කරගත නොහැකි තරමේ ප්‍රශ්නාවලියට මුහුණ දී ඇත. ඒ සඳහා ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කළ හැක. එහෙත් අද දවසේ අපි මේ සටහන තබනුයේ නුවරඑළියේ ජනතාවට පමණක් නොව ශ්‍රී ලාංකික සියලුම රටවැසියන්ගේ උරුමයක් වූ නුවරඑළිය පුංචි නගරයට වසර 190ක් පිරුණු බව හඬනඟා කියන්නටය.   


එසේ නම් පුංචි එංගලන්තය නමින් අපට ඉංග්‍රීසීහු උරුම කළ නුවරඑළිය නගරය හෙට දවසේ මතු පරපුර වෙනුවෙන් රැකගැනීමට අද දවසේ අපි අපේ යුතුකම් ඉටුකළ යුතුව ඇත.   

 

 

 

 

 

ඡායාරූප හා සටහන   
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි