විවාහයක් සඳහා විසි පොරොන්දම් පමණක් මදි


අප රටේ​ ජ්‍යොතිෂය අනුගමනය කරන පිරිස විසින් පළමුව කරන්නේ විවාහයක් ගිවිස ගැනීමට පෙර ජ්‍යෙතිෂ්‍ය කටයුතු කරන්නෙකු හමුවට ගොස් ස්ත්‍රී පුරුෂ හඳහන් දෙක දී විවාහය සඳහා සුබ වන්නේ දැයි පරික්ෂා කරවා ගැනීමයි. එහිදී ජ්‍යොතිෂය හරියට නොදත් අයෙකු නම් කරන්නේ හඳහන් දෙකේ විසි පොරොන්දමින් කීයක් ගැළපෙන්නේ දැයි බලා වැඩිපුර ප්‍රමාණයක් ගැළපේ නම් විවාහයට සුදුසුයි තීරණය කිරීමයි. අනතුරුව සිදුවන්නේ දෙපාර්ශවයේ මැදිහත් වීමෙන් නැකැත් චාරිත්‍ර අනුව විවාහය ඉටුකර දීමයි. 
 
විසි පොරොන්දම් පමණක් ගැළපීමෙන් විවාහයක් වීමට තීරණය කිරීම ප්‍රමාණවත්ද? එසේ කිරීමෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නටත් සමගියෙන් සාමාදානයෙන් සතුටින් හොඳ දරුවන් ලබා යහපත් ආර්ථිකයක් ඇතැතිව නිරෝගී සුව සම්පන්න දීර්ඝායුෂ ලබමින් විවාහ දිවිය ගත කරන්නට හැකිවන්නේද? මාගේ පිළිතුර වන්නේ කෙසේවත් නොහැකි වන බවයි.  


එයට හේතු වනුයේ විසි පොරොන්දම් ගැළපීමේදී වඩා වැඩි පුරම මුල්වන්නේ සඳු ග්‍රහයාට හිමි නැකතයි. එනමුදු සඳුට වඩා වැඩිපුර බලයක් ජීවිතයට ඇතිකළ හැකි රවි, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි සමග චායා ග්‍රහයන් වන රාහු කේතු සේම අප රාශි චක්‍රයේ ඉතා ඈතින් සිටින යුරේනස් නැප්චූන් ප්ලුටෝ යන ප්‍රබල ග්‍රහයන් රැසක් ඇති බැවින් එම ග්‍රහයන්ගේ පිහිටීම ගැන ඉතා සූක්ෂමව පරික්ෂා කිරීම වැදගත් වන්නේය.  


එසේ පරික්ෂා කිරීම තුළින් පහත සඳහන් කාරණා 07 විවාහයක් කරන්නට පෙර සොයා බැලීම ඉතාම වැදගත් වන්නේය.  


01. දෙදෙනාගේ ආයුෂ ප්‍රමාණය. 02. නිරෝගිත්වය, 03. චරිතවත් බව, 04. දරුපල, 05. ආර්ථික දියුණුව, 06. දෙදෙනාගේ සමගිය, 07. අනාගතය.  


විසි පොරොන්දම් තුළින් ඉහත සඳහන් කරුණු 07 ගැන ඉතා පැහැදිළි විශ්වාසනීය ලෙස විසඳුම් සෙවීම කෙසේවත් කළ නොහැක. එම නිසා පළමුවෙන් කළ යුතු වන්නේ දෙදෙනාගේ උපන් නිවැරදි වර්ෂය, මාසය, දිනය සේම උපන් රට හෝ උපන් ස්ථානය අනුව තමන්ට ලැබී ඇති හඳහන් දෙක නිවැරදි දැයි ගණනය කර බැලීමය. අනතුරුව මා සඳහන් කළ කරුණු 07 ගැන මනා ලෙස පරික්ෂා කිරීම ආරම්භ කළ යුතු වේ. 

 

 
01. දෙදෙනාගේ ආයුෂ  


ආයුෂ යනු ජීවිතයට ඉතාම වැදගත්ම දෙය බව කවුරුත් පිළිගනු ඇත. එම නිසා විවාහයට එය කොතරම් වැදගත් වන්නේද? යුවළක් විවාහ වී යම් අවස්ථාවලදී පැය ගණනකින් දිනකින් හෝ දින කීපයකින් නැත්නම් සතියෙන් මාස තුනකින් වර්ෂයකින් එසේ නැත්නම් වර්ෂ 05න්, 07න්, 10න් හෝ 20න් වැඩිකල් නොගොස් එක් අයෙකු මිය යාම නිසා අනෙකා තනි වී සෝසුසුම් මැද ජීවත් වීමට සිදුවී ඇති අවස්ථා අප සමාජය තුළ ඕනෑ තරම් හමුවන්නේය. මෙම සිදුවීම විසි පොරොන්දමින් බලා ගැනීමට කිසිසේත්ම කළ නොහැක. එසේ නම් කළ යුතු වන්නේ ජ්‍යොතිෂයේ පෙන්වා දෙන දෙදෙනාගේ උපන් ග්‍රහපලය තුළ ඇති ග්‍රහ පිහිටීම් පරික්ෂා කිරීමයි. එහිදී අල්පායුෂ යෝග, මධ්‍යායුෂ යෝග, පූර්ණායුෂ යෝග හඳහන්වල පිහිටා තිබෙන්නේ දැයි බලා නිගමනයට පැමිණීමයි. ඔබ ජීවත්වන ප්‍රදේශ තුළ නිරීක්ෂණය කරන විට වැඩිපුරම සිටින්​ෙන් සැමියා මියගොස් තනිව සිටින බිරින්දෑවරුන් නේද? එයට හේතුව වන්නේ ස්ත්‍රී හඳහන්වල උපතින් පෙර අකුසල් නිසා පිහිටන ස්වාමි නාශක යෝග හෙවත් සැමියා මිය යන යෝගයි. බිරිඳ මියගොස් සැමියා තනිවූ ප්‍රමාණය ඉතා අඩු බවද දැන ගත හැකි වන්නේය. ස්වාමි නාශක යෝග කීපයක් වන අගහරු හෙවත් කුජ 07 හෝ 08 සිටීම, 07 අධිපති 08 සිටීම, 08 අධිපති 07 සිටීම, කුජ සිකුරු වී දුබල වී පාප පීඩිත වී 01, 02 කුජ 07 දුර්වලව සිටීම, රවි ග්‍රහයා දුබලව සිටීම, තවත් සූක්ෂම ග්‍රහ පිහිටීම රැසක් ගැන සැලකිල්ලෙන් බලා දෙදෙනාගේ ආයුෂ පිළිබඳව තීරණය කළ යුතුය.  


02. නිරෝගීකම  


මෙලොව ඉපදෙන අප සියලු දෙනා පෙර කරන ලද පිං පව් දෙක තුරුලු කරගෙන උපදින්නේය. අපට පෙර පව නිසා නොයෙක් විදියේ රෝගවලට ගොදුරුවන්නට සිදුවන්නේය. සමහර අයට ඉතාම සුළු රෝගත් තවත් අය ඉතා බියකරු දරුණු මාරාන්තික හා මුළු ජීවිතය පුරාම විඳවන සුළු රෝගවලට ගොදුරු වන්නටද සිදුවේ. එසේ වුවත් කිසිම රෝගයකට ගොදුරු නොවී ඉතාම නි​ෙරා්ගීව පෙර කුසල් නිසා සුවයෙන් සිටින අයද අප හමුවේ. මේ නිසාම විවාහ වන්නට සිටන දෙදෙනාගේ හඳහන්වල පිහිටි ග්‍රහණත්වය අනුව ඉදිරි කාලයේදී ශරීරය තුළ තදබල මාරාන්තික අසනීපවලට ගොදුරු වන්නේදැයි බලා තීරණය කළ යුතුය. පිළිකා ගෙඩි වන ලේ ගමන තුළ ඇතිවන හදවත් රෝග මානසික රෝග පිස්සුව වැනි තත්ත්වය ඇතිවන්නට තිබේද? හදිසි ශල්‍යකර්මවලට ගොදුරු වී අතපය කපන්නට සිදුවන්නට තියේද? අබ්බගාත තත්ත්වයට පත්වේද? මෙවැනි විපත් ගැන නිවැරදි ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව හඳහන් දෙක පරික්ෂා කිරීමෙන් සොයා ගන්නට හැකිවනු ඇත. එහිදී ලේවලට අධිපති කුජ ග්‍රහයා කේතු හා දුර්වලව යෝග වී 06, 08, 12 හා ලග්න ගත වීම ශනි හා යෝග වුවහොත් තදබලම රෝගවලට ගොදුරු වන්නේය. උෂ්ණාධික රවි ලෙයට අයත් කුජ සමගින් කේතු හා දුර්වල වුවහොත් තදබල අසනීප අැතිවන්නේය. සඳු ලග්නයේ සිටී නම් සෙම් රෝගවලින් මුළු ජීවිතය පුරාම දුක් විදින්නට වන්නේය. රාහු දුර්වල පාප පීඩිත වීම දසා කාලය තුළ පිස්සුව විකාර ඔල්මාද තත්ත්වලට ගොදුරු වන්නේය. සියලුම තත්ත්වයන් ලිපිය මගින් පෙන්වාදිය නොහැකි මුත් විවාහයේදී මෙම කාරණාව පිළිබඳව සොයා බැලීමේ වැදගත්කම මින් පැහැදිලි වනු ඇතැයි සිතමි.  


03. චරිතවත් බව  


 චරිතවත් බව ජීවිතයට ඉතාමත් වැදගත්ම කරුණක් බව අප කවුරුත් දන්නා දෙයකි. අද සමාජය පෙරට වඩා නරක පැත්තට යොමු වී ඇති බැවින් පවුල් කීයක් මහා විනාශවලට පත්වී තිබේද? දික්කසාද වීම්, කෑම ඇදීමේ, නඩු කොතරම් උසාවිවල තියෙනවද? මෙම චරිතවත් බව සොයා ගැනීමට හැකි ග්‍රහ පිහිටීම් සහිත ජ්‍යොතිෂ සිද්ධාන්තයන් ඉතා විශාල ප්‍රමාණයක් ඇත්තේය. එම නිසා දෙදෙනාගේ හඳහන් දෙකේ තැන්පත් ඔහු හෝ ඇයගේ පිහිටි අධිකාම යෝග කාම යෝග, ගණිකි යෝග, බහු විවාහ යෝග, සමලිංගික යෝග, ඇති දැයි පරික්ෂාකර බැලිය හැකිය. එසේම ලිංගික බෙලහීනතාව, ලිංගික රෝගවලට ගොදුරුවීම වැනි ගැටලු ඉතා සුපැහැදිලිවම හඳහන් පරික්ෂා කිරීමෙන් දැනගත හැකි වන්නේය.  


විවාහයේ මුල්ම සැපත මෙය බැවින් යම් ගැටලු තත්ත්වයක් ඇතිවුවහොත් මහා විනාශයක් විවාහ ජීවිතය පුරාම ඇතිවීම කාට නම් වළකා ලන්නට හැකි වන්නේද? මෙම ඇතිවන නරක ග්‍රහ පිහිටීම් මෙහිදී සඳහන් නොකරන්නේ ජ්‍යොතිෂ්‍ය හරියට නොදත් ඔබ සැමියාගේ හෝ බිරිඳගේ හඳහන රැගෙන මා පෙන්වා දෙන ග්‍රහ පිහිටීම් ඇතිදැයි බලා නොදන්නා කමින් පටලවා බලා ජීවිතයට නැති කරදර ළඟාකර ගන්නා බැවිනි. කැමැති නම් ලිපි මගින් හෝ පැමිණ මා හමුවී ඇත්ත ඇති අයුරින්ම දැනගන්නට හැකි වන්නේය.  


04. දරුඵල  


විවාහව වන සියලු දෙනා​ෙග් මුල්ම පැතුම වන්​ෙන් ලස්සන උගත් බුද්ධිමත් රටට ජාතියට වැඩදායි දරුවන් මෙලොවට ජනිත කරවීමයි. එනමුත් විවාහ වී දරුවන් නොමැතිව දුකින් සිටින කොතරම් පිරිසක් අද සමාජය තුළ සිටින්නේද? මෙයට හේතු රැසක්ම ජ්‍යොතිෂය තුළ පෙන්වා දෙන්නේය. විසි පොරොන්දම් තුළ දරුපල ගැන සොයන්නේ තමන්ට උපතින් හිමි වෘක්ෂවලිනි. මේ අනුව කිරි සහිත වෘක්ෂ දෙකක දෙදෙනා ඉපදී ඇත්නම් දරුපල හොඳින් ඇති බවත් කිරි නොමැති ගස් දෙකක් දෙදෙනාට හිමි නම් දරුපල නොමැති බවයි. එම තීරණය ඉතාමත් වැරදි බව මගේ ජ්‍යොතිෂ්‍ය දිවිය පුරා ලද අත්දැකීම් අනුව සුපැහැදිලි වන්නේය. එසේ නම් දරුපල ගැන බැලිය යුතු වැදගත් ග්‍රහ පිහිටීම් රැසක්ම ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. වඳ භාවය හා මද සරු බව ඇතිවීම කාන්තාවන් පමණක් නොව පිරිමින්ටද ඇති වන්නේය. දරුපල කිසිම දිනක නොලබන අයද සිටින්නේය. මෙම හේතුව නිසා දෙදෙනාගේ හඳහන්වල දරුපල ගැන බැලීම ඉතාම වැදගත් වන්නේය. දරුපල අහිමිකරන ග්‍රහයෝග විශාල ප්‍රමාණයක් ඇත්තේය. කෙනෙකුගේ දරුපල ගැන බලන මුල්ම ස්ථානය වන්නේ 05 වැනි රාශියයි. එහි පාප පීඩිත රවි ඇත්නම් ගබ්සා වීම් සිදුවන බවද පස්වැන්න අධිපති හය වැන්​ෙන් දුබලව දොළොස් වැන්නේ දුබලව සිටීම, පස්වැන්නේ පාප ග්‍රහයන් සිටීම, පස්වැන්නේ ශනි බුධ හෝ ශනි කුජ කේතු සිටීම ආදි කොටගත් තවත් විශාල ග්‍රහ පිහිටීම් රැසක් දරුපල අහිමි කිරීමට බලපානු ඇත්තේ බැවින් මේගැන නිවැරදිව බලා දරුපල සඳහා නිවැරදි තොරතුරක් විවාහයේදී සොයාගත යුත්තේය.  


05. ආර්ථික දියුණුව  


මිල මුදල් නොමැති නම් අද සමාජය තුළ පවතින්නට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි. මුදල් නොමැති නම් සෑම දෙයක්ම විනාශ වී මූදේවිය ගෙදරට පැමිණ මහත් දුක් කන්දරාවකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම තත්ත්වය ගැන සෙවීමට විසි පොරොන්දම් තුළ කුමන ස්ථානයවත් පෙන්වා දී නැත. නමුත් දියුණුව ගැන බැලීමට හැකි ග්‍රහ සිද්ධාන්ත රැසක්ම ජ්‍යොතිෂය තුළ පෙන්වා ඇත. දෙදෙනාගේ හඳහන් හොඳින් බලා ධන යෝග, මහාධන යෝග, ස්ථිර ආර්ථික ලැබීම්, සේම විශාල ඉඩ කඩම් දේපළ හිමිවීම් හා යාන වාහන ලැබීම් වන අයද ස්ථීර රැකියා ලැබීම් විදේශ ධනය ලැබීම් හා හදිසි ධන ලාභ හිමිවීම්, මැණික් හෝ පොළවෙන් වස්තුන් ලැබීම් හා තම උත්සාහයෙන් දියුණුවන අය, උගත් දෙයින් දියුණුවීම්, බැලිය හැකි සේම සමාජයේ නරකයයි සම්මත දෙයින් දියුණුවන අය ගැනද බැලිය හැකි වන්නේය.  


විවාහයෙන් පසු ඉතාමත් හොඳින් දියුණුව ලැබූ අයද විවාහයෙන් පසු තිබුණ සියල්ලම විනාශ වී මහ මගට වැටුණු අයද මුළු දිවිය පුරාම දුක් විදින ගෙයක් දොරක්වත් නොමැතිව සිටින අයද ඕනෑ තරම් සිටින්නේය. මෙම තත්ත්ව පිළිබඳව හඳහනේ පිහිටන ග්‍රහ පිහිටීම් පරික්ෂා කිරීමෙන් බලාගන්නට හැකිය. ඉන් කීපයක් නම් ලග්නාධිපති දෙවැන්නෙත් දෙවැන්න අධිපති ලග්නයේත් පිහිටීම, දෙවැන්න අධිපති එකොළොස් වැන්නේත් එකොලොස් වැන්න අධිපති දෙවැන්නේත් පිහිටීම මහා ධනවතකු වීමට වාසනාව ලබා දෙන්නේය. තම ලග්නාධිපතිව බලවත්ව දෙක එකොළහ අධිපති යෝග වී කුජ දස වැන්නේ බලවත්ව හතර වැන්නේ සිකුරු උච්ච වුවහොත් එම තැනැත්තාට දැසි දසුන් යාන වාහන ගෙවල් දොරවල් විශාල ව්‍යාපාර අයත්ව සුර සැප ලැබීමට හැකි වන්නේය. දෙදෙනාගේ හදහන් වල ගුරු සහ සඳු දැකීම විවාහයෙන් පසු දියුණුවට හේතු වන්නේය. මේ අනුව ජ්‍යොතිෂය තුළ තවත් දියුණුව ගැන බලාගන්නට හැකි ග්‍රහ පිහිටීම් රැසක් ඇති බැවින් විවාහයට පෙර ඒවා නිවැරදිව බලා කටයුතු කරගැනීමෙන් සතුටින් විවාහ ජීවිතය ගතකරන්නට හැකි වන්නේය. සැමියා කෙතරම් වාසනාවන්ත වුවත් බිරිඳ වාසනාවන්ත නැත්නම් කෙසේවෙත් දියුණුව ලබන්නට නොහැකි වන්නේය. සමාජය තුළ රැකියාවක් නොකරන බිරින්ඳෑවරුන් දැසි දසුන් සහිතව සියලු සැප ලබා සතුටින් සිටින අය කොතරම්ම පිරිසක් සිටින්නේද? කියා ඔබම බලන්න.  


06 සමගිය  


 කන්න බොන්න තැනත් ඉන්න හිටින්න නැතැත් සමගියෙන් සතුටින් ඉන්නට ලැබෙනවා නම් අපි සියලුම දෙනා කැමති වනවා නේද? සමගිව ජීවත් වන්නේදැයි බැලීමට විසි පොරොන්දම තුළ පෙන්වා දෙන අයුරින් බලා ගන්නට නොහැකි වන්නේය. සමගියෙන් සිටින්නට නම් තමන් සමග විවාහ වන කෙනා යහපත් ග්‍රහ පිහිටීම් ඇති නිවුණු සිත් ඇති දුර දිගබලා කටයුතු කරන අනුන්ගේ දුක හඳුනන දැහැමි කෙනෙකු විය යුතු වනවා නේද? විවාහයට පෙර එය නිවැරදිව බලා ගැනීම ඉතාම වැදගත් නිසා විසි පොරොන්දුවලට සීමා වීමෙන් එයට පිළිතුරු සොයා ගැනීමට නොලැබේ. කළ යුත්තේ විවාහ වන තැනැත්තාගේ හඳහන තුළ පිහිටි ග්‍රහ තත්ත්වයන් නිවැරදිව බැලීමයි. එවැනි ග්‍රහ පිහිටීම් අතර රවි උච්ච වී මේෂ රාශියේ සිට කුජ උච්ච මකර රාශියේ සිටී නම් හෝ කුජ උපතින් මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ නම් එවැනි තැනැත්තා හෝ තැනැත්තිය කිසිවකුට යටත් නොවන තනිමතයට වැඩකරන අත දෙන්නෙකු මෙන් කටයුතු කරන්නේය. පාප ග්‍රහයන් වන රවි කුජ රාහු ලග්නයෙන් දෙවන රාශියේ තැන්පත් නම් එය අය​ෙග් කටේ වචන සැර පරුෂ වන්නේය. දුර්වලව එක් පාප ග්‍රහයෙකු හෝ දෙකේ සිටීනම් නොසොයා නොබලා සිත්තැලෙන අයුරින් කතා කරන්නේය. ශනි හා කුජ යෝග වී 01, 02, 04, 10 පාපිවී සිටී නම් එවැන්නෝ තමන්​ෙග් ජය සඳහා අනිකා මරා දමන්නටද පසුබට නොවනු ඇත. 04 වැන්නේ තනි තනිව හෝ යෝගව ගුරු සඳු සිකුරු බුධ වැනි සෞම්‍ය ග්‍රහයන් සිටී නම් ඉතා යහපත් සිත් ඇති කරුණාවන්ත අයවන්නේය. 04 වැන්නේ ගුරු සඳු ද 09 වැන්නේ බුධ සිකුරු උපතින් සිටින කෙනා කොතරම් කේන්ති ගියද පතිවත රකින දරුවන්ට හා සැමියාට සේම නෑදෑයන්ටද ආදරය කරන විවාහයෙන් පසු සැප ලබන ඉතාම යහපත් කෙනෙකු වන්නේය. ලග්නය හතර නමය දහය අධිපතියන් ස්ථාන මාරුවී සිටී නම් ඉතාම යහපත්, සැපවත්, ධාර්මිකව ජීවත් වන්නකු කරන්නේය. මේ අනුව බලා විවාහය වුවොත් ඉතාම සමගි සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකි වන්නේය.  


07. අනාගතය  


විවාහය තුළ බලාපො​ෙත්තු වන සියලුදේම කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට එක ලෙසම ලැබෙන්​ෙන් නැත. කුසල්, අකුලස් අනුව සියල්ල විසඳේ. නමුත් පෙර සඳහන් කාරණාවලින් එකක් හෝ අසාර්ථක වුවහොත් ජීවිතය සතුටින් ගතකරන්නට හැකි වනවාද? නැත. සිදුවන්නේ මහත් අවුල් ජීවිතයක් ගත කරන්නටය. එසේ නම් ජ්‍යොතිෂය අනුගමනය කරනවා නම් නිවැරදි දෙයම තෝරා ගත යුතුයි නේද?. එම හේතුවෙන් විවාහ ජීවිතය තුළ ගමන් ගන්නා අනාගතය සාර්ථක කරගන්නට නම් මින් පසුව විසි පොරොන්දම අනුව විවාහයට ගැළපුම් නොබලා නිවැරදිව මා සඳහන් කරන ලද කාරණාවලට මුල් තැනදී කටයුතු කරන තම තමන්ගේ හා දරුවන්​ෙග් ජීවිත සාර්ථක කරගන්නා ලෙස මතක​ෙය් තබා ගන්න ලෙසටද මේ සඳහන් කරුණු ගැන යම් ගැටලු ඇතොත් මාගෙන් විමසන ලෙසද දන්වන්නෙමි.  

 

 

 

 

 

 

 

 

 

 


දෙවිනුවර, කිරළවැල්​ෙල් ජ්‍යොතිෂාචාර්ය  
ජී.ජී, කේමන් කුලසිරි,  
කොටුවේගොඩ, මාතර.