විවාහය පමා ​ෙවන්නේ ඇයි ?


විවාහය සම්බන්ධව තොරතුරු දැනගැනීමේදී ජන්ම කේන්දරයේ විවාහ කාරක සිකුරු ග්‍රහයාගේ තත්ත්වය මෙන්ම සත්වැන්නේ බලදුබලතාව ගැනද සියුම්ව පරීක්ෂා කළ යුතු වේ. අසුබ ග්‍රහයකුගේ නැකතක පිහිටි සෙනසුරු ග්‍රහයා සත්වැන්නේ පිහිටීම හෝ සත්වැන්නට උපතේදී දෘෂ්ටි හෙළා තිබේ නම් ඇතැමෙකුගේ විවාහය සිදුවන්නේ පමාවීමෙනි.   
64 වැනි නවාංශකයට අයත් ග්‍රහයකු සත්වැන්නේ තැන්පත් වී සිටී නම් සබඳතාව හෝ පළමු විවාහය වෙනස්වීමට බො​ෙහා් දුරට ඉඩ තිබේ.   


විවාහය සිදුවන කාලය   


සත්වැන්න අධිපති ග්‍රහයා නවාංශකයේ පිහිටීම රාශි කේන්දරයට ආදේශ කළ විට, ඊට ගෝචරයෙන් ගුරු ග්‍රහයාගේ පැමිණීම හෝ ත්‍රිකෝණස්ථානයකට පැමිණෙන කාලය සාමාන්‍යයෙන් විවාහය සිදුවන කාලය ලෙස තීරණය කරනු ලැබේ. එවැනි කාල සීමාවකදී බලවත් සිකුරු ග්‍රහයාගේ දසා අතුරු දසාවක් ද පවතී නම් නව දිවියට පා තැබීමට යහපත් වාතාවරණයක් සැලසේ. ඒරාෂ්ටකයක් හෝ බාධක ග්‍රහයාගේ දසා අතුරු දසාවක් ද නොමැති නම් ඉහත කී කාලසීමාව වඩාත් යහපත් වේ.   


ඉහත කී කරුණුවලට අමතරව ජන්ම කේන්දරයේ සිකුරු සිටි රාශිය අධිපති ග්‍රහයාගේ මෙන්ම නවාංශක කේන්දරයේ සිකුරු සිටි නවාංශකය අධිපති ග්‍රහයාගේ දසා කාලය ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය. ලග්න කේන්දරයේ හත අධිපතියාගේ දසා කාලය මෙන්ම නවාංශක කේන්දරයේ සත්වැන්න අධිපති (55 වැනි නවාංශක අධිපති) ග්‍රහයාගේ දසා කාලය ද පරීක්ෂා කිරීමෙන් විවාහය සිදුවන නිශ්චිත කාලසීමාව තීරණය කළ හැකිය. ඉහත කී කාලසීමාවන් ජන්මියා තම විවාහය සම්බන්ධව සිත යොමුකරන කාලසීමාවන් බව පැරණි දෛවඥයන්ගේ නිගමනය විය.   


විවාහයට බාධා ගෙන දෙන කාලසීමාවන්   


පලාපල කථනයේදී නවාංශක කේන්දරයේ පිහිට පැතීමෙන් මේ පිළිබඳ සියුම්ව කරුණු අනාවරණය කරගැනීමට පැරැන්නන් සිත යොමු කළ බව අපගේ වැඩිහිටියෝ පවසති. නවාංශක සටහනේ දැක්වෙන 55 වැනි අධිපති ග්‍රහයා රාශි කේන්දරයේ පාප ග්‍රහයන්ට මැදිවී (පාප කර්තරී යෝගයක) පිහිටීම ද (ඇතැම් අවස්ථාවලදී විවාහයට දින නියම කරගෙන සිටි අවස්ථාවකදී වුවද) කුමන හෝ හේතුවක් ඉදිරිපත් වී විවාහ කටයුතුවලට බාධා ගෙන දිය හැකිය.   


ග්‍රහගෝචරය අනුව පහත සඳහන් අවස්ථාවන්ද විවාහයට බාධා ගෙන දෙන කාලසීමාවන් බව අපගේ අත්දැකීම් අතර වේ.   


1. සිකුරු දසාව ලබා තිබියදී සෙනසුරු හෝ රාහු ග්‍රහයා කේන්දරයේ සත්වැන්න හරහා ගමන් කරන කාලය   
2. ජන්මියාට ලබා තිබෙන දසා අධිපති ග්‍රහයා හය, අට, දොළහ දුෂ්ට රාශියක ගමන් කරන කාලය   
3. ජන්ම ලග්න හෝ චන්ද්‍රෂ්ටම ආදී ඒරාෂ්ටකය පවතින කාලය (ශාන්ති කර්මයක පිහිට ලබා ගැනීමෙන් ඉහත කී දෝෂය වළක්වා ගත හැකිය)   
4. සත්වැන්න හරහා සෙනසුරු, කේතු ආදී පාප ග්‍රහයකු ගමන් කරන කාලය   
5. 22 වැනි දෙර්.පති ග්‍රහයා හෝ අටවැන්න අධිපති ග්‍රහයාගේ දසා කාලය   


ඉහත කී සෑම අවස්ථාවකදීම විවාහය පමාවීමට හේතු වේ. එහෙත් ලග්නයට සුබපල දෙන ග්‍රහයකුගේ (කාරක ගුණය ඉස්මතුවී) බලපෑම නිසා විවාහය සිදුවුවත් (කේන්දරයේ පාප ග්‍රහයන්ගේ බලපෑම නිසා) බලවත් අසුබ ගෙන දෙනු ඇත. කුජ, ශනි ආදී පාප ග්‍රහයකු විවාහ කාරක සිකුරු ග්‍රහයාට යෝගවීම හෝ දෘෂ්ටියකින් සම්බන්ධ වුවහොත් විවාහ ජීවිතය අවාසනාවන්ත ලෙස බිඳ වැටීමට ඉඩ තිබේ. රාහු ග්‍රහයාගේ බලපෑමක් සිදුවුවහොත් ගෘහ ජීවිතය අවුල්සහගත තත්ත්වයකට පත්වීම වැළැක්වීමට නොහැකිය.   


ලබා තිබෙන සුබ ග්‍රහයකුගේ දසාවකදී ඊට අදාළ කාරක ගුණය ඉස්මතු වුවද ඉහත සඳහන් පාප ග්‍රහයන්ගේ බලපෑම නිසා බලාපොරොත්තු නැති තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. බලවත් සිකුරු ග්‍රහයාගේ දසාව පවතින විට සත්වැන්නේ කුජ ග්‍රහයා ගෝචරයෙන් පැමිණියහොත් විවාහය අතරමගදී කඩාකප්පල් වීමට හෝ අවුල්සහගත තත්ත්වයකට පත්වේ.   


දසාධිපති ග්‍රහයාගේ තත්ත්වය ගැන බලා

ඇතැමුන් කරන පලාපල විග්‍රහය අසම්පූර්ණ වන්නේ ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසාය.   


ජ්‍යොතීර්වේදී මිල්ටන් හේවාපතිරණ,  
330/C1/3 සර්පන්ටයින් ප්ලැට්ස්  
බොරැල්ල, කොළඹ 8