විවාහ සැප අහිමි ​ෙවන යෝග හඳුනාගන්න


විවාහයක් සාර්ථකව පවත්වාගෙන යාම අසිරු කරුණකි. යුග දිවියට පත්වී වැඩි කලක් යාමට ප්‍රථම සමහරුන්ගේ විවාහ ගමන අතරමග ඇණහිටී. සැමියා එක තැනක සිටී. බිරිඳ තවත් තැනකය. දෙදෙනා දෙපසට වීම වෙන්වීම ලෙස හඳුන්වාදිය හැකිය. සමහර විවාහ ජීවිත නීති මාර්ගයෙන්ම වෙන්වී යන අවස්ථා ද ඇත. එහිදී දරුවන් සිටීනම් ඔවුන්ගේ අනාගතය කෙබදු වේද? 
 
මෙම වෙන්වීම් වලට හේතු රාශියකි. ආර්ථික ප්‍රශ්න ලෞකික කායික ජීවිතයේ ඇතිවන ප්‍රශ්න, අයුතු සම්බන්ධතා මේවාට මුල්වේ. මෙවැනි දේ සිදුවීමට බලපාන කරුණු ජ්‍යෙතිෂය අනුව විග්‍රහකර ඇත. එම ග්‍රහ පිහිටීම්වලට නොගැලපෙන ලෙස හා එම දෝස භංගවන පරිදි කේන්ද්‍ර නොගැලපීම් තුළින් මෙම අසාර්ථක වීම් සිදුවන බව ජ්‍යෙතිෂයෙන් දක්වා ලිවිය හැකිවේ.  


යම් කේන්ද්‍රයක විවාහයට බාධා කරන රවි, සෙනසුරු හා රාහුගේ බලය සංයෝගය හෝ දෘෂ්ටිය අනුව සිකුරුට යොමුවීමෙන් විවාහ ජීවිත අසාර්ථක වේ. විවාහයට සිකුරුගේ බලපෑම වැඩි නිසා මේ දේ සිදුවෙයි. පාප ග්‍රහයන්ගේ බැලීමට හසුවී 7 වැන්න සහ 8 වැන්න අධිපතියන් 08 වැන්නේ සිටීම අඹු සැමියන් වෙන්කිරීමේ මෙන්ම වැන්දඹු යෝගයක් ද වන්නේය. පාප ග්‍රහයන්ට සම්බන්ධව හෝ පාපග්‍රහයන්ට මැදිවී සිටින 7 වැනි රාශියේ 07 වැන්න අදිපතියා සිටීනම් එයද විවාහ නාශක යෝගයකි. මෙම 7 අධිපතියා කුජ හෝ ශනි නම් වඩාත් නරක ප්‍රතිඵල ඇතිවිය හැක. කුජ 6 වැන්නේද රාහු 07 වැන්නේද සෙනසුරු 8 වැන්නේද සිටීනම් විවාහයට එවැනි පිහිටීම සහිත කේන්ද්‍රයක්ම ගලපා ලීමෙන් විවාහ ජීවිතය ආරක්ෂා වනු ඇත. නැතිනම් අඹු -සැමි වෙන්වීම් විය හැක. 7 වැන්න සිංහ රාශිය වී එහි කුජ හා සෙනසුරු සිටීනම් එයද විවාහයට බාධා කරදර ඇතිකරනු ඇත.  
කුජ ග්‍රහයා 12 වැන්නේ සිටින විට එම කේන්ද්‍රයේ 7 හා 8 භාව ස්ථානවල පාප ග්‍රහයන් සිටී නම් සැමියා සහ බිරිඳ ජීවත්ව සිටියදීම අනියම් සම්බන්ධතාවන්ට යොමුවිය හැක. බලවත් වූ චන්ද්‍රයා සහ සිකුරු සංයෝගවීම ද ඉහත කරුණට උදව් කරනු ඇත. මේ හා සමාන පිහිටීම් ඇති කේන්දර ගැලපීමෙන් එම ජීවිත විනාශ වී යාම නවතිනු ඇත.   


සෙනසුරු, රවි හා රාහු යන ග්‍රහයන් 12 වැන්න අධිපති සමග සංයෝග වී සිටීනම් එය දික්කසාද සඳහා තුඩු දෙන යෝගයක් බව සඳහන් වේ. විවාහ කාරක සිකුරු ග්‍රහයා කේන්ද්‍රයක බලවත් ලෙස පීඩාවී ඇතිවිට යුග ජීවිතය සතුටින් ගත නොවෙනු ඇත.  


කේන්දරයක 4 වන භාවය විවාහ සමගිය පිළිබද කරුණු දැන ගැනීමට ඇති ස්ථානයකි. මෙම භාවය සිතිවිලි පිළිබඳවද මුල් තැන ගනී. චින්තන ස්ථානය යනුවෙන්ද හැඳින්විය හැක. මෙම භාව ස්ථානයේ පාපී ග්‍රහයන් සිටීම. පාපී ග්‍රහයින් දෙපසින් සිටීම නිසා පාප කර්තරීවීම, මෙම භාවයට සෙනසුරු, රවී හෝ රාහු අධිපතිකම් දැරීම ද වෙන්වීමට හො දික්කසාද වීමට බලපැවැත්වෙන පිහිටීම් වේ. 12 වැන්න අධිපති ග්‍රහයාද ඉහත ග්‍රහයන්ට සම්බන්ධනම් නරක තත්ත්වය වඩාත් ඉස්මතු විය හැක.  


එබැවින් විවාහයක දී ඉහත දක්වන ලද ග්‍රහ පිහිටීම් පිළිබඳව කේන්ද්‍ර 2 තුළින්ම දැඩිලෙස පරීක්ෂා කළ යුතුය. එවැනි යෝග භංගවී යන පරිදි සමාන ග්‍රහයෝග ඇති කේන්දර එකට ගැලපීම් තුළින් විවාහයන් සිදුකළ යුතුය. ඒ අනුව පොරොන්දම් ගැලපීමෙන් පමණක් විවාහයන් සිදු නොකර ග්‍රහ පිහිටීම්වලට ප්‍රධාන ස්ථානයක් දිය යුතුවේ. එවිට අසාර්ථක වන විවාහ ජීවිත ප්‍රමාණය ඉතාම අඩුවනු ඇත. කරුණු පැහැදිලි කිරීම් සඳහා 071-8070143 අමතන්න.   

 

 


ඉදිකිරීම් ඉංජිනේරු සහ ජ්‍යෙතිර්වේදී   
සේනානන්ද කරුණාරත්න  
31/10 හපුගහතැන්න පාර  
කළගෙඩිහේන.